ලිස්සා ගිය බසය පාලම් දෙක අතර හිර වෙයි: ජීවිත රැසක් අනූනවයෙන් බේරෙයි!

842

ගිංඔයේ මරුවා පාලමට පරදී

කොළඹ හලාවත ප්‍රධාන මාර්ගයේ වෙන්නප්පුව නයිනමඩම ගිංඔය පාලම අසලදී ලංගම බස් රථයක් ඇදහැලුන වර්ෂාවත් සමග මාර්ගයේ ලිස්සා ගොස් පාලමේ ආරක්ෂිත පැතිබැම්මේ ගැටී තිබේ.

අනතුරකින් පසු ස්කැමර් රථයක්ද පාරෙන් ලිස්සා ගොස් අනතුරට පත් බස්රථයේ ගැටී ඇති අතර අනතුරින් දස දෙනෙක් තුවාල ලබා ඇති බව වෙන්නප්පුව පොලිසිය පවසයි. ඊයේ අලුයම 3.45 ට මෙම අනතුර සිදුව තිබේ. බස් රථය පුල්මුඩේ සිට කොළඹට ධාවනය වෙමින් තිබියදී අනතුර සිදුවී ඇත. මෙම අනතුරින් තුවාල ලබා ඇත්තේ බස් රථයේ රියැදුරු හා එහි ගමන් කළ මගීන් පිරිසකි.

බස් රථය ලිස්සා ගොස් පාලමේ ආරක්ෂක වැටෙහි ගැටී නතරවීම නිසා සිදුවීමට ගිය විශාල අනතුරක් වැළකුණු බව පොලිසිය පවසයි. මෙම අනතුර සම්බන්ධයෙන් වෙන්නප්පුව පොලිසියේ රථවාහන අංශයේ නිලධාරින් විසින් පරීක්ෂා කරන අතරතුර හලාවත දෙස සිට පැමිණි ස්කැමර් රථයක්ද එම ස්ථානයේදීම ලිස්සා ගොස් අනතුරට ලක් වූ බස් රථයේ පසුපස ගැටී අනතුර සිදුවූ බව පොලිසිය කියයි. බසය නව හා පැරණි පාලම් දෙක අතර සිරවීම නිසා බස් රථය ගිංඔයට වැටීම වැළකී තිබූ අතර ඒ හේතුවෙන් මගීන්ගේ ජිවිත අනුනවයෙන් බේරී ඇති බව පොලිසිය කියයි. අනතුර සම්බන්ධයෙන් වෙන්නප්පුව මූලස්ථාන ප්‍ර.පො.ප. තිළිණ හෙට්ටිආරච්චි මහතාගේ උපදෙස් සහ රථවාහන අංශයේ ස්ථානාධිපති උ.පො.ප. කුලරත්න, සැරයන් රණතුංග හා දිසානායක යන මහත්වරු පරික්ෂණ පවත්වති.

අමරනන්ද විජේසේකර – මහවැව


advertistmentadvertistment