ලීසිං සීසිං කරන සීසර්ලාගේ මේ දවස්වල කුණු වැඩ මෙන්න

388

මිත‍්‍ර ශ‍්‍රී කරුණානායක


ෆිනෑන්ස් මාෆියාවට එරෙහිව හඬක් නැගූ එක්සත් ත‍්‍රිරෝද වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන හෙවත් නුගේගොඩ ලොකු චූටිව මිරිහානේදී අමානුෂික ලෙස පොලූ මුගුරුවලින් පහර දී මරා දමා දැන් වසරක් ඉකුත්වී ඇත.

ලොකු චූටිව ඝාතනය කළ මිනීමරුවන්, චූටි කළ විප්ලවයන් සහ ඔහගේ පවුලේ අය ගැන බොහෝ අයට දැන් අමතකව ගොස් ඇතත් චූටිගේ මරණය නිසා යම් සහනයක් ලද අයද අප සමාජයේ සිටී. ඒ අන් කවරෙකුවත් නොව මැර ජඩ සීසර්ලා පැමිණ තමන්ට පහර දී තම වාහනය උස්සන් යාවි යයි මර බියෙන් කල් ගෙවූ ලීසිං හෙවත් කල්බදු ක‍්‍රමයට ණය මුදල් ගෙන වාහන ලබා ගත් එම මුදල් ගෙවා ගත නොහැකිව මානසිකව පීඩා විඳින ජනතතාවයි.

දැන් වසරක පමණ කාලයක් තුළ සීසර්ලා අක‍්‍රීය වී නොහොත් අක‍්‍රීය කර ඇත. කල් බදු ඇරියස් වුණු වාහන ඉස්සීම නොහොත් සීස් කිරීම රාජ අණින් නවත්වා ඇත. එය සමහරුන්ට ඇත්තටම මහත් සහනයක් වුවද හිතා මතා වංචා කරන හිතාමතාම මුදල් ගෙවීම පැහැර හරින තවත් සමහරුන්ට මෙය පරණ පිනක් හිසට කඩා වැටුණා වැනි පිනා චාන්ස් එකක් බවට පත්වී තිබේ. ජනපති අණින් මෙසේ වාහන ඉස්සීම තහනම් කළ ද පසුගිය කාලයේ දිවයිනේ විවිධ පළාත්වල සිටින ජනපති අණ තඹ සතේකට නොතකන රාජ අණටත් උඩින් යන්නට බය නැති ෆිනෑන්ස් කොම්පැනි සහ සීසර්ලා පිරිසක් ඉතා අමානුෂික අන්දමින් වාහන උස්සා ඇති අයුරු අපට දැනගන්නට ලැබී ඇත. ඊට ආසන්නම සිදුවීම වන්නේ පසුගිය සතියේ දිනක මීගමුවේ කමල්රාජ් නමැති අධම සීසරයාගේ අසික්කිත පහත් ජඩ ක‍්‍රියාවයි. ඒ මහමගදී වාහනයක් උස්සන්නට ගිය කල වාහන හිමිකරු එය දීමට පැකිලෙද්දී එහි සිටි මෙලෝ දෙයක් නොදන්නා වාහන හිමිකරුගේ දස හැවිරිදි දරුවා ග‍්‍රහණයට ගෙන වාහනය නොදෙන්නේ නම් දරුවාගේ ගෙල කරකවා මරණ බවට තර්ජනය කිරීමයි. අපට මේ ගැන කියන්න ඇත්තේ ”කලූවෝ තොට හෙණ ගහපං’ කියා පමණි. අප හිතා සිටියේ වාහන ඉස්සීමේදී ජඩ වැඩ කරන්නේ ගොඩ ෆිනෑන්ස්කාරයන් විතරයි කියා වුවද දශක ගණන් ව්‍යාපාර කර කීර්ති නාමයක් දිනා සිටිනා ස්ථාපිත කොම්පැනි පවා මෙවන් දේ කිරීම පවතින රජයට සහ පාලකයාගේ කනට පහරක් ගැසුවා වැනිය.

කොරෝනා නිසා සමාජයේ සරල සාමාන්‍ය බොහෝ දෙනෙකුට විවිධ අස්ථාවර තත්ත්වයන් දුෂ්කරතා ඇති වුණත් වාහන ඉස්සීමේ රස්සාව නැති වූ පමණින් සීසර්ලාට එතරම් අහේනියක් දැනී නැත. මක්නිසාද සීසර්වරුන් යනු වාහන ඉස්සීමෙන් පමණක් ජීවත් වෙන ෆිනෑන්ස් කොම්පැනිවලින් ගෙවන වැටුප් හෝ කොන්තරාත්තු වලින් පමණක් යැපෙන අය නොවේ. ඔව්හු වාහන විකිණීමේ බ්‍රෝකර් වැඩ, ත‍්‍රීරෝද රස්සාව ඉඩකඩම් විකිණීම කුලියට ගෙවල් සොයා දීම මෙන්ම වෙනත් ජාවාරම් මැරකම් ආදියෙන් ද මුදල් හම්බ කරන්නෝ වෙති. (සීසර්ලා ගැන කතා කිරීමෙන් පලක් නැති නිසා ඒම මාතෘකාව මෙතනින් නවත්වා අනිත් අය දෙස හැරෙමු.)

තමාටම කියා වාහනයක් ගැනීමේ සිහිනය හෝ ආසාව බොහෝ දෙනෙකුට ඇත. එහෙත් එකවර අත්පිට මුදල් ගෙවා වාහනයක් මිලදී ගැනීමට හැකියාව ඇත්තේ යම් පිරිසකට පමණි. අතේ මුදල් නැති එකා ලීසිං හෝ ෆිනෑන්ස් කොම්පැනියක පිහිට පතන්නේ මේ නිසාය.

”මං අවුරුදු පහළොවක් තිස්සේ අපේ අල්ලපු ගෙදර මහත්තයගේ වෑන් එකෙං රියදුරු රස්සාවට ස්කූල් සර්විස් එකක් කළා මහත්තයා මට සාධාරණ වැටුපක් ගෙව්වා. සතියේ දවස් පහම මං උදේ හතරට නැගිටලා වාහනේ තෙල් වතුර බලල දෙයියො බුදුන් වැඳලා ගෙදරින් පිටවෙලා තැන් තැන්වලින් ළමයි නග්ගගෙන ගම්පහ ඉඳල කොළඹ ඇවිල්ල ආයෙත් දරු පැටවුන් දාගෙන හවසට ගෙදර යන්නේ රාජකාරිය වගේම දේවකාරිය වගේම ආදර භක්තියකින්. වාහනේ මහත්තය, දරු පැටව් වගේම දෙමාපියනුත් මාව විශ්වාස කරනවා. මෙහෙම ඉන්නකොට අපේ මහත්තය ලෙඩ වෙලා ආර්ථික ප‍්‍රශ්නත් ඇවිත් වාහනේ විකුණන්න දැම්මා. මගේ ආදායම් මාර්ගය වගේම දරුවන්ගේ ඉස්කෝල ගමන ගැනත් හිතල මං අමාරුවෙන් සල්ලි ටිකක් හොයාගෙන ඉතුරු ගාණට ෆිනෑන්ස් එකක් දාල ඒ වාහනේම අරන් පරණ ස්කූල් සර්විස් එක ඒ වගේම කරගෙන ගියා.

2019 සහරාන්ලාගේ බෝම්බෙයි 2020 ආපු කොරෝනා වසංගතෙයි නිසා අපේ රස්සාවට මරු පහරක් වැදුනා වගේ අපිව විනාශ වෙලා ගියා. මුල් කාලෙ නම් දරුවන්ගේ දෙමාපියන් පොඩි පොඩි උදව් උපකාර කළා. දැන් ඒගොල්ලාත් අමාරුවෙ වැටිල නිසා අපි ඔක්කොම අසරණයි. මං වගේ තව සිය දාස් ගාණක් ස්කූල් සර්විස් කාරයන් ත‍්‍රිරෝද ගත්ත අය, පොඩි වාහනවල ජංගම වෙළෙඳාම කරපු අය ඉන්න බව මං දන්නව. අපි ඔක්කොම අන්ත අසරණ වෙලා.

දැන් කාලෙක ඉඳල ෆිනෑන්ස් එකෙන් වාහන උස්සන්නෙ නැති වුණත් නිතර නිතර ටෙලිෆෝන් කරල අපිට හිඟ මුදල් මතක් කරනවා. සමහර වෙලාවට කැත විදියට බනිනවා අපහාස කරනවා තර්ජනය කරනවා. සල්ලි දෙද්දි තිබුණ ආදරය කරුණාව සෙනෙහස සහ ත්‍යාගශීලි බව දැන් නැහැ.”

වෙන කිසිදු ආදායම් මාර්ගයක් නැති පාසල් යන දරුවන් තිදෙනකුගේ පියකු වන ගම්පහ අමරසේකර මහතාගේ ඒ කතාව සහ තවත් එයටත් වඩා හද දනවන කතා අනන්තවත් අපට පෙන්වා දිය හැක. නමුත් නිතර දෙවේලේ බොහෝ මාධ්‍යවල මේවා ප‍්‍රචාරය වුවද ඒවා බීරි අලින්ට වීණා වයනවා වැනිය.

”පත්තරේ ටීවි එකේ යන දැන්වීම් දැකල තමයි මං ලේසියෙන් ලීසිං දාගන්න පට් ගාල අතට සල්ලි ගන්න මිස් නොකර ලීස් කරගන්න ෆිනෑන්ස් එකක් දැම්මෙ. පැණි බේරෙන ආදරයෙන් කතා කරල තමා මට කොම්පැනියෙන් මුලින්ම විස්තරේ කිව්වෙ. මාත් දෙපාරක් නොහිතා පොඩි කාර් එකකට ස්පීඞ් ඩ‍්‍රාෆ්ට් එකක් දාගත්තා. එතන හිටපු ලස්සන තරුණ නෝන කෙනෙක් මගෙනුයි මං එක්කං ගිය ඇප කාරයගෙනුයි ඩොකියුමන්ට් සෙට් (අදාළ ලියකියවිලි) මං හිතන්නෙ දහයකට විතර අස්සන් කර ගත්තා. සල්ලි හදිස්සියනේ ඉතිං අපිත් මුකුත් නොබලම ඔහේ අස්සන් කරල දැම්මා. අනික ඉංග‍්‍රීසියෙන්නේ තිබ්බෙත්. ඔව්වා අපිට එච්චර තේරෙන්නෙත් නෑනේ. දැන් තමා රෙඟ් තේරෙන්නෙ. ඇරියස් ඇරියස් කියල කෝල්ස් එනව.”

ඒ ලීසිං වාරික ගෙවා ගන්න තියා හරියට කන්නවත් නොමැතිව නන්නත්තාරව සිටින අමල් තරුණයාගේ කතාවයි. ඔහු කලින් කුඩාවට රෙදිපිළි සහ නිමි ඇඳුම් ව්‍යාපාරය කරගෙන ගිය අයෙක් වන අතර දැන් ඒ සියල්ල කරන්න බැරි නිසා ලීසිං ණය මත තමා ගත් කුඩා මෝටර් රථය මහමග නවතාගෙන මුහුණු ආවරණ සහ විෂබීජ නාශක දියර බෝතල් අලෙවි කරයි. අවසානයේදී ඔහු මෙසේද පැවසීය.

”මුල් දවස්වල මේවට හොඳ ඉල්ලූමක් තිබුණා. ඒත් දැන් පෙට‍්‍රල් වියදම කවර් කර ගන්නවත් බිස්නස් එකක් වෙන්නෙ නෑ.”

ජනපති අණින් සීසිං හෙවත් වාහන ඉස්සීම නැවැත්තුවද බරපතල ලෙස හිඟ වාරික මුදල් ඇරියස් වී ඇති වාහන යළි අත්පත් කර ගැනීමේ වැඩපිළිවෙළක් ඇති බව මට කිව්වේ මා දන්නා තරුණයෙකි. ඔහු දිවයිනේ ඇති ප‍්‍රසිද්ධ ලීසිං ආයතනයක විධායක නිලධාරියෙකි.

”මෙහෙමයි… දැන් සීස් කරන්න බැහැනේ. ඒක නිසා අපි කරන්නේ වාරික ගොඩක් නොගෙවපු ලොකු ගාණක හිඟ මුදලක් ඇති වාහන තියන් ඉන්න අය ගැන අදාළ පොලීසියේ එන්ටි‍්‍රයක් දානවා. ඊට පස්සේ නීත්‍යානුකූල අන්දමට පොලිසියට යම් මුදලක් ගෙවල නිලධාරීන් දෙදෙනෙකුත් එක්ක යනවා අදාළ වාහනය ගනිද්දි ඉදිරිපත් කරල තිබුණ ලිපිනයට… ගිහින් වාහනය ඉල්ලනවා. නොදුන්නොත් නඩු දානවා. වාහනය ඒ ස්ථානයේ නොතිබුණොත් ඒක ගත්ත කෙනාව පොලීසියට අරන් යනවා. වාහනය බාර දෙන තුරු පොලීසියේ තියා ගැනීම තමා හරිනං කළ යුත්තේ. ඒත් අපි තාම ඒ නීතිය එච්චර තදට ක‍්‍රියාත්මක කරන්නෙ නෑ.”

යමෙක් තවත් අයෙකුගෙන් ණයක් ගත් විට එය අනිවාර්යයෙන්ම ගෙවිය යුතුය. ගෙවන්නට බැරි නම් නොගෙන සිටිය යුතුය. සුනාමි, සහරාන් බෝම්බය, කොරෝනා වැනි උපද්‍රව හෝ නොවැළැක්විය හැකි ව්‍යසන ආවිට ඒ පිලිබඳ ණයහිමියා දැනුවත් කර සහන ලබා ගැනීමටද ණයගැතියාට අවකාශයක් ලිබිය යුතුය. ණයහිමියා ද තම පාරිභෝගිකයා ගැන යම් තරමට මානුෂීයව සිතිය යුතුය. නමුත් දැන් වෙන්නේ ෂයිලොක් නම් මුදල් පොලියට දෙන යුදෙව්වා මෙන් මස් රාත්තලම එනම් කිසිම සහනයක් නොදී තඹ සතේට හිඟ මුදල් මෙන්ම පොලී මුදල් ද අයකර ගැනීමයි.

කොරෝනා සහන කියා දෙයක් පසුගිය කාලවලදී අපට ලීසිං කොම්පැනි තුළින් අසන්නට ලැබුණි. එයත් හරියට මෙවර දෙනවා යයි කී පන්දාහේ දීමනාව වැනි යයි මා මිතුරෙක් මාහට පැවසුවේ මා ඔහුත් සමග ඔහුගේ හිඟ වාරික ගෙවීම සඳහා නගරයේ ඇති ප‍්‍රධානම ලීසිං කොම්පැනියකට ගිය අවස්ථාවේදීය. ඒ සිදුවීම මෙසේ විස්තර කරමු.

මා මිතුරා තම හිඟ මුදල් කැෂියර්ට ගෙවා නිකමට මෙන් මේ පාර කොරෝනා සහන නැද්දැයි ඔහුගෙන් ඇසූ අතර කැෂියර් පිළිතුරු දුන්නේ”ඇයි සර් ඉස්සරහ රිසෙප්ෂන් එකේ ඉන්න මිස් ගාව ඇප්ලිකේෂන් ෆෝර්ම් එකක් ඇති ඒක පුරවල ඔයාගේ ෆයිල් එක කරන ඔෆිසර්ට දෙන්න එයා ඉතුරු ටික කරයි” යනුවෙනි. එම ආයතනයේ ශාඛා කළමනාකරු මා හොඳින් දන්නා අතර මා මගේ මිතුරාවත් ඇදගෙන ඔහුගේ වායුසමනය කළ සීත කුටියට ගොස් එම සහනය ගැන විමසා සිටිද්දී කළමනාකරුගේ පිළිතුර වුණේ මෙයයි.

”පිස්සුද මචං ඕවා වෙන දේවල් නෙමේ. උඹලට ඕනිනං කොලේ පුරවල පල්ලෙහාට බාර දීල පලයං ඒත් සහනයක් බලාපොරොත්තු වෙන්න නං එපා. පොලියත් එක්කම හැම සතයක්ම ගෙවන්න වෙනව. ඒක නිසා පුළු පුළුවන් විදියට වාරික ටික ගෙවල දාපං. අපි මොන තරම් කැමති උනත් උඹල කොච්චර සහන ඉල්ලූවත් මේවයෙ ලොක්කන්ටයි අයිතිකාරයන්ටයි මේවා තේරෙන්නෙ නෑ. උන්ට ඕනි කොහොම හරි ලැබෙන්න තියෙන සල්ලි ටික අර ගන්නයි.

මේවා අපේ මහ එවුනුයි දේශපාලකයොයි, නායකයොයි අදාළ ඉහළ නිලධාරියොයි එකතු වෙලා මිනිස්සු අන්දන්න කරන බොරු ප‍්‍රචාර, හරියට අර පන්දාහ දෙනව කිව්ව වගේ තමයි.” යනුවෙනි.

මගේ මිතුරු කළමනාකාරයා ඇත්ත කිවුවද බොරු කීවද මම නොදනිමි. නමුත් මගේ සිහියට ආවේ අපේ රටේ ජනප‍්‍රියම නළුවා නිතරම කියන කතාවයි.

”උන් ඔක්කොම යාලූවො මල්ලී”

ගොඩ ලීසිං කරන පොඩි ආයතනවල අයිතිකරුවන්ගෙන් වැඩි දෙනෙක් සාධාරණ ලෙස හරිහම්බ කරන අය නොවන බව අපි කාටවත් රහසක් නොවේ. ඔවුන් බොහෝ විට මැර පාතාල පසුබිමකින් එන අවර ව්‍යාපාරවල නියුතු මොනවා හෝ කර මුදල් ඉපයීමට රිසි මුදලට දැඩි ගිජු බවක් දක්වන අය බව ප‍්‍රසිද්ධ කරුණකි.

නමුත් වැදගත් විදියට හොඳ කීර්ති නාමයක් සහිතව ලීසිං හෙවත් කල්බදු ආයතන පවත්වාගෙන යන අය ලොව සිටින අංක එකේ ධනකුවේරයන් සහ සුප‍්‍රකට ව්‍යාපාරකයන් බවට අප රටේ මතයක් පවතී. ඔවුන්ට ඔවුන්ගේ නමින් සහ වෙනත් නාමවලින් තවත් ආයතන ව්‍යාපාර ව්‍යාපෘතීන් සමූහයක් ඇත. කොටස් වෙළඳපොළෙන් හයෙන් පහක බලය ඇත්තේ ඔවුන් අතේය. ඔවුන්ටම කියා මූල්‍ය බැංකු, වාහන ආනයන කරන ව්‍යාපාර, විශාල කර්මාන්ත ශාලා, ඇඟලූම් ආයතන මෙන්ම තවත් ව්‍යාපාර තිබේ. සමහරුන්ට විදේශීය රටවල්වල පවා ව්‍යාපාර සහ ආයෝජනයන් ඇත. ඔවුන් පරිහරණය කරන්නේ අති සුඛෝපභෝගී රථවාහන සහ ජීවත්වන්නේ මහල් මන්දිරවලය. සමහරුන්ට තමන්ටම කියා ජෙට් හෙලිකොප්ටර් වැනි අහස්යානා ද ඇත. ඒ මොනවා තිබුණද අපේ බෝගහ හට විට විකුණන ජයසිරි මාමා ඔවුන් ගැන කියන්නේ මෙලෙසයි.

”ඔය මොනවා තිබුණත් ඕකුන් කරන්නෙත් කෝපි කඬේ පොලි මුදලාලි කරන එකමනෙ මහත්තයො. ඒ කියන්නෙ අනුන්ට හදිසියකදි මුදලක් දීල ඒ මුදලට පොලියක් ගන්න එකනෙ. ඔය ලස්සනට ඇඳල කරල යන්නෙ තරු පහේ හෝටල්වලින් කාල බීල ඉන්නෙ දුප්පත් අහිංසකයන්ගෙන් ගන්න පොලී මුදලින් කියල හිතෙන්නෙ නැත්තෙ ජාතකේ වැරැද්ද එහෙම නැත්නං ලැජ්ජ නහර ගෙවිල නිසා වෙන්න ඇති මං හිතන්නෙ… හොඳ යහපත් ගුණගරුක දෙමාපියන්ට ජාතක වුණ අයෙක් නං කවදාවත් පොලියට දෙනව තියා හිතන්නෙවත් නෑ ඒ වගේම අපේ රටේ තියෙන්නේ සැලකුවොත් සැලකුවා තියරියනෙ මහත්තයෝ…”

සමහර කල්බදු ආයතනවල සේවය කරන සමහරක් කෙල්ලන් කොල්ලන් හිතන්නේද තම සේවාලාභීන් තම අතපල්ලෙන් වැටුණු අය ගාණටය. දුරකථනයෙන් පමණක් නොව මුහුණට මුහුණ සිටියදීම වාරික මුදල් ගෙවීම අතපසු කළ තම සේවාලාභීයාට කැතට නරකට බනිනු අපහාස කරනු මම මගේ ඇස් දෙකටම දැක ඇත. කන් දෙකෙන් අසා ඇත. පොලීකාරයාගේ අයිතිය සහ වගකීම වන්නේ තමා පොලියට හෝ ඇපයක් තබා ගෙන පිටට දුන් මුදල යළි කොහොම හරි ලබා ගැනීමයි. ඒ සඳහා ඔවුන් සමහරවිට තමන්ගේ සහචරයන්, මැරයන් සහ පාතාලයේ චණ්ඩින්ගෙන් පවා සහය ලබා ගනී. ගමේ පොලී මුදලාලිගේ සහචරයන් රත්නෙ, ගුණපාල, සුද්දා හෝ මහතුන් මල්ලි වන අතර නගරයේ පොලියට දෙන එකාගේ සහචරයන් ඇන්ටා, ඩගී, රෙඞ් මාලන්, රිපීටර් ජගා, බෝම්බ ටෝනි වැනි අයි ආර් සී කාරයෝ වෙති. එමෙන්ම තරු පන්තියේ කල්බදු පොලී ව්‍යාපාරිකයාගේ නිලධාරී මණ්ඩලය වන්නේ ෆයිනෑන්ස් මැනේජර්, ලීසිං එක්සෙකටිව්, රිකවරි ඔෆිසර්, ඩෙත් කලෙක්ටර් හෝ සීසර් වැනි අයයි. කවුරු කළත් කරන්නේ එකම රාජකාරියයි වෙනස් වන්නේ නම පමණය.

advertistmentadvertistment
advertistmentadvertistment