ලේ ගඟක්… සියවසක සටහන්

222

– 51 වැනි කොටස

චීන පොදු නිෂ්පාදන පක්‍ෂය (අපිට පුරුදු විදිහට නම්, චීන කොමියුනිස්ට් පක්‍ෂය) පිහිටුවලා 2021 ජූලි මාසයට අවුරුදු සීයක් සම්පූර්ණ වුණා. ගතවුණු අවුරුදු සීයක කාලය තුළ මේ දේශපාලන සංවිධානය විසින් කරපු කියපු දේවල්වලින් අපිටත් යමක් ඉගෙන ගන්න පුළුවන්. යෝධ චරිත, විශේෂිත සිදුවීම්, විවිධාකාර අත්හදා බැලීම්, වැරැදීම් සහ වැරැදි හදාගැනීම් කියන විදිහට ඒ හා සම්බන්ධ පාඩම් දේශපාලන ඉතිහාසයට එකතුවෙලා තියෙනවා. ඒ ඉතිහාසයේ සටහන් වී තිබෙන මූලික කරුණු කීපයක් මේ ලිපි පෙළින් ඉදිරිපත් කරනවා. මේ ලිපියෙන් කියන්නේ පා ගමනේ යෙදුණු රතු හමුදාව මහා විනාශයකට මුහුණදුන්න ආකාරය ගැනයි.

හතුරා නවත්තන්න බැරි බව තේරුම්ගත්ත පෝ කු, ඔටූ බ‍්‍රවුන් (ලී ත), චෝ අන්-ලයි තුන්දෙනාගේ කණ්ඩායම ඒ බව කොමියුනිස්ට් ජාත්‍යන්තරයට දැනුම් දුන්නා. මධ්‍යම සෝවියට් ප‍්‍රදේශය අත්හැරලා යනවා ඇරෙන්න වෙනත් විකල්පයක් ඒ වෙද්දි ඉතිරිවෙලා තිබුණේ නෑ. ඒ විකල්පයට කොමියුනිස්ට් ජාත්‍යන්තරයේ අනුමැතිය හිමිවුණා. සංක‍්‍රමණයට අදාළ හමුදා සංවිධානය කරපු හැටි, ඒ හමුදා පෙළගස්වපු හැටි මෙයට පෙර ලිපියෙන් විස්තර කළා.

මේ විදිහට සංවිධානය කරපු ගමනට අන්තයකුත් නියම කරගෙන තිබුණා. ඒ වෙනුවෙනුත් කොමියුනිස්ට් ජාත්‍යන්තරයේ අනුමැතිය ලැබුණා. හූ-නන් පළාතේ බටහිර ප‍්‍රදේශයේ තරමක් උතුරට වෙන්න තිබුණු ප‍්‍රදේශයක් තමයි මේ සඳහා හඳුනාගෙන තිබුණේ. මේ තීරණයට බලපාපු හේතුවකුත් තිබුණා.

නන්-ඡං නැගිටීම අසාර්ථක වුණාට පස්සේ හ ලූං සෙනෙවියා (මේ ලිපි මාලාවේ 23 සහ 24 කොටස් බලන්න) ෂං-හයි නගරයට ගියා. ඒත් ඔහු වැඩි කාලයක් යන්න කලින් 1928 අවුරුද්ද මුලම හූ-නන් පළාතේ බටහිර ප‍්‍රදේශයට ගියා. ඒ ප‍්‍රදේශයේත් හූ-පෙයි පළාතේ ආශ‍්‍රිත ප‍්‍රදේශවලත් හිටිය පක්‍ෂයට සම්බන්ධ සන්නද්ධ කණ්ඩායම් සංවිධානය කරපු ඔහු 1928 ජනවාරි අන්තිමේ දී තවත් නැගිටීමකට නායකත්වය දුන්නා. ඒ හරහා හූ-නන් සහ

හූ-පෙයි බටහිර ප‍්‍රදේශ ආශ‍්‍රිතව මූල කඳවුරක් පිහිටුවන්නත් ඔහුට පුළුවන් වුණා. මේ කඳවුර මුල් කරගෙන පිහිටුවපු සන්නද්ධ බලය නම් කෙරුණේ රතු හමුදාවේ 2 වැනි සේනාව කියලා.

හූ-නන් සහ හූ-පෙයි පළාත් මායිමේ බටහිර ප‍්‍රදේශයේ බලය තහවුරු කරගත්ත හ-ලූං සෙනෙවියා තමන් නායකත්වය දීපු සේනාවේ මෙහෙයුම් කුයි-චෝ පළාතේ උතුරු සහ ස-ඡුවාන් පළාතේ දකුණු ප‍්‍රදේශවලටත් ව්‍යාප්ත කළා. 1934 මැයි මාසය වෙද්දි ඒ ප‍්‍රදේශවලත් ගරිල්ලා මෙහෙයුම් ශක්තිමත් කරන්න ඔහුට පුළුවන් වුණා.

ඒ, මධ්‍යම සෝවියට් ප‍්‍රදේශය ක‍්‍රම ක‍්‍රමයෙන් හතුරු ග‍්‍රහණයට නතුවෙමින් තිබුණු කාලයක්. මේ අනතුරින් මිදීමේ පිළියමක් විදිහට පළමුවැනි පෙරමුණු හමුදාවේ 6 වැනි සේනාවට වගකීමක් පවරන්න පෝ කු, ඔටූ බ‍්‍රවුන් (ලී ත) සහ චෝ අන්-ලයි තීරණය කළා. ඒ අයට පැවරුණේ මධ්‍යම සෝවියට් ප‍්‍රදේශයෙන් බටහිර පැත්තට හමුදා මෙහෙයවලා හූ-නන් පළාතේ දකුණු ප‍්‍රදේශවල බලය තහවුරු කරගැනීමේ වගකීම. 6 වැනි සේනාව සටන් කළේ රන් පී-ෂිගේ සහ ශියා ඕ ක සෙනෙවියාගේ නායකත්වය යටතේ. ඒත් දරුණු හතුරු ප‍්‍රහාර හින්දා ඒ වැඬේ කරන්න 6 වැනි සේනාවට බැරිවුණා. ඉතින් ඒ අය හූ-නන් පළාතේ බටහිර මායිම දිගේ උතුරට ගමන්කරන්න පටන්ගත්තා.

6 වැනි සේනාව තමන් ඉන්න පැත්තට එන බව දැනගත්ත හ ලූං සෙනෙවියා තමන්ගේ හමුදා හූ-නන් පළාතේ බටහිර මායිම දිගේ දකුණට මෙහෙයෙව්වා. මේ විදිහට 2 වැනි සේනාව දකුණටත් 6 වැනි සේනාව උතුරටත් ගමන් කළේ ඉතාමත් දරුණු හතුරු ප‍්‍රහාර මැද්දේ. සියලූ බාධා මැඩගෙන ඉස්සරහට ගිය මේ සේනා දෙක 1934 ඔක්තෝබර් 26 වැනි දා එකතු වුණා. මේ හමුදා එකතුවත් එක්ක හූ-නන් සහ හූ-පෙයි පළාත් මායිමේ බටහිර ප‍්‍රදේශයේ මූල කඳවුර තවත් ශක්තිමත් වුණා. මධ්‍යම සෝවියට් ප‍්‍රදේශය අත් හැරලා පළමුවැනි පෙරමුණු හමුදාව පිටත්වෙද්දි තිබුණටත් වඩා ශක්තියක් ඒ හරහා නිර්මාණය වුණා.

ලේ ගඟක්... සියවසක සටහන්
ගමනේ සිතියම

මධ්‍යම සෝවියට් ප‍්‍රදේශයෙන් හූ-නන් පළාතේ දකුණු ප‍්‍රදේශයට සංක‍්‍රමණය වෙලා ඒ පළාත් මායිම දිගේ බටහිරට ගිහිල්ලා උතුරට හැරුණාම ගමනාන්තයට යන්න පුළුවන්. ඉතින් තුන්දෙනාගේ කණ්ඩායම විසින් සැලසුම් කළේ කිලෝ මීටර් දාහකට අඩු දුරක් ගෙවලා යන ගමනක්.

මේ මහා සංක‍්‍රමණයට අදාළ අණ ලබාදුන්නේ 1934 ඔක්තෝබර් 10 වැනි දා. ඒ අනුව, තම තමන්ගේ ආම්පන්න සහ අනෙකුත් අවශ්‍යතා සූදානම් කරගත්ත රතු හමුදාව ගමන් ඇරඹුවා. 1934 ඔක්තෝබර් 17 වැනිදා ගමනේ නිල ආරම්භය සනිටුහන් කෙරුණේ රතු හමුදාව විසින් යූ-තු ගංගාව තරණය කිරීමෙන්. ඉදිරියේ වම්පසින් ගමන් කරපු 1 වැනි සේනාවත් දකුණු පසින් ගමන්කරපු 3 වැනි සේනාවත් ක‍්‍රියාකළේ මහා ඊ තලයක හිස කොටස වගේ. කාලයක් තිස්සේ එකදිගටම සටන්කරලා ලබාගත්ත අත්දැකීම් සහ පළපුරුද්ද ඒ අයට තිබුණා. ලින් පියා ඕ සෙන්පතියාගේ අණදීම යටතේ 1 වැනි සේනාවත් පං ත-හුවයි සෙන්පතියාගේ අණදීම යටතේ 3 වැනි සේනාවත් ගමන්කළා. ඉදිරියට යන රතු හමුදාවට කු ඕ-මින්-තං හමුදාවේ මුල්ම ආරක්‍ෂක වළල්ල මුණගැහුණේ ඔක්තෝබර් 21 වැනි දා. ඒ, වං-මූ-තු සහ ශින්-ථියැන් ප‍්‍රදේශවල දී. මේ ගැන මහ සේනාව දැනුවත්කරපු 1 වැනි සේනාව සහ 3 වැනි සේනාව ඒ බාධකය බින්දා. මහ සේනාවට වම් පැත්තෙන් ගමන් කරපු 9 වැනි සේනාවත් දකුණු පැත්තෙන් ගමන්කරපු 8 වැනි සේනාවත් පසුපස ආරක්‍ෂාව සළසපු 5 වැනි සේනාවත් තමන්ගේ යුතුකම් ඉටුකළා. ඉතින් ඔක්තෝබර් 25 වැනි දා වෙද්දි ශින්-ෆං ගඟ තරණය කරන්න රතු හමුදාවට පුළුවන් වුණා.

හු-නන් සහ කුවං-තුං පළාත් සීමාවේ හතුරු බලය ඉතාමත් දුර්වල මට්ටමක තිබුණු හින්දා අනතුරක් නැතුව රතු හමුදාව තවත් ඉදිරියට ගියා. ඉදිරි පෙරමුණේ දකුණු පැත්තෙන් ගිය 3 වැනි සේනාවට කු ඕ-මින්-තං හමුදාවේ දෙවැනි ආරක්‍ෂක වළල්ල මුණගැහුණේ හූ-නන් දකුණු ප‍්‍රදේශයේ තියෙන රූ-ඡං කෝරළයේ දී. ඉදිරි පෙරමුණේ වම් පැත්තෙන් ගිය 1 වැනි සේනාවට කුවං-තුං උතුරු මායිමේ ඡං-කෝ ප‍්‍රදේශයේ දී ඒ ආරක්‍ෂක වළල්ල මුණගැහුණා. නොවැම්බර් 5 සහ 8 අතර කාලයේ දී ඒ බාධකය බිඳින්නත් රතු හමුදාවට පුළුවන් වුණා.

චියං කායි-ෂෙක්ගේ අණදීම යටතේ හෙමින් හෙමින් ඉස්සරහට ආපු කු ඕ-මින්-තං හමුදාව රුයි-චින් ප‍්‍රදේශය අල්ලගත්තේ නොවැම්බර් 5 වැනිදා. ඒ වෙද්දි රතු හමුදාව මධ්‍යම සෝවියට් ප‍්‍රදේශයෙන් පිටවෙලා ගිහිල්ලා දවස් 17 ක්. ප‍්‍රදේශයේ රැඳිච්ච රතු හමුදා සේනාංක සහ ප‍්‍රාදේශීය සන්නද්ධ කණ්ඩායම් විසින් එල්ලකරපු ගරිල්ලා ප‍්‍රහාරත් මේ පමාවට හේතුවුණා.

මහා කැපැවීමක් කරලා හතුරු ආරක්‍ෂක වළලූ බින්දත් රතු හමුදාව ඉස්සරහට ගියේ ඉතාමත් හෙමින්. ඇරගෙන ගිය භාණ්ඩ ප‍්‍රමාණය සහ ඒවායේ විශාලත්වය විසින් තමයි ගමනේ වේගය අඩුකළේ. සමහර පෙට්ටගම් උස්සන්න විශාල පිරිසකගේ ශ‍්‍රමය වුවමනා වුණා. කඳුකර දුෂ්කර ප‍්‍රදේශ හරහා ගමන් කරමින් හිටිය හින්දා මේ වැඬේ කරන්න හරිම අමාරුයි. ඒත් තමන්ට ලැබුණු නියෝග පිළිපදිනවා ඇරෙන්න වෙන කරන්න පුළුවන් දෙයක් ඒ සෙබළුන්ට තිබුණේ නෑ. මෙහෙම හෙමින් ගිය රතු හමුදාව හතුරාගේ තුන්වැනි ආරක්‍ෂක වළල්ලත් බින්දා.

මේ පමාවේ වාසිය ලැබුණේ චියං කායි-ෂෙක්ට. රතු හමුදාව ලූහුබඳින වැඬේට ඔහු සේනාංක 16 ක් සහ රෙජිමේන්තු 77 ක් යෙදෙව්වා. ඔහුගේ අණදීම යටතේ ඒ හමුදා සටනට යොමුවුණේ පා ගමනට උතුරින් පිහිටි හූ-නන් පළාත පැත්තෙන්. පා ගමනේ දකුණු පැත්ත අවහිර කරන වගකීම පැවරුණේ කුවං-තුං සහ කුවං-ශි පළාත්වල හමුදාවලට. දකුණේ හමුදා මේ වෙනුවෙන් සේනාංක 9 ක් යෙදෙව්වා. මේ විදිහට දෙපැත්තෙන් හිරකරලා පහරදීමෙන් රතු හමුදාව මුළුමනින්ම විනාශකරන්න පුළුවන් බව චියං කායි-ෂෙක් තේරුම් ඇරගෙන හිටියා. රතු හමුදාවට මේ අනතුරෙන් බේරෙන්න පුළුවන් වෙන්නේ ගමන ඉක්මන් කරලා ශියං ගෙඟන් එතෙරවුනොත් විතරයි. ඒත් රතු හමුදාව චියං ගඟ පේන මානයට ආවේ නොවැම්බර් 25 වැනිදා. දවස් දෙකක් ඇතුළත හතුරු හමුදාවේ හතරවැනි ආරක්‍ෂක වළල්ල බිඳින්න ඉදිරි පෙරමුණේ සේනාවලට පුළුවන් වුණා. සේනාංක කීපයක්ම ගෙඟන් එතෙරවුණා. මේ වෙද්දිත් හතුරු සේනා ඉතාමත් වේගයෙන් තමන්ගේ ඉලක්කයට කිට්ටුවෙමින් හිටියා. ඒත් ගොළුබෙලි ගමනින් ඉස්සරහට ගිය මහ සේනාව ගෙඟන් එතෙරවුනේ දෙසැම්බර් 1 වැනි දා.

මධ්‍යම කාරක සභාව ඇතුළු නායකත්වයේ ආරක්‍ෂාව වෙනුවෙන් පරිවාර හමුදා ඉතා බිහිසුණු යුද්ධයක පැටළුණා. මහ සේනාව ආරක්‍ෂිතව ගෙඟන් එතෙරවුනත් පරිවාර සේනා මුහුණදුන්නේ හිතන්නත් බැරි විනාශයකට. ගමනේ පසුපස ආරක්‍ෂාව වෙනුවෙන් කැපවුණු 5 වැනි සේනාවේ 34 වැනි සේනාංකයටත් දකුණු පෙරමුණේ සටන්කරපු 3 වැනි සේනාවේ 6 වැනි සේනාංකයට අයිති 18 වැනි රෙජිමේන්තුවටත් ගෙඟන් එතෙරවෙන්න බැරිවුණා. ඉතින් ඒ විදිහට කොටුවෙච්ච බල ඇණි මුළුමනින්ම විනාශකරන්න හතුරු හමුදාවලට පුළුවන් වුණා. ගෙඟන් එතෙරවෙච්ච සේනාත් ඒ වෙනුවෙන් විශාල වන්දියක් ගෙව්වා.

මධ්‍යම සෝවියට් ප‍්‍රදේශයෙන් පිටත්වුනේ 86,000 ක පිරිස් බලයක් තියෙන මහා හමුදාවක්. හතුරාගේ පළමුවැනි ආරක්‍ෂක වළල්ල බිඳින සටනේ දී 3,700 දෙනෙක්ට ජීවිත අහිමිවුණා. දෙවැනි ආරක්‍ෂක වළල්ල බිඳින සටනේ දී මියගිය ප‍්‍රමාණය 9,700 ක්. තුන්වැනි ආරක්‍ෂක වළල්ල බිඳින සටනේ දී තවත් 8,600 දෙනෙක්ට ජීවිත අහිමිවුණා. හතරවැනි ආරක්‍ෂක වළල්ල බිඳිද්දීත් ඒ හා සමාන ප‍්‍රමාණයක් මියගියා. ඉතිින් මාස එක හමාරකට කිට්ටු කාලයක් තුළ කරපු ඒ සටන් හතරේ දී තිස්දාහක විතර පිරිස් බලයක් රතු හමුදාවට අහිමිවුණා. නොවැම්බර් 27 වැනිදා ඉඳලා දෙසැම්බර් 1 වැනිදා දක්වා ඇවිළුණු ශියං ගෙඟ් සටනේ දී විතරක් රතු හමුදාවට අහිමිවෙච්ච පිරිස් බලය 31,000 ක්. ඒ සටන විසින් නිර්මාණය කළේ ලේ ගඟක්.

ශියං ගඟේදී දිවි පුදපු අය අතරින් බහුතරයක් කාලයක් තිස්සේ සටන්කරලා හොඳ පන්නරයක් ලබාගෙන හිටිය ඉතා ශක්තිමත් පිරිසක් වීමත් විශේෂයක්. ඒ අතර, මහ සෙනෙවියෝ විශාල පිරිසකුත් හිටියා. මේ දැවැන්ත විනාශය හින්දා ගමනට එකතු වෙච්ච සේනා අළුතින් සංවිධානය කරන්නත් සිද්දවුණා. මේ ප‍්‍රතිසංවිධානය හින්දා තවදුරටත් 8 වැනි සේනාව පවත්වාගෙන යන්න පුළුවන්කමක් තිබුණේ නෑ. ඉතින් ඒ සේනාවේ නම පක්‍ෂයේ අතීත සටහන්වලට එකතුවුණා.

රතු හමුදාව කරන මේ සංක‍්‍රමණයේ ගමනාන්තය ගැන චියං කායි-ෂෙක් දැනගෙන හිටියා. රතු හමුදාව යන්නේ හූ-නන් පළාතේ බටහිර මායිමේ උතුරු පැත්තේ මූල කඳවුරක් හදාගෙන ඉන්න හ-ලූංගේ 2 වැනි සේනාවත් රන් පී-ෂිගේ 6 වැනි සේනාවත් එක්ක එකතුවෙන්න. ඉතින් මේ ගමන සිද්දවෙන්නේ හූ-නන් පළාතේ බටහිර මායිම දිගේ උතුරට. මේ කාරණය තේරුම්ගත්ත චියං කායි-ෂෙක් කළේ ශියං ගෙඟ් සටනින් පස්සේ තමන්ගේ හමුදා හු-නන් බටහිර ප‍්‍රදේශයේ චියැන්-යං සහ හුං-චියං ප‍්‍රදේශවල රඳවන එක. සටනින් බේරිලා ගෙඟ් බටහිර ඉවුරට ගිය රතු හමුදාව යන්න ඕන ඒ පැත්තෙන්. ඉතින් මේ උගුල අටවපු චියං කායි-ෂෙක් රතු හමුදාව එන කල් සූදානමින් හිටියා.

මධ්‍යම කාරක සභාව ඇතුළු පොදු නිෂ්පාදන පක්‍ෂයේ දේශපාලන නායකත්වය ආරක්‍ෂා සහිතව ශියං ගෙඟන් එතෙර වුණත් සිද්දවෙච්ච හානිය ගැන හැම කෙනෙක්ම කම්පා වුණා. මේ දුක සහ කම්පාවත් එක්කම පෝ කු සහ ඔටූ බ‍්‍රවුන් (ලී ත) දෙන්නාට විරුද්ධ අදහසුත් රතු හමුදාව තුළ පැතිරෙන්න පටන්ගත්තා. ඔටූ බ‍්‍රවුන්ගේ (ලී තගේ) වැරැදි උපදෙස් හින්දා මධ්‍යම සෝවියට් ප‍්‍රදේශය අහිමිවුණා. ඊට අමතරව, පා ගමනට එකතුවෙච්ච හැටදාහක් විතර පිරිසකට ජීවිතත් අහිමිවුණා. ඉතින් මේ අර්බුදය විසඳන්න නම් මා ඕ ත්ස-තුං ඉස්සරහට එන්න ඕන කියන අදහසත් ඉස්මතුවුණා.

අදහස් දැක්වීමේ අවස්ථාවක් මා ඕ ත්ස-තුංට දෙන්න ඕන කියලා බහුතරයක් පිරිස කිව්වා. චෝ අන්-ලයි, වං චියා-ශියං, ලූ ඕ පූ ඇතුළු නායකයෝ විශාල පිරිසකුත් මේ කාරණය අවධාරණය කළා. මේ වෙද්දි පා ගමනේ යෙදෙන රතු හමුදාව ළඟාවෙලා හිටියේ හු-නන් පළාතේ දකුණු මායිමේ බටහිර කෙළවරේ පිහිටි තුං-තා ඕ කෝරළයට. ඉතින් ඇතිවෙලා තිබුණු තත්ත්වය සළකා බලලා රැස්වීමක් කැඳවන්න පෝ කු ඇතුළු නායකත්වය තීරණය කළා. ලෙඩ නිවාඩු දීලා අවුරුදු දෙකකට වැඩි කාලයක් දේශපාලන සහ හමුදා කටයුතුවලින් ඈත්කරලා හිටිය මා ඕ ත්ස-තුං 1934 දෙැසම්බර් 12 වැනිදා පවත්වපු තුං-තා ඕ රැස්වීමට සහභාගි වුණා. කොමියුනිස්ට් ජාත්‍යන්තරයේ උපදෙස් පරිදි රතු හමුදාව ගමන්කරන්න ඕන උතුරට බව පෝ කු සහ ඔටූ බ‍්‍රවුන් (ලී ත) අවධාරණය කළා. ඒත් චියං කායි-ෂෙක් අටවලා තියෙන උගුල මැද්දට දැන දැනම යන්නේ කොහොම ද කියලා මා ඕ ත්ස-තුං ප‍්‍රශ්න කළා. තවදුරටත් බටහිරට ගමන් කරලා කුයි-චෝ පළාතට ඇතුළුවෙන්න ඕන කියන එකයි ඔහු අවධාරණය කළේ. මේ අදහස කොමියුනිස්ට් ජාත්‍යන්තරයේ නිර්දේශයට පටහැනියි. කොමියුනිස්ට් ජාත්‍යන්තරයේ උපදෙස් ගන්න විදිහකුත් නෑ. ෂං-හයි නගරයේ තිබුණු විදුලි පණිවිඩ හුවමාරු මධ්‍යස්ථාන ඔක්තෝබර් 10 වැනිදා හතුරා විසින් අල්ලගත්තා. (මෙයට පෙර කොටසින් ඒ ගැන කිව්වා).

ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති

advertistmentadvertistment
advertistmentadvertistment