ලාංකීය සිනමාවේ නළුවා බිහිකළ ගාමිණී

300

අදට (30) යෙදෙන 18 වන ගුණ සමරුව නිමිත්තෙනි.

ගාමිණී ෆොන්සේකා, එඩී සහ රුක්මණීගෙන් පසු මෙරට බිහිවූ අතිශය ජනප්‍රිය ‘තාරකාව’ ක් පමණක් නොව නිදහසින් පසුව මෙරට සමාජ ස්තරයේ අද්දරටම තල්ලු කර දමා තුබූ ප්‍රේක්‍ෂක පිරිසකගේ සමාජ, දේශපාලනික ගැටලුවලට ආමන්ත්‍රණය කිරීම තුළින් විශාල, විස්තීර්ණ ප්‍රේක්‍ෂක පිරිසක් බිහිකර ගැනීමට උත්සාහ කළ නළුවෙකි. ලාංකික සිනමාවේ ‘නළුවා’ බිහිවුණේ ගාමිණී ෆොන්සේකාගෙන් පසුව යැයි තර්ක කිරීම බොහෝ දුරට සාධාරණය, එනම් ලාංකික සිනමාවේ නළු රඟපෑම්වල ස්වාධීන ශෛලියක් ගොඩනගා ගන්නට පුරෝගාමී වූ නළුවාද විය.

ලාංකීය සිනමාවේ නළුවා බිහිකළ ගාමිණී

ඇතැම් අධ්‍යක්‍ෂවරුන්ගේ රූපගත කිරීම්, ආඛ්‍යාන ව්‍යුහය, කැමරාකරණය, අධ්‍යක්‍ෂණය කෙරෙහි පවා බලපෑම් කරන්නට ඔහු ඉදිරිපත් වූ බව ක්‍ෂේත්‍රයේ විවෘත සත්‍යයකි. සමීප රූප බහුල වීම, සංස්කරණයේදී වඩාත් කැපී පෙනෙන ලෙස චරිතය ගොඩනංවා ගැනීම, රූප ශෛලිය (pattern of shot) අක්ෂි ධාවන පථය ඒකමතිකත්වයකට (eye line matching) රැගෙන ඒම ආදිය තුළින් මුහුණ කෙරේ අවධාරණයක් එක් කර ගැනීමට ගාමිණී ෆොන්සේකා ඉදිරිපත් විය. තම ප්‍රතිරූපය ස්ථාවර තත්ත්වයක රඳවා ගැනීමට විද්‍යාත්මක ක්‍රමයක් අනුගමනය කළ නළුවකු ලෙස ඔහු ප්‍රකටය. ඔහු එතර තිර නාටක පවා නැවත සකස් කරවා ගත් අවස්ථා ගැන අසන්නට ලැබේ. ඒ අනුව නළුවකුගේ මුහුණ යම් ප්‍රබල අර්ථයක් උත්පාදනය කරන ප්‍රභවයක් ලෙස සකස් කර ගන්නට ගාමිණී ෆොන්සේකා ඉදිරිපත් විය. දෙවනුව නළුවකුගේ දේහය තම පෞරුෂත්වයේ ප්‍රකාශනයක් බවට පත්කර ගැනීමට ද ඔහු උනන්දු විය. ඔහුට පෙර බිහිවූ නළුවන් හෝ නිළියන් සිය රූපය හෝ රඟපෑම් ශෛලිය මෙන්ම ප්‍රේක්ෂකයන් ගැන උනන්දු වුණේ නැති තරම්ය. ඔවුන්ගේ වැඩි අවධානය යොමු වුණේ නිරායාසයෙන් ලැබෙන ජනප්‍රියත්වයක් පිළිබඳය. ඒ නිසා චිත්‍රපටවල ඔවුනට ලැබෙන රංගන අවකාශයේ ප්‍රබලතාව ඔවුන්ට වැටහුණේ නැත.

ලාංකීය සිනමාවේ නළුවා බිහිකළ ගාමිණී

ගාමිණී ෆොන්සේකා මුල් වරට රඟපෑමක දී කැමරාවේ කාර්යභාරය කෙතරම් වැදගත් ද යන්න වටහා දුන්නේය. ඒ නිසා සිනමා කර්මාන්තය තුළ නළුවාට හෝ නිළියට ලැබිය යුතු ප්‍රාග්ධනය සමාජීය වශයෙන් පමණක් නොව ආර්ථික වශයෙන් ද යෝග්‍ය මට්ටමක් කරා රැගෙන යෑමට ගාමිණී පුරෝගාමී විය. අනෙක් කරුණ ඉහළ බුද්ධිමය ප්‍රේක්‍ෂක ස්ථරය තුළ මෙන්ම මධ්‍යම, අඩු ආදායම් ලබන ප්‍රේක්‍ෂක ස්ථර තුළ ද එකසේ ජනප්‍රියත්වයක් පතුරුවා ගැනීම තාරකාවකට ඉතා වැදගත් බව ගාමිණී විසින් ඔප්පු කරනු ලැබීමයි. ‘සූරයන්ගෙත් සූරයා’ ‘හතර දෙනාම සූරයෝ’, ‘චණ්ඩියා’, ‘හොරුන්ගෙත් හොරු’, ‘කළියුගය’, ‘පරසතු මල්, ‘නිධානය’, ‘නොමියෙන මිනිස්සු’, ‘සරුංගලේ’ ආදී චිත්‍රපට සලකා බලන විට ඉතා පුළුල් විෂය ක්‍ෂේත්‍රයක් ආවරණය කරන බැව් පෙනේ. මේ ආවරණයේ ඇති වැදගත්කම වන්නේ ඇතැම් තාරකාවන් ප්‍රේක්‍ෂකයා බලාපොරොත්තු වන දේ අභිබවා, විශාල කාර්යභාරයක් ඉටු කරන බවයි. එනම් රඟපෑම පිළිබඳ නව පරිමාණයක් බිහි කිරීම, සිනමාව දේශපාලන සන්නිවේදන මාර්ගයක් ලෙස භාවිත කිරීම, නළු නිළියන්ගේ වෘත්තීය ගරුත්වය දිනා ගැනීම, සිනමාව සමාජ ව්‍යාපාරයක් ලෙස උපයෝගී කර ගැනීම ආදිය නිසා ගාමිණී ෆොන්සේකා හුදු තාරකාවක් පමණක්ම නොවන වග ඔප්පු කරයි. රඟපෑම ස්ථාවර වෘත්තියෙකැයි යන හැඟීම මුල් බැස ගැනීමට ද ගාමිණී ෆොන්සේකාගේ කාර්යභාරය බොහෝ දුරටම ඉවහල් විය.

● ගාමිණී විජේතුංග
2001 ‘සිනෙසිත්’ වෙත කරන ලද සටහනකි.

advertistmentadvertistment
advertistmentadvertistment