2000 දශකයේ අග භාගය වන විට (පිරිමි) ක්‍රිකට් ක්‍රීඩාවේ අපූරු වාර්තාවක් ශ්‍රී ලංකාව නමින් ලියැවී තිබුණි.

ඒ වනවිට ක්‍රිකට් ක්‍රීඩාවේ පැවැති සෑම ආකෘතියකම ඉහළම කණ්ඩායම් ලකුණු ගණනේ වාර්තාව ශ්‍රී ලංකාව ඉදිරියේ සටහන් විය. ක්‍රිකට් ක්‍රීඩාවේ උත්තරීතරම ආකෘතිය වන ටෙස්ට් ආකෘතියේ කණ්ඩායමක් රැස් කළ ඉහළම ලකුණු ගණන ලියැවී තිබුණේ ශ්‍රී ලංකාව නමිනි.

ඒ ඉන්දියාවට එරෙහිව කඩුලු හයකට ලකුණු 952 කි. එම ඉනිමේ වැඩිම ලකුණු ලාභියා ලකුණු 340 ක් රැස් කළ සනත් ජයසූරියයි. එවකට ක්‍රිකට් ක්‍රීඩාවේ ජනප්‍රියතම ආකෘතිය වූ එක්දින ක්‍රීඩාවේ වැඩිම ලකුණ ලිය වී තිබුණේත් ශ්‍රී ලංකාවේ නමිනි.

ඒ 2006 වසරේ දී නෙදර්ලන්තයට එරෙහිව රැස් කළ ලකුණු 443 යි. එම ඉනිමේ වැඩිම ලකුණු ලාභියාත් ලකුණු 157 ක් රැස් කළ සනත් ජයසූරියයි. ක්‍රිකට් ක්‍රීඩාවට තවමත් නෑඹූල් වූ, T20 ක්‍රීඩාවේත් ඉහළම කණ්ඩායම් ලකුණ ශ්‍රී ලංකාව විසින් රැස් කර තිබුණි.

2007 වසරේ පැවැති පළමු T20 ලෝක කුසලානයේ දී කෙන්යාවට එරෙහිව ශ්‍රී ලංකාව ලකුණු 260 ක් ලබා ගත්තේය. එම ඉනිමේත් වැඩිම ලකුණු ලාභියා සනත් ජයසූරියයි. පන්දු 44 කින් ඔහු ලබා ගත් ලකුණු 88, තවත් ලෝක වාර්තාවකට පදනම දැමීය. ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ සනත් ජයසූරිය සාධකය කොතරම් විශාල දැයි කීමට මේ එක් උදාහරණයක් පමණි.

සනත් ජයසූරිය දැවී ගිය විට රූපවාහිනිය නිවා දමනා පුරුද්දක් මෙරට ක්‍රිකට් රසිකයන්ට විය. ශ්‍රී ලංකාව පුරා බෝවී ගිය ක්‍රිකට් උන්මාදයට ප්‍රධාන හේතුව සනත් ජයසූරියයි. මෙරට ක්‍රිකට් ක්‍රීඩාව ලබාගත් බොහෝ ජයග්‍රහණ පසුපස සිටි සෙවණැල්ල සනත් ජයසූරියයි. දැන් සනත් ක්‍රීඩා කරන්නේ නැත. තවමත් ඔහු මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ පුරාවෘත්තයකි.

සනත් තරම්ම මෙරට ක්‍රිකට් ක්‍රීඩාවට බලපෑමක් සිදු කරනා, ක්‍රිකට් පිස්සුව බෝ කරනා තවත් චරිතයක් සිටියි. ඒ ක්‍රීඩකයෙක් නොවේ. කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව මෙරට රසිකයන් අතර ව්‍යාප්ත කිරීමට මුල් වූ ක්‍රීඩිකාවයි. ඇය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු ය. කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව කිසි දිනෙක ශ්‍රී ලංකාවේ ජනප්‍රිය ක්‍රීඩාවක් නොවීය. ඒ වටා රසිකයන් සිටියේ නැත. ඒ වටා අනුග්‍රාහකයන් සිටියේ නැත. එම නිසාම ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් ද කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවට ඉහළ අවදානයක් හිමි නොවීය.

ශ්‍රී ලංකාවට ක්‍රිකට් යනු ජාතික පිරිමි කණ්ඩායම පමණක් විය. ශෂිකලා සිරිවර්ධන වැනි චරිත එම තත්ත්වය වෙනස් කිරීමට සටන් කෙරුවත්, දහස් ගණනක නොසැලකීම් හමුවේ එම සටන ප්‍රමාණවත් වූයේ නැත. අතපත්තු මුදියන්සේලාගේ චමරි ජයංගනී මෙරට කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවට අත්පොත් තබන්නේ ඒ අතරය.

ජාතික පිරිමි කණ්ඩායමට එතරම් ක්‍රීඩකයන් බිහි කර නොමැති වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කය ඇයගේ ජන්ම භූමිය විය. සනත් මෙන්ම චමරි ද ආරම්භක පිත්කරණ ස්ථානයක ක්‍රීඩා කරයි. සනත් මෙන්ම චමරි ද වමතින් පිත්ත හසුරුවයි. සනත් මෙන්ම චමරි ද ප්‍රවේගකාරී ය. චමරි පැමිණෙන විට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව තිබුණේ ගෝලීය ක්‍රිකට් ක්‍රීඩාවේ යට අඩියේ ය. ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව ජයග්‍රහණ ලබා නොතිබූ තරම් විය.

මෙරට කාන්තා කණ්ඩායම ප්‍රබල කණ්ඩායම්වලට කිසි දිනෙක අභියෝගයක් නොවීය. එංගලන්තය, ඔස්ට්‍රේලියාව, ඉන්දියාව, දකුණු අප්‍රිකාව, නවසීලන්තය, කොදෙව් දූපත් සහ පකිස්තානය කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ කෙරුමන් විය. චමරි ගේ ආගමනයෙන් පසුව කාන්තා ක්‍රිකට් කණ්ඩායම ඉඳහිට තරග ජය ගත්තාය. එම ජයග්‍රහණ වෙනදාට වඩා රසිකයන් අතර කතාබහට ලක් විය. මන්ද ඒ බොහෝ ජයග්‍රහණ පසුපස නිතරම කියවුණු හුදෙකලා නමක් විය. ඒ චමරි අතපත්තු ය.

එක් අන්තයක තනිව ඇය විසින් ගොඩනැඟූ ප්‍රවේගකාරී ඉනිම් ශ්‍රී ලංකාව පමණක් නොව, ගෝලීය ක්‍රිකට් ක්‍රීඩාවේ ද ශීර්ෂ පාඨ නිර්මාණය කළේය. ඇයගේ පිත්ත බොහෝ රුදුරු විය. ඇයගේ පහරවල් බොහෝ ප්‍රචන්ඩ විය. ඒවා කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ ලාලිත්‍යයට අභියෝග කිරීමට තරම් ප්‍රවේගකාරී විය. හරියට 90 දශකයේ සනත් ජයසූරිය ක්‍රිකට් ක්‍රීඩාවේ හැඩයට සිදු කළ වෙනස මෙන්ම, සිංහ ජර්සිය හැඳී චමරි අතපත්තුගේ ප්‍රවේගකාරී පිතිකරණය කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවට නැවුම් අත්දැකීමක් විය.

ඒ නිසාමදෝ කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව මෙරට රසිකයන් අතර ද කතාබහට ලක් විය. කාන්තා ක්‍රිකට් තරග නරඹන රසික පිරිසක් නිර්මාණය විය. ඒ සියල්ලටම හේතුව චමරි අතපත්තු ය. ඉතිහාසයේ මුල්ම වරට ගෝලීය ශ්‍රේණිගත කිරීම් හි ඉහළටම පැමිණි ක්‍රීඩිකාවක් ශ්‍රී ලංකාවෙන් බිහි වී තිබුණි. ක්‍රීඩිකාවක් පමණක් නොව නායිකාවක් වශයෙන් ද චමරි බොහෝ සාර්ථක විය. තමන්ට පමණක් හුදෙකලාව සැමදා තරග දිනවීම ස්ථිර, තිරසාර ක්‍රමවේදය නොවන බව ඇය දැන සිටියාය.

තරග දිනවිය හැකි, ලෝක මට්ටමේ ක්‍රීඩිකාවන් පිරුණු කණ්ඩායමක් ඇයගේ සිහිනය විය. ඇය නවක ක්‍රීඩිකාවන් කණ්ඩායමට ගෙන ආවා ය. ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවන්ට වගකීම් පැවරුවා ය. මේ සියල්ලටම වඩා අපිටද තරග ජයගත හැකි ය යන ආත්ම විශ්වාසය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ ඇති කළාය. ඒ සියල්ල සිදු කළේ චමරි ය.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ පුනරුදය සහ ස්වර්ණමය යුගය ඇතිවන්නේ 2022 වසරේ සිටය. 2022 වසරේ ඔක්තෝම්බර් මාසයේ පැවැති ආසියානු කුසලානයේ දී පාකිස්තානය පරාජය කළ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ආසියානු කුසලානයේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබුවාය. පාකිස්තානය සහ ඉන්දියාව ආසියානු කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ යෝධයන් ය. ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අවසන් මහා තරගයට පැමිණීම කිසිවකුත් බලාපොරොත්තු නොවූ දෙයකි.

2023 කාන්තා T20 ලෝක කුසලානයේ පළමු තරගයේ දී ශ්‍රී ලංකාව සත්කාරක දකුණු අප්‍රිකාව පරාජය කළා ය. දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම ශ්‍රේණිගත කිරීම්වල ඉහළම සිටිනා කණ්ඩායමකි. පසුව ඔවුන් තරගාවලියේ අවසන් මහා තරගයටද සුදුසුකම් ලැබුවාය. තරගයේ ක්‍රීඩිකාව (POM) චමරි අතපත්තු ය. 2023 වසරේ ජූනි මාසයේ දී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඉතිහාසයේ පළමු වරට එක්දින තරගාවලියකින් නවසීලන්තය පරාජය කළාය. තරගාවලියේ ක්‍රීඩිකාව (POS) චමරි අතපත්තු ය.

2023 සැප්තැම්බර් මාසයේ දී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම මුල්ම වරට එංගලන්තය, ඔවුන්ගේ මව් රටේදීම T20 තරගාවලියකින් පරාජය කළාය.

තරගාවලියේ ක්‍රීඩිකාව චමරි අතපත්තු ය. 2024 වසරේ අප්‍රේල් මාසයේ දී ශ්‍රී ලංකාව දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහිව ඔවුන්ගේ රටේදීම T20 තරගාවලියකින් ජයග්‍රහණය ලැබුවාය. ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම එවැනි ජයක් ලැබුවේ මුල්ම වරටය. දකුණු අප්‍රිකාව යනු කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ දැවැන්තම කණ්ඩායමකි.

ඔ20 ලෝක කුසලානයේ අනුශූරතාවය පවා ජයග්‍රහණය කළේ ඔවුන් ය. තරගාවලියේ පළමු තරගය දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායම ජය ගත්තාය. දෙවන තරගයේ ජයග්‍රහණය ශ්‍රී ලංකාවට හිමි විය. තීරණාත්මක තෙවන තරගයද ජයගත් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඓතිහාසික ජයග්‍රහණය සළකුණු කළාය. එම තරගයේ ක්‍රීඩිකාව සම්මානයත් පන්දු 46 කින් ලකුණු 73 ක් ලබාගත් චමරිට හිමිවිය. ඉන් පසුව ඇරඹුනේ එක්දින තරගාවලියයි. පළමු තරගය වර්ෂාව නිසා අත්හැර දැමුණි.

දෙවන තරගය දකුණු අප්‍රිකානු කාන්තාවෝ ජයගත්හ. තීරණාත්මක තෙවන තරගය ජය ගනිමින් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම, තරගාවලිය 1 – 1ක් ලෙස සම තත්ත්වයෙන් අවසන් කිරීමට සමත් විය. එය කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ වාර්තා පොත් අලුත් කෙරුණු තරගයකි. ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම ලකුණු 301 ක යෝධ ලකුණු පුවරුවක් නිර්මාණය කළාය. කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ කිසිම දිනෙක එක්දින තරගයක දී ලකුණු 300 ක් හඹා ගොස් ජයග්‍රහණය කර තිබුණේ නැත.

එම නිසා දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම බොහෝ සැහැල්ලුවෙන් පන්දු රැකීමට පිටියට පැමිණෙන්නට ඇත. මන්ද ජයග්‍රහණය නියත ය. එනමුත් ඔවුන්ට අමතක වූ සාධකයක් ද විය. එනම් චමරි අතපත්තු ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට ක්‍රීඩා කරන බවය. තරගයේ ආරම්භයේ සිටම චමරි දුම්මල වරම අතට ගත්තාය. පිටිය හතර වටේටම ඇයගෙන් ප්‍රහාර එල්ල විය. ජයග්‍රහණයෙන් මෙපිට සෑහීමකට පත්වීමට චමරි සූදානම් නැති බව පෙනෙන්නට තිබුණි.

ඒ මොහොතේ දකුණු අප්‍රිකානු පන්දු රකින්නියන් නරඹන්නන් බවට පත් වී තිබුණි. දකුණු අප්‍රිකානු පන්දු යවන්නියන් කරකියා ගත දෙයක් නොමැතිව අන්ත අසරණ වී සිටියාය. අවසානයේ පන්දු වාර 44.3 ක් තුළ ශ්‍රී ලංකාව ලකුණු 305 ක් ලබා ගනිමින් තරගය ජයගත්තාය. පන්දු 139 කින් ලකුණු 195 ක් ලබා ගත් චමරි, සුපුරුදු පරිදී ශ්‍රී ලංකා ඉනිමේ නැංගූරම විය. ඇයගේ ඉනිමට යෝධ හයේ පහර පහක් සහ හතරේ පහර 23 ක් එක් වී තිබුණි. තරගයේ ක්‍රීඩිකාව සම්මානය ඇයට හිමි විය.

මේ චමරි රැස් කළ නව වෙනි එක්දින ශතකයයි. ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ වෙනත් කිසිදු ක්‍රීඩිකාවක් එක්දින ශතකයක් ලබා ගැනීමට සමත් වී නොමැත. ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ චමරි සාධකය කොතරම් විශාල දැයි එයින් පෙනේ. එය ජාතික (පිරිමි) කණ්ඩායමට සනත් ජයසූරිය සිදු කළාටත් වඩා විශාල, ධනාත්මක බලපෑමකි. මේ සියලුම ජයග්‍රහණ සමග ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ක්‍රීඩා ඉතිහාසයේ කිසි දිනෙක නොලැබූ ජයග්‍රහණයන් පසුගිය සමයේ වාර්තා කළාය.

ඉතිහාසයේ මුල්ම වරට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ලොව ප්‍රබලතම කණ්ඩායම් අතරට පැමිණ තිබේ. එමෙන්ම මෙරට යොවුන් දැරියන් අතර ද ක්‍රිකට් උන්මාදයක් ඇතිව තිබේ. පසුගිය දිනවල ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් දහනමයෙන් පහළ කාන්තා කණ්ඩායමට, ඔස්ට්‍රේලියාව සහ එංගලන්තය සමග තුන්කෝන් තරගාවලියක් සංවිධානය කර තිබුණි. එම තරගාවලිය නියෝජනය කළ බහුතර ක්‍රීඩිකාවන් දුෂ්කර, ගම්බද ප්‍රදේශයන් නියෝජනය කළ ක්‍රීඩිකාවන් ය.

ඔවුන් දැඩි ආත්ම විශ්වාසයකින් ක්‍රීඩා කළාය. ප්‍රබල ඔස්ට්‍රේලියාව සහ එංගලන්තයට එරෙහිව ජයග්‍රහණ වාර්තා කළාය. ඉතින් මෙරට කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ නව ප්‍රබෝධයක් ඇතිව තිබෙනා බව පැහැදිලිය. කලක් ‘පිරිමින්ට’ පමණක් සීමා වූ ක්‍රිකට් ක්‍රීඩාව මෙරට කාන්තා පාර්ශ්වය අතරත් ජනප්‍රිය වී තිබේ. ජාතික කණ්ඩායමේ (පිරිමි) තරග නරඹමින් පමණක් සිටි කාන්තාවන් අතර, ඔවුන්ටත් ක්‍රිකට් ක්‍රීඩාවෙන් ජයග්‍රහණ ලැබිය හැකි බවට ආත්ම විශ්වාසයක් ඇති ව තිබේ.

සිය ආදරණීය දියණිවරුන්ට අධ්‍යාපනයෙන් හා රංගනය වැනි ක්ෂේත්‍රවලින් පමණක් නොව, ක්‍රිකට් ක්‍රීඩාවෙන් ද ලෝකය දිනිය හැකි බවට මතයක් දෙමාපියන් අතර ගොඩනැඟී තිබේ. අව් රශ්මිය නිසා අවපැහැ ගැන්වෙන සම නිසා ජීවිතයම අඳුරු වේ යැයි බියෙන් සිටි ජාතියේ දියණියන්, ක්‍රිකට් ක්‍රීඩා කිරීමට පිටියට පැමිණ තිබේ. මුදල් ඉපැයිය හැක්කේ පිරිමි කණ්ඩායමෙන් පමණක් බවත්, කාන්තා කණ්ඩායම අනවශ්‍ය වියදමක් පමණක් බවටත් ස්ථිර මතයක සිටි ක්‍රිකට් පරිපාලකයන් කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවටත් ආයෝජනය කිරීමට තීරණය කර තිබේ.

කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවට අනුග්‍රාහකත්වය දැක්වීමෙන් තමන්ට කිසිවක් නොලැබෙන බවට විශ්වාස කළ අනුග්‍රාහකයන් ද කාන්තා කණ්ඩායම පිළිබඳවත් උනන්දු වෙමින් තිබේ. මෙතෙක් කාන්තා කණ්ඩායමෙන් එක් නමක් පමණක් දැන සිටි ක්‍රිකට් රසිකයන්, දහනමයෙන් පහළ කාන්තා කණ්ඩායමේ ‘බට්ටි’ ගැන පවා කතා කරමින් සිටී. මෙරට කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව වටා ඇතිව තිබෙනා එම ප්‍රබෝධයටත්, ආකර්ෂණයටත් ප්‍රධාන හේතුව චමරි අතපත්තු ය.

මෙරට කාන්තා කණ්ඩායම ගෝලීය පුවත් ශීර්ෂ පාඨ අතරට රැගෙන ගියේ චමරි ය. ශ්‍රී ලංකා කාන්තාවකටත් ක්‍රිකට් ක්‍රීඩාවෙන් ලෝකය දිනිය හැකි බව රටට ඔප්පු කළේ ඇය ය. ශ්‍රී ලංකා කාන්තා ක්‍රීඩිකාවන්ටත් තරග ජය ගත හැකි බව පෙන්වූයේ ඇය ය. කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවන්ටත් ජනප්‍රිය විය හැකි බව පෙන්වූයේ ඇය ය.

කාන්තාවකටත් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සවිමත් ආර්ථිකයක් උරුම කරගත හැකි බව පෙන්නුවේ චමරී ය. අද ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම වෙනුවෙන් තරග ජයග්‍රහණය කරනා හර්ෂිතාලාත්, කවීෂා දිල්හාරිලාත්, මොනරාගලින් පැමිණ ක්‍රිකට් ක්‍රීඩා කරනා බට්ටිලාත්, සියලුම දෙනා ගොඩනැඟුණේ චමරි දෙස බලාගෙනය. ඔවුන්ට ආදර්ශයන් සැපයූවේ චමරි ය.

චමරි අතපත්තු ක්‍රීඩා කිරීමට පෙර ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව විශාල ජයග්‍රහණ දිනා තිබුණේ නැත. ක්‍රිකට් ක්‍රීඩාවේ සෑම ආකෘතියකම ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සිටියේ පහළ අඩියේ ය. ඒ සමයේ මෙරට තරුණියන් අතර ක්‍රිකට් පිළිබඳ උන්මාදයක් සහ විශ්වාසයක් ගොඩනැඟී තිබුණේ නැත. ක්‍රිකට් පිරිමින්ගේ ක්‍රීඩාවක් පමණක් විය.

වර්තමානයේ ශ්‍රී ලංකා කාන්තා ක්‍රීඩාව ලබනා ජයග්‍රහණයන් පමණක් නොවේ, මෙරට කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව වටා ඇති පුනරුදය නිර්මාණය වීමට විශාලතම හේතුව චමරි ය. ඇය කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ පමණක් නොව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවෙන්ම බිහි වූ පුරාවෘත්තයකි. දකුණු අප්‍රිකානු තරගාවලියෙන් පසු චමරි සිය සමුගැන්ම පිළිබඳව ඉඟි කරමින් සමාජ මාධ්‍යයේ සටහනක් ද ලියා තිබුණි. 1990 වසරේ පෙබරවාරි මස නව වෙනිදා උපන් චමරි, 34 හැවිරිදි ක්‍රීඩිකාවකි. ඇතැම් විටෙක ඇය සිය සමුගැන්ම පිළිබඳව සළකා බලමින් සිටිනවා විය හැක.

එනමුදු 2025 වසරේ ඉන්දියාවේ දී පැවැත්වෙන කාන්තා ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයට ශ්‍රී ලංකාව රැගෙන ඒම ඇයගේ සිහිනය බව චමරි මාධ්‍යයට කියා තිබුණි. ඇයගේ දක්ෂතාවයේ සහ කැපවීමේ පරිමාව අනුව එය එතරම් දුර නොමැති, යථාර්ථවාදී ඉලක්කයකි. මෙරට කාන්තා කණ්ඩායම මෑතක සිට ලබමින් සිටිනා ජයග්‍රහණවලට අනුව ලෝක කුසලානයේ හොඳම කණ්ඩායම් හතර අතරට පැමිණීම චමරි ප්‍රමුඛ කෙල්ලන්ට ළඟා කරගත හැකි ඉලක්කයකි. ඒ චමරි අතපත්තු මෙරට කාන්තා ක්‍රිකට් කණ්ඩායම තුළ ඇති කර තිබෙනා ආත්ම විශ්වාසයයි. කුමන අන්දමින් බැලූවත් ඇය සනත් ජයසූරිය සිදු කළ යහපත්, ධනාත්මක බලපෑමට සමාන බලපෑමක් මෙරට ක්‍රිකට් ක්‍රීඩාවට සිදු කර තිබේ. ඉතින් චමරි ද, සනත් ජයසූරිය මෙන්ම ආදරයට සහ ගෞරවයට ලක් විය යුතු මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ පුරාවෘත්තයකි.

මෙරට කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව බිහි කළ විශිෂ්ඨතම ක්‍රීඩිකාව වෙනුවෙන් ජාතිය කෘතගුණ දැක්විය යුතුය. ඇය වෙනුවෙන් කවි, ගී ලියැවිය යුතුය. මේට්ලන්ඩ් පෙදෙසෙහි පිහිටි ශ්‍රී ලංකා ක්‍රිකට් කෞතුකාගාරයේ ඇයගේ ජයග්‍රහණ වෙනුවෙන් ද ඉඩක් වෙන් විය යුතුය. සනත් ජයසූරිය තරම්ම චමරි අතපත්තුත් රටට වටිනා බව ජාතියේ දියණිවරුන් දැනගත යුතුය. මෙරට කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව තව තවත් දියුණු කළ හැකි, ගොඩනැඟිය හැකි එකම මාර්ගයත් එයම ය.

ඉරේෂාන් සිරිවර්ධන

advertistmentadvertistment
advertistmentadvertistment