ලුණුත් ගේන්නට සිදුවීම

423

රටේ පවතින ලුණු හිඟයට විසඳුමක් වශයෙන් ලුණු ගල් 30,000ක් ආනයනය කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ. මේ ගෙන්වන්නේ රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව හරහා ය. මෙම සංස්ථාවට ලුණු සැපයීමට ඉන්දියාවේ සැපයුම්කරුවන් දෙදෙනකුට අවසර දී තිබේ. එහි පළමු වැනි ටොන් 4500ක ලුණු තොගය අද කොළඹ වරායට ළඟා වනවා ඇත. කිසියම් ගෙදරකින් ලුණු කෑවොත් ඒ ගෙදරට ද්‍රෝහි නොවිය යුතු බවට ප්‍රවාදයක් තිබේ. මෙය යුරෝපීය ප්‍රවාදයක් වන අතර පසුව ඉස්ලාම් ලෝකය හරහා ආසියාවට පැතිර ගිය ප්‍රවාදයකි. ඒ අනුව අපි ඉන්දියාවෙන් ලුණු කෑවොත් අදානිට මන්නාරමේ සුළං මෝල් ව්‍යාපෘතිය ලබාදිය යුතුය. අප මෙසේ කියන්නේ පෙර කී ප්‍රවාදයට සාපේක්ෂව මිස එය එලෙසම කළ යුතුය යන අදහසින් නොවේ. කෙසේ හෝ වේවා ලංකා ඉතිහාසයේ පළමු වැනි වතාවට ලුණු හිඟයක් මේ රටේ හටගෙන ඇත. ලංකාව වටේට මුහුදක් තිබේ. මේ රටට සූර්ය රශ්මිය ද ඕනෑ තරම් ඇත. එහෙත් මෙරට නිෂ්පාදනය කරන ලුණු රටට ප්‍රමාණවත් නොවන තත්ත්වයක් උද්ගතව තිබේ. ලංකාව වටේට මුහුදක් තිබුණත් තෝර මාළු කිලෝවක් රුපියල් හාරදහකි. එසේම අප තලපත් මාළු ගෙන්වන්නේ පිටරටිනි. ඔබ උදේ පාන්දරට පෑලියගොඩ මාළු මාර්කට් එකට ගියොත් ශීතකරණ පහසුකම් සහිත කන්ටේනර්වලින් බාන විශාල කොස් කඳන් වැනි තලපත් මාළු දැකිය හැකි ය. මේ තලපතෙක් මිනිහකුගේ ඇඟ උඩට වැටුණහොත් ස්ථිර වශයෙන්ම ඇක්සිඩන්ට් වෝර්ඩ් එකට යෑමට එම මිනිසාට සිදුවේ. මේ රටේ ජනතාව අවුරුදු 2000කටත් වැඩි කාලයක් අනුභව කළේ ලංකාවේ වගා කරන ලද සහල් ය. එහෙත් අද සහල් ද පිටරටින් ගෙන්වීමට සිදුව තිබේ. ආණ්ඩුව පොල් පිටරටින් නොගෙනාවොත් සිංහල අවුරුද්ද වනවිට පොල් හිඟයත් සමග පොල් ගෙඩියක මිල රුපියල් 300ට යනවා ඇත. මේ දවස්වල මේ රටට තවත් ප්‍රශ්නයක් තිබේ. ඒ, නොනවත්වා ඇදහැලෙන වර්ෂාවෙන් සිදුවන විපතයි. වැස්ස යනු, ප්‍රාග්ධනයේ කොටසක් ලෙස ආර්ථික විiාඥයෝ හඳුන්වති. මේ අනුව ප්‍රාග්ධනය අපට වාසියක් වී තිබෙන බව පෙනේ. මේ රටේ ලුණු හිඟයට හේතුව, හිටිගමන් ජනගහනය වැඩි වී ලුණු පරිභෝජනය ඉහළ යෑම නොවේ. මේ වනවිට මෙරටේ ජනගහන වර්ධන වේගය අඩු වී ඇත. එසේ නම් ලුණු හිඟය පිටුපස කිසියම් නිෂ්පාදන අර්බුදයක් තිබිය යුතුය. මේ ලුණු හිඟයට මේ රටේ ජනතාව ද යම් ප්‍රමාණයකින් වගකිව යුතුය. පසුගිය කාලයේදී මේ රටේ කාර්මික ලුණු හිඟයක් ඇති විය. Industrial Salt ලෙස හැඳින්වෙන මේ ලුණු වර්ගය විවිධ කර්මාන්ත සඳහා යොදාගනු ලැබේ. වෙඩි ලුණු යනු, මෙවැනි කාර්මික ලුණු වර්ගයකි. ලුණුවල විද්‍යාත්මක නාමය වන සෝඩියම් යන වචනය මුල් කරගත් ලුණු වර්ග රාශියක් කාර්මික ලුණු අතර තිබේ. මේවා හොද්දට දැමිය නොහැක. මේවා හොද්දට දැමුවහොත් බඩ යෑම වැළැක්වීම සඳහා ඇබ ආනයනය කළ යුතුවේ. කාර්මික ලුණු හිඟයක් රටේ පවතින බව ඇතැම් මාධ්‍යවල පළ වුණේ, රටේ ලුණු හිඟයක් ඇති ලෙසට ය. මේ නිසා මේ රටේ පාරිභෝගිකයෝ විශාල වශයෙන් ලුණු ගබඩා කරන්නට පටන් ගත්හ. දැනට පවතින ලුණු හිඟයට මේ රටේ ජනතාවගේ එම ක්‍රියාව ද 5%ක පමණ බලපෑමක් සිදුකර තිබේ. කෙසේ වුවද අවසන් ඵලය වූයේ, මාර්කට් එකේ ලුණු නැති වීමය.

මනුෂ්‍ය ශිෂ්ටාචාරයේ බිහිවීමට පාදක වූ විවිධ ද්‍රව්‍ය කිහිපයක් තිබේ. මේවා අතරින් ප්‍රමුඛත්වය ලුණුවලට ලැබේ. ශිෂ්ටාචාරගත වෙමින් සිටි මනුෂ්‍යයා ලුණු නොමැති වන්නට දුර්වල සත්ත්වයකු වනවා ඇත. මුහුදක් ඇති රටවල ජනයා මුහුදු වතුර වාෂ්පීකරණයට ලක් කර ලුණු සාදා ගනී. මුහුදක් නැති රටවල ජනයා ලුණු ලබාගන්නේ ලුණු ආකරවලිනි. ස්වභාවධර්මයේ වැඩපිළිවෙළ ඉතා අනර්ඝය. ලුණු නැති රටවලට ලුණු ආකර දීමට ස්වභාවධර්මය සාධාරණ විය. නේපාලය ලුණු ලබාගන්නේ ආකරවලිනි. මේ ආකරවල කළු පැහැති ලුණු, රෝස පැහැති ලුණු යනාදී වශයෙන් ලුණු වර්ග කීපයක් පවතී. කළු පැහැති ලුණු මිල අධික වන අතර මේවායින් ශරීරයට විශේෂ ගුණයක් ලැබෙන බව ප්‍රවාදවල සඳහන්ය. මිනිස්සු මෙයට අවුරුදු 6,000කට පෙර සිටම ලුණු පාවිච්චි කළහ. සතුන්ට ද ලුණු අවශ්‍ය ය. කඳුකරයේ වෙසෙන අලි තමන්ට අවශ්‍ය ලුණු ලබාගැනීම සඳහා ගෙවල්වල තිබෙන ලුණු පොල්කටු උරා බොති. මේ රටේ වැදි ජනයා මෙයට අවුරුදු 200කට පමණ පෙර ලුණු හිඟයක් පවතින අවස්ථාවලදී ගස් වර්ගයක පොත්තක් හොද්දට දැම්මේ ය. එම පොත්තේ ලුණු ඇති අතර ඒවා හොද්දට එකතු විය. මුල් යුගයේදී වැදි ජනතාව වෙළෙඳාම් කළේ භාණ්ඩ හුවමාරු ක්‍රමයට ය. වියළි දඩ මස්, මීපැණි, ලිහිණි කූඩු, බිංකොහොඹ යනාදිය සොයාගන්නා වැදි ජනයා ඒවා මුස්ලිම් වෙළෙන්දන්ට දී ඒවා වෙනුවට ලුණු, රෙදි සහ ඊතලවල යකඩ උල් ලබාගත්හ. මේ අනුව ලුණු යන සාධකය මනුෂ්‍යයා සමග ද තිරිසන් සතුන් සමග ද ඉතා දැඩි ලෙස බැඳී ඇත. ලුණු යනු, ආහාර කල්තබා ගැනීම සඳහා පාවිච්චි කළ හැකි හොඳම කල්තබා ගැනීමේ කාරකය වේ. ශිෂ්ටාචාරය විසින් අලෙවි කරන ලද ප්‍රමුඛතම වෙළෙඳ භාණ්ඩයක් ලෙස ලුණු සඳහන් කළ හැකි ය. ලුණු සහිත පසේ, මළ සිරුරක් භූමදානය කළවිට එය කරවලකූරියකු බවට පත්වී වසර දහස් ගණනක් එලෙසම පවතී. ලුණු පිළිබඳ කතාව සාගරය තරමටම විශාල ය. ඒ නිසා අපි මේ රටේ ලුණු හිඟයට හේතුව ගැන නැවත සාකච්ඡා කරමු.

මේ රටේ ලුණු හිඟයට ජනතාව 5%කින් පමණ දායක වූ බව අපි මේ තීරුවේ මුල් කොටසේදී කීවෙමු. එසේ නම් ඉතිරි 95%ට හේතුව කුමක්ද? මෙහි හේතුව අදටත් පැහැදිලි කරගැනීමට නොහැකි අබිරහසකි. රටේ සමස්ත ලුණු නිෂ්පාදනයේ කිසියම් අඩුවක් තිබිණ. එහෙත් මේ තරම් ලුණු හිඟයක් පැවතීමට එය කිසිසේත්ම හේතුවක් විය නොහැකි ය. මේ රටේ ව්‍යාපාරිකයන් වීවලින් බීර පෙරන්නා සේ, ලුණුවලින් ද කිසියම් ගේමක් ගහනවා ද යන්න ආණ්ඩුව සොයා බලනවා විය යුතුය. කෙසේ වුව ද මාර්තු මාසය මැද වනවිට මේ රටේ ලුණු ලේවායවල ලුණු අස්වැන්න නෙළීම ඇරඹේ. එවිට ලුණු හිඟය මඟහැරී යතැයි කියති. එහෙත් තවත් මාස 2ක් බලා ඉන්නේ කොහොමද?


advertistmentadvertistment