ලෙනාඩ් වුල්ෆ් නඩු ඇසූ සියඹලා ගස යට සිට මීගහජඳුර වලව්වට…

1312

විසල් අහස පුරා නැගී සිටින දැවැන්ත සියඹලා ගස අතු ඉ ති අරා සුළඟ සමග පිළිසඳරකය. සියවස් පහක් ආයු වින්දනය කර ඇතැයි ගම්මුන් තුළ විශ්වාසයක් පවතින එම යෝධ සියඹලා ගස පාමුල බඩඉරිඟු විකුණන අම්මා කෙනෙකුත් දැකගත හැක. ගස පාමුල බඩඉරිඟු විකුණන ඇයට සියඹලා ගස අම්මා කෙනකු බඳුය. ඇයට පමණක් නොව මගතොට ගමන් කරන කොයි කාටත් ලෝබ නැතිව සෙවණ සිසිලස බෙදමින් සියඹලා ගස තවම නිදුකින්ය. ලා කොළ පැහැයට හුරු අලුත උපන් දලු ඊට සාක්ෂි සපයමින් ඇත.

මේ විසල් ගස එසේත් නැත්නම් ඉහත සඳහන් සියඹලා ගස නෙත ගැටෙන්නේ හම්බන්තොට දිස්ත්‍රික්කයට අයත් මීගහජදුරදීය. අප එම ස්ථානයට ළඟාවන්නේ මාධ්‍ය කටයුත්තක් පිණිස මීගහජදුරෙන් මෙපිට වෙනත් ගම්මාන කීපයක සැරිසරමින් සිටි අවස්ථාවක එක්තරා පුද්ගලයකු විසින් මීගහජදුර සියඹලා ගස පිළිබඳව ලබාදුන් තොරතුරක් මතය. ඇසගැටෙන සියඹලා ගස පමණක් නොව වටපිටාව තුළ මුණ ගැසුන නාඳුනන මිනිසුන් විසින් ද ඉපැරණි සියඹලා ගස පිළිබඳව මහත් වූ ලෙන්ගතුකමකින් යුතුව සඳහන් කර සිටියේ තම ගමට පමණක් නොව මීගහජදුර සියඹලා ගස රටට ආඩම්බරයක් ගෙන දෙන ඉපැරණි වෘක්ෂයක් බවය.

ලෙනාඩ් වුල්ෆ් නඩු ඇසූ සියඹලා ගස යට සිට මීගහජඳුර වලව්වට…

එම ස්ථානයට ළඟා වූ සැනින් අප හා කතාබහට එක්වූවේ ගස පාමුල බඩඉරිඟු විකුණන අම්මාය. ගස පාමුල ඉදිකරන ලද කුඩා අට්ටාලයක් මත තම්බන ලද බඩඉරිඟු කරල් කීපයක්ය. ඉන් මදක් එපිටට වන්න ලිපක් මත දුම් දමන මුට්ටියක් දැකගත හැක. එහි තැම්බෙමින් පවතින ඉඩඉරිඟු කරල් කීපයක්ය. ගනුදෙනුකරුවන් කිසිවක් නොවූයෙන් කතාවට බාධාවක් නැත.

පෑවිල්ල හින්ද වෙළෙඳාමක් නෑ මහත්තය. ඉරිඟු කරල් විස්සක් විතර අරන් පාරට ආව. දැන් වෙලාව හවස දෙකයි. තවම විකුණුවෙ කරල් අටයි. පෑවිල්ල හින්ද පාරෙ මෙලෝ මනුස්සයෙක් නෑ. ඇයට සහ ඒ අවට සෙවණ කිරීම පිණිස විසල් සියඹලා ගස ප්‍රමාණවත් වුවද අවට නළියන හිරු එළිය ප්‍රචණ්ඩය. මේ දිනවල හම්බන්තොට දිස්ත්‍රික්කය තුළ පවතින නියඟය මීගහජදුර ප්‍රදේශය ද ටිකෙන් ටික වෙලා ගනිමින් පවතින බව අවබෝධ කර ගැනීම පිණිස නළියන හිරු එළිය වුවද ප්‍රමාණවත්ය.

“මේ සියඹලා ගස පිළිබඳව අම්ම දන්න තොරතුරු මොනවද?” පැනය අපෙන්ය.

“එහෙම ලොකු විස්තරයක් කියන්න මම දන්නෙ නෑ. මම දන්නෙත් මේ පළාතේ වැඩිහිටියෝ කියන ටිකම තමයි. අර එහා පැත්තෙ ගස ගැන විස්තර සඳහන් බෝඩ් එකක් තියෙනව. ඒ විස්තර කියවල බලන්න. ඒකත් මදිනම් අන්න අර ගෙදර වයසක ඉස්කෝලෙ මහත්තයෙක් ඉන්නව. ගිහින් ඒ මහත්තයව මුණගැහෙන්න. එතකොට හොඳ විස්තර ටිකක් දැනගන්න ලැබේවි.”

ලෙනාඩ් වුල්ෆ් නඩු ඇසූ සියඹලා ගස යට සිට මීගහජඳුර වලව්වට…

ඇය ලබාදුන් තොරතුර ප්‍රමාණවත්ය. ඉස්කෝලෙ මහත්තයා මුණගැසීමට පෙර සියඹලා ගස අසල ප්‍රදර්ශනය වන දැන්වීම් පුවරුව වෙත දෑස් යොමුවූවේ එහි සඳහන් තොරතුරු අපගේ කතාබහට වැදගත් වන හෙයින්ය. එහි සඳහන්ව පවතින්නෙ හම්බන්තොට දිස්ත්‍රික්කයේ සූරියවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මීගහජදුර ග්‍රාම නිලධාරි වසමට අයත් භූමියක පිහිටි එම ඓතිහාසික සියඹලා ගස මතු පරපුරේ ද උරුමයක් වන බවය. මධ්‍යම පරිසර අධිකාරිය විසින් එහි සවිකොට ඇති එම දැන්වීම් පුවරුවේ සඳහන් වැදගත්ම දෙය නම් “1908 – 1911 පාලන සමයේ හම්බන්තොට උප ඒජන්තවරයා ද මහෙස්ත්‍රාත්වරයා ද වූ ලෙනාඩ් වුල්ෆ් මහතා ජංගම උසාවිය පවත්වන ලද ස්ථානයේ සියඹලා ගස ලෙස ඓතිහාසිකව වැදගත්වේ” යනුවෙන්ය.

අප සෙනරත් අබේවර්ධන මුණසිංහ මහතා මුණගැසෙන්නේ ඔහුගේ නිවසත් එම ඓතිහාසික සියඹලා ගසත් අතර තැනක ප්‍රදර්ශනය වන එම දැන්වීම් පුවරුව හොඳින් කියවීමෙන් අනතුරුවය. බොහෝ කලක් ගුරු සේවයේ නිරත මුණසිංහ මහතා මේ වනවිට විශ්‍රාම සුවයෙන් කල්ගෙවන පුද්ගලයෙක්ය. හේ 85 හැවිරිදිය.

මම මේ ගැන දැනගත්තෙ දැනට අවුරුදු 60ට විතර ඉස්සර. මම මේ ප්‍රදේශයට පැමිණි අලුත මට හඳුනගන්න ලැබුණා මල්හාමිමුත්ත කියල ගැමියෙක්. ඒ කාලෙ වෙද්දි මම තරුණ ගුරුවරයෙක්. දවසක් මල්හාමිමුත්ත මේ ගහ පෙන්වල මගෙන් අහනව “මහත්තය මේ ගහ ගැන දන්නවද කියල. ඒ පාර මම හිනාවෙලා කිව්ව මම නම් එහෙම කිසි දෙයක් දන්නෙ නෑ කියල. ටිකක්වෙලා මේ ගහ දිහා බලාගෙන හිටිය මල්හාමි මුත්ත ඊට පස්සෙ මගෙත් එක්ක කියනව අපි පොඩි කාලෙ මේ ගහ යටට සුදු මහත්තයෙක් එනව. ඒ මහත්තය එන්නෙ අශ්වයාගෙ පිටේ නැගල. එහෙම එන දවසට ගමේම ඉන්න කොල්ලො කුරුට්ටෝ අශ්වයා පසුපස දුවගෙන එනව කියල. එහෙම ආවහම මේ පළාත භාරව රාජකාරි කරපු විදානආරච්චි මේසයක් පුටුවක් මේ ගහයට තියල අර එන සුදු මහත්තයව පිළිගන්නවලු. ඊට පස්සෙ මේ අවට ගම් තුලානවල ජීවත්වන මිනිස්සුන්ට විරුද්ධව තිබෙන සුළු සුළු පැමිණිලි විභාග කරන්න ගන්න බවත් මල්හාමි මුත්ත මගෙත් එක්ක කියල තියෙනව. වැඩිපුරම මේ සියඹලා ගහයට විභාග කරල තියෙන්නෙ තුවක්කු ලයිසම නැතිව තුවක්කු පාවිච්චි කරන අයට විරුද්ධව ඇති පැමිණිලි. ඊට අමතරව කමත් විවාහ කඩාකප්පල් වෙච්ච ඒවට විරුද්ධ පැමිණිලි ආදිය ඒ මහත්තය විභාග කරල ඒ ඒ ආරවුල් විසඳන්නෙත් මේ ස්ථානයේ කියල තමයි පැරැන්නෝ අපිත් එක්ක ඒ කාලේ සඳහන් කළේ.”

ඊට පසු කාලෙක නිලධාරීන් පිරිසක් ඇවිත් මේ සියඹලාවෙ වට ප්‍රමාණය මැනල බලලා තවත් මොන මොනවදෝ පිළිබඳව විමසිලිමත් වෙලා මේ සියඹලාවෙ වයස තීරණය කළා. ඒ කටයුත්ත සිද්ධ කළේ මමත් මේ ප්‍රදේශයට ආවට පස්සෙ. සියඹලාවෙ වට අඩි ප්‍රමාණය ඒ වෙද්දි අඩි 46ක් තිබුණ. ඒ අනුව මේ ගසට වයස අවුරුදු 500ට වැඩියි කියල තීරණය කළා. ඊට කාලයකට පස්සෙ දෙනගම සිරිවර්ධන මහත්තය මේ සියඹලා ගහ දැක බලාගෙන ඒ පිළිබඳ විස්තර ඇතුළත් පුවත්පත් ලිපියක් පවා පළ කළා. ඉන් පස්සෙ තමයි මුළු රටම මේ ගහ ගැන දැනගන්නෙ. රූපවාහිනි නාලිකා කීපයකින් පවා ඇවිත් මේ තොරතුරු වාර්තා කළ බවත් මගේ මතකයේ තියෙනව. ලෙනාඩ් වුල්ෆ් මේ පැත්තෙ රාජකාරි කටයුතුවලට පැමිණි හැම අවස්ථාවකම එයා රාත්‍රිය ගත කරල තියෙන්නෙ විදානආරච්චිගෙ වලව්වෙ. මේ පැත්තට හිටිය විදානආරච්චි කියන්නෙ මගේ නෝනගේ සීයා. ඒ වලව්ව දැන් ගරාවැටිල. කොටසක් පමණක් තවම ඉතිරිව පවතිනව. මෙතන ඉඳල මහ දුරක් නෑ. අර පේන මානෙ තමයි වලව්ව තියෙන්නෙ. මෙච්චර දුරක් ආව එකේ එතනටත් ගොඩවෙලා එන්න.”

ඉන් අනතුරුව සෙනරත් අබේවර්ධන මුණසිංහ මහතා ලබාදුන් තොරතුරු ඔස්සේ මෙම අසිරිමත් අන්දරයේ සිරිබිමක් බඳු වූ මීගහජදුර වලව්ව බලා ගමන් ඇරඹුවෙමු. යෝධ සියඹලා ගස පසුකොට මද දුරක් ගමන් කළ පසුව ප්‍රධාන මාර්ගයෙන් දකුණු පසට වූ අතුරු මාර්ගයක් ඔස්සේ මද දුරක් ගමන් කළ පසු වලව්ව පිහිටි භූමිය වෙත ළඟා වූ අපට දැකගත හැකි වූවේ කලක් මීගහජදුර ප්‍රදේශයේ කීර්තිමත් පරම්පරාවක් වූ නල්ලපෙරුම දිසානායක පරපුරට සෙවණ දුන් වලව්වක කොටසක්ය. ඊට තරමක් ඉදිරියට වන්නට අලුත ඉදිකළ නිවසක්ය. එහි හුදෙකලාව වෙසෙන වයස අවුරුදු 70ට ආසන්න පුද්ගලයෙක් ඉදිරියට පැමිණ, කලින් නොදන්වා පැමිණි අපව පිළිගත් අතර සිනාමුසු මුහුණින් යුත් ඔහු නිවසට පැමිණ අසුන් ගන්නා ලෙස ඉල්ලීමක් කරන්නට අමතක නොකළේය.

දීර්ඝ කතා බහක් සඳහා ප්‍රවේශය ලබාගත්තේ අප එහි පැමිණි කාරණය පැහැදිලි කිරීමෙන් අනතුරුවය. වලව්වක ජීවත් වුවද සරල ගති පැවතුම් සහිත ගැමියකුගේ ස්වරූපය ඔහුගෙන් නිරූපණය විය.හේ නමින් බුද්ධදාස නල්ලපෙරුම දිසානායකය. දිසානායක මහතා අප හා කතාබහ ආරම්භ කරමින් පළමුව සඳහන් කර සිටියේ දරුවන් 16 දෙනකුගෙන් යුත් පවුලක තමන් බාලම සාමාජිකයා වන බැවින් ඉතිහාසය පිළිබඳ තොරතුරු වඩාත් හොඳින් පැහැදිලි කිරීම පිණිස තමන් සතු මතකය එතරම් ප්‍රමාණවත් නොවන බවය.

‘මගේ තාත්ත චාල්ස් ඩයස් නල්ලපෙරුම දිසානායක. තාත්තා විවාහ වෙන්නෙ වැල්ලවාය දිඹුලමුර ගමේ ජීවත් වූ ජයසුන්දර මුදියන්සේලාගේ සීලවතී කුමාරිහාමි කියන කාන්තාව එක්ක, ඒ තමයි මගෙ අම්මා. අපේ පවුලෙ සහෝදර සහෝදරියන් 16යි. මගේ මුත්ත තමයි දොන් සාමෙල් නල්ලපෙරුම දිසානායක. සාමෙල් මුත්තා විදානආරච්චි තනතුර දරන අවදියෙ තමයි ලෙනාඩ් වුල්ෆ් හම්බන්තොට උප දිසාපති තනතුරට පත්වෙලා මේ ප්‍රදේශයේ වැඩ රාජකාරි කරල තිබෙන්නෙ. ඔන්න ඔය කාලයේ තමයි ලෙනාඩ් වුල්ෆ් උප දිසාපතිතුමා සහ මගේ මුත්තා අතර සමීප හිතවත්කමක් ඇතිවෙලා තිබෙන්නෙ. ඒකට එක හේතුවක් තමයි මේ දෙන්නම සම වයසේ පසුවීම. ලෙනාඩ් වුල්ෆ් රාජකාරි පිණිස හම්බන්තොට පැමිණියාට පස්සෙ අපේ ගම් පළාතේ රාජකාරි කටයුතු පිණිස පැමිණි විට රාත්‍රිය ගතකරල තියෙන්නෙ අපේ නිවසේ. මගේ තාත්ත කියල තියෙන විදිහට අපේ ගෙදර (වලව්වේ) වෙනම කාමරයක් හා වැසිකිළියක් පවා එතුමා සඳහා වෙන්කරල තිබෙනව. ඒ විතරක් නොවෙයි ඔය කියන කාලෙ කොළඹ සිට මේ පළාතෙ දඩයමට පැමිණෙන සුදු මහත්වරු පවා රාත්‍රිය ගතකරල තියෙන්නෙ අපේ වලව්වෙ. ඒ විස්තර මහත්තයලට හොඳින් දැනගන්න නම් මගේ අයියට කතා කරන්න වෙනව. එයා මේ විස්තර හොඳින්ම දන්නව.”

තොරතුරෙන් තොරතුර හඹායෑම ඇරඹෙන්නේ එම දැනුවත් කිරීමෙන් අනතුරුවය. ඊට පෙර වලව්වේ දොර විවර කර ඒ තුළට පිවිසිය යුතුය. එම අවස්ථාව අප වෙත ලබාදෙන ලෙස බුද්ධදාස නල්ලපෙරුම දිසානායක මහතාගෙන් කරන ලද ඉල්ලීමට ප්‍රතිචාර දැක්වූ ඒ මහතා ඉපැරණි යතුරු කැරැල්ලක්ද සහිතව වසා ඇති වලව්ව වෙත ගමන් කරන්නට විය. ඔහුව අනුගමනය කළ අප ද ඒ සඳහා එක්වූහ. ඉපැරණි වලව්වෙ ඉදිරිපස කොටස මුළුමනින්ම කඩා ඉවත්කර ඇත. හුණු පිරියම් කරන ලද වරිච්චි බිත්ති සහිත වලව්වේ කොටසක් පමණක් ඉතිරිව ඇත. එයද හොඳින් ඉබි යතුරුලා වසා දමා ඇත. කලෙකින් පිළියම් නොලද හෙයින්දෝ ඉතිරිව ඇති කොටස ද කාලයේ අනවරථ අතවරයන්ට ලක්වී හමාරය. තැන තැන හුණු බදාම ගැලවී යෑමෙන් මතුව ඇති ලප කැළල් දැකගත හැක. බුද්ධදාස මහතා තමන් අත වූ යතුරක් ගෙන දොර විවර කිරීමත් සමග කලක් එහි සිරගතව සිටි සුළං අහුරක් දොර පියන් අතරින් පිටතට පැනගත් අතර අප එහි ඇතුළු වූවේ ඉන් අනතුරුවය. ආලෝකයෙන් තොර වලව්ව තුළ දකින්නට ලැබුණේ තරමක අඳුරක්ය.

“දැන් මේකෙ දොර ජනෙල් අරින්නෙ නෑ. අමුතුවෙන් බැලිය යුතුයි කියල දෙයකුත් මේක ඇතුළේ නෑ කියල තමයි මට නම් හිතෙන්නෙ. ඒකට කමක් නෑ, ඔහොම බලාගෙන ඇතුළට යමුකෝ.”

එසේ පැවසූ බුද්ධදාස මහතා ඉදිරියෙන් ගමන් කරන්නට විය. ඔහුට නොවැදගත් වුවද අපට වැදගත් බොහෝ දේ එහි වූහ. ඉපැරණි ගෘහ භාණ්ඩ කීපයක් ඉපැරණි ගෝන අං තට්ටු පමණක් නොව තවත් කෞතුක වස්තූන් රැසක් එහි විය.

අපගේ විශේෂ අවධානය යොමුවූ භාණ්ඩ කීපයක් ද ඒ අතර විය. දිරාපත්ව විනාශ වෙමින් පැවැති එම මුළුතැන්ගෙයි භාණ්ඩ අතරින් පැරණි වංගෙඩි කීපයක්, වේවැල් භාවිත කොට නිමකරන ලද දැවැන්ත වට්ටියක් වැනි දෙයක් එළිමහනේ තැනක ගොඩගසා ඇත. කලක් වලව්ව තුළ පැවැති සශ්‍රීකත්වය තේරුම් ගැනීමට එම භාණ්ඩ කීපය වුව ප්‍රමාණවත්ය. ඒ පිළිබඳව බුද්ධදාස මහතාගෙන් විමසීමේදී ඔහු සඳහන් කර සිටියේ මෙවැන්නක්ය.

‘ඔය වේවැල් වට්ටියෙ තමයි අපේ අම්ම ඉන්න කාලේ කෑම මේසයට බත් යැව්වෙ. අපේ පවුලෙ සහෝදර සහෝදරියෝ පිරිසයි අම්ම තාත්තයි එක්ක 18දෙනෙක් හිටිය. ඊට අමතරව කුස්සියෙ වැඩකටයුතු කරන්න මේ අවට වටපිටාවේ කාන්තාවෝ තුන් හතර දෙනෙක් හිටිය. ඊට අමතරව පිටස්තරව පැමිණෙන අමුත්තන් ආදිය අරන් බලද්දි උදේ, දවල්, රෑ තුන්වේලට විශාල පිරිසක් අපේ ගෙදරින් කෑම කෑව. ඒ දවස්වල මේ වට්ටියට බත් බෙදල දෙන්නෙක් දෙපැත්තෙන් උස්සගෙන ගිහින් කෑම මේසයෙන් තබනව. මේ වට්ටිය පිරෙන්න බත් බෙදුවට පස්සෙ විස්සක තිහක පිරිසකට බඩ පිරෙන්න බත් කන්න පුළුවන්. අපට ඒ දවස්වල කුඹුරු අක්කර හැට හැත්තෑවක් විතර තිබුණ. කුඹුරු වැඩ කරන කාලයට 100ට ආසන්න පිරිසක් ඒ වැඩකටයුතුවලට සහභාගි වෙනව. ඒ මිනිස්සුන්ට හොඳට කෑම බීම දෙන්න ඕන. එහෙම නියෝගයක් දීල තමයි තාත්ත කුඹුරු වැඩ පටන් ගන්නෙ. ඔය පේලියට තියල තිබෙන වංගෙඩිවල තමයි ඒ කාලේ වී කෙටුවෙ. අපේ ගෙදර කවදත් කෑම බීමෙන් අඩුවක් පාඩුවක් තිබිල නැහැ. නල්ලපෙරුම දිසානායක පරම්පරාව කියන්නෙ තමන්ට තිබුණ බව භෝග අස්වැන්න තනිවම භුක්තිවින්ද පරපුරක් නොවෙයි. ඒ කාලෙ මේ පළාතේ හැම කෙනෙක්ම කුස්සියේ අඩුපාඩුවක් තිබුණොත් ඒක පිරිමහගන්න ඊට අමතරව ලෙඩක් දුකක් හැදුනොත් ඒ සඳහා සහනයක් ගන්න ඇවිත් තියෙන්නෙ අපේ ගෙදරට. ් ඒ ආව කිසි කෙනෙක්ව හිස් අතින් යවන්න අපේ සීය, අම්මා, තාත්තා කටයුතු කළේ නැහැ.’

ලෙනාඩ් වුල්ෆ් නඩු ඇසූ සියඹලා ගස යට සිට මීගහජඳුර වලව්වට…

බුද්ධදාස මහතා පවසන අතීතය එතෙකින් නිමාවට පත්වන්නේ නැත. මීගහජදුරට ගිය අප අසමින්, නරඹමින් සිටින්නේ අතීත අන්දරයක්ය. බුද්ධදාස මහතාගේ අදහස බවට පත්ව තිබුණේ එම අතීත අන්දරයේ තවත් වැදගත් තොරතුරු රැසක් ඔහුගේ වැඩිමහල් සහෝදරයා වූ ආරියදාස නල්ලපෙරුම දිසානායක සතුව පවතින බවත් ඒ පිළිබඳව අසා දැනගැනීම පිණිස නම් ආරියදාස මහතා සමග කතාබහ කළ යුතුව ඇති බවත්ය. යුග, යුග මීගහජදුරට නවෝදය ගෙන දුන් මීගහජදුර වලව්ව තුළ මේ වනවිට දිවිගෙවන්නේ බුද්ධදාස නල්ලපෙරුම දිසානායක මහතා පමණය. ගම්වැසියන් තවමත් ඔහුට ආමන්ත්‍රණය කරන්නේ ‘නිලමේ’ නමින්ය. අප මීගහජදුර වලව්වේ ගත කළ හෝරා කීපය නිමාවට පත්වෙමින් ඇත. මලහිරුගේ රත අවට පරිසරයත් ඉපැරැණි වලව්වේ ඉතිරිව පවතින කොටස තුළත් තැවරෙමින් ඇත. එම දර්ශනය පාළු ශෝකී බවක් දනවන සුළු හැඟීමක් ඇතිකරවන දර්ශනයක් බඳුය. අප එම භූමියෙන් සමුගත්තේ පසු දින කෙසේ හෝ ආරියදාස නල්ලපෙරුම දිසානායක මහතා සමග සම්බන්ධ වීමේ අරමුණින් යුතුවය.

ඉතිරි කොටස ලබන සතියට

රුවන් ජයවර්ධන

advertistmentadvertistment
advertistmentadvertistment