ලුවිස් සහ රදර්ෆර්ඩ් කොදෙව් කණ්ඩායමට ජය ගෙනෙති

87

ශ්‍රී ලංකා බටහිර ඉන්දීය කොදෙව් එක්දින තරගාවලිය

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැති තුන් වැනි සහ අවසන් එක්දින තරගයේදී එවින් ලුවිස් සහ ෂර්ෆන් රදර්ෆර්ඩ්ගේ වේගවත් පිතිහරඹය නිසා කඩුලු 8ක පහසු ජයක් ලබාගැනීමට කොදෙව් කණ්ඩායම සමත් විය.

ශ්‍රී ලංකා කණ්ඩායම පෙන්වූ දුර්වල පන්දු රැකීමද කොදෙව් කණ්ඩායමේ වාසියට හේතු විය.

රැකගත හැකි මට්ටමේ උඩ පන්දු ගිලිහී යෑම සහ නවතාලිය හැකි හතරේ පහර ද ශ්‍රී ලංකා පන්දු රකින්නන් අතින් ගිලිහී යෑමෙන් ජයග්‍රහණය ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ගිලිහී ගියේය.

පළමු සහ දෙවැනි එක්දින තරගවලදී කොදෙව් කණ්ඩායමේ ඉඩක් නොලැබුණු එවින් ලුවිස් එක්දින තරගයක් සඳහා සහභාගි වූයේ 2021 වසරෙන් පසුව වීම විශේෂත්වයක්.

තෙවැනි තරගයේදී සිය පස්වැනි ශතකයද වාර්තා පොත් අතරට එක්කර ගැනීමට ලුවිස් සමත් විය.

ශ්‍රී ලංකා පන්දු යවන්නන් හමුවේ කිසිදු බියක් නැතිව අත දිගහැර පන්දුවට පහරදුන් ලුවිස් පන්දු 61කදී ලකුණු 102ක් රැස්කරගත් අතර හයේ පහරවල් 4ක් සහ හතරේ පහරවල් 9ක්ද එල්ල කළේය.

ලුවිස් රදර්ෆර්ඩ් සමග එක්ව තරගය ජයග්‍රහණය කරා ගෙන ගිය අතර රදර්ෆර්ඩ් පන්දු 26කදී අර්ධ ශතකයක්ද රැස්කර ගැනීමට සමත්විය.

පල්ලේකැලේ පැවැති තෙවැනි තරගයේ කාසිය වාසිය දිනූ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම මුලින්ම පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළේය.

ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් පිතිකරු යුගලය වූයේ අවිශ්ක ප්‍රනාන්දු සහ පැතුම් නිස්සංකයි. පළමු තරග දෙකටම ක්‍රීඩා නොකළ පැතුම් නිස්සංක පළමු පන්දු වාරයේදීම පහසු උඩ පන්දුවක් ලබාදුන්නද ස්ලිප්හි සිටි බ්‍රෙන්ඩන් කිංට එය ගිලිහී ගියේය.

අවිශ්ක ප්‍රනාන්දුද තෙවැනි පන්දු වාරයේදී එල්ල කළ පහරකින් දුන් උඩ පන්දුව ජේඩ්න් පීල්ස් අත්හැරීමද අවිශ්කට තවදුරටත් කඩුල්ලේ රැඳී සිටීමට වාසනාව උදාවිය.

කොදෙව් කණ්ඩායමේ දුර්වල පන්දු රැකීම හමුවේ පැතුම් නිස්සංකගේ දෙවැනි උඩපන්දුව ද ගිලිහී ගියේ ඔහු ලකුණු 30ක් ලබාසිටියදී 8 වැනි පන්දු වාරයේදීය. ඇදහැලුණු වාර්ෂාව නිසා තරගය තාවකාලිකව නවතා දමන විට ශ්‍රී ලංකා කණ්ඩායම එක් කඩුල්ලකට ලකුණු 81ක් රැස්කර ගෙන තිබුණි.

වර්ෂාවෙන් බාධා පැමිණීම නිසා තරගයට අහිමි වූ කාලය පැය 5කට අධික විය. ඒ අනුව පන්දු වාර 23ක තරගයක් ලෙසින් පැවැත්වීමට කටයුතු යෙදුණු අතර නැවත තරගය ඇරඹීමට හැකිවුණේ රාත්‍රි 8.50 පමණය. ඒ වනවිට පැතුම් නිස්සංක ලකුණු 44ක් සහ කුසල් මෙන්ඩිස් ලකුණු නොලබා කඩුල්ලේ රැඳී සිටියේය.

නැවත තරගය ආරම්භ වී රොස්ටන් චේස් යවන ලද පළමු පන්දු 4ටම හතරේ පහර 4කින් සංග්‍රහ කිරීමට කුසල් මෙන්ඩිස් සමත් වූ අතර ශ්‍රී ලංකාව වෙනුවෙන් තුන්වැනි වේගවත්ම එක්දින අර්ධ ශතකය සම්පූර්ණ කරගැනීමටද කුසල්ට හැකිවිය. කුසල් සිය එක්දින තරග දිවියේ ලකුණු 4000ක කඩඉමද ඉක්මවා ගියේය. සිය 16 වැනි අර්ධ ශතකය වාර්තා කළ පැතුම් නිස්සංකගේ ලකුණු 56 ඉනිමට හතරේ පහර 7ක් සහ හයේ පහරක්ද ඇතුළත්ය.

කෙසේ වෙතත් පන්දුවාර 23කදී කඩුලු 3ක් දැවී ලකුණු 156ක් රැස්කිරීමට ශ්‍රී ලංකාවට හැකි විය.

ශ්‍රී ලංකා කණ්ඩායම ලබාගත් ලකුණු 156ට ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව ප්‍රතිවාදී කණ්ඩායමට හිමිවූ ඉලක්කය වූයේ පන්දුවාර 23කට ලකුණු 195ක් ලෙසිනි.

පළමු සහ දෙවැනි තරග 2කම ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි වූ අතර තරගාවලිය 2-1ක් ලෙස ශ්‍රී ලංකාව ජය ගත්තේය.

එක්දින කණ්ඩායමේ වීරයා සම්මානය ශ්‍රී ලංකා නායක චරිත් අසලංකහට හිමි විය.
ලකුණු සටහන

ශ්‍රී ලංකා කණ්ඩායම

156/3 (23)

පැතුම් නිස්සංක 56

අවිශ්ක ප්‍රනාන්දු 34

කුසල් මෙන්ඩිස් 56

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම

196/2 (22)

බ්‍රෑන්ඩන් කිං 16

එවින් ලුවිස් 102

ෂායි හෝප් 22

ෂර්ෆෙන් රදර්ෆර්ඩ් 50

සුසිල් ජයකොඩි


advertistmentadvertistment