ලියූ පෙම් කතාවක් බොළඳ පාඨයක් දැනුදු කටපාඩමින් කිය හැකිය….

214

මියයන විට අසූහය වස් සපිරි මාර්ටින් වික්‍රමසිංහයන්ගේ ජීවිත කාලයෙන් හැත්තෑ වසරක්ම ඔහු මිඩංගු කළේ පත පොත ලිවීමටත් කියවීමටත් ය. පොත් කියවීම පිළිබඳ වික්‍රමසිංහයන් තුළ පැවති නොතිත් ආසාව සංසිඳවීමට ඔහුගේ මෑණියන් හා ඥාති සහෝදර ඇම්.ඩී. වික්‍රමසිංහ මහතා අනුබල දුන් අයුරු උපන්දාසිට ග්‍රන්ථයෙහි ලා ඔහු හෙළි කෙළේය. පොත් කියවීමට තිබූ ආසාව නිසා තම පවුලේ ආර්ථික අහේනිය ඔහුගේ සිතට නොහැඟිනි.

මාර්ටින් වික්‍රමසිංහයන්ගේ පියා වූ දොන් බස්තියන් වික්‍රමසිංහ පොලිස් ඔපිසර මහතා අකාලයේ මිය යෑමෙන් පසු දරුවන් දස දෙනෙකුගේ බර කරට ගත් වික්‍රමසිංහ මාතාව (බලපිටියේ ලියනගේ තොච්චොහාමි) තම එකම පුතාවූ මාර්ටින්ට අවශ්‍ය වූ පොතපත ලබා දීමට වෙහෙස වූ ආකාරය සංවේගය දනවනසුලුය. සියලු ආදායම් මාර්ග අහිමිව ඉතා අසරණ තත්ත්වයට පත්ව දරුවන් දසදෙනෙකුගේ (දූලා නවදෙනෙකි) වුවමනා එපාකම් පිරිමසමින් ඔවුන් ඇතිදැඩි කොට පවුලේ අගහිඟකම් පිටතට නොපෙන්වා කටයුතු කළ තොච්චොහාමි මාතාව ඒකාන්තයෙන් උදාර කාන්තාවක වූවාය. ඇය නොවන්නට මාර්ටින් වික්‍රමසිංහ කෙනෙකු බිහි නොවීමට ඉඩ තිබුණි. පවුලේ කොතරම් අගහිඟකම් තිබුණ ද තම එකම පුතාවූ මාර්ටින්ගේ කියවීමේ ආසාව සංසිඳවීමට ඇය පොත පත සපයා දුන් ආකාරය මාර්ටින් වික්‍රමසිංහයන්ගේම කියුම්වලින් හෙළිවෙයි.

“මට වුවමනා ඉංගිරිසි පොත් ගැනීමට අම්මා ඇතැම් විට මුදල් සොයාගත්තේ තම දූන්ගේ රන් අබරණ උකස් කිරීමෙනි.” (උපන්දාසිට – 2019 මුද්‍රණය, 95 පිට)

ගෙදර අගහිඟකම් නොඅඟවා තමන්ට පොත් මිලදී ගැනීමට අම්මා මුදල් සපයා එවූ ආකාරය ගැන සිහිව වික්‍රමසිංහ මහතා පසු කලෙක කඳුළු සැලූ බව ඔහුගේ බාලපුත් රංග වික්‍රමසිංහ මහතා අප සමඟ පැවසුවේ ඔහුගේ නෙතග ද කඳුළක් රඳවා ගනිමිනි. තම පියාගේ දෑසින් කඳුළු ගලනු තමා දුටු එකම අවස්ථාව එය බව ඔහු කීය.

ලියූ පෙම් කතාවක් බොළඳ පාඨයක් දැනුදු කටපාඩමින් කිය හැකිය....

ගාල්ලේ බොනවිස්ටා පාසලේ තුන්වැනි පන්තිය දක්වා ඉංගිරිසි බසින් අධ්‍යාපනය හදාරා එවක සිංහල බසින් පැවති පඤ්චස්කන්ධ විභාගය වැනි ගැඹුරු පොත් කියවා පාසල් අධ්‍යාපනය නිමකොට රැකියාවක් සඳහා කොළඹට ගිය මාර්ටින් වික්‍රමසිංහ දරුවාගේ පොත් කියවීමේ රුචිය වැඩී ගිය බව තම හැත්තෑඑක් වැනි වියේදී ඔහු ලියූ උපන්දාසිට ග්‍රන්ථයෙහි ලා මෙසේ කියා තිබේ:

“මා ලිපිකරුවකු වනු පිණිස කොළඹ ගියේ දාහත් හැවිරිදි වියෙහිදී යයි සිතමි. ගමදී යටගිය මගේ උගැන්මේ ආසාව කොළඹ දී මතුවිය… සතුන්, ගස්කොළන්, කඳු, හෙල්, මුහුද සැදුණේ කෙසේදැයි දැනගනු පිණිස මා තුළ වූ අනියත හැඟීම කොළඹට පැමිණ ටික කලකට පසු නියත හැඟීමක් විය… මගේ උගැන්මේ ආසාව නොනිවිය හැකි එළියක් විය. (උපන්දාසිට, 102 පිට)

ලොව අගමුල දැනගැනීමේ ආසාවෙන් යුතුව ‘ලෝකෝත්පත්ති විනිශ්චය, හෙණගුලිවාදය, දුර්වාදීහෘදය විදාරණය/ ආදී හිතට වධ දෙන පොත් කියවන්ට වෑයම් කොට තමා වෙහෙසට පත්වූ බව ‘අපේ ගම’ කෘතියෙහි ලා වික්‍රමසිංහ පැවසීය. ඒ ඔහු දාහතර වැනි වියට පත්වීමටත් පෙරය. ගමේදී ‘දුර්වාදිහෘදය විදාරණය’ කියවූ ඔහුට එහි එක් පරිච්ඡේදයක සඳහන් වූ කර්නල් ඉංගර්සෝල් පඬිවරයා පිළිබඳ මතකය කොළඹදී මතුවූයෙන් ඔහුගේ පොත් සොයාගෙන කියවූයේය. බටහිර ඉංගිරිසි පොතපත පරිශීලනය කිරීම පිළිබඳ තම රුචිය වැඩී ගිය අයුරු වික්‍රමසිංහයන්ගේ පහත දක්වන කියුමෙන් හෙළිවෙයි.

ලියූ පෙම් කතාවක් බොළඳ පාඨයක් දැනුදු කටපාඩමින් කිය හැකිය....

“ඉංගර්සෝල්ගේ කතා කියවද්දී මහා සුළඟකට හසුවූවකුගේ හැඟීම වැනි හැඟීමක් මා තුළ හටගත්තේය… ඩාර්වින්ගේ මතය, මිනිසා වඳුරාගෙන් උද්භේද වීය යන මතය ගැන කෙටි කියුම් ඔහුගේ ඇතැම් කතාවක සඳහන් වීය. ඔහුගේ කතා සංග්‍රහයක් එංගලන්තයේ Rationalist Press Association නමැති නිදහස් මතවාදීන්ගේ සංගමය විසින් පැන්ස හය බැගින් විකුණනු පිණිස මුද්‍රණය කරන ලද ග්‍රන්ථාවලියෙහි වීය. ඉංගර්සෝල්ගේ කථා සංග්‍රහයෙහි පිට කවරයේ අවසාන පිටුවෙහි: Human Origins by Samuel S. Laing, Evolution of the Man by Ernst Heckle, Man’s Place in Nation by Prof. T.H. Huxley යන මාතෘකා හා ඒ පොත් කතුවරයන්ගේ නම්ද ඒ නාමාවලියෙහි වීය. මේ පොත් කොළඹ එකම සාප්පුවකවත් නොවීය. කේව් සමාගමේ පොත් සාප්පුවෙන් මෙයින් සමහර මාතෘකා සහිත පොත් කිහිපයක් ඉතිරිව තිබුණේය. මම සත පනහක් ගෙවා Human Origins නිබන්ධ සංග්‍රහය ගෙන නොඉවසිල්ලෙන් කියවන්ට පටන්ගතිමි. මම සාක්කුවේ දමාගත හැකි ඉංගිරිසි ශබ්දකෝෂයක් ගෙන රොබින්සන් කෲසෝගේ නවකථාව ද අනතුරුව ගලිවරායනය (Gulliver’s Travels) ද කියවීමි. රයිඩර් හැගාර්ඩ්ගේ නවකථා මගේ සිත් ගත්තේය. ඇෆී ඇඩිලේඩ් රොව්ලන්ඩස් නමැති ගැහැනියක ලියූ පෙම් කතාවක් කියවූ මගේ මතක පටෙහි සඳහන් බොළඳ පාඨයක් මට දැනුදු කටපාඩමින් කිය හැකිය.” (උපන්දාසිට 103 පිට)

ඉංගිරිසි බසෙහි වදන් රාශියක් දැනගනු පිණිස ජෝර්ජ් එම්. රෙනෝල්ඩ්ස් ගේ නවකථා කියවන්න යයි සර් පොන්නම්බලම් රාමනාදන් කියූ උපදේශයක් අනුව වික්‍රමසිංහ රෙනෝල්ඩ්ස්ගේ නවකථා කියවන්ට පටන්ගත් බවත් අරාබි නිසොල්ලාසයේ කතා මෙන් ඔහුගේ කතා අවසානය දක්වා කියවා ඉවත තබන්ට ඉඩ නොදෙන ආසාවක් තමන් තුළ හටගත් බවත් කියා තිබෙයි.

මෙපරිද්දෙන් ඉංගිරිසි නවකථා කියවා දියුණු කරගත් ඉංගිරිසි භාෂා දැනුම ඇතිව පරිණාමවාදය පිළිබඳ ඉංගිරිසි පොත් කියවන්ට පටන්ගත් බව උපන්දාසිට ග්‍රන්ථයෙහි දක්වා ඇත. Edward Clodd f.a Story of Creation පොත සහ Dennis Hird f.a Easy Outline of Evolution පොත, එතෙක් අඳුරෙහි අතපතගාන්නකු ලෙස ජීව ලෝකයෙහි ඇත්ත සොයන්ට වෑයම් කළ වික්‍රමසිංහගේ සිත එළිය කළ අයුරු එහිම කියා තිබේ. සමකාලීන කිසිදු ලාංකික ලේඛකයකු එතෙක් සිත් යොමු නොකළ විෂයයන් කෙරෙහි තරුණ වියෙහිදීම වික්‍රමසිංහයන් උනන්දුවක් දැක්වීම ඉංගිරිසි බසින් යුත් විද්‍යා ග්‍රන්ථ කියවීමේ ප්‍රතිඵලයකි. පහත සඳහන් කියුම එය සනාථ කරන්නකි:

“පරිණාමවාදය ගැන දැනුමක් ලැබූ පසු මානව විද්‍යාව පොත් කියවන්නට ද මා තුළ ආසාවක් හටගත්තේය. කොන්ස්ටබල් ග්‍රන්ථ ප්‍රකාශක සමාගම විසින් 1910 දී මුද්‍රණය කරන ලද කුඩා පොත් පෙළකින් දෙකක් Animism by Edward Clodd හා Magic and Festicism by Dr. A.C. Haddon මම කියවීමි. මානව විද්‍යාත්මක පොත් කියවන්ට මා තුළ හටගත් ආසාව නොමැඬිය හැකි සේ වැඩුණේ මේ පොත් දෙක කියවීමෙනි. (උපන්දාසිට 115-116 පිටු)

පොත් කියවීම සඳහා ගත කළ කාලය හා පරිශ්‍රමය තමාගේ හෝ තම පවුලේ හෝ අභිවෘද්ධිය නොතකන තරමටම බලවත් වූ අයුරු වික්‍රමසිංහයන්ගේ පහත දැක්වෙන කියුමෙන් පැහැදිලි වෙයි.

“මා පොත් කියවූවේ විනෝදය පිණිස නොව ලෝකයේ අග මුල දැනගන්නා ආසාවෙනි. පොත් කියවීම වෙහෙසට හේතු නොවූයේ මා එයින් මහත් ආස්වාදයක් ද ලැබූ හෙයිනි. මම මගේ අනාගතය ගැන කිසිම විටෙක නොසිතුවෙමි. විවාහ ජීවිතයට ඇතුළු වන තෙක් (1925) මා ඉපැයූ මුදලෙන් රුපියල් දහයක් පවා මම ඉතිරි නොකෙළෙමි. (උපන්දාසිට, 117 පිටුව)

වර්ෂ 1906 – 1914 අතරතුර කාලයේ කොළඹ පැවති පොත් හල්වල හිමිකරුවන්ව සිටි ඉංගිරිසි ජාතිකයන් සියලු දෙනාම පෞද්ගලිකව හඳුනන තරමටම ඔවුන් හා සමීප ආශ්‍රයක් වික්‍රමසිංහ ගොඩනඟාගෙන තිබුණේ පොත් මිලදී ගැනීම සඳහා නිතර ඒ පොත් සාප්පු කරා ගිය හෙයිනි. වරක් ඇපොතිකරිස් පොත් සමාගමේ සුදු මිනිසා ඔහුට අවවාදයක් දී තිබුණි. “ඔය ළමයා මේ සාප්පුවට ඇවිත් පොත් හතරක් පහක් කියවලා එක පොතක් මුදල් දී අරන් යනවා. පොත් කියවනවට මගේ අමනාපයක් නෑ. ඒ වුණාට ඇඟිල්ල කටේ ගාලා පොතේ පිටු පෙරළන එක නරක පුරුද්දක්” මේ අත්දැකීම වික්‍රමසිංහ සිය ආත්ම චරිත කතාව වන උපන්දාසිට ග්‍රන්ථයෙහි ද ඇතුළත් කොට තිබිණ.

“එංගලන්තයෙන් එන නැව තැපැල් මලු ගොඩබෑ හැටියේ මම ඇපොතිකරිස් පොත් සාප්පුවට ගොස් රුපියල් හතක අටක (අද වටිනාකම අනුව එය රුපියල් දෙතුන් දහසක් විය හැකි ය.) සඟරා හා පොත් මිලට ගත්තෙමි. මා නිතර පොත් මිලට ගන්නකු වූයෙන් සාප්පුවේ පොත් රාක්කවලින් ඕනෑ පොතක් ගෙන ඕනෑ වේලාවක් කියවා ආපසු භාරදී යනු පිණිස ඇපොතිකරිස් සමාගමේ පොත් සාප්පුව භාරව සිටි සුදු මිනිහා මට ඉඩ දුන්නේ ය. (119 පිටුව)

මාර්ටින් වික්‍රමසිංහයන් මේ සියලු තොරතුරු අනාවරණය කරනුයේ උපන්දා සිට ග්‍රන්ථයේ තම බාලවිය පිළිබඳ තොරතුරු ඉදිරිපත් කරන මුල් පරිච්ඡේද එකොළහ ඇතුළත ය. තම ජීවිතයේ අන් සියලු අවශ්‍යතාවන්ට වඩා පොත් මිලදී ගෙන එකතුකොට ඒවා කියවීමට බාලවියෙහි දී සිට ඇති කොට ගත් පුරුද්ද ජීවිතයෙහි අවසාන කාලය දක්වා පවත්වාගෙන ගියේ ය. 1934 වර්ෂයෙහි දී ලියා පළකළ සත්ව සන්තතිය ග්‍රන්ථය සඳහා පමණක් ආශ්‍රය ලැබූ පොත් නම් වැල ඉදිරිපත් කළ වික්‍රමසිංහ පැවසුවේ එම ග්‍රන්ථය ලිවීමේදී තමා කියවූ සියලුම පොත්වල නම් ලියන්ට ගිය හොත් එය දීර්ඝ පුස්තක නාමාවලියක් වන බව ය. එහෙයින් එම පොතෙහි ඇතුළත් පුස්තක නාමාවලියට වඩා දෙතුන් ගුණයක වැඩි පොත් සංඛ්‍යාවක් වික්‍රමසිංහ මහතා කියවා ඇති බව පැහැදිලි ය.

ශ්‍රේෂ්ඨ රුසියානු ලේඛකයන්ගේ ග්‍රන්ථ ලක්දිව තුළ ප්‍රචලිතව නොපැවති අවධියේ දී තරුණ ලිපිකරුවකු වශයෙන් වෙළෙඳ සමාගමක සේවය කරද්දී උසස් රුසියන් නවකථා සොයාගෙන කියවන්ට වික්‍රමසිංහ පෙළඹුණේ ය. සිංහල පුවත්පතකට, ලියෝ ටොල්ස්ටෝයි අරභයා පළමුවෙන් ලිපි පෙළක් ලියුවේ වික්‍රමසිංහයන් ය. ඒ ලිපි පෙළ පළවූයේ දිනමිණ පුවත්පතෙහි 1918 දී ය. රුසියන් නවකථා කියවීමෙන් ඔහු ලද ආස්වාදය සෝවියට් දේශයේ නැඟීම (1962) ග්‍රන්ථයෙහි ලා ඔහු සඳහන් කෙළේ මෙපරිද්දෙනි:

“මම විසි වියෙහි දී පමණ ලියෝ ටෝල්ස්ටෝයි ගේ ‘ඇනා කරනිනා/ නවකථාව කියෙවූයෙමි. ඒ කථාව, විසි වියෙහි සිටි මා ගිහි ජීවිතයෙහි මහා අවුල් සහිත අපූර්ව අධ්‍යාත්ම ලෝකයකට පිවිසවූයේ ය. ඒ නවකථාව කියවීමෙන් මා ලැබූයේ හද කම්පා කිරීමෙන් සිත අවුල් කළ ආස්වාදයකි. ගිහි ජීවිතය, ආදරය, පති දහම, සුසිරිත් හා දුසිරිත් පිළිබඳ මගේ බොළඳ හැඟීම් දෙදරා යෑම නිසා උපන් කලකිරීම හා සංවේගය ද සමඟ මිශ්‍ර වූවකි මගේ ඒ ආස්වාදය. මම අනතුරුව නිකොලායි ගොගොල්ගේ ‘මළගිය පෙරේතයෝ’ නවකතාව කියැවූවෙමි. එතැන් සිට මම පුෂ්කින්, ග්‍රිගරියෙප්, මැක්සිම් ගොර්කි, ඇන්ටන් චැකොෆ්, කුප්රින්, ෂැඩ්රින්, ටර්ගිනිෆ්, ඩොස්ටව්ස්කි, ලැස්කොෆ්, ආට්සිබැෂෙප්, ගොන්චොරොෆ් ආදීන්ගේ නවකථා හා

ක්‍රීලොෆ්ගේ රුසියන් උපමා කථාද ආසාවෙන් කියවීමි. මේ නවකථා හා ප්‍රන්ස නවකථා ද කියවූ මම අවුරුදු සීයක් ගිහි ජීවිතය අරබයා ලබන අත්දැකීමත් නුවණත් ලැබුවෙක්මි යි සිතුවෙමි

(සෝවියට් දේශයේ නැගීම – 2014 මුද්‍රණය. 62 පිටුව)

තරුණ වියෙහි සිටියදී වික්‍රමසිංහ වරක් කොළඹ වීදියකදී පොත් වෙන්දේසිකරුවකුගෙන් පොත් මිලදී ගත් සිද්ධියක් උපන්දාසිට පොතේ හෝ වෙනත් පොතක ලියා තිබුණා මට මතකය. වෙන්දේසිකරුවා ‘මෙන්න රුසියාව ගිනිතැබූ මිනිහාගේ පොත්’ යනුවෙන් කියමින් මැක්සිම් ගෝර්කිගේ පොත් මිටියක් වෙන්දේසියකට තැබීය. ඒ පොත් අතර තමාට වුවමනා පොතක් තිබුණෙන් වෙන්දේසිකරුවා හෙට්ටු කළ මුදල දී පොත් මිටියම ලබාගත් වික්‍රමසිංහ තමාට වුවමනා පොත පමණක් ගෙන ඉතිරි පොත් යහළුවකුට දුන් බව ඒ ලිපියෙහි සඳහන් කොට තිබුණි.

තරුණ වියේ සිට මහලු විය දක්වා මාර්ටින් වික්‍රමසිංහ මිලදීගෙන කියවමින් පරෙස්සමෙන් සුරැකි ග්‍රන්ථ සම්භාරය ඔහු සතුව පැවති මහාර්ඝ බුද්ධිමය දේපල වෙයි. මේ පොත් එකතුවෙන් උකහාගත් හරය ඔහු ලියා පළා කළ ශතාධික ග්‍රන්ථයන් හි ඇතුළත්ය. ඒ සියල්ල අප ජාතියේ අතීත ගමන්මඟ හෙළි කළාවූද අනාගතයට එළි දහරක් විහිදුවන්නාවූද පළිඟු මිණි කැට අහුරක් වැන්න. පන්දහසකට අධික දුර්ලභ ගණයේ පුස්තක සම්භාරයකින් යුතු මාර්ටින් වික්‍රමසිංහයන්ගේ ඒ මහා පුස්තකාලය, අප ජාතියේ අද්‍යතන හා අනාගත පරපුරේ නැණ නුවණ වැඩීම උදෙසා මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලය විසින් නඩත්තු කොට පවත්වාගෙන යනු ලබයි.

දයාපාල ජයනෙත්ති

ලියූ පෙම් කතාවක් බොළඳ පාඨයක් දැනුදු කටපාඩමින් කිය හැකිය....

advertistmentadvertistment
advertistmentadvertistment