සන්ඩේ ලීඩර් හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් සිදු කෙරෙන නඩු කටයුත්ත සාධාරණව සිදු නොකරන බව කියමින් නීතිපතිට එරෙහිව නීතිපති කාර්යාලය ඉදිරිපිට පසුගියදා පැවැති උද්ඝෝෂණය අතරතුර….
- ඡායාරූපය – නිශාන් එස්. ප්‍රියන්ත
ලසන්ත ඝාතනය ගැන අලුත් පරිච්ඡේදයක් – අගමැතිනිය
ලසන්ත වික්‍රමතුංග ඝාතනය පිළිබඳ නව විමර්ශනයක් ආරම්භ කිරීමට හෝ සාක්ෂි නැවත ගොනු කිරීමට අවශ්‍ය නම් අපි ඒ වෙනුවෙන් කටයුතු කරනවා යැයි අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය කීවාය.
මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් ඔහුගේ දියණිය අහිම්සා විසින් යොමු කරන ලද ලිපිය තමන් වෙත ලැබී ඇති බවත්, ලසන්ත වික්‍රමතුංග මහතා වෙනුවෙන් යුක්තිය ඉටුකිරීමට රජයට ගත හැකි සෑම නීතිමය පියවරක්ම ගන්නා බවත් අගමැතිනිය 07 වැනිදා පාර්ලිමේන්තුවේදී පැවසුවාය.
“මේ සිද්ධිය සම්බන්ධයෙන් අපේ රජයේ ස්ථාවරය ඉතා පැහැදිලියි. ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් යුක්තිය පසිඳලීමට අපි සූදානම්, ඉස්සරත් අපගේ ස්ථාවරය වුණේ ඒක. වර්තමානයේ ද අපගේ ස්ථාවරය එයයි. අහිම්සාගේ කනස්සල්ල සහ ඇයට මේ මොහොතේ දැනෙන වේදනාව මට හොඳින් තේරෙනවා, මෙම කාරණය සම්බන්ධයෙන් යුක්තිය ඉටුකිරීමට අපි හැකි සෑම දෙයක්ම කරන බවට මම ඇයට සහතික වෙනවා. නීතිපති කාර්යාලයට ඒ සඳහා අවශ්‍ය ස්වාධීනත්වය ලබා දීලා, අවශ්‍ය නීතිමය ක්‍රියා පටිපාටිය අනුගමනය කිරීමට අපි අපේ උපරිමයෙන් කටයුතු කරනවා.
ලසන්ත වික්‍රමතුංග ඝාතනය පිළිබඳ නව විමර්ශනයක් ආරම්භ කිරීමට හෝ සාක්ෂි නැවත ගොනු කිරීමට අවශ්‍ය නම් අපි ඒ වෙනුවෙන් කටයුතු කරනවා. අවශ්‍ය නම් අලුතින් නඩු පවරන්නත් කටයුතු කරනවා විතරක් නෙමෙයි යුක්තිය ඉටු කිරීම වෙනුවෙන් කළ හැකි සෑම නීතිමය පියවරක්ම ගන්නවා යැයි ද අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
සැකකරුවන් ගැන නීතිපති ස්ථාවරය කියයි
මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් නිදහස් කළ ද ඒ පිළිබඳ නව සාක්ෂි හෙළිදරව් වුවහොත් ඔවුනට එරෙහිව නැවත අපරාධ චෝදනා ගොනු කිරීමට බාධාවක් නොවන බව නීතිපති දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.
මෙම ඝාතනය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශන මෙතෙක් අවසන් වී නොමැති බවත් ඒ මහතා පැද වූ වාහනයේ තිබූ ලේඛනයක් අස්ථානගත වීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනකුට එරෙහිව චෝදනා ගොනු කිරීමට ප්‍රමාණවත් සාක්ෂි නොමැතිවීම මත ඔවුන් නිදහස් කිරීමට තීරණය කළ බව ද නීතිපතිවරයා වෙනුවෙන් එම දෙපාර්තමේන්තුවේ රජයේ අධිනීතිඥ (පරිපාලන) ඇන්ජලෝ වැන්නොෆ් මහතා විසින් නිකුත් කර ඇති නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
කමල් බෝගොඩ