ලෙඩට බෙහෙත

649

ශ්‍රී ලංකාවේ දැනට පවත්නා ඩොලර් අර්බුදයේ ලොකුම පහර වදින්නේ බෙහෙත්වලට ය. පළමුවෙන්ම, බෙහෙත් මිල වේගයෙන් ඉහළට නැග තිබේ. දෙවනුව බෙහෙත් ගෙන්වීම සඳහා විදේශ විනිමය හිඟ බැවින් රෝහල් හෝ ෆාමසිවල බෙහෙත් නැත. හෘදයාබාධය, පිළිකාව, දියවැඩියාව ඇතුළු ඖෂධවලින් පාලනය කළ හැකි රෝග මෙන්ම ඖෂධවලින් සුව කළ හැකි රෝග සහිත රෝගීහු මේ නිසා බරපතළ අර්බුදයකට ලක්ව සිටිති. රටට රෝගීන්ට බෙහෙත් නොමැති වීම ඉතා දරුණු ප්‍රශ්නයකි. මෙයට අවුරුදු හාර පන්සීයකට පෙර පැවති මධ්‍යකාලීන යුගයේදී කිසියම් කෙනකු රෝගී වීම හෝ මරණයට පත්වීම යනු ලොකු අර්බුදයක් නොවේ. එකල බටහිර වෛද්‍ය විද්‍යාව දියුණු වී තිබුණේ නැත. එබැවින් ලෝකයේ හැම රටකම වැසියෝ එක්කෝ දේශීය වෛද්‍ය ක්‍රම වෙත නැඹුරු වූහ. නොඑසේ නම් මන්තරකාරයන් සහ පූජකයන් පසුපස ගොස් එක්කෝ මිය ගියහ; නැතහොත් ඉබේට සනීප වූහ. ලෙඩා මිය ගියේ නම් ඒ කරුමය ලෙස හඳුන්වන ලදී. ලෙඩා ජීවත් වුණේ නම් එය මන්තරකාරයාගේ හෝ පූජකයාගේ දිව්‍ය බලය ලෙස පෙන්වාදෙන ලදි. මධ්‍යකාලීන යුගයෙන් පසු අප්‍රිකානු රටවල් කිහිපයකත් ආසියාවේ නොදියුණු රටවල් කිහිපයකත් ජීවත්වන ගෝත්‍රික සහ ගැමි ජනයා හැරෙන්නට අන් සියලු ලෝක වාසීහු දියුණු වෛද්‍ය ක්‍රම වෙත යොමුවීමට පටන් ගත්හ. කව්රු කැමති වුණත් කව්රු අකැමැති වුණත් මේ වනවිට ලෝකයේ දියුණුම වෛද්‍ය ක්‍රමය වන්නේ ඇලෝපති වෛද්‍ය ක්‍රමය හෙවත් ඉංග්‍රීසි වෛද්‍ය ක්‍රමයයි. ශ්‍රී ලංකාවේ ජනතාවගෙන්  90% ටත් වඩා ඉංග්‍රීසි බෙහෙත්වලට පුරුදු වී සිටිති. ඒ නිසා ඉංග්‍රීසි බෙහෙත් යනු අත්‍යවශ්‍ය දෙයකි. මධ්‍යම පංතිය, පහළ මධ්‍යම පන්තිය සහ දිළිඳු පන්තියේ ජනතාවගේ ආර්ථිකය කෙතරම් පහතට බැස ඇත්ද යත් බෙහෙත් මිලට ගත්තොත් කෑම මිලට ගැනීම කළ නොහැකි වන අතර කෑම මිලට ගත්තොත් බෙහෙත් මිලට ගැනීමට හැකි වන්නේ නැත. මෙයින් හැඟෙන්නේ කොයි පැත්තෙන් ආවත් මරණය නියත බවයි. ලෙඩට බෙහෙත් නැතොත් අවසන් ප්‍රතිපලය වන්නේ රෝගියාගේ මරණයයි.

රෝගියා බෙහෙත් නොගෙන ආහාර පමණක් ගතහොත් එහි අවසන් ප්‍රතිපලය වන්නේ ද මරණයයි. ශ්‍රී ලංකාවේ තිබෙන බෙහෙත් අර්බුදය විසඳීමට ආණ්ඩුව තුළ අවංක වුවමනාවක් තිබෙන බව පෙනේ. පසුගියදා කොළඹ මහ රෝහලට ගිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මාරාන්තික රෝග සහ සෙසු රෝගවලට අවශ්‍ය හිඟ බෙහෙත් සියල්ලම වහාම ගෙන්වන ලෙසට නියෝගයක් කර ඒ සඳහා මුදල් ද වෙන්කර දුන්නේය. පැය කිහිපයකට පසු එකී අත්‍යවශ්‍ය බෙහෙත් තොගය ගෙන්වීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධානියෙක් විදේශගත විය. බෙහෙත් තොගය නැතිව  ශ්‍රී ලංකාවට පැමිණීම කිසිසේත්ම නොකළ යුතු බව එම නිලධාරියාට දන්වන ලදි. දින දෙකක් හෝ තුනකට පසු එම බෙහෙත් තොගය රැගත් නිලධාරියා කොළඹ මහ රෝහලට පැමිණියේය. මෙය සිදුවන්නේ මීට මාසයකට පමණ පෙරය. දැන් ඒ බෙහෙත් තොගය ඉවරය. මේ නිසා ජනාධිපතිතුමා නැවතත් මැදිහත්වී බෙහෙත්  තොගයක් මෙරටට ගෙන්වා දිය යුතු බව අපි යෝජනා කරමු. දැනට මේ රටේ කිසියම් වැඩක් සිදුවන්නේ ඉහළම තැනින් පැමිණ ඝෝෂාවක් කළ විට පමණි. එතැනින් පහළ සිටින අය ඝෝෂා කළ විට එය නිකම්ම නිකන් ඝෝෂාවක් බවට පමණක්ම පත්වේ. පොඩි අඩුපාඩුවක්ව පවතින්නේ ලංකාවේ බෙහෙත් හිඟයක් ඇති බව  පිළිගැනීමට කෙහෙළිය රඹුක්වැල්ල ඇමැතිතුමා අකැමැතිවීම පමණි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඇතැම් නිලධාරීන් විසින් කෙහෙළියගේ හිසේ විවරයක් සාදා එය තුළට ව්‍යාජ තොරතුරු වත්කරන බව අපි විශ්වාස කරමු.

මෙවර බෙහෙත් හිඟය හටගන්නේ මාස හයකට පමණ පෙරය. එවිට රට තුළ ජන අරගලයක් නොතිබුණු අතර මිනිස්සු ක්‍රම ක්‍රමයෙන් ආර්ථික දුෂ්කරතා නිසා පීඩා විඳීමට පටන්ගෙන සිටියහ. ඒ වනවිට භාණ්ඩාගාරය ද හිස්වී තිබුණි. කොවිඩ් වසංගතයෙන් පසු විදේශවල සිටින මේ රටේ ශ්‍රමිකයන්ට රැකියා නැතිවීම විදේශ විනිමය ලැබෙන සෙසු මාර්ග වූ ඇඟලුම් කර්මාන්තය සහ සංචාරක ව්‍යාපාරය විනාශ වී තිබීම භාණ්ඩාගාරය හිස් වීමට ප්‍රධාන හේතු ලෙස දක්නා ලදි. ඒ වනවිට හිඟ වෙමින් පැවැතියේ පිටරටින් ගෙන්වන ආහාර ද්‍රව්‍ය සහ රසායනික පොහොර ය. එබැවින් ජනතාව මුලින්ම පාරට බසින්නේ  රසායනික පොහොර ඉල්ලමිනි. එහෙත් කිසියම් මෝඩ ජාතිකවාදීන් පිරිසකගේ රසායනික පොහොර විරෝධී මතවාදයක් ගිල දමා සිටි ආණ්ඩුව කාබනික පොහොර යොදා වගා කටයුතු කරමු යන හිතුවක්කාර මතයෙහි එල්බ සිටියේය. තමන් එල්බ සිටින මතවාදී වැල  දිරාගිය වැලක් බවත් මෙය කොයිවෙලේ හෝ බිමට කඩා වැටෙන බවත් ආණ්ඩුව දැන සිටියේ නැත. නොඑසේ නම් ඒ බව සිතීම සඳහා ඉඩක් එකල සිටි න්‍යායවාදී පිඹුරන් ජනාධිපතිට දුන්නේම නැත. මෙතැනින් පටන්ගත් අරගල කෙළියෙන් රටටත් කෙළවී ජනතාවටත් කෙළවී රජයේ දේපළවලටත් කෙළවී යෑම පිළිබඳ කතන්දරය මේ වනවිට අපි දනිමු. ලංකාව යනු සම්පූර්ණයෙන්ම පිට රටින් යැපෙන රටකි. උණ හෙම්බිරිස්සාවට අවශ්‍ය කරන කොත්තමල්ලි ඇටයත් ඇඟේ පතේ වේදනාවට සහ වෙනත් පොඩි පොඩි අමාරුවලට ගැළපෙන පැරසිටමෝල් පෙත්තත් අප විසින් ගෙන්වන ලද්දේ පිටරටිනි.

ශ්‍රී ලංකාව තුළ බටහිර ඖෂධ නිපදවන සංස්ථාවක් තිබේ. හැබැයි මෙය අංකූරන් බහුල තැනකි. මේ අංකූරෝ එකම ඖෂධය තුන් පාරක් උත්සවාකාරයෙන් වෙළෙඳපොළට හඳුන්වාදීමෙන් ඇමැතිට පවා ලණු දුන් අය වෙති.

ශ්‍රී ලංකාවට කළ හැක්කේ බටහිර ඖෂධවලට අවශ්‍ය අමුද්‍රව්‍ය පිටරටින් ගෙන්වා ඒවා එකලස් කිරීම පමණි. එබැවින් ලෙඩට බෙහෙත වන්නේ දේශීය නිෂ්පාදන වර්ධනය  කිරීම ය. රටට අවශ්‍ය බෙහෙත් ද්‍රව්‍යවලින් 90% ක් පමණ නිෂ්පාදනය කිරීමට මේ රටට තාක්ෂණය හෝ හැකියාව නැත. එබැවින් කළ යුත්තේ නිපදවීමට පුළුවන් 10% හෝ මෙහිම නිපදවීම ය.

advertistmentadvertistment
advertistmentadvertistment