ලාභ ලබන ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය ගජ මිතුරන්ට කුණු කොල්ලයට විකුණා දැමීමට රජය ක්‍රියා කරමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (23දා) පැවසීය.
එහිදී ඔහු වැඩිදුරටත් මෙසේ ද කියා සිටියේය.
ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය විකුණා දැමීමට ගජමිතුරු ධනවාදී කුමන්ත්‍රණයක් සිදු වන බව පෙනෙනවා. එහි වත්කම් ගණනය කිරීමේදී කිසිම වගකීමක් නැතිව කටයුතු කර තිබෙනවා. මේ ගැන විශාල සැකයක් තිබෙනවා. මෙය ධනවාදී ගජමිතුරු දේශපාලන ගනුදෙනුවක් ද කියා අපි අහනවා.
දිවයින පුරා පවතින ටෙලිකොම් උපකරණ, ගොඩනැඟිලි, ජාල පද්ධති, ටෙලිකොම් කුලුනු ආදියේ විශාල වත්කම් ප්‍රමාණයක් තිබෙනවා. ඒත් ඒ ගණනය කිරීම් ඉතා දෝෂ සහිතව කර තිබෙන බව පෙනෙනවා. ඒ වටිනාකම් අවතක්සේරු කරලා කුණු කොල්ලයට ටෙලිකොම් විකුණන්න ගන්නා උත්සාහය හෙළා දකිනවා.
ටෙලිකොම් වසර ගණනාවක් පුරා අධික ලාභ ලැබූ ආයතනයක්. බදු සහ ලාභාංශ ලෙස රුපියල් මිලියන 25000ක් මහා භාණ්ඩාගාරයට දී තිබෙනවා. මෙහෙම ලාභ ලබන ආයතන කොහොමද කුණු කොල්ලයට විකුණන්නේ?
කොවිඩ් සමයේත් බිලියන 12 ක ශුද්ධ ලාභයක් ලබා තිබෙනවා. ඊට පසු එහි සභාපති පන්නා දමා එක් වසරකදී පමණක් මේ ආයතනය පාඩු ලබා තිබෙනවා. දැන් එය අලාභ ලබන ආයතනයක් බවට පත් කරලා. මේ ආයතනයට මොනවත් කරන්න කලින් වෝහාරික විගණනයක් කරන්න. ලාභ ලබන ආයතන මෙහෙම කුණු කොල්ලයට විකුණන්න එපා.
අකිත පෙරේරා, රනිල් ධර්මසේන