ලේ හලා ලබාගත් නිදහස

129

ක‍්‍රිස්තු වර්ෂ 1815 මාර්තු මස 02 දින සුප‍්‍රකට උඩරට ගිවිසුම මගින් මුළු ලංකා දිවයිනම බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යයට යටත් වීමෙන් පසු මව්බිමට නිදහස අත්කර ගැනීම සඳහා මෙරට ස්වදේශිකයන් වරින් වර තම ලේ දහදිය අඹුදරුවන්, දේපළ පමණක් නොව ජීවිතද පරිත්‍යාග කරමින් සටන් වැදුනහ.

මව්බිම නිදහස් කරගැනීම පළමු අරමුණ ලෙස තබා ගනිමින් 1815 මාර්තු 02 දින සිට 1948 පෙබරවාරි 04 වන දින නිදහස ලබා ගන්නා තෙක් කාලසීමාව තුළ මෙවැනි සටන් 07 ක් අපේ මුතුන් මිත්තන් විසින් දියත් කර ඇතත් වර්තමානයේ බොහෝ දෙනෙකු දැනුවත්ව සිටිනුයේ ‘‘1818 උඩරට කැරැල්ල සහ 1848 මාතලේ කැරැල්ල’’ යනුවෙන් හැඳින්වෙන නිදහස් අරගල දෙක ගැන පමණි. එම සටන් ගැන ඉතිහාසයේ සහ බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගේ පරිපාලන හා අධිකරණ වර්තාවලත් සටහන්ව ඇති නමුත් ඒවා ඉස්මතු නොකිරීම හේතුවෙන් අවධානයෙන් ගිලිහී ඇත්තේය.

නිදහස ලබා වසර 74 ක් ගතවන අද වැනි දිනක පෙර කී යටත්විජිත සමය තුළ අප රට නිදහස් කරගැනීම සඳහා සටන් වැදුණු විරුවන් සිහිපත් කිරීම වෙනුවෙන් එම සියලූ සටන් පිළිබඳ කෙටි සටහනක් මෙලෙස දක්වමි.

1818 උඩරට කැරැල්ල

1817 ජනවාරි මස 16 දින ඒ වන විට බදුල්ල ඉංග‍්‍රීසි දිසාපති සිල්වෙස්ටර් ඩගල්ස් විල්සන් බදුල්ලේ ඊතනවත්තෙදි ඝාතනය කිරීමෙන් ඇරඹි එම සටන 1818/11/26 දින එහි ප‍්‍රධාන නායක මොණරවිල කැප්පෙටිපොළ නිලමේතුමාගේ මරණීය දණ්ඩනයෙන් අවසන් වෙයි. මෙම කැරැල්ලේ දී අවසානයටම මරණීය දණ්ඩනයට ලක් වූයේ 1818/12/18 දින බදුල්ලේ දී එල්ලා මරණයට පත් කළ කිවුලේ ගෙදර මොහොට්ටාලයි.එම කැරැල්ලේ දී විවිධ දඬුවම්වලට ලක් වු පිරිස පහත සඳහන් පරිදි වෙයි.

මරණීය දණ්ඩනයන 63, රටින් පිටුවහල් කිරීම 33, සිර දඬුවම් සමග දේපළ රාජසන්තක කිරීම 50, (මීට වාරියපොල සුමංගල හිමි ඇතුළු හිමිවරු 30 ක් ඇතුළත් වෙයි) , දේපල රාජසන්තක වීම් 8, රාජ ද්‍රෝහීන් ලෙස ගැසට් කළ 1818.01.01-19, 1818.11.01- 30 බුටෑවේරටේරාල, කිවුලේගෙදර මොහොට්ටාල, කොහුකඹුරේ රටේරාල, ඉහගම හිමි ආදීන් ප‍්‍රාදේශීයව නායකත්වය දී ඇරඹි මෙම සටනට මොණරවිල කැප්පෙටිපොළ, මඩුගල්ල, පිළිමතලාව (කනිෂ්ඨ) සහ ඇල්ලෙපොල ප‍්‍රමුඛ උඩරට නිලමේවරුන්, ප‍්‍රධාන නායකත්වය සපයන ලදී. සත්කෝරළයේ දොළොස්පන්නේ විල්බාවේ පදිංචි විල්බාවේ වෙදරාලලාගේ ගෙදර හෙවත් ලේකම්ලාගේ ගෙදර හෙවත් කපුරාලලාගේ ගෙදර මුදියන්සේලාගේ නැමැත්තා ‘‘දොරේසාමි’’ නමින් රජු වංශයෙන් පෙනී සිටින ලදී.

ක‍්‍රි: ව 1820 ජනවාරි කැරැල්ල

ක‍්‍රි:ව 1820 ජනවාරි මස කුමාරස්වාමි නම් ද්‍රවිඩ පුද්ගලයකු වෙල්ලස්සේ වැදි ජනයාගේද සහය ඇතිව ඉංග‍්‍රීසි ආධිපත්‍යයට එරෙහිව කැරැල්ලක් ආරම්භ කරන ලදී. ඔහු විමලධර්ම නරේන්ද්‍රසිංහ නමින් පෙනී සිටිමින් ලංකා රාජ්‍යයට උරුමකම් කියමින් කැරැල්ලක් සංවිධානය කරන්නට විය. එහෙත් ඊට සිංහල ජනතාවගේ සහය නොලැබීම නිසා සිතූ තරමට කැරැල්ල ව්‍යාප්ත කිරීමට නොහැකි විය. බිම්තැන්න දිසාව විසින් කැරැල්ල මර්දනය කොට කුමාරස්වාමි අත්අඩංගුවට ගන්නා ලදී. යුද්ධ අධිකරණය ඔහු වරදකරුවකු කොට සිරකරුවකු ලෙස මුරුසි දිවයිනට පිටුවහල් කරන ලදී.

1820 ජුලි කැරැල්ල

කොබ්බෑකඩුව දිසාවගේ නායකත්වයෙන් ආරම්භ විය. කැරැල්ල වඩාත් පැතිරුනේ තමන්කඩුව හෙවත් වර්තමාන පොලොන්නරුව ප‍්‍රදේශය තුළයි. ඒ සඳහාද සිංහල ජනතාවගේ උනන්දුවක් නොවූයෙන් කැරැල්ල පරාද විය. කොබ්බෑකඩුව දිසාව අත්අඩංගුවට ගෙන සිර දඬුවම් නියම කරන ලදී.

1823 මාතලේ කැරැල්ල

කහවත්ත නම් හිමි නමකගේ ප‍්‍රධානත්වයෙන් 1823 මැයි මස මාතලේ දී කැරැල්ලක් ආරම්භ කරන ලදී. එහෙත් එයද වැඩි දුර ව්‍යාප්ත වීමට නොහැකි වූ අතර කහවත්තේ හිමි අත්අඩංගුවට පත් විය. ශ්‍රේෂ්ඨාධිකරණයේදී නඩු විභාගයකින් පසු 1823 අගෝස්තු 05 වන දින එල්ලා මරණයට පත් කරන ලදී.

1834 කැරැල්ල

දාඹවේ හිමි, කැටකුඹුරේ හිමි, තිබ්බටුවාවේ හිමි නම් හිමිවරුන් තිදෙනෙකුගේ මූලිකත්වයෙන් කැරැල්ලක් සංවිධානය විය. මෙම තිදෙනා අත්අඩංගුවට ගෙන ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පවරන ලදී. හිමිවරු තිදෙනාම නිදහස ලැබූහ.

1842 කැරැල්ල

චන්ද්‍රජෝති ශීලවංශ සරණංකර නම් හිමි නමකගේ ප‍්‍රධානත්වයෙන් ඉංග‍්‍රීසි ආධිපත්‍යයට එරෙහිව 1842 කැරැල්ලක් ඇරඹිණි. එයද පහසුවෙන් අඩපණ කිරීමට ඉංග‍්‍රීසි ආණ්ඩුවට හැකි විය. එම හිමියන්ද අත්අඩංගුවට ගෙන ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු විභාගයකින් පසු මරණීය දණ්ඩනය නියම කරන ලදී. එහෙත් පසුව ආණ්ඩුකාරවරයාගේ අභිමතය පරිදි මරණ දඬුවම වෙනස් කර අවුරුදු 14 ක බරපතළ වැඩ සහිත සිර දඬුවමකට මෙම හිමියන් යටත් කරන ලදී.

1848 මාතලේ කැරැල්ල

බි‍්‍රතාන්‍ය ආධිරාජ්‍යයට එරෙහි අවසන් සන්නද්ධ අරගලය වූයේ 1848 සිදු වූ මාතලේ කැරැල්ලයි. මෙම සටන 1848 ජුලි 28 දින වත්තේගම වාරියපොල කෝපි වත්තට පහර දීමෙන් ආරම්භ වී 1848 අගෝස්තු 08 දින වීරපුරන් අප්පු ඝාතනයෙන් අවසන් විය.

මෙම සටනින් එකදු බි‍්‍රතාන්‍ය ඉංග‍්‍රීසි භටයකු හෝ මිය ගියේ නැති අතර විවිධ දඩුවම්වලට යටත් වූ ස්වදේශිකයන් සංඛ්‍යාව පහත දක්වා ඇත. මරණීය දණ්ඩනය 36, පිටුවහල් කිරීම 30 , දේපල රාජසන්තක 20 (දඹුලූ විහාරය ඇතුළු මේ සියල්ල පසුව නිදහස් කරන ලදී), කස පහර 02 සිරදඩුවම් 68, නිදහස් වූවෝ 35, මෙම සටනට නයකත්වය දුන්නේ වීරපුරන් අප්පු, ගොන්ගාලේගොඩ මැණික්රාල හෙවත් ගොන්ගාලේගොඩ බණ්ඩා සහ වීදි පැලැල්ලේ බණ්ඩාර හෙවත් හගුරන්කෙත ඩිංගිරාල නැමැති අයකි.

මේජර් (විශ‍්‍රාමික) කේ. ජී. කුලරත්න

advertistmentadvertistment
advertistmentadvertistment