නීතිපතිගෙන් තිගැස්සෙනසුළු නිර්දේශයක්
මාධ්‍යවේදීන්ගේ විරෝධය
සමාජ මාධ්‍යයේ දැඩි අවධානයට
ආණ්ඩුව අවදානම් කලාපයේ
නීතිපතිට එරෙහිව දෝෂාභියෝගයක්
පොහොට්ටු පක්ෂයේ සහයෝගය නීතිපතිවරයාට
සජබ දෙලොවක් අතර
සුප්‍රසිද්ධ ආන්දෝලනාත්මක සිනමාකරු අශෝක හඳගම අධ්‍යෂණය කළ ‘රාණි’ චිත්‍රපටය රජය විසින් 1990 පෙබරවාරි 18 වන දින ඝාතනය කළ මාධ්‍යවේදී රිචඩ් ද සොයිසා සහ 2001 පෙබරවාරි 14 වන දින මියගිය ඔහුගේ මව වූ මනෝරානි සරවනමුත්තුගේ කතාවයි. එම සහාසික අපරාධයට එවකට එජාප රජය වගකිව යුතු බව අමුතුවෙන් කිවයුතු නැත. ජවිපෙ හිතෛෂියෙකු ලෙස ආණ්ඩුව පෙන්වා දුන් මාධ්‍යවේදී සමාජ ක්‍රියාකාරියා ඝාතනයට ලක්වූයේ රෝහණ විජේවීර ඇතුළු ඉහළ පෙළේ ජවිපෙ නායකත්වය අත්අඩංගුවට ගෙන මරාදැමීමෙන් මාස ගණනාවකට පසුවය. වැලිකඩවත්ත ප්‍රදේශයේදී පැහැර ගනු ලැබූ ඔහුගේ සිරුර මොරටුවේදී සොයා ගන්න ලදී. ඒ පැහැරගත් දිනට පසුදිනය. ඊට වසර 19 කට පමණ පසුව මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය කිරීම සම්බන්ධයෙන් දැඩි ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇති වූයේ ‘රාණි‘ ජනවාරි 30 තිරගත වීමත් සමගය. රිචඩ් ද සොයිසාගේ පැහැර ගැනීම සහ මරණය සම්බන්ධයෙන් චෝදනාවට ලක්වූ පොලිස් නිලධාරීන් තිදෙනා 2005 නොවැම්බර් 09 වන දින කොළඹ මහා අධිකරණය විසින් සියලු චෝදනාවලින් නිදහස් කරන ලදී. ඒ පැමිණිල්ල පරස්පර විරෝධී සහ විශ්වසනීය නොවන බව පදනම් කරගෙනය.
ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයේදී විභාග වන මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග (1958-2009) ඝාතනය කිරීමේ නඩුවට (B 92/2009) අදාළව රටම අන්දමන්ද කරන නිර්දේශයක් නීතිපති ජනාධිපති නීතිඥ කේ. ඒ. පාරින්ද රණසිංහ විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ( රහස් පොලිසියට) කර ඇත.
එම නිර්දේශය ජාතික ජනබලවේගය (ජාජබ) ආණ්ඩුවට දැඩි බලපෑමක් කළේය. අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා පසුගිය බ්‍රහස්පතින්දා (06) නීතිපතිවරයාව හදිසියේ කැඳවීම ජාජබ ආණ්ඩුව මුහුණ දෙන නව අභියෝගය අවධාරණය කළේය. අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර එම අවස්ථාවට සහභාගී වූ අතර ඇතිවී තිබෙන අනපේක්ෂිත තත්ත්වය ඉතාමත් සංවේදීය. ජනමාධ්‍යවේදීන් සහ සිවිල් ක්‍රියාකාරීන් කණ්ඩායමක් නීතිපතිට එරෙහිව එදිනම කළ විරෝධය සියලුම මාධ්‍යවල අවධානයට ලක්විය.
ඝාතනය කළ මාධ්‍යවේදියාගේ දියණිය අහිම්සා නීතිපතිවරයාව දෝෂාභියෝගයක් හරහා එම තනතුරින් ඉවත් කිරීමට ආචාර්ය හරිණි අමරසූරිය අග්‍රාමාත්‍යවරියගෙන් ඉල්ලීමක් කර ඇත.
දශක තුනකට වඩා වැඩි කාලයක් නීතිපති දෙපාර්තමේන්තුවේ සේවය කර ඇති පාරින්ද රණසිංහ 32 වන නීතිපතිවරයා ලෙස පත්වීම ලැබුවේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතිනි. ඒ 2024 ජුලි 12 දිනය. එම පත්වීම ඉතාමත් ආන්දෝලානාත්මක තත්ත්වයක් තුළ සිදුවිය. වික්‍රමසිංහ ජනාධිපතිවරයා නීතිපති ලෙස කටයුතු කළ ජනාධිපති නීතිඥ සන්ජය රාජරත්නම්ගේ සේවා කාලය 2024 දෙසැම්බර් 31 දක්වා දිගු කර ගැනීමට කළ උත්සාහය ව්‍යර්ථ වීමෙන් පසුව මෙම පත්වීම සිදු කළේය. ජ්‍යෙෂ්ඨත්වයෙන් පළමුවන ස්ථානයේ සිටි ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර්ජනරාල් අයේෂා ජිනසේන එම ධුරයට පත් නොකිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව තුළ සහ එයින් පිටත දැඩි කතාබහක් ඇතිවිය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටු පක්ෂය) නීතිපතිවරයා නිවැරදි බවට ප්‍රකාශ කළ අතර ජාජබ නීතිපතිවරයට මීට පෙර කිසිදා නොවී විරු ලෙස තර්ජනය කළ බවට චෝදනා කළේය. ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය (සජබ) මෙම ප්‍රශ්නය සම්බන්ධයෙන් නිල වශයෙන් තම ස්ථාවරය හෙළිදරව් කර නැත. සජබ අපහසුවට ලක් වී ඇත. පොහොට්ටු පක්ෂය නීතිපතිට සහයෝගය පළකිරීම පුදුමයට කාරණයක් නොවේ. ඒ අදාළ නඩුවේ චෝදනා ගොන්න රාජපක්ෂ පාලනයට සෘජුව එරෙහි වන බැවිනි.
හිටපු ජනාධිපති සහ එජාප නායක රනිල් වික්‍රමසිංහ නායකත්වය දෙන නව ප්‍රජතන්ත්‍රවාදී පෙරමුණට ද නිහඬව සිටිය නොහැක.
මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පළමුවන ධුර කාලයේදී එවකට The Sunday Leader පුවත්පතේ කතෘවරයා වූ දේශපාලන ක්‍රියාකාරී වික්‍රමතුංග රත්මලානේ අත්තිඩියේ දී මරා දැමුවේ 2009 වසරේ ජනවාරි 08 වන දිනය. එම ඝාතනය සම්බන්ධයෙන් යහපාලන සමයේදී (2015-2019) අත්අඩංගුවට ගෙන පසුව ඇප මත සිටි යුද හමුදා බුද්ධි අංශයේ (Directorate of Military Intelligence) සාජන්ට් මේජර් ප්‍රේම් ආනන්ද උදලාගම, ගල්කිස්ස පොලිසියේ අපරාධ අංශයේ එවකට ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක තිස්සසිරි සුගතපාල සහ විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානායක්කාර සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පැමිණිල්ල කටයුතු නොකරන බවට නීතිපතිවරයා රහස් පොලිසියේ අධ්‍යක්ෂකවරිය වන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉමේෂා මුතුමාලාට දැනුම් දී ඇත.
නීතිපතිවරයා රජයේ නීතිඥයාය. වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් ජනවාරි 27, 2025 නීතිපතිවරයා රහස් පොලිසියට දුන් උපදෙස් කිසිසේත්ම ජාතික ජන බලවේගය (ජාජබ) බලාපොරොත්තු නොවූ බවට සැකයක් නැත. නමුත් රජය බලාපොරොත්තු වන නිර්දේශ දීමට නීතිපතිවරයා බැඳී නැත. කෙසේ වෙතත් එම ඝාතනය සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ ‘මැදිහත්වීම‘ දේශපාලනය උණුසුම් කරනු ඇත. කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස පසුගිය දෙසැම්බර් 5 වන දින කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේ නීතිපතිවරයාගේ නිර්දේශය රජය අධ්‍යයනය කරන බවත් ඒ සම්බන්ධයෙන් නිල ප්‍රකාශයක් කරන බවත්ය. නීතිපතිවරයාගේ නිර්දේශය රජය ප්‍රතික්ෂේප කළහොත් ඇතිවන තත්ත්වය සම්බන්ධයෙන් අමුතුවෙන් කිවයුතු නැත.
වික්‍රමතුංග නඩුව සම්බන්ධයෙන් දී ඇති නිර්දේශ ජාජබ රජය සහ නීතිපති අතර ගැටුමකට හේතු වුවහොත් අධිකරණ ක්‍රියාවලියට දේශපාලන ඇඟිලි ගැසීම් සිදුනොකරන බවට රජය නිරන්තරයෙන් දෙන පොරොන්දුව බොරු වෙනු ඇත.
ද්‍රවිඩ බෙදුම්වාදී ත්‍රස්තවාදී බලය විනාශ කිරීමේ තීරණාත්මක පියවරක් වූ කිලිනොච්චිය මුදා ගැනීමෙන් සතියකට පසුව වික්‍රමතුංග ඝාතනයට ලක්විය. නමුත් එම කෲර ඝාතනයට ජනතා අවධානය නොඅඩුව යොමුවිය. මාධ්‍ය යුක්තිය සහ සාධාරණත්වය ඉල්ලා දැඩි හඬක් නැගීය. විදෙස් ආණ්ඩු සහ ජාත්‍යන්තර මාධ්‍ය සංවිධාන ද විධිමත් පරීක්ෂණයක් අවධාරණය කළේය. පරීක්ෂණය ප්‍රාථමික තත්ත්වයෙන් සිදුවිය.
වික්‍රමතුංග ඝාතනය පිළිබඳව විධිමත් පරීක්ෂණයක් කරන බවට පාර්ලිමේන්තුව නියෝජනය කළ රාජපක්ෂ පාලනයට එරෙහි පක්ෂ මැතිවරණ කාලයේදී පොරොන්දු විය. යහපාලන රජය වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් නව පරීක්ෂණයක් ආරම්භ කිරීමට කටයුතු කළේ ඒ පොරොන්දුව අනුවය.
මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති ධුරයට පත්වනතුරුම පොලිස් පරීක්ෂණ මන්දගාමීව සිදුවිය. එවකට යුද හමුදාපති වූ ත්‍රස්තවාදය පරාජය කිරීමට යුද හමුදාවට නායකත්වය දුන් ජෙනරාල් සරත් ෆොන්සේකාට ද එක්සත් ජාතික පක්ෂයේ ඇඟිල්ල දිගුවිය. මහින්ද රාජපක්ෂ නායකත්වය දුන් එක්සත් ජනතා නිදහස් සන්ධානය ද ෆොන්සේකාට වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් චෝදනා කළේය. ඒ එජාප-ජවිපෙ-කොටි ත්‍රස්තවාදීන්ගේ අතකොළුවක් වූ ද්‍රවිඩ ජාතික සන්ධානය අනුග්‍රහයෙන් ඔහු 2010 ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවට ප්‍රකාශ කිරීමෙන් පසුවය. දේශපාලනිකව අනාථවී සිටි ෆොන්සේකා 2016 පෙබරවාරි 09 වන දින යහපාලන කැබිනට් මණ්ඩලයේ අමාත්‍යවරයෙකු ලෙස පත්වීම එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ අනුග්‍රහයෙන් පත්වීම පුදුමයක් නොවේද?
වසර 2009 සිදු කළ ඝාතනය සම්බන්ධයෙන් 2009 ජනවාරි – 2014 දෙසැම්බර් කාලය තුළ කළ පරීක්ෂණවල තත්ත්වය නීතිපති දෙපාර්තමේන්තුවේ සහ අනෙකුත් වගකිවයුතු අංශවල නිසි අවධානයට යොමු වුවාද ?
ප්‍රේම් ආනන්ද උදලාගම (2016 ජුලි 16), උප පොලිස් පරීක්ෂක තිස්සසිරි සුගතපාල (2018 පෙබරවාරි 02) සහ විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානායක්කාර (2018 පෙබරවාරි 14) අත්අඩංගුවට ගැනීම විමසා බැලිය යුතු වන්නේ 2016 සැප්තැම්බර් මාසයේ 27 වන දින වික්‍රමතුංගගේ දේහය ගොඩගෙන නව පශ්චාත් මරණ පරීක්ෂණයක් කිරීමෙන් පසුව ඝාතනය වෙඩි තැබීමකින් සිදු නොවූ බවත් ඔහු මිය ගොස් ඇත්තේ විශේෂ අවියකින් හිසට සහ මොළයට පහර දීමෙන් බවත් සනාථ වී ඇති තත්ත්වය පසුබිමේය.
උදලාගමට එරෙහිව නැගූ චෝදනාව වූයේ වික්‍රමතුංගගේ රියදුරුට තර්ජනය කිරීමයි. සුගතපාල සාක්ෂි වසන් කිරීමේ චෝදනාවට ලක්වූ අතර බස්නාහිර පළාතේ දකුණ භාරව සිටි නානායක්කාර තම භාරයට ගනු ලැබූ මරා දැමූ මාධ්‍යවේදියාගේ සටහන් පොත අස්ථානගත වීමේ චෝදනාවට ලක්විය. එම සැකකරුවන් තිදෙනාම සම්බන්ධයෙන් තවදුරටත් කටයුතු කිරීමට බලාපොරොත්තු නොවන බවට නීතිපතිවරයා රහස් පොලිසිය දැනුවත් කිරීම ජනමාධ්‍යවේදීන්ගේ විරෝධයට හේතුවී ඇත.
ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය වෙනුවෙන් එහි සභාපති දුමින්ද සම්පත් සහ ලේකම් රංග බණ්ඩාරනායක දැඩි විරෝධය පළ කර නිවේදනයක් නිකුත් කළේය. ජනාධිපතිවරණයේදී සහ මහමැතිවරණයේදී ජාතික ජන බලවේගය (ජාජබ) සහයෝගය දුන් විශ්‍රාමික හමුදා සහ පොලිස් ප්‍රජාව කළ බලපෑම හේතුවෙන් නීතිපතිවරයා වික්‍රමතුංග ඝාතනයේ සැකකරුවන් නිදහස් කිරීමට කටයුතු කළා ද යන සැකය එම සංගමය මතු කර ඇත.
නීතිපතිවරයා මෙම නිර්දේශය ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ කාලයේදී (2019 නොවැම්බර් 2022 ජුලි ) ලබා දුන්නා නම් ජවිපෙ/ජාජබ කරනු ලබන චෝදනා අපට හිතා ගත හැකිය. ඒ වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂට ඇඟිල්ල දිගු කර තිබූ බැවිනි. ආරක්ෂක ලේකම්වරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ කටයුතු කළ කාලයේ යුක්රේනයෙන් මිග් යානා මිලදී ගැනීම් සම්බන්ධයෙන් කළ මැදිහත්වීම හෙළිදරව් කිරීම හේතුවෙන් The Sunday Leader කර්තෘ මරා දැමූ බවට චෝදනා එල්ල විය. ඊට එරෙහිව ගෝඨාභය රාජපක්ෂ නීති මගින් කටයුතු කර ඇත.
වික්‍රමතුංග ඝාතනය හුදකලාව විමසා බැලිය නොහැක. වික්‍රමතුංග ඝාතනයේ උණුසුම මැකී යෑමට ප්‍රථම රිවිර පුවත්පත් සමූහයේ ප්‍රධාන කර්තෘ වූ උපාලි තෙන්නකෝන් කඩවත ඉඹුල්ගොඩදී මරා දැමීමට 2009 ජනවාරි 23 වන දින සහාසික උත්සහයක් කළේය. එම සිද්ධියේදී ඔහුගේ බිරිඳ ද තුවාල ලැබීය.
The Nation පුවත්පතේ සම කර්තෘ වූ කීත් නොයාර් 2008 මැයි මාසයේදී පැහැර ගෙන ගොස් දරුණු වධ හිංසාවට ලක්කිරීම සම්බන්ධයෙන් ද රාජපක්ෂ රජයට චෝදනා එල්ල විය. එවකට රිවිර ප්‍රධාන විධායක නිලධාරී ක්‍රිෂාන්ත කුරේ ඇතුළු නොයාර් මාධ්‍යවේදී මිතුරු මිතුරියන් වූ ලලිත් අලහකෝන්, රසික ජයකොඩි, මුන්සා මුෂ්ටාක්, ධරිශා බැස්ටියන්, වසන්ත සිරිවර්ධන සහ එවකට මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ අමාත්‍යවරයෙකු වූ කරු ජයසූරිය කළ මැදිහත්වීම නොවන්නට නොයාර්ට පන පිටින් නැවත ඒමට සිදුවන්නේ නැත. තමන්ගේ ම දෙහිවල ප්‍රදේශයේ පිහිටා තිබූ නිවාසය අසල පැහැර ගැනීමට ලක්වූ නොයාර්ව පැහැර ගනු ලැබූ කණ්ඩායම දෙහිවලටම ගෙන ආ බව නොරහසකි.
මෙම සිද්ධීන් තුනටම එකම කණ්ඩායම සම්බන්ධ බවට යහපාලන සමයේදී කළ පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය විය. අදටත් මෙම පරීක්ෂණවල අවසානයක් නොමැත. වික්‍රමතුංග ඝාතනය කිරීමට පැය 48 කට පෙර සිරස/MTV ආයතනයට කළ පහරදීම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් කළේ නැත. ඒ ඊට වගකිව යුතු එදා බලයේ සිටි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ආණ්ඩුව බැවිනි. මාධ්‍යයට එරෙහි ආණ්ඩුවේ මෙහෙයුම ක්‍රමානුකුලව ක්‍රියාත්මක කළ බව ඉතාමත් පැහැදිලිය. වික්‍රමතුංග ඝාතනය කිරීම සම්බන්ධයෙන් රාජපක්ෂ පාලනයට එරෙහිව නැගෙන චෝදනා විමසා බැලීමේදී අමතක කිරීමට නොහැකි කරුණු ඇත. එයින් ප්‍රධාන වන්නේ ඔහු මහින්ද රාජපක්ෂ ජනාධිපති සමග පැවැත්වූ එක්තරා ආකාරයක රහස් සම්බන්ධතාවයයි.
වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන ඕනෑම අයෙකු අනිවාර්යෙන්ම කියවිය යුතු ලිපියක් ඇත. ඒ මාධ්‍යවේදී උවිඳු කුරුකුලසූරිය 2013 ජනවාරි 08 වන දින Colombo Telegraph වෙබ් අඩවියේ පළ කළ “ The Politics Of The Decision To Kill Lasantha-According To Wife It’s Not Related To Journalism˜” ලිපියයි. වික්‍රමතුංග සමඟ ඉතාමත් සමීපව ආශ්‍රය කළ උවිඳුකුරුකුලසූරිය (https(//www.colombotelegraph.com/index.php/the-politics-of-the-decision-to-kill-lasantha-according-to-wife-its-not-related-to-journalism/) අවධාරණය කරන සත්‍යය අතිශයින් බරපතළය. ඇත්තවශයෙන් එම ලිපියේ සම්පූර්ණ සිංහල පරිවර්තනයක් විමසා බැලීමෙන් වර්තමාන නීතිපතිවරයා රහස් පොලිසියට කළ නිර්දේශය වඩාත් හොඳින් තේරුම් ගැනීමට පුළුවන් වේ.
ඉහත සඳහන් සිද්ධීන් තුනට අමතරව මාධ්‍යවේදී පෝද්දල ජයන්තව 2009 ජුනි 1 පැහැර ගැනීම සහ දරුණු පහර දීමකට ලක්කිරීම ද එවකට තිබූ ආණ්ඩුවේ මෙහෙයුමකි. අදටත් ඔහුට යුක්තිය ඉටු වූයේ නැත. ත්‍රස්තවාදය පරාජය කළ පසුව ප්‍රථමයෙන්ම පහරදීමට ලක්වූ මාධ්‍යවේදී පෝද්දල ජයන්තයි.
ජවිපෙ සහ බෙදුම්වාදී ත්‍රස්තවාදය රටම වෙලාගෙන තිබූ කාලයේ සහ එයින් පසුවත් යම් මාධ්‍ය දේශපාලන න්‍යාය පත්‍රයකට වැඩකළ බව නොරහසකි. බෙදුම්වාදී ත්‍රස්තවාදය පරාජය කිරීමට හමුදාවට අනභිභවනීය නායකත්වයක් දුන් ෆොන්සේකා තමන්ට නිරන්තරයෙන් අපහස කළ එජාපය හරහා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ එම වැඩසටහන අනුකුලවය. ත්‍රස්තවාදය පරාජය කළ ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය ඉදිරියේ අසරණ කළ යුද අපරාධ චෝදනාව ෆොන්සේකා පොදු අපේක්ෂකයා ලෙස The Sunday Leader හරහා 2010 ජනාධිපතිවරණයට පෙර කළේ රටේ අවාසනාවට බව නොකියා බැරිය. ද්‍රවිඩ ඡන්ද ඉලක්ක කර එම අශුද්ධ සන්ධානය නොකළ දෙයක් නැත. ෆොන්සේකා උතුර සහ නැගෙනහිර ජයග්‍රහණය කළේය. නමුත් ශ්‍රී ලංකාව වැඩි ඡන්ද මිලියන 1.9 කින් මහින්ද රාජපක්ෂව ජයග්‍රහණය කළේය.
යුද සමයේ සහ ඊට ආසන්න කාලයේදී මාධ්‍යවේදීන් ඉලක්ක කර ක්‍රියාත්මක කළ භීෂණයට අමතරව දැඩි මහජන අවධානයක් ලැබූ සිදුවීමක් වූයේ මොහමඩ් වසීම් තාජුදින් ඝාතනයයි. පොලිස් පරීක්ෂණ සමස්තයක් ලෙස පවතින රජයට අවශ්‍ය ආකාරයට සිදු කරන බවට දිය හැකි හොඳම උදාහරණයක් වන්නේ තාජුදින් ඝාතනයයි. වසර 2012 මැයි 17 වන දින නාරාහේන්පිට පොලිස් වසමේ ක්‍රියාත්මක කළ ඝාතන සැලසුම පළමුව පොලිසිය රිය අනතුරක් ලෙස සැලකු බව අමතක කළ නොහැකිය. අදටත් තාජුදින්ට යුක්තිය ඉටු වූයේ නැත.
ශමින්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ