ලෙඩ නිවාඩු අරගලයෙන් ජනතාව අමාරුවේ

208

සටන සාර්ථකයි – වෘත්තීය සමිති එකමුතුව
ගුරුවරුත් අද ලෙඩින් – ස්ටාලින්
තැපෑලට මිලියන 140ක පාඩුවක් – තැපැල්පති

විධායක සේවයේ ශ්‍රේණි සඳහා රජය විසින් ලබාදීමට එකඟ වී ඇති රුපියල් 25,000ක දීමනාව සමස්ත රාජ්‍ය සේවකයන්ටද ලබාදෙන ලෙස ඉල්ලා රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති 300ක පමණ එකමුතුවේ සාමාජිකයන් අසනීප නිවාඩු වාර්තා කර ඊයේ (08දා) සිදුකළ වෘත්තීය අරගලය හේතුවෙන් මහජන සේවාවන් ලබාගැනීමට පැමිණි පිරිස් මහත් අපහසුතාවයට පත්වූහ. මෙම වෘත්තීය අරගලය අද (09දා) දිනයේද ක්‍රියාත්මක වන බවත් වෘත්තීය ක්‍රියාමාර්ගය ඉතා සාර්ථක බවත් එම සමිති එකමුතුවේ සම කැඳවුම්කරු චන්දන සූරියආරච්චි මහතා පැවසීය.

තම ඉල්ලීම්වලට සාධාරණයක් ඉටු නොවුණහොත් හෙට (10දා) වෘත්තීය අරගලයට සම්බන්ධ වූ වෘත්තීය සමිතිවල ප්‍රධානීන් එක්වී ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කරන බවත් එහිදී ගනු ලබන තීරණයට වෘත්තීය අරගලයට සම්බන්ධ නොවූ රාජ්‍ය, අර්ථ රාජ්‍ය ආයතනවල සාමාජිකයන්ද සම්බන්ධ කරගන්නා බවත් ඔහු කීය.

අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයට කළමනාකරණ, සංවර්ධන නිලධාරි, පළාත් පාලන ඇතුළු අමාත්‍යාංශ දෙපාර්තමේන්තු රැසක සාමාජිකයන් ලක්ෂ 08ක් පමණ සහභාගිවී තිබූ බවත් වෘත්තීය අරගලය අද ද ක්‍රියාත්මක වන නිසා මහජන සේවාවන් ලබාගැනීමට පැමිණීමෙන් ජනතාව අපහසුතාවට පත්විය හැකි බවත් ඔහු පැවසීය.

මෙම වෘත්තීය අරගලයට අද ගුරුවරුන්ද අසනීප නිවාඩු වාර්තා කර සහභාගි වන බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් මහතා පැවසීය. වෘත්තීය අරගලය ක්‍රියාත්මක වුවත් සාමාන්‍ය පෙළ සිසුන් සඳහා අද විභාග දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කර පැවැත්වීමට නියමිත සෞන්දර්ය විෂයන්වලට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ සඳහා ගුරුවරුන් සහභාගි වන බවත් එය දරුවන් ගැන සලකා ගත් තීරණයක් බවත් ස්ටාලින් මහතා කීය. ගුරුවරුන් වෘත්තීය අරගලයක නිරතවන බව ගුරු සංගම් පැවසුවද සාමාන්‍ය පරිදි පාසල්වල කටයුතු සිදුකරන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර ඇත.

තැපැල් සේවකයන් දින දෙකක අසනීප නිවාඩු වාර්තා කර සිදුකරන වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් තැපැල් දෙපාර්තමේන්තුවට රුපියල් මිලියන 140ක පමණ ආදායමක් අහිමිවන බවත් තැපැල් වෘත්තීය සමිති වෘත්තීය අරගලයට යොමු වී ඇත්තේ ලිපියක් පමණක් යොමුකරමින් බවත් තැපැල්පති රුවන් සරත් කුමාර මහතා පැවසීය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment