තරින්දිලා වගේ අය පරිස්සම් කරගන්න ඕනෑ
මගේ නිර්මාණ ගැන බරපතළ ලෙස සෑහීමකට පත්වෙන්න බෑ
තිර පිටපත් රචකයෙක්, නවකතාකරුවෙක්, අධ්‍යක්‍ෂවරයෙක් ලෙස ඔහු ලාංකේය කලා ක්‍ෂේත්‍රය තුළ තම මුද්‍රාව තැබූ කලාකරුවෙකි. අඩෝ, තුම්පනේ, මෙට්‍රෝහීන මෑතභාගයේ දැඩි ලෙස කතාබහට ලක්වුණ ඔහුගේ නිර්මාණ ය. අද දවසේ ඔහුගේ නිර්මාණ ලෙස තත්ත්පරයක් දෙන්න, ලලයි ලිලයි ලයි අතිශය ජනප්‍රියත්වයට පත්වී ඇත. අද ‘මීවිත’ හා එක්වන්නේ මේ ටෙලි කතා සියල්ලේ නියමුවා වන සුපුන් රත්නායක ය.
- අධ්‍යක්‍ෂවරයෙක් විදිහට සුපුන් රත්නායක මේ දවස්වල හරි ජනප්‍රිය චරිතයක්. තත්ත්පරයක් දෙන්න සහ ලලයි ලිලයි ලයි ටෙලිනාට්‍යවලට ලැබෙන ප්‍රතිචාර එහෙම කොහොමද?
තත්ත්පරයක් දෙන්න සම්බන්ධයෙන් නම් පිටපත කියවන විට වගේම, වැඩේ සම්බන්ධයෙන් පෙර සූදානම්වීම ඇතුළෙදීම මාව ලංකාවේ ප්‍රේක්‍ෂකයා විශ්වාස කරාවි කියලා අදහස් කළා. ඇත්තටම ඒක ඒ විදිහටම සිද්ධ වුණා.
ලලයි ලිලයි ලයි කියන්නේ අත්හදාබැලීමක්. මට මතක ඉතිහාසයේ, ලංකාවේ මීට කලින් ඒ ශානරයේ එහෙම වැඩක් වෙලා තිබුණේ නැහැ. මොකද මේක කොමඩි ඩ්‍රාමා එකක් නෙමෙයි, ඇත්තටම අපි, අපි දිහා බලාගෙන ඉන්නවා වගේ වැඩක් තමයි තියෙන්නේ. අපි ඔක්කොම කතාවෙලා රංග රීතියේ ඉඳලා වෙනස්වෙලා තමයි වැඩේ කළේ. මොකද තව ටිකක් උඩට පැන්නොත් ඕවර් ඇක්ටින් වෙනවා, පල්ලෙහාට ගියොත් බෝරින් වෙනවා. ඒක හරි මැද තැනක තියාගන්න එක හරි අමාරු වැඩක්. මේක මම කරපු පළමුවැනි මෙගා නාට්‍යය. ඉතිං ප්‍රේක්‍ෂකයා ඉතාම ආදරයෙන් වැළඳගෙන තියෙනවා. ඒක ලොකු සතුටක්.
- ලලයි ලිලයි ලයි වගේ කතා තේමාවල් මිනිස්සු භාර ගනීවි කියලා හිතට බයක් දැනුණේ නැතිද?
පළමුවැනිම අභියෝගය තිබුණේ මට මේක කරගන්න පුළුවන් වේවි ද කියලා. මොකද, මම කවදාවත් මේ ජාතියේ වැඩක් කරලා තිබුණේ නැහැ. මෙට්‍රෝහීන, තත්ත්පරයක් දෙන්න, තුම්පනේ කියන්නේ වෙන මූඩ් එකක වැඩ. මෙහෙම වැඩක් මම කරල තිබුණේ නැහැ. පළමුවැනියට තිබුණ කාරණය මේක මට පුළුවන්ද කියන එක. මේකෙ කාස්ටින් ඩිරෙක්ටර් විදිහට වැඩ කළේ රන්දික ගුණතිලක. එයයි මායි එකතුවෙලා තමයි සියලු නළු නිළියෝ තෝරා ගත්තේ. පළමුවැනි දෙවැනි සාකච්ඡාව යනකොට අපිට තේරුණා, මැච් එක ගහන්න පුළුවන් කියලා. ප්‍රේක්‍ෂකාගාරය කොහොම භාර ගනීවිද කියන ප්‍රශ්නය අපිටත් තිබුණා. නමුත් අපිට අදහසක් ආවා, ප්‍රේක්‍ෂකයාට අවශ්‍ය මේ කාලේ ජනප්‍රිය ගණයේ තව නාට්‍යයක් නොවේ කියලා. අපි තව ටේරන්ඩ් එකක් කොහේ හරි තැනක හදන්න එපායැ. අලුත් ආකෘතියක් බිහිකරන්න ඕනෑ හින්ද හරියන්න හෝ වරදින්න ට්‍රයි කරලා බලමු කියලා තමයි කළේ.
- රන්දිකව මේ චරිතයට ගන්නවා කියලා මුල ඉඳලම අදහසක හිටියා ද?
නැහැ. මේ නාට්‍යයට මුලින්ම නම දාල තිබුණේ ඉෂ්කා ඩබල. ලලයි ලිලයි ලයි නෙමෙයි, ඉෂ්කා ඩබල කියන්නේ මෙහි ප්‍රධාන මාතෘකා දෙක වෙන්නේ තනුෂ්ක සහ ධනුෂ්කා කියන දෙක. ඉෂ්කා ඉෂ්කා කිව්වහම එන්නේ ධනුෂ්කායි තනුෂ්කයිනේ. මේ කතාව දෙවැනි වර කියවනකොට තමයි, මේ දෙන්නව ගන්න ඕනෑ කියල. මුලින්ම මේ චරිත දෙකටම නම් කරල තිබුණේ වෙනම දෙන්නෙක්. නැවත පිටපත කියැවීමෙන් තමයි ඒ අදහස වෙනස් වුණේ.
- අධ්‍යක්‍ෂවරයෙක් විදිහට ඔබේ නිර්මාණ ගැන ආපසු හැරී බැලුවොත්?
නිර්මාණ ගැන බරපතළ ලෙස සෑහීමකට පත්වෙන්න බෑ. මොකද මට මගේ නිර්මාණයක් නැවත බලනකොට හිතෙනවා, තව ටිකක් මට මෙහෙම කරන්න තිබුණා, තව ටිකක් මට වෙලාව ගන්න තිබුණා වගේ අදහසක්. නමුත් අපිට මේ වෙලාවේ දීල තිබෙන බජට් එකයි, වෙලාවයි කියන කාරණා ටිකත් එක්ක, ඒ දවසේ සීන් ටික ඒ දවසේ රූගත කළේ නැතිනම් බරපතළ ගැටලුවක් බවට පත්වෙනවානේ. ඉතිං එහෙම කාලරාමුවක සහ බජට් එක සම්බන්ධ කාරණා ටිකත් එක්ක හිරවීමක් තියෙනවා. එහෙම නැතිව නිදහසේ අතදිගහැරලා වැඩක් කරන්න කාලයක් ඉස්සරහට උදාවෙන්න කියලා බලාපොරොත්තුවෙලා ඉන්නවා. අතීතය ගැන පසුතැවීමක් නැහැ. හැබැයි ඉතිං මට තව ටිකක් මහන්සි වෙන්න තිබ්බා නම් කියලා හිතෙනවා.
- තත්ත්පරයක් දෙන්න කියන්නෙත් මේ දිනවල ප්‍රේක්‍ෂකයන් අතර අතිශය කතාබහට ලක්වන ටෙලි නාට්‍යයක්. මෙහි නළු නිළියන්ගෙන් ඔබට ලැබෙන සහයෝගය මොනවගේද?
මම ඇත්තටම අරගෙන තියෙන කිසිම චරිතයක් ඒකට හරියන කෙනෙක් නෙමෙයි කියලා කියන්න බැරි තරමට, ඒගොල්ලො ඒ චරිතයට සාධාරණයක් කරලා තියෙනවා. සුළු චරිත පවා ඉතාම විශිෂ්ට ආකාරයෙන් නිරූපණය කරලා තිබෙනවා. දැන් ගොඩක් වෙලාවට කට්ටිය හිතාගෙන ඉන්නවා පිටපත් රචකයෙක් පිටපතත් ලිව්වහම අධ්‍යක්‍ෂවරයෙක් ඇවිත් අධ්‍යක්‍ෂණය කළහම ඒ තියෙන ටිකම තමයි රංගන ශිල්පියා හෝ ශිල්පිනිය කරන්න ඕනෑ කියලා. මගේ අධ්‍යක්‍ෂණයේදී නම් පිටපතෙන් සහ අධ්‍යක්‍ෂණයෙන් සියයට හැත්තෑවයි නම් නළුවා සහ නිළියගෙන් ඉතුරු ටික එන්න ඕනෑ. එහෙම නැතිව අපි කියන විධානයටම ඉඳලා වැඩක් නෑ. ඒක හරි කෘත්‍රිමයි. එහෙම නළුවෝ ඒ අයි වලින් හදාගන්න පුළුවන්. නළුවාගේ තියෙන පරාසය අනුව ඒ චරිතයට දෙන ටිකක් තියෙනවානේ. ඒ ටික මරු. අනික ඒ ටික ඉතාම සූක්‍ෂ්මව ගන්න ඕනෑ දෙයක්.
- මෙහි හැම සුළු චරිතයකින්ම හැම තත්ත්පරයක් ඇතුළේම ප්‍රේක්‍ෂකයා ග්‍රහණය කරගන්නවා. මේක ලේසි නැහැ නේද?
වන්නකුගේ චරිතයට ගත්තු සමන්ත කුමාර පරණලියන කියන්නේ වේදිකා නාට්‍යවල අතිවිශිෂ්ට නළුවෙක්. ඔහු ටෙලි නාට්‍ය ඇතුළේ එහෙම ලොකුවට වැඩ කරලා තිබුණේ නැහැ. නමුත් මම මෙට්‍රෝහීන ටෙලිනාට්‍යය කරනකොට වන්නකුව අඳුර ගත්තා. විශිෂ්ට හැකියාවක් තියෙන නළුවෙක්. වන්නකුගේ චරිතය මුලින්ම කරන්න හිටියේ මධුර ප්‍රභාෂ්වර බාලසූරිය. අඩෝ, තුම්පනේ, මෙට්‍රෝහීන වල පවා ප්‍රධාන චරිත රඟපෑ නළුවා. මධුරට විදේශගත වෙන්න වීම සහ වෘත්තියෙන් නීතිඥවරයෙක් නිසා රඟපාන්න ගියහම පොඩි පොඩි අපහසුතා ඇතිවන හින්දයි මධුරම සමන්තව යෝජනා කළේ. අන්තිමේ වැඩේ සාර්ථක වුණා.
ඒ වගේම තරින්දි කියන්නේ මෑත කාලයේ අපි දැකපු සියුම් භාවප්‍රකාශනයන් හරි ලස්සනට ඉදිරිපත් කරන්න පුළුවන් නිළියක්. ඇත්තටම තරින්දිලා වගේ අය පරිස්සම් කරගන්න ඕනෑ. හේතුව සමහර වෙලාවට ගොඩක් දක්‍ෂ මිනිස්සු ළඟ නැතිවෙලා යනවා. ඒ කියන්නේ අනවශ්‍ය විදිහට පෙනිල පෙනිල වෙන්නත් පුළුවන්. මම හිතනවා තරින්දි වුණත් ඒ සම්බන්ධයෙන් හොඳ අවබෝධයක් ඇතිව තෝරා බේරාගෙන වැඩ කරනවා ඇති කියලා. මොකද එච්චර ටැලන්ට් එකක් තියෙන කට්ටිය හරි අඩුයි. එහෙම වුණහම ඒගොල්ලන්ව හරි තැනක පාවිච්චි කරන්න ඕනෑ වගේම ඒගොල්ලොත් හරි තැනට පාවිච්චි වෙන්න ඕනෑ.
- ඔබ වෙනස්ම ශානරයේ නිර්මාණ බිහිකරන්න උත්සාහ කරන අධ්‍යක්‍ෂවරයෙක් නේද?
ඇත්තටම මම ඒකට හරි කැමතියි. අපිට ගොඩක් වෙලාවට නාට්‍යයේ නම කියන්න ඕනෑ නැහැ. සමහර වෙලාවට ෆ්‍රේම් එකක් දැක්කහම අහවල් අධ්‍යක්‍ෂවරයාගේ කියලා කියන්න පුළුවන්නේ. දැන් මගේ ඒවයෙත් ගොඩක් වෙලාවට එකම කට්ටිය ඉන්නවා තමයි. අනික වලව්වක් ගන්නවා. පවුල් හතරක් විතර දාගන්නවා. අන්න කතාවක් කියලා ෂූට් කරනවා. තව ළඟ ගෙවල් දෙකක් ගන්නවා. කතාවක් ගහනවා. එහෙම විදිහකුත් තියෙනවානේ. නමුත් එහෙම නැතිව මම වෙන තැන්වල වැඩ කරන්න හරි කැමතියි. මොකද මටත් අලුත් අත්දැකීමක් ඒක.
- ලංකාවේ ටෙලිනාට්‍ය කලාව ගැන ඔබට මොන වගේ මතයක් ද විචාරයක් ද තියෙන්නේ?
මම හිතනවා ලංකාවේ ටෙලිනාට්‍ය කලාවේ පසුගිය අවුරුදු හය හත ඇතුළත කාලය බැලුවහම හොඳ තැනකට එන එකක් තියෙනවා කියලා. උදාහරණ විදිහට සහෝදරයා, බොහීමියානුවා, කූඹියෝ, තණමල්විල කොල්ලෙක්, එයා දැන් බැඳලා, කොඩිගහ යට වගේ ලෑන්ඩ්මාර්ක් වන ටෙලිනාට්‍ය ළඟ ළඟ විකාශය වුණා. ඉස්සර නම් එකක් ඇවිත් තවත් වසර ගණනාවකින්නේ තව නිර්මාණයක් විකාශය වෙන්නේ. නමුත් මෑත කාලයේ හොඳ නිර්මාණ ආවා. ලලිත් රත්නායකගේ තාත්තාත් ඊට හොඳ උදාහරණයක්. මට හිතෙනවා අපේ පරම්පරාවේ හොඳ අධ්‍යක්‍ෂවරු ටිකක් බිහිවෙලා තිබෙනවා කියලා. ගිරිදේවි, අඳුන්ගිර කරපු අපේ ඉන්දික ධර්මතිලක කියන්නේ ඉතාම හොඳ මට්ටමේ අධ්‍යක්‍ෂවරයෙක්නේ ඉතිං මට හිතෙනවා ටෙලිනාට්‍ය කලාවේ අනාගතය එහෙම බරපතළ ගැටලුවක් වන තැනකට නතුවෙන එකක් නැහැ කියලා.
- ටෙලිනාට්‍යවලට සිදුකරන ගෙවීම් පිළිබඳව වර්තමානයේ ලොකු කතිකාවතක් ගොඩනැඟිලා තිබෙනවා?
තියෙන ලොකුම අර්බුදය තමයි ඒක. උද්ධමනය ද ඩොලරයේ මිල ඉහළ යෑම ද මොන දෙයක් වුණත් ටෙලිනාට්‍යයකට ගෙවන ගාණට ඒක අද වෙනකම් බලපාලා නැහැ. ඒ කියන්නේ ගෙවන්නේ ඉතාම සුළු මුදලක්. හැබැයි ඒක වෙලාවට හම්බවෙන්නෙත් නෑ. ඒක වෙලාවට හම්බවුණත් නිෂ්පාදකයා පෙරළා ගෙවන්නෙත් නෑ. එයත් රටේ තියෙන දාහක් දේවල් කියනවා. ඉතිං ඔය වගේ කාරණා එක්ක හොඳ නිර්මාණ බිහිවීමට තියෙන ඉඩකඩ ඇහිරෙනවා. මෙච්චර කාලයක් අපිට තිබුණේ නිර්මාණ නැති ප්‍රශ්නයක්නේ. දැන් නිර්මාණ තියෙනවා. ඒත් හරි හමන් ගෙවීමක් හෝ ගෙවන මුදලවත් වෙලාවට ලැබීමක් සම්බන්ධ කාරණය බරපතළ ගැටලුවක් විදිහට තියෙනවා.
- සුපුන් රත්නායක සිනමාවට සම්බන්ධ වෙන්න අදහසක් නැතිද?
මේ අවුරුද්ද අවසන් වෙනකොට මගේ පළමු වැනි චිත්‍රපටයේ රූගත කිරීම් අවසන් කරනවා. ප්‍රේක්‍ෂකයෝ බලනකොට නම් මොන කාලයක් වෙයි ද කියන්න අදහසක් නෑ.
- සිනමාවට එන්න ප්‍රමාද වුණා වැඩියි නේද?
මට මීට කලින් සිනමාවට එනවා කියලා නම් අදහසක් තිබුණා. නමුත් මම හිතුවා ඒ මොහොත නෙමෙයි මම සිනමාවට එන්න තියෙන කාලය කියලා, සිනමාවට එන්න තව ටික කාලයක් ඉන්න ඕනෑ කියලා. මේ ක්‍ෂේත්‍රය ඇතුළේ තව ටිකක් හදාරලා ආවානම් හොඳයි කියලත් හිතුණා.
දිනේෂ් විතාන