ලාබෙට බඩු නැති කාලේ අපි කන බොන බාල බඩු

147

ලංකාවේ මිනිස්සු කල දුටු කල වළ ඉහගෙන කෑමට හරි සූරයෝය. අනෙකා මළත් කමක් නැහැ තමන්ගේ මල්ල පිරේනම් ඕනෑම ජරා වැඩක් කිරීමට පසුබට නොවේ. මෙහි මුලටම සිටින්නේ වෙළෙඳ ප්‍රජාවයි. වෙළෙඳ ප්‍රජාව යැයි හැඳින්වුවද හැම දෙනාම නොව අතලොස්සක පිරිසක් පමණක් මෙම පිරිසට අයත් වේ. වෙළෙඳපොළේ භාණ්ඩ තිබුණත් නැතත් මිල නම් දවසින් දවස වැඩි වේ. මේ ගැන සොයා බැලීමට ඇති ආයතනය පාරිභෝගික සේවා අධිකාරියයි. පසුගිය කාලය දෙස බැලීමේදී පෙනී ගියේ එවැනි ආයතනයක් ලංකාවේ නොව වෙනත් රටක පිහිටි ආයතනයක් බවයි. වෙළෙන්දන් හිතූ හිතූ ලෙස මිල ගණන් වැඩි කරමින් වෙළෙඳ ඒකාධිකාරයක් පවත්වාගෙන ගියේ එම ආයතනවල ඇති දුර්වලතා සහ නිද්‍රාශීලී ස්වභාවයයි.

පසුගිය කාලය පුරාවටම මෙරට වෙළෙඳපොළ තුළ උග්‍ර භාණ්ඩ හිඟයක් ඇති විය. ඒ මෙරට දේශපාලනඥයන්ගේ අමන මරිමෝඩ තීන්දු තීරණවල ප්‍රතිඵලය. ජෝතිපාලයන් කැසට්පට ගැසුවාටත් වඩා වේගයෙන් ගැසට් ගැසීම සහ රිවස් කිරීම තුළ ගැසට් පත්‍රයක වටිනාකම බින්දුවටම වැටිණි. එහි ප්‍රතිඵලය වූයේ වෙළෙන්දන් අතට මිල තීරණය කිරීමේ අයිතිය හිමිවීමය. පසුගිය ආණ්ඩුව පත් වනවිට මහ ඉහළින් පුරාජේරු කතා කියමින් පාරිභෝගික අධිකාරියට, වී අලෙවි මණ්ඩලයට, වරායට ආදී රටේ බොහෝ ස්ථානවලට හමුදා නිලධාරීන් පත් කරන්නට වූ අතර ඔවුන් ද කැමරා ඉදිරියට පැමිණ මහ ඉහළින් පැවසුවේ අදින් පසු වෙළෙඳ මාෆියාව නැත්තටම නැති කරන බවයි. වී තොග පිළිබඳ සියලු තොරතුරු තමන් සතු බව ද මෝල් හිමියන් දණ ගස්සන බව ද පැවසූහ. නමුත් සිදු වූයේ මෝල් හිමියන් එකතු වී ආණ්ඩුවත්, මෙම ආයතන සියල්ලත් දණ ගස්සවා සියලු බලය තමන් අතට ගෙන මිල ගණන් ඔවුන් තීරණය කිරීමය. මේ තුළ පීඩාවට පත්වුණේ අසරණ පාරිභෝගික ජනතාව මිස නිලධාරීන් නොවේ.

● ප්‍රමිතියෙන් තොර ආහාර වෙළෙඳ පොළට පැමිණීම

ඒත් සමගම නිසි ප්‍රමිතියෙන් තොර මිනිසුන්ට තබා සතෙකුටවත් ආහාරයට ගත නොහැකි හාල් වර්ග වෙළෙඳපොළට පැමිණෙන්ට විය. සත්ව ආහාර සඳහා වෙන්කරන ලද ධාන්‍ය වර්ග පවා වෙළෙඳපොළට නිකුත් කරන්නට විය. ගුල්ලන් ගැසූ සහල් නැවත පොලිෂ් කර වෙළෙඳ පොළට පැමිණීම, නරක් වූ පණුවන් ගැසූ අල, ලූනු නැවත එම කොටස් ඉවත් කර වෙළෙඳ පොළට පැමිණීම ආදී නොයෙක් අකටයුතුකම් සිදුවුණත් මේ ගැන සොයා බලන්නට කිසිවකුත් නැත. හිටියත් ඔවුන්ද අඳ, ගොළු බිහිරන් සේ හැසිරෙයි. පසුගිය කාලය තුළම සහල් වෙළෙඳපොළ තුළ දැඩි මාෆියාවක් ක්‍රියාත්මක වුණ අතර පාරිභෝගික ජනතාවට කිසිදු සෙතක් අත් නොවුණි. ආණ්ඩුව මිල තීරණය කිරීමත් සමග කූට වෙළෙන්දෝ භාණ්ඩ සඟවති. රට තුළ භාණ්ඩ හිඟවන විට ජනතාව අරගල කරති. එවිට තිබුණාටත් වඩා දෙතුන් ගණනක් මිල ඉහළ දමා නැවත ගැසට්ටුවක් ගැසීමෙන් හෝ පාලන මිල ඉවත් කිරීමෙන් පසු භාණ්ඩ වෙළෙඳපොළට පැමිණේ.

● වෙළෙඳ මාෆියාව

මේ ආකාරයෙන් භාණ්ඩ මිල ඉහළ ගියේ එක් භාණ්ඩයක දෙකක නොව බොහෝ භාණ්ඩවලට සිදුවුණේ මෙය ය. රු. 100 ත් 120 සීමාවේ තිබූ හාල් 280 ට මිල ඉහළ ගියත් මහා පරිමාණ මෝල් කාරයන් වී මිලට ගෙන තිබුණේ රු. 60ටත් අඩුවෙනි. සීනි වලටද එම සෙතමය. රු. 80 ට සීනි මිල පවතිද්දී සත 25 ට බදු අඩුකළ අවස්ථාවේ නැව් පිටින් ගෙනවිත් තොග රැස්කළ සීනි දැන් විකිණෙන්නේ 350ටය. සීනි වංචාවෙන් පමණක් රජයට සිදු වූ පාඩුව බිලියන 12 කට ආසන්නය. සුදු ලූනු වංචාව සහ පොල් තෙල් වංචාවද රජයට බිලියන ගණනින් පාඩු අත්කර දී විශාල ලෙස ව්‍යාපාරිකයන් ලාභ ලැබූ අවස්ථා වේ. මේ ආකාරයට පරිප්පු, මුංඇට, කඩල, මිරිස්, තුනපහ ආදී එදිනෙදා පාරිභෝජනයට ගන්නා ආහාර ද්‍රව්‍යවල මෙන්ම සිමෙන්ති, යකඩ, ගල්, වැලි, ආදී ඉදිකිරීම් ක්‍ෂේත්‍රය සම්බන්ධ භාණ්ඩවල ද, ටීවී, ජංගම දුරකථන, ශීතකරණ, පරිගණක ආදී ඉලෙක්ට්‍රොනික උපකරණවල මිල ද ඉහළ ගියේය. ටයර් මිල සහ අමතර කොටස් මිලද එසේමය. රු. 55000 ට තිබුණු ටයරය දැන් 95000 – 100,000 පමණ වේ. මෙලෙස වැඩිවුණේ කලින් ගෙනවිත් ගබඩාවල තිබූ භාණ්ඩය. එම වාසිය 95්‍ර ක්ම කළුකඩ කාරයන් ජනතාවට දුන්නේ නැත. ඊට අමතරව මෙම ජාවාරම දැඩිව ක්‍රියාත්මක වන්නේ ඖෂධ සම්බන්ධයෙනි. පැරසිටමෝල් පෙත්තේ සිට සියලු ඖෂධ මිල සියයට දෙතුන් සියයකින් ඉහළ ගිය අතර ඒත් සමගම එහි ගුණාත්මක භාවයද නැතිවිය. ඒ ඉන්දියාව, බංග්ලාදේශය වැනි රටවල ගෘහාශ්‍රිතව නිෂ්පාදනය කරන ඖෂධ මෙරටට ගෙන්වා ප්‍රසිද්ධ සමාගම්වලින් ගෙන්වූ ආකාරයට මෙරට තුළ විකිණීම නිසාය. මොන භාණ්ඩයක මිල අස්වභාවික ලෙස වෙළෙඳුන්ට හිතුමනාපේ ඉහළ දැමුවත් පාරිභෝගිකයා වෙනුවෙන් කිසිවෙක් ඉදිරිපත් නොවේ. ඔවුන්ගේ තර්කය වූයේ ඩොලරය ඉහළ යෑම නිසා වෙළෙඳුන්ට සිදුවන පාඩුව මඟ හැරවීමට යම් මිල වැඩි කිරීමක් කිරීමට සිදුවන බවයි. නමුත් දැන් ඩොලරය යම් ස්ථාවර මට්ටමක පවතී. නමුත් තවමත් පරණ සෙල්ලම එලෙසම ක්‍රියාත්මක වේ.

පසුගිය දවසක භාණ්ඩ අලෙවිය සම්බන්ධයෙන් ගැසට් ගොන්නට තවත් ගැසට්ටුවක් එක් විය. එහි සඳහන් වන්නේ සෑම පැකට් කළ භාණ්ඩයක් තුළම එහි උපරිම සිල්ලර මිල, කල්ඉකුත් වීමේ දිනය, නිෂ්පාදිත දිනය, ආනයනකරුගේ නම, ලිපිනය, භාණ්ඩ ගෙන්වූ රට ආදී සියලු තොරතුරු අඩංගු විය යුතු බවයි. එය මේ මස 28 වැනිදා සිට බලාත්මක වන බව ද සඳහන් වේ. නමුත් කූට වෙළෙඳුන් මොන ගැසට් ගැසුවත් පාරිභෝගික අධිකාරියේ ඇසට වැලි ගසමින් උග්‍ර භාණ්ඩ හිඟය තුළ ප්‍රමිතියේන් උසස් භාණ්ඩ මෙන්ම බාල භාණ්ඩ ද වෙළෙඳපොළට නිකුත් කරයි. ඒවා මිලදී ගන්නා පාරිභෝගිකයාට වන්නේ ගහෙන් වැටුණු මිනිහාට ගොනා ඇන්නා වැනි ක්‍රියාවකි. ඔවුන් දෙපැත්තකින් පීඩාවට පත් වේ.

● පවතින නීති සහ දඬුවම් ප්‍රමාණවත් නොවීම

මෙවැනි ආකාරයෙන් කටයුතු කරන කූට වෙළෙඳුන් මැඬලීමට රජය ගෙන ඇති පියවර කිසිසේත් ප්‍රමාණවත් නැත. වැඩි මිලට භාණ්ඩ අලෙවි කරන තනි පුද්ගල ව්‍යාපාරයත් නම් රුපියල් 1000 ත් 10,000 ත් අතර දඩ මුදලක් නියම වේ. ඊට අමතරව මාස 6 ක සිර දඬුවමක් ද නියම කළ හැක. පෞද්ගලික සමාගමක් මෙම වරද සිදු කරයි නම් රුපියල් 10,000 ත් 100,000 ත් අතර දඩ මුදලක් නියම වේ. උපරිම සිල්ලර මිලක් නියම කළ භාණ්ඩයක් නම් වන දඩ මුදල තනි පුද්ගල ව්‍යාපාරයකට අවමය රුපියල් ලක්ෂයකුත් උපරිමය ලක්ෂ 5 ක් ලෙසිනි. මීට අමතරව සය මසක සිර දඬුවමකි. එය පෞද්ගලික සමාගමකට නම් අවමය ලක්ෂ 5 කුත් උපරිමය ලක්ෂ 50 කුත් ලෙස පවතී. කරුමය නම් මේ ලැයිස්තුවට අයත් වන්නේ එකම එක භාණ්ඩයක් පමණි. ඒ එකම භාණ්ඩය සහල්ය. අද පවතින මුදලේ වටිනාකම පිරිහීමත් සමග සැසඳීමේ ඕනෑම දහ ජරාවක් විකුණා හසුවුවහොත් රුපියල් 10,000 ක් ගෙවා නිදහස් විය හැක. විශේෂයෙන්ම මිනිස්සු කන කෑම ටිකවත් හරියට දෙන්නේ නැත. විදෙස් රටවලනම් ආහාර සම්බන්ධයෙන් පවතින නීති මෙන්ම දඬුවම්ද ඉතා ඉහළය.

මෙම ලැයිස්තුවට තවත් බොහෝ භාණ්ඩ ඇතුළත් කළ හැක. පාරිභෝගිකයා වෙනුවෙන් මීට වඩා දෙයක් මේ නිලධාරීන්ට කළ හැකි මෙන්ම කළ යුතුමය. මහජනයාගේ බදු මුදලින් පඩි ලබන නිලධාරීන් මීට වඩා ක්‍රියාශීලී විය යුතුය. පාරිභෝගික අධිකාරිය පවසන්නේ වංචනික ආකාරයෙන් බඩු විකුණන වෙළෙන්දන් සම්බන්ධයෙන් පැමිණිලි ලැබුණොත් නිලධාරීන් යවා වැටලීම් සිදුකොට නීතිය ක්‍රියාත්මක කරන බවයි. නමුත් එවැනි වැටලීම් සම්බන්ධ අපට වාර්තා වන්නේ ඉතාම අල්ප වශයෙනි. බොහෝ විට භාණ්ඩයකට පාලන මිලක් දැමූ විට පමණක් දිනක් දෙකක් වැටලීම් සිදු කරයි. එයින් පසු වගේ වගක් නැත. ඒ බව දන්නා කූට වෙළෙඳුන් එයින් උපරිම ප්‍රයෝජන ලබා ගනී.

යම් කිසිවකු වෙළෙන්දකුගේ වංචාවකට හසු වුවහොත් ඒ සඳහා ක්‍රියාත්මක වීමට පාරිභෝගික අධිකාරිය දුරකථන අංක කිහිපයක් හඳුන්වා දී ඇති අතර ඊට අමතරව ෆේස්බුක් හරහා ද පැමිණිලි ඉදිරිපත් කළ හැක. එහි දිස්ත්‍රික් නිලධාරීන්ගේ පින්තූර සමගින්ම දුරකථන අංක සඳහන් වේ. මේ කුමන මාර්ගයකින් හෝ පාරිභෝගික ජනතාව ආරක්ෂා කිරීමට සූදානම් බව අධිකාරිය පවසයි. ඊට අමතරව නව ගැසට් පත්‍රය හරහා වැඩි වැඩියෙන් පාරිභෝගිකයා ආරක්ෂා කිරීමට කැප වන බව ද අධිකාරිය පවසයි.

පාරිභෝගික අධිකාරියට පාරිභෝගිකයා ආරක්ෂා කිරීමේ සැබෑ වුවමනාවක් ඇත්නම් කළ යුතු වන්නේ සිල්ලර වෙළෙන්දන් අල්ලා දඩ ගැසීම නොව මහා පරිමාණ තොග වෙළෙන්දන් අල්ලා දඬුවම් දීමයි. තෝරු, මෝරු සිටියදී හාල් මැස්සන් අල්ලා ඵලක් නැත. හාල් මැස්සන්ද ඇල්ලිය යුතුය. නැතිනම් ඔවුන්ද ජරාවම ගිල දමා තෝරු, මෝරු තරමටම විශාල වීමට ඉඩ තිබේ. සිල්ලර වෙළෙන්දන් බොහෝවිට කරන්නේ ඔවුන්ට ලැබෙන මුදලට තවත් රුපියලක් දෙකක් වැනි සුළු මුදලක් ලබාගෙන විකිණීමය. සිල්ලර වෙළෙන්දන් බහුලවම සිදුකරන වංචාවක් වන්නේ අඩු බරට කිරීම සහ නොයෙක් ද්‍රව්‍ය කලවම් කිරීමය.

මෙරට සිදුවූ වංචා සහගත කටයුතු බොහෝමයක් සිදු කළේ මහා පරිමාණ තොග වෙළෙඳුන්ය. මේ ආකාරයට මහා පරිමාණ වංචාකරුවන්ට බේරී සිටීමට දේශපාලනඥයාගේ සිට රජයේ නිලධාරියා දක්වා සියලු දෙනා හවුල් වේ. සියලු දෙනාට සන්තෝෂම් ලැබේ. මේ තුළ අධික මිලට තත්ත්වයෙන් බාල බඩු ජනතාවට ලැබේ. මේ තත්ත්වයන් තුළ සිදුවන තවත් දෙයක් නම් බ්ලැක් මාර්කට් එකක් නිෂ්පාදනය වීමයි. ඕනෑම මිලකට භාණ්ඩ මිලට ගැනීමට ද සූදානම් පිරිසක්ද සිටී. මෙයින් සිදුවන්නේ තව තවත් පාරිභෝගිකයා අසරණ වීමය. මෙවැනි වංචා සහගත කටයුතු සිදුවන අතරේ සාධාරණව වෙළෙඳාම් කරන වෙළෙඳුන් ද නැතුවාම නොවේ. නමුත් සුළු පිරිසක් කරන කූට වංචා නිසා සමස්ත සමාජයේම වෙළෙඳුන්ට මෙන්ම නිලධාරීන්ටද ඇත්තේ කළු චිත්‍රයක් මිස යහපත් ප්‍රතිරූපයක් නොවේ.

සමීර කන්නන්ගර

advertistmentadvertistment
advertistmentadvertistment