ලයිසන් නැති හිතුවක්කාරයාගේ “මාරාන්තික වික්‍රමය”

882

වාහන පහක් අනතුරට ලක් වී දෙදෙනකු මිය ගොස් පහකට තුවාලයි

ජීප් රථය ධාවනය කර ඇත්තේ 16 හැවිරිදි පාසල් සිසුවෙක්

පසුගිය ඔක්තෝම්බර් මාසෙ වැඩියෙන්ම රිය අනතුරු වෙලා තියෙන්නේ ඇල්පිටියේ…

අධික වේගය මරු කැඳවයි…’ තරුණ විසේට එවැනි කතා මනස්ගාත බව සැබෑය. එහෙත් අධික වේගයෙන් රිය ධාවනය කරවන විසේකාර තරුණයන් නිසා මහ මඟ අනතුරේය. එවැනි නොහික්මුණු ‘ළමයකුගේ’ හිතුවක්කාර රිය පැදවීම නිසා පසුගිය 04 වැනිදා උදේ මහබාගේ පාර ලේ විලක් විය. මේ පෙළගැසෙන්නේ ඒ අවාසනාවන්ත කතාවය.

මහ මඟ ලේ විලක් බවට පත් කරමින් මාරක රිය අනතුර සිදුකර ඇති ලයිසන් නැති තරුණයාගේ පියා මහබාගේ ප‍්‍රදේශයේ ස්වර්ණාභරණ අලෙවිසලක් පවත්වාගෙන යන ප‍්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකි. එදින හිමිදිරියේම එම ව්‍යාපාරිකයා විසින් සුඛෝපභෝගී ජීප් රථය සෝදා පිරිසිදු කර විශේෂ ගමනක් යෑමට නිවෙස තුළ ලකලෑස්ති වෙමින් සිටියේය. කඩිමුඩියේ ක‍්‍රියාත්මක වූ ඔහුගේ පුතා වැඩිමහල් සහෝදරිය ද ජීප් රථයට නංවාගෙන නිවෙසින් පිටත් වූයේය. අධික වේගයෙන් මීගමුව දෙසට ධාවනය වෙමින් තිබූ ජීප් රථය ‘ලයිසන් නැති රියැදුරුගේ’ පාලනයෙන් ගිලිහිණි. වේගය පාලනය නොවූ ජීප් රථය මාර්ග බාධකය ද පෙරළාගෙන මාර්ගයේ විරුද්ධ දිසාවට ඇදී ගොස්, ඒ මොහොතේ මාර්ගයේ ධාවනය වෙමින් තිබූ තවත් වාහන කිහිපයක් හප්පාගෙන ගොස් පෙරළී උඩුයටිකුරු විය.

අනතුරට පත් එක් යතුරුපැදිකරුවෙක් බරපතළ තුවාල ලබා එම ස්ථානයේදීම මියගිය බව වාර්තා විය. එම යතුරුපැදියේ පිටුපස පැමිණි දාහත් හැවිරිදි තරුණයා ද බරපතළ තුවාල ලබා රාගම ශික්‍ෂණ රෝහලට ඇතුළත් කර ප‍්‍රතිකාර ලබමින් සිටියදී පසුගිය 11 වැනිදා මෙලොවින් සමුගෙන ගිය බව ද වාර්තා විය. එම අනතුරෙන් තුවාල ලැබූ තවත් පස්දෙනෙකු රෝහල්ගතව ප‍්‍රතිකාර ලබමින් සිටිති. එමෙන්ම එම මාරක රිය අනතුරෙන් මෝටර් රථ දෙකක්, යතුරුපැදි දෙකක් සහ ත‍්‍රිරෝද රථයකට බරපතළ හානි සිදු වී ඇත. මරාවේෂයෙන් ජීප් රථය පදවාගෙන ගිය දහසය හැවිරිදි තරුණයා රෝහල්ගත කිරීමෙන් පසු පොලිස් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබිණි. හිතුවක්කාර දරුවකු හැදූ වරදට ජීප් රථයේ අයිතිකරු වන එම තරුණයාගේ පියා ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

‘‘මේ අනතුර වෙන මොහොතේ මමත් ත‍්‍රිරෝද රථයෙන් ගමන් කරමින් හිටියේ. අධික වේගයෙන් ජීප් රථය ආවේ පාරේ ප‍්‍රතිවිරුද්ධ දිසාවෙන්. මාර්ග බාධක කඩාගෙන මීගමුව පැත්තට ගිය ජීප් රථයේ වැදුණේ කොළඹ පැත්තට එමින් තිබුණු වාහන කිහිපයක්. මට ඉදිරියෙන් පැමිණි කළු පාට කාර් එකේ වැදිලා වාහන කිහිපයක් එක ගොඬේ හැපුණා. මට ඉදිරියෙන් ආපු කාර් එක නිසා තමයි මම බේරුණේ. නැතිනම් මගේ වීල් එක චප්ප වෙනවා. මෙහෙම කතා කරන්න අද මම ඉතුරු වෙන්නේ නෑ. වාහන කොච්චර අනතුරට පත් කළත්, මිනිස්සු මැරුණත් සල්ලි තියෙන මිනිස්සු වියදම් කරලා උසාවියෙන් නිදහස් වෙනවා. ඒත් මේ ජීප් රථයට යට වෙලා මැරුණේ, තුවාල ලැබුවේ දුප්පත් මිනිස්සු. ඒ මිනිස්සුන්ට මොකද වෙන්නෙ. ඒ මිනිසුන්ගේ පිහිටට කවුරුවත් නෑ…’’ පූරුවේ පිනකට ජීවිතය බේරී සිටින එම ත‍්‍රිරෝද රථ රියැදුරු අවසානයට ඇසූ ප‍්‍රශ්නවලට අපිදු නිරුත්තර වීමු.

එම අනතුර සිදු වූ මහබාගේ ප‍්‍රදේශයේ ධනවත් පවුල්වල ඇතැම් පිරිමි දරුවන්ට අධික වේගයෙන් මෝටර් රථ පැදවීමේ මේනියාවක් තිබෙන බව එම ප‍්‍රදේශයේ ඇතැම්හු අප සමඟ පැවසූහ. එවැනි මානසික රෝගීන් මහබාගේ පමණක් නොව රට පුරා ජීවත්වන බව සැබෑය. තරගයට යතුරුපැදි පැදවීම විනෝදාංශය කරගත් තරුණ පිරිසක් මොරටුව සහ ඒ අවට ප‍්‍රදේශවල සිටිති. මොරටුවේ යතුරුපැදි තරගයක් අතරතුර පදිකයේ ගමන් කරමින් සිටි අසරණ පවුලක්ම යට කරගෙන ගිය අවාසනාවන්ත සිද්ධිය රට්ටුන්ට තවම අමතක නැත. එමෙන්ම මෙරට මාර්ග රිය අනතුරු බහුලව වාර්තා වන්නේ බස්නාහිර පළාත තුළිනි. දෙවැනි තැනට වයඹ පළාතෙන් වැඩිම රිය අනතුරු ප‍්‍රමාණයක් වාර්තා වන අතර තෙවැනි තැනට රිය අනතුරු වැඩිම දකුණු පළාත තුළය. සංචරණ සීමා ඉවත් කිරීමෙන් පසු පසුගිය ඔක්තෝම්බර් මාසය තුළ වැඩිම රිය අනතුරු ප‍්‍රමාණයක් වාර්තා වී ඇත්තේ දකුණු පළාතේ ඇල්පිටිය පොලිස් බල ප‍්‍රදේශයෙනි. දෙවැනියට කුරුණෑගල පොලිස් බල ප‍්‍රදේශයෙන් වැඩිම රිය අනතුරු ප‍්‍රමාණයක් වාර්තා වේ. නුගේගොඩ පොලිස් බල ප‍්‍රදේශයෙන් සහ අනුරාධපුර පොලිස් බල ප‍්‍රදේශයෙන් තෙවැනි, සිව්වැනි තැනට රිය අනතුරු වාර්තා වී ඇත. එමෙන්ම පසුගිය කාලයේදී මෙරට සිදු වී ඇති මාර්ග රිය අනතුරුවලින් විශාල ප‍්‍රමාණයක් සිදු වී ඇත්තේ සවස 06 ත් රාති‍්‍ර 08 ත් අතර කාලය තුළය. එම කාලය තුළ බහුල වශයෙන් මාර්ගයේ ගමන් කරනුයේ රැකියා ස්ථානවල සිට නිවෙස් බලා යන පුද්ගලයන්ය. දවස තිස්සේ විවිධ රාජකාරිවල නිරතව මානසික සුවයක් ප‍්‍රාර්ථනා කරගෙන ඉක්මන් ගමනින් නිවෙසට යෑමේ බලාපොරොත්තුවෙන් රිය ධාවනය කරන රියැදුරන් අතර බහුලව අනතුරට පත්වනුයේ යතුරුපැදිකරුවන්ය. වාර්තා වන ආකාරයට වසරකට මෙරට සිදුවන රිය අනතුරුවලින් මියයන පුද්ගලයන්ගෙන් 40% ක් යතුරුපැදිකරුවන්ය. 08% ක් පාපැදිකරුවන්ය. මහ මඟ මියයන 30% ක් පදික වේදිකාවේ ගමන් කරමින් සිටි අසරණ පදිකයින්ය. එම සංඛ්‍යාවෙන් බහුතරය වයස අවුරුදු 50 ට වැඩි වයස්ගත පුද්ගලයන්ය.

එමෙන්ම මාර්ග රිය අනතුරුවලට වගකිවයුතු රියැදුරන් අතරින් 40% ක් යතුරුපැදිකරුවන්ය. 15% ක් ත‍්‍රිරෝද රථ රියැදුරන්ය. 12% ටිපර් රථ රියැදුරන්ය. තවත් 12% ක් කැන්ටර්, ඩිමෝ බට්ටා වැනි වාහන ධාවනය කරවන රියැදුරන්ය. යතුරුපැදිකරුවන් බහුල වශයෙන් අනතුරට පත්වන්නේ අතුරු මාර්ගවලින් ප‍්‍රධාන මාර්ගයට හැරවීමට යෑමේදීය. එමෙන්ම වෘත්තීය කටයුතු සඳහා දෛනිකව යතුරුපැදියෙන් ගමන් කරන පුද්ගලයන් අනතුරට පත් වී ඇත්තේ සුළු පිරිසකි. එම අනතුරුවලට හේතුව ද යතුරුපැදිකරුවන්ගේ අපරීක්‍ෂාකාරී බව නොව, මහ මඟ රිය ධාවනය කරවන මඟ මරුවන්ගේ වැරැදි නිසාය. එමෙන්ම වෘත්තීය ත‍්‍රිරෝද රථ රියැදුරන් නිසා සිදුවන අනතුරු ප‍්‍රමාණය ද ඉතාම අඩුය. එහෙත් යතුරුපැදි සහ ත‍්‍රිරෝද රථ අනතුරවලින් මිය යන වැඩි පිරිසක් වයස අවුරුදු 19 ත් 45 ත් අතර මෙරට ශ‍්‍රම බළකායට විශාල දායකත්වයක් ලබාදෙන පුද්ගලයන්ය. මහබාගේ රිය අනතුරෙන් මියගොස් සිටින්නේ ද අසරණ යතුරුපැදිකරුවෙකි. ලයිසන් නැති, පාසල් වියේ පසුවන විසේකාර රියැදුරන් කරන මාරක රිය අනතුර සම්බන්ධයෙන්, මාර්ග ආරක්‍ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති ආර්. එල්. ඇන්ටන් ද මෙන්ස් මහතාගෙන් ද අප කරුණු විමසා බැලූවෙමු. මේ ඒ මහතා කියන කතාවය.

‘‘අපේ රටේ රියැදුරු බලපත‍්‍රයක් ලබාගැනීමේදී ප‍්‍රධාන කොන්දේසිය වයස අවුරුදු දහඅටට වැඩිවීම. අවුරුදු 16 ක ළමයෙක්ට මහ මඟ වාහනයක් පැදවීමට රියැදුරු බලපත‍්‍රයක් නෑ. මේ රිය අනතුරට ප‍්‍රධාන හේතුව දෙමවුපියන්ගේ නොසැලකිල්ල. රියැදුරු බලපත‍්‍රයක් නැති ළමයෙක්ට වාහනය පැදවීමට ඉඩ ලබා දෙන්න පෙර අවදානම ගැන හිතන්න තිබුණා. ඒ වගේම මේ ළමයා ඇවිත් තියෙන වේගයට වාහන පහක් හැපිලා නතර වුණේ වාසනාවට. අවාසනාවට මිනිස් ජීවිත දෙකක් නැති වෙලා තියෙනවා. ට‍්‍රැෆික් එකේ වාහන සෙමින් ආපු නිසා තමයි මේ ගානට අනතුර පාලනය වුණේ. තදබදයකින් තොරව නිදහසේ එක පෙළට වාහන ධාවනය වෙමින් තිබෙන පසුබිමක මේ අනතුර වුණා නම් තත්ත්වය මීට වඩා බරපතළ වෙනවා. ඒ වගේම මෙවැනි රිය අනතුරු අවම කරන්න දඩ මුදල් වැඩි කිරීම ස්ථිර විසඳුමක් නෙමෙයි. අවුරුදු දහඅටට අඩු රියැදුරු බලපත‍්‍රයක් නොමැතිව මාර්ගයේ රිය පදවන්නන්ට එරෙහිව තිබුණු රුපියල් දෙදහසේ දඩ මුදල රුපියල් විසිපන්දාහ කරපු දවස්වල යම් පාලනයක් තිබුණා. ඒත් දැන් වැඩියි. ඒ නිසා අපේ රටේ මිනිසුන් තුළ ආකල්පමය වෙනසක් ඇති කරන්න ඕනෑ. රිය අනතුරුවල බරපතළකම මිනිසුන්ට අවබෝධ කරදීමට නිරන්තරයෙන් උපදේශන වැඩසටහන් කරන්න ඕනෑ…’’ මාර්ග ආරක්‍ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපතිවරයාගේ කෙටි පැහැදිළි කිරීම අවසානය.

‘පුතේ හොඳට ඕලෙවල් පාස් වෙන්න අපි බයික් එකක් අරගෙන දෙනවා…’ සමාන්‍ය ධනවත් පවුල්වල දෙමවුපියන් සාමාන්‍ය පෙළ, උසස් පෙළ විභාග සමත් වන තම පුතාලට යතුරුපැදි තෑගි කරන බව සැබෑය. එසේ ලබාදෙන ඇතැම් යතුරුපැදි පොඩි කොල්ලන්ට ආම්බන් කිරීමට නොහැකි සද්ධන්ත බඩු බවද සැබෑය. එමෙන්ම උතුරන්න සල්ලි තියෙන පවුල්වල දෙමවුපියන් විභාග සමත්වන තම පුතාට තෑගි කරනුයේ සුපිරි මෝටර් රථයකි. මවුපියන් එසේ කරනුයේ සල්ලි වැඩිකමටම නොවේ. තම දරුවන්ට ඇති අසීමිත ආදරය, සෙනෙහස නිසාය. ගැටලූව වී ඇත්තේ ලබාදෙන එම තෑග්ග ළමයින්ගේ සිතැඟි අනුව පරිහරණය කිරීමට ඉඩදීමය. ඒ වගේ්ම දරුවන් නිසි වයසට පැමිණීමට පෙර වාහන පැදවීමට පුරුදු පුහුණු කර සතුටුවීමය. තවකාලික සතුට පිටුපස භයානක අනතුරක් තිබෙන බව එම මවුපියන්ට තේරුම් යන විට නෑසිය යුතු නපුරුම ආරංචිය කණ වැකී අවසානය. වාහනයක් පැදවීමට ලැබුණු පමණින් මහ මඟ ධාවන පථයක් කරගන්නා ඇතැම් තරුණයන් විදුලිය මෙන් රිය ධාවනය කරනුයේ රටක් රාජ්‍යයක් ලැබුණා හා සමාන සතුටකිනි. මාර්ග නීති, මාර්ගයේ ගමන් කරන සෙසු වාහන, අසරණ පදිකයන් තුට්ටුවකට මායිම් නොකරන ‘සැප දරුවෝ’ මහ මඟ ද ඔවුන්ගේ දේපළක් කරගන්නාහ. මීට කලකට පෙර, 2011 අවුරුද්දේ මාර්තු මස 25 වැනිදා එවැනි ‘සැප දරුවන්’ හයදෙනකු සුඛෝපභෝගී මෝටර් රථයකින් කොළඹ සිට ගාල්ල ප‍්‍රදේශයට අධික වේගයෙන් ගමන් කරමින් සිටියදී, අහුංගල්ල එගොඩමුල්ල ප‍්‍රදේශයේදී එම වාහනය මාර්ගයෙන් ඉවතට පැන අසළ පොල් ගසක වැදී කුඩුපට්ටම් වී තිබුණේ දුටුවන් මවිත කරන ආකාරයටය. එම මාරක රිය අනතුරෙන් මෝටර් රථය පැද වූ ප‍්‍රසිද්ධ මැණික් ව්‍යාපාරිකයකුගේ පුතෙක් සහ වාහනයේ සිටි හිටපු නාවික හමුදාපතිවරයකුගේ පුතෙක් ඒ මොහොතේදීම මරණයට පත් වූහ. මාරක රිය අනතුරේදී එම මරණ සිදු වී තිබූ ආකාරය ගැන අනතුරට පත් මෝටර් රථය නිෂ්පාදනය කළ රටේ මෝටර් රථ සමාගමට ද ගැටලූවක් වී තිබිණි. එම අනතුරෙන් තුවාල ලැබූ තවත් තරුණයන් සිව්දෙනකුගේ ජීවිත පූරුවේ පිනකට බේරී තිබිණි.

එම අනතුර සිදු වී තිබුණේ 2011 වසරේදීය. මේ 2021 නොවැම්බර් අන්තිමය. එම මෝටර් රථය නිෂ්පාදනය කළ ලොව සුපතල මෝටර් රථ සමාගම පවා පුදුමට පත් වූ පොල් ගස් කඩාගෙන ගිය අහුංගල්ලේ මාරක රිය අනතුරු සිදු වී මේ වෙනකොට වසර දහයකට වැඩිය. ඒ අතරතුර කාලයේදී සහ ඊට පෙර මෙවැනි මාරාන්තික රිය අනතුරු සිදු වී ඇති බවට සැක නැත. එමෙන්ම රිය අනතුරු අවම කිරීම සම්බන්ධයෙන් කටයුතු කිරීමට මෙරට ආයතන කිහිපයක් තිබෙන බවද සැබෑය. එහෙත් මහ මඟ අනතුරුවල කිසිදු අඩුවක් නොමැත. මහ මඟ මැරෙන ජීවිතවල ද අඩුවක් නැත. කොරෝනා වසංගතය තුළ සංචරණ සීමා පනවා තිබූ කාලයේදීත් රිය අනතුරු වාර්තා වූ බව සැබෑය. මේ රිය අනතුරුවලට හේතුව මන්තරයක් මෙන් නිතර මතුරන අනවබෝධය සහ අපරීක්‍ෂාකාරීව අධික වේගයෙන් රිය ධාවනය කිරීම නොවේ. මේ රටට විනයක් නැතිකමය. මනුස්ස ජීවිතයක වටිනාකම ගැන මේ රටේ මිනිසුන්ට වැටහීමක් නැතිකමය. මේ ගැන තවත් කතා කිරීම ඵලක් නැත.

තරංග රත්නවීර

advertistmentadvertistment
advertistmentadvertistment