ශ්‍රී ලංකාවේ වසරකට නව ලාදුරු රෝගීන් 2000ක් පමණ හඳුනාගන්නා බව ලාදුරු මර්දන ව්‍යාපාරය පවසයි. එම සංඛ්‍යාවෙන් සියයට 8ත් 10ත් අතර සංඛ්‍යාවක් ළමා රෝගීන් වේ.
ලාදුරු රෝගය යනු කුමක්ද?
බැක්ටීරියාවක් මගින් මිනිසාගෙන් මිනිසාට පමණක් බෝවන රෝගයකි.
රෝගය නිරෝගී අයෙකුට බෝවන්නේ කෙසේද?
ප්‍රතිකාර නොගන්නා රෝගීන්ගේ කැස්ස, ආශ්වාස ප්‍රශ්වාස මගින් පිටවන රෝගකාරක බැක්ටීරියා සහිත බිඳිති නිරෝගී අයකුගේ ශ්වසන මාර්ගය හරහා ශරීරයට ඇතුළු වේ.
එසේ ඇතුළු වුවත් ශරීරයේ ඇති ප්‍රතිශක්තිය නිසා බහුතරයකට රෝගය ඇති නොවේ. සියයට 10ක පමණ පිරිසකට රෝගය හටගනී.
ලාදුරු රෝගයේ රෝග ලක්ෂණ මොනවාද?
සමේ ස්පර්ශය සහ වේදනාව නොදැනෙන ලා පැහැති ලප ඇතිවීම, අත්වල හෝ පාදවල පවතින ස්පර්ශය සහ වේදනාව නොදැනීම, සමේ ගැටිති හෝ කන් පෙති ඝනවීම, පාදයේ වළලුකරට පහළ කොටස අප්‍රාණික වීම, අත්වල ඇඟිලි වකුටුවීම.
ලාදුරු රෝග ලක්ෂණ ගැන ගණන් නොගැනීම හෝ ප්‍රතිකාර නොගැනීම නිසා කුමක් සිදුවේද?
වීරූපි වීම්, සදාකාලික ශාරීරික දුබලතාවලට ලක්විය හැකිය.
ලාදුරු රෝගය සුව කළ හැකිද?
රෝග ලක්ෂණ පහළ වූ වහාම නිසි ප්‍රතිකාර ආරම්භ කළහොත් රෝගය මුළුමනින්ම සුවකළ හැකිය.
ලාදුරු සඳහා කෙටිකාලීන ප්‍රත්‍යක්ෂ ඖෂධ ඇත. ප්‍රතිකාර කාලය රෝග ලක්ෂණ පැතිරීම අනුව මාස 6ක් හෝ 12ක් විය හැකිය.
ලාදුරු රෝගය සඳහා ප්‍රතිකාර මොනවාද?
මධ්‍යම ලාදුරු සායනය හා රජයේ රෝහල්වල සියලුම චර්ම රෝග සායන මගින් නොමිලේ ප්‍රතිකාර ලබාදේ.
තනිකිරීමක් හෝ රෝගීන් වෙන්කර තැබීමක් සිදු නොකරති.
රෝගය හඳුනාගත් සැණින් ප්‍රතිකාර ආරම්භ කරන අතර, රෝගයේ අවදිය අනුව මාස 6ක් හෝ 12ක් නොකඩවා ප්‍රතිකාර ලබාදේ.
සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ ලාදුරු රෝගය සම්බන්ධයෙන් පැවැති මාධ්‍ය හමුවක තොරතුරු ඇසුරිනි
ප්‍රදිප් ප්‍රසන්න සමරකෝන්