ලාරා නැවතත් මවූ පදවිය ලබා තිබේ. ඕ මේ වනවිට දරුවන් තිදෙනකුගේ මවකි. වයස අවුරුදු හතරක් වන ඩෝරා ද මවු පදවිය ලබා තිබේ. ඇය ද දරුවන් තිදෙනකුගේ මවක වීමට වාසනාවන්ත වී තිබේ. ඩෝරා යනු, ලාරාගේ දියණියයි. මේ දෙදෙනාම ටික කලක පටන් රිදියගම සෆාරි උද්‍යානය හැඩ කරන සිංහ ධේනුවන්ය. සිංහ පැටවුන් 06 දෙනකුගේ සිංහ සුරතල් රිදියගම සෆාරි උද්‍යානය නැරඹීමට පැමිණෙන සංචාරකයන්ට නවමු අත්දැකීමකි. සොඳුරු අත්දැකීමකි. සෆාරියක දී සිංහයන් නැරඹීම, සිංහ පැටවුන්ගේ සුරතල් බැලීම ආස්වාදජනක අත්දැකීමකි. ලාරා අම්මාත්, ඩෝරා දියණියත් නිසා ඊට වැඩි වටිනාකමක් ලැබී තිබේ.
මෙම සිංහ ධේනුවන් දෙදෙනා අතරින් ඩෝරා පිළිබඳව මීට වසර කිහිපයකට පෙර දැඩි ලෙස සමාජයේ කතා බහට ලක් විය. ඒ මව විසින් ඩෝරා උපන් අවස්ථාවේදීම ප්‍රතික්ෂේප කිරීම නිසාය. එය එකල බොහෝ දෙනකුගේ උනන්දුවට ලක්වූ කාරණයක් විය. දැනට වයස අවුරුදු 10ක පමණ වන ලාරා නමැති සිංහ ධේනුව මීට වසර 04කට පෙර රිදියම සෆාරි උද්‍යානයේදී ඩෝරා බිහි කළේය. උපදිනවිට ම ඩෝරා තරමක් අයහපත් සෞඛ්‍ය තත්ත්වයේ පසු වීම නිසා ලාරා සිය දියණියට කිරි දීම, රැකබලා ගැනීම ප්‍රතික්ෂේප කළාය. බළල් කුලේ සතුන් සිය පැටවුන් ප්‍රතික්ෂේප කිරීම හා කා මරා දැමීම සාමාන්‍ය සිදුවීමකි. මේනිසා ම මීට පෙර සිදු වූ ලාරාගේ දරු උපතේ දී ඩෝරා ප්‍රතික්ෂේප කෙරුණි. එහිදී ඒ පිළිබඳව ද අවධානයෙන් සිටි පශූවෛද්‍යවරුන් හා සත්ව භාරකරුවන් ඇතුළු රිදියගම සෆාරි උද්‍යානයේ පාලනාධිකාරිය එක්ව මවගෙන් ප්‍රතික්ෂේප වූ ඩෝරාව කුඩා කල සිට ම කිරි පොවමින් උස්මහත් කළේය.
අද වනවිට පැටවුන් තිදෙනකු බිහිකළ ලාරාට වයස අවුරුදු 10ක් වන අතර මීට වසර 04කට පෙර ලාරා විසින් බිහිකිරීමෙන් අනතුරුව ප්‍රතික්ෂේප කෙරුණු ඩෝරාට දැන් වයස අවුරුදු 04කි. ඒ අනුව ලාරා මිත්ණියක කරමින් ඩෝරා ද තවත් පැටවුන් තිදෙනකු මේ වනවිට බිහිකර තිබේ.
මීට පෙර ඩෝරා උපන් අවස්ථාවේ සිය පැටවා ප්‍රතික්ෂේප කළ ලාරා මෙවර උපන් පැටවුන් තිදෙනා ආදරයෙන් කිරි දී රැක බලාගැනීම විශේෂත්වයකි. එමෙන්ම උපන් අවස්ථාවේදීම මවගෙන් ප්‍රතික්ෂේප ඩෝරා පළමු වරට ගැබ් ගැනීමෙන් පසු පැටවුන් තිදෙනකු මේ වනවිට බිහිකර ඇති අතර ඩෝරා විසින් සිය පැටවුන් මේ වනවිට ආදරයෙන් රැක බලාගැනීම සිදුකිරීම ද විශේෂත්වයකි. මේ වනවිට අලුත උපන් මෙම සිංහ පැටවුන් හයදෙනාට මාසයක් පමණ වන අතර එවුන් ඉතාමත් නීරෝගීමත්ව පසු වෙයි කෙසේ නමුත් මෙම පැටවුන් මේ මස අග වනතෙක්ම මවගේ රැකවරණයේ සිටිය ද එම පැටවුන් හා සිංහ ධේනුවන්ගේ ක්‍රියා කලාපයන් පිළිබඳ පැය 24 පුරා ම පශුවෛද්‍යවරු, සත්ව භාරකරුවරු නිරීක්ෂණයෙන් පසුවේ.
රිදියගම සෆාරි උද්‍යානයේ පාලක (සත්ව) අමිල චානක ඒ ගැන කියන්නේ,අද වනවිට සිංහ කලාපයේ පමණක් සිංහයන් 18ක් සිටිනවා. ඒ අතරට මේ පැටවුන් හයදෙනත් එකතු වීමට නිමිතව තියෙනවා. ඇත්තට ම සිංහ පැටවුන් ඉපදීම සඳහා හොඳ සුදුසු පරිසරයක් මේ හම්බන්තොට රිදියගම සෆාරි උද්‍යානයේ තිබීම විශේෂත්වයක්. මේ උපන් පැටවුන් යහදෙනා පිළිබඳව අපි පැය විසිහතර පුරා ම විශේෂ පරීක්ෂාවකට ලක් කරනවා. අවධානයකට ලක් කරමින් සිටිනවා. ඉතින් මේ සතුන් හයදෙනා මේ මස අවසන් වනවිට ජනතාවට දැක ගන්න පුළුවන් වේවි කියලා අපි විශ්වාස කරනවා. එවිට රිදියගම සෆාරි උද්‍යානයට පැමිණෙන සංචාරකයන්ට මෙම සිංහ පැටවුන් සුරතල් කරන්න හා ඔවුන් සමග ඡායාරූප ගැනීමට හැකියාව තියෙනවා”.
රිදියගම සෆාරි උද්‍යානයේ සිංහයන් පිළිබඳව පළමුවරට කතාබහට ලක් වූයේ 2015.12.04 වැනි දිනය. ඒ මෙම සෆාරි උද්‍යානයට මුදාහැරීම සඳහා රැගෙනැවිත් කූඩුවල රඳවා සිටි සිංහයන් 08දෙනකු අතරින් සත්වෝiාන සත්ව හුවමාරුව වැඩසටහන යටතේ දකුණු කොරියාවේ සිට මෙරටට ගෙන්වන ලද සිංහ ජෝඩුවක සිටි බොලී නමැති කේසර සිංහයකු මියයෑමත් සමගය. මියයනවිට ඔහුගේ වයස අවුරුදු 05ක් වූ අතර දිගින් අඩි පහහමාරක් පමණ විය. එතැන් පටන් රිදියගම සිංහයන් පිළිබඳව විටින්විට කතාබහට ලක් විය.
ඉන් පසු පළමු වරට රිදියගම සෆාරි උද්‍යානයේ සිංහ දරු උපතක් සිදුවන්නේ 2016.07.12 වැනි දිනය. ඒ මහජන චීන සමූහ ආණ්ඩුවෙන් මෙරටට ලැබුණු වයස අවුරුදු 03ක් වන සූලා නම් සිංහයාටත්, දකුණු කොරියාවෙන් මෙරටට ලැබුණු වයස අවුරුදු 05ක් වන සහරා නම් සිංහ ධේනුවටත් දාවය. මෙම සිංහ උපත සිදුවි පැය කිහිපයක් යනවිට මව විසින් සිංහ පැටවා ප්‍රතික්ෂේප කිරීම නිසා පැටවාගේ ආරක්ෂාව වෙනුවෙන් පැටවා මවගෙන් වෙන් කර තැබීමටත්, පසුව පැටවා අපි ඉතා ආරක්ෂිතව දෙහිවල ජාතික සත්ව උද්‍යානයේ පැටවුන් ඇති දැඩිකිරීමේ ඒකකයට යොමු කිරීමටත් කටයුතු කර තිබේ. එතැන් පටන් අවස්ථා ගණනාවක දීම රිදියගම සෆාරි උද්‍යානයේ සිටි සිංහ ධේනුවන් විසින් පැටවුන් බිහි කිරීම සිදුකෙරුණු අතර මේ වනවිට රිදියගම සෆාරි උද්‍යානයේ අලුත උපන් පැටවුන් 06දෙනා හැරුණුකොට සිංහයන් 18දෙනකු පමණ සිටින බවත්, මෙම සතුන් පිළිබඳව නිරන්තර සත්ව භාරකරුවන් හා පශුවෛද්‍යවරුන් විසින් අධීක්ෂණය කරන බවත්, අලුත උපන් මෙම පැටවුන් හයදෙනා ද මේ වනවිට ඉතාමත් නීරෝගීමත්ව සිටින බවත් රිදියගම සෆාරි උද්‍යානයේ සහකාර අධ්‍යක්ෂ කසුන් හේමන්ත කීවේය.
සටහන හා සේයා රූ
මත්තල දිලීප් එන්. ජයසේකර