මහනුවර මහ රෝහලේ දැඩි සත්කාර ඒකකය තුළ දින 10ක් ප‍්‍රතිකාර ලබන ලද ඩබ්ලිව්. පි‍්‍රයංගනී ඉකුත් 10 වන දින සිය දිවිගමන නිමාකොට සදහටම නෙත් පියා ගත්තාය. සිවු දරු මවක් වන ඇයගේ අවසන් කටයුතු ඉකුත් 14 වන දින විල්ගමුව දේවගිරියේදී සිදුකරන ලදී.
විශාල පිරිසකගේ සහාගිත්වයෙන් පවත්වන ලද එම අවමංගල්‍ය කටයුත්තේදී ඇයගේ කුඩා දියණිය නඟන ලද විලාපය රැස්ව සිටි පිරිසගේ ඇසට කඳුළක් ද, හදවතට දුක් මුසු සුසුමන්ද එක් කරන ලදී. තවත් බොහෝ කලක් නිරුපද්‍රිතව ජීවත් විය යුතුව තිබූ තම ආදරණීය මවගේ අකල් වියෝවෙන් උපන් බරපතළ කම්පනයෙන් විලාප නඟන ලද දරුවන් සිවු දෙනා අතරින් ඩබ්ලිව්. පි‍්‍රයංගනීගේ කුඩාම දියණිය උස් හඬින් විලාප නඟමින් අයැද සිටියේ ‘‘ගෙනියන්න එපා… මට අම්මාව ඕනෑ…’’ යනුවෙන්ය. ලබන මස ශිෂ්‍යත්ව විභාගය පිණිස සූදානම් වන කුඩා දියණියට දැන් අම්මා කෙනෙකු නැත.
පි‍්‍රයංගනී අකල්හි මරණයට පත්වන්නේ ඇයගේ දරුවන් සිවුදෙනා හට මවකගේ උණුසුම, සෙවණ, රැකවරණය වැඩි වැඩියෙන් අවශ්‍ය මොහොතකය. මීට මාස කීපයකට පෙර සිය උපන් ගම්බිම් වන විල්ගමුව දේවගිරියේ පදිංචිය තාවකාලිකව වෙනස් කරනු ලබන්නේ තම දරුවන්ගේ අධ්‍යාපනයේ පහසුව පිණිසය. ඒ අනුව මහනුවර නත්තරම්පලාව ප‍්‍රදේශයේ කුලී නිවසක පදිංචියට පැමිණෙන පි‍්‍රයංගනී ඉකුත් 01 දා අලූයම තම දරුවන්ට උදෑසන ආහාරය පිසීම පිණිස සූදානම් වීමේදී මෙම අනතුරට මුහුණ දෙන අතර සිදුවීම නිමාවට පත්වන්නේ ස්වාමිපුරුෂයකුට ආදරණීය බිරිඳක්, දරුවන් සිවුදෙනකුට ආදරණීය මවක් අහිමි කළ ඛේදවාචකයක් ලෙසය.
මෙම සටහන තබන අවස්ථාව වනවිට ප‍්‍රමිතියෙන් තොර ගෑස් භාවිතා කිරීම හේතුවෙන් මරණයට පත් ඩබ්. පි‍්‍රයංගනී පස් යට මිහිදන් කොට දින කීපයක් ගතව අවසන්ය. එහෙත්…. රටම භීතියක ගිල්වමින් කරළියට පැමිණි ගෑස් පිළිබඳ අප‍්‍රසන්න කතාව තවමත් නිමාවට පත්ව නැත. ඒ හේතුවෙන් ජීවිත හා දේපළ ගිනිබත්වීම් දිගින් දිගටම සිදුවෙමින් අත. නොවැම්බර් මස ආරම්භ වීමත් සමග ගතවූ දින 15ක කාලය අතරතුර අනාරක්ෂිත ගෘහස්ථ ගෑස් සිලින්ඩර් හේතුවෙන් මෙරටින් වාර්තා වූ අනතුරු සංඛ්‍යාව 727ක්ය. පුදුමයට කරුණ නම් මෙම පිපිරීම සිදුවන්නේ ප‍්‍රමිතියෙන් තොර ගෑස් සිලින්ඩර් හේතුවෙන් බව පිළිගැනීමට එම ගෑස් තොග මෙරටට ගෙන්වනු ලබන සමාගම් තවමත් මැළිකමක් දැක්වීමය. සුපුරුදු පරිදි එම පිපුරුම් ආදියෙහි වරද පාරිභෝගික ජනතාව මත පටවන අදාළ සමාගම් ඒ සම්බන්ධයෙන් දිගින් දිගටම සඳහන් කර සිටින්නේ ප‍්‍රමිතියෙන් තොර ගෑස් නළ සහ උදුන් හේතුවෙන් අදාළ පුපුරා යෑම් සිදුවන බවත් ඒ හේතුවෙන් එහි වගකීම තම සමාගම්වලට භාර ගත නොහැකි බවත්ය.
51 හැවිරිදි සිවුදරු මව මරණයට පත්වන්නේ එවැනි වටපිටාවකය. තම ආදරණීය මවගේ නිසල දෙන අසල වැලපුණ දරුවන් සිවුදෙනා දකින ඕනෑම කෙනෙකු තුළ පළමුව බරපතළ කම්පනයක් ද දෙවනුව එම විපත සිදුවන තුරු රට තුළ උද්ගත ප‍්‍රමිතියෙන් තොර ගෘහස්ථ ගෑස් අර්බුදයට නිසි විසඳුම් නොදුන් අදාළ බලධාරීන් පිළිබඳ කෝපය මුසු පිළිකුලක්ද ඇති වන්නේ එබැවින්ය. (ප‍්‍රමිතියෙන් තොර ගෘහස්ථ ගෑස් සිලින්ඩර් පිළිබඳ සුලමුල සඳහන් වෙනම ලිපියක් මෙවර මෙම පුවත්පතේ වෙනත් තැනක පළවී ඇත.)
ඉකුත් 01 දා අලූයම 3.45ට පමණ සිදු වූ මෙම අනතුරින් දැඩි මානසික පීඩනයට පත් ඩබ්ලිව්. පි‍්‍රයංගනීගේ බාල පුතනුවන් තම මෑණියන්ගේ අකල් වියෝව පිළිබඳව විස්තර කර සිටින්නේ මේ ආකාරයෙන්ය.
අපි දැනට මාස කීපයකට කලින් මහනුවර නත්තරම්පලාව ප‍්‍රදේශයේ පදිංචියට එන්නෙ. ඇත්තටම අම්මයි තාත්තයි එහෙම තීරණයක් ගත්තේ අපි හතර දෙනාගේ අධ්‍යාපන කටයුතුවලට ඒක පහසුවක් වෙයි කියලා හිතලයි. මොකද මගේ අම්මා අපේ අධ්‍යාපනය වෙනුවෙන් හුඟක්ම කැපවුණා. අම්මට තිබුණ ලොකුම හීනය තමයි අපි හතරදෙනා හොඳින් ඉගෙන ගන්නවා දකින එක. එදත් අම්මා උදෙන්ම අවදිවෙලා කුස්සියට යන්නෙ අපිට උදෑසන ආහාරය සූදානම් කරන්න. මම හිටියෙ අඩ නින්දේ. ලොකු පිපිරුම් හඬක් ඇහුණා. ඒත් එක්කම මම කුස්සියට දුවගෙන ගියා. ඒ වෙද්දි කුස්සියේ දොර අගුල් වැටිල තිබුණේ. ඊට පස්සෙ මම දොර කඩල කුස්සියට ඇතුළු වුණා. ඒ වෙද්දි අම්මා බිම වැටිල හිටියෙ.
‘‘පිච්චෙනවා.. ඉන්න බෑ කියලා අම්මා කෙඳිරිගාන්න ගත්තා. මම මුලින්ම දුරකථනයෙන් තාත්තට කතා කරලා ඒ බව කිව්වා. ඊට පස්සෙ අල්ලපු ගෙදර මාමා කෙනෙකුගේ උදව්වෙන් අම්මව රෝහලට අරන් ගියා…’’
එය පි‍්‍රයංගනී එම නිවසින් පිටව ගිය අවසාන ගමනය. ඉන් අනතුරුව දින ගණනාවක් තිස්සේ රෝහල්ගතව සිටි ඇයගේ ජීවිතය බේරා ගැනීම පිණිස මහනුවර මහ රෝහලේ වෛද්‍යවරු ඇතුළු අනිකුත් කාර්ය මණ්ඩලය දැඩි වෙහෙසක් ගත්හ. ඒ සියල්ල අවසානයේ තවදුරටත් ජීවත් වීමට වරම් නොලද ඇය මරණයට පත් වන්නේ සිදුවූ අනතුරින් දින 10ක් පමණ ඉක්ම ගිය තැනය. තම බිරිඳගේ අකල් වියෝවෙන් දැඩි සේ කම්පනයට පත් පි‍්‍රයංගනීගේ සැමියා වන සුදත් නිශාන්ත කුමාර එම අවාසනාවන්ත සිදුවීම පිළිබඳවත් ඒ සම්බන්ධව ඉදිරියේදී ගැනීමට නියමිත තීන්දු තීරණ පිළිබඳවත් ‘දිවයින’ට අදහස් දක්වා සිටියේ මේ ආකාරයෙන්ය.
‘‘හැමදේම වෙලා ඉවරයි. මගේ දරුවන් හතර දෙනාට මින් පස්සෙ අම්මා කෙනෙක් නෑ. ඒ අඩුව පුරවන්න මේ ලෝකයේ තවත් කෙනෙකුට පුළුවන්කමකුත් නෑ. දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් මුළු ජීවිත කාලයම කැප කළ එයාට දරුවන්ගේ ජයග‍්‍රහණ දකින්න තරම් ජීවත් වෙන්න වාසනාව නැති වුණා.’’
මේක අහස පොළොව නුහුලන අපරාධයක්. ඒ අපරාධයට වගකියන්න මේ රටේ කවුරුත් නෑ.
වගකිවයුත්තෝ බොරුවට කෑගහන එක පමණයි කරන්නෙ. රටේ පාලකයොත් සමාගම්වල අණසකට යටවෙලා. රටේ හැම තැනම මේ වගේ ගිනි ගැනීම් සිද්ධ වෙනවා. මාස ගානක් තිස්සෙ ඒක තමයි ඇත්ත. නමුත් මගේ බිරිඳට සිද්ධ වෙච්ච මේ අපරාධය තව කෙනෙකුට වෙන්න දෙන්න බෑ. මේ විනාශය මුදලින් තක්සේරු කරන්න බැරි වුණත් මම වන්දියක් ඉල්ලල නඩු මඟට බහිනවා. මේ අපරාධයට අදාළ ගෑස් සමාගම සහ රජය වගකියන්න ඕන….’’
සිය හදවත තුළ පුපුරු ගසන වේදනාව සුදත් නිශාන්ත කුමාර විසින් වචන බවට පත් කළේ ඒ ආකාරයෙන්ය. තම බිරිඳගේ අකල් මරණයත් එම මරණයේ වගකීම භාර ගැනීම පිණිස අදාළ ගෑස් සමාගම් හෝ වෙනත් වගකිවයුතු පාර්ශ්වයක් ඉදිරිපත් නොවීම හේතුවෙන් නීතියේ සරණ පැතීම හැර ඔහුට මේ වනවිට වෙනත් සරණක් නැත.
ඉකුත් 14 දා විල්ගමුව දේවගිරියේදී සදහටම පස් යට මිහිදන්ව ගිය 51 හැවිරිදි සිවුදරු මව තම ජීවිතය මතින් ඔප්පු කර පෙන්වා ඇත්තේ ප‍්‍රමිතියෙන් තොර ගෑස් භාවිතය හේතුවෙන් දේපළ පමණක් නොව මිනිස් ජීවිත පවා මරණයට පත් කිරීම ආරම්භ කර ඇති බවය.
කනගාටුවට කරුණ නම් ඒ වගක් පිළිගැනීම පිණිස රට කරවන ඇත්තන් සහ මෙරට ගෑස් සමාගම් තවමත් මැළිකමක් දැක්වීමය.
රුවන් ජයවර්ධන