මුළු රටම නිරෝධායන ඇඳිරි නීතියට යටත් වූ වැඩි කලබලයක් නැති තවත් සතියක් ගෙවී ගියේය. කොරෝනා රෝගයේ පැතිරීම අතිශයින් ඉහළ නැග තිබුණි. දිනකට හමුවන කොරෝනා රෝගීන් සංඛ්‍යාව ඉතා වේගයෙන් 5000 සීමාවට ආසන්න වෙමින් තිබුණු අතර දිනකදී සිදුවන මරණ සංඛ්‍යාව 200 පසුකර ඉදිරියට යමින් තිබිණි. එම සංඛ්‍යා ලේඛන පිළිබඳ රටේ නොයෙකුත් දේශපාලන හා සෞඛ්‍ය අංශ අතර විශ්වාසයක් පවා නැති වන තරමට තත්ත්වය සංකීර්ණ ව තිබිණ.
පසුගිය සතියට පෙර සතියේ, ඉතා සංකීර්ණ ලෙස පැතිර යන ‘‘කොවිඞ් ඩෙල්ටා ප‍්‍රභේදය හමුවේ රට වසා දැමිය යුතුද නැද්ද’’ යන කාරණාව පිළිබඳ රටේ විද්වතුන් හා දේශපාලඥයන් අතර පුළුල් කතිකාවක් ඇතිවිය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය පුළුල් අවධානය යොමු කොට තිබුණේ එම කතිකාව කෙරෙහි ය.
රටේ සිටින ඉහළම විශේෂඥ වෛද්‍යවරු ද මේ කාරණාව සම්බන්ධයෙන් මත දෙකක් පළ කරමින් සිටියහ. එක් පිරිසකගේ මතය වූයේ වේගයෙන් පැතිර යන ඩෙල්ටා ප‍්‍රභේදය හමුවේ සෞඛ්‍ය අංශවලට ද රෝගය බෝවන හෙයින් තත්ත්වය පාලනය කිරීමට සති දෙකක්වත් රට වසා දැමීමෙන් රෝගය පැතිර යෑමට ‘‘යම් විරාමයක්’’ ඇති කළ හැකි බවකි. තවත් පිරිසකගේ යෝජනාව වූයේ හැකි පමණ වේගයෙන් රටේ ජනතාවට එන්නතෙන් ආරක්ෂාව ලබාදෙමින් වසංගතය පැතිර යන තැන්වල පමණක් ‘‘දැඩි සමාජ පාලනයක්’’ ඇති කළ යුතු බවයි.
එම සතියේ පැවැති කැබිනට් මණ්ඩල සාකච්ඡාව තුළ දී ද මෙම කාරණාව ඉතා දැඩි ලෙස සාකච්ඡාවට ගැනුණි.
”අපි තීන්දු තීරණ ගන්නේ දේශපාලනඥයින් වට වෙලා නෙවෙයි. මේක රටේ සෞඛ්‍ය ප‍්‍රශ්නයක් මිස දේශපාලන ප‍්‍රශ්නයක් නෙවෙයි. මුල් තැන දෙන්නෙ සෞඛ්‍ය බලධාරීන්ට හා විශේෂඥයන්ට. ඒගොල්ලෝ කියනවා නම් රට වහල දාන්න කියලා අපි කැමතියි. අපි මෙතෙන්දි දේශපාලන තීන්දු ගන්නේ නැතුව කොවිඞ් කමිටුවෙ විශේෂඥයන්ට ඒ කාරණාව බාර දෙමු.”
ජනාධිපතිවරයාගේ එම යෝජනාවට සමහර ඇමැතිවරු එතරම් කැමැත්තක් දැක්වූයේ නැත. රට වසා දැමුවහොත් මහත් අසීරුවෙන් ගොඩනංවමින් තිබෙන ආර්ථිකය යළිත් ඇද වැටීමට හැකි බව ඒ කිහිප දෙනාගේ මතය වූහ.
එහෙත් ඒ වන විටත් සමාජය තුළ වෙනත් මතයක් පැතිර යන්නට විය. රජයේ සේවකයන් ලෙස සිටිමින් ම වෘත්තීය සමිති හරහා විපක්ෂයේ යම් යම් දේශපාලන පක්ෂවලට සෘජුවම සම්බන්ධ යම් යම් ප‍්‍රකාශකයෝ ”මේ කොරෝනා පැතිර යන වේගය හමුවේ රට වසා දැමීම හැර වෙනත් විකල්පයක් රජයට නැතැයි” යන මතය සමාජගත කරන්නට වෙහෙසුනහ.
විපක්ෂයේ දේශපාලනඥයින් මෙන්ම ඇතැම් මාධ්‍ය මෙම අදහසට පුළුල් ප‍්‍රචාරයක් ලබා දුන්හ. ඔවුහු සංවිධානාත්මකව වැඩකටයුතු බෙදාගෙන එම මතය මහා සංඝරත්නය හරහා ද සමාජ ගත කරන්නට වූහ. එළැඹ ඇති ව්‍යසනකාරී තත්ත්වය හමුවේ රටේ ජනතාව තවදුරටත් අනතුරේ නොහෙළා සෞඛ්‍ය අංශවල නිර්දේශ මත පදනම්ව වහාම රට සති කිහිපයකටවත් වසා දමන්නේ නම් මැනවැයි කියා මේ රටේ මහනායක හිමිවරුන් පවා ජනාධිපතිවරයාට ලිපි එවන්නට වූයේ විපක්ෂයේ එම ව්‍යායාමයේ ප‍්‍රතිඵලයක් වශයෙනි.
රට වසා දමමුද…
රට ඇර තබමුද…?
මේ අතර තවත් දෙයක් සිදුව තිබිණි. ඒ වූ කලී ආණ්ඩු පක්ෂයේම පක්ෂ 10ක සංවිධානයක් විසින් රට වසා දමන්න යැයි බල කරමින් ජනාධිපතිවරයාට ලිපියක් යවා ඇතැයි කියා ආරංචියක් සමාජගත වීමයි. ආණ්ඩුවේ පක්ෂ නායකයකු වන අසංක නවරත්නගේ ෆේස්බුක් ගිණුමේ පළ වූ මේ පිළිබඳ එක්තරා හෝඩුවාවක් නිසා එම ආරංචිය බොරු නොවන බව සනාථ විය.
කෙසේ වෙතත් එම ආරංචිය සමාජගත වූයේ තිබෙන තත්ත්වයටත් වඩා බැ?රුම් වටිනාකමක් එම ප‍්‍රවෘත්තිය වෙත ලබා දෙමිනි. රට වසා දමන්නට යැයි බල කරමින් විමල්, ගම්මන්පිල, වාසු, රතන හිමි ඇතුළු පක්ෂ දහයක නියෝජිතයින් රජයට අනතුරු අඟවා ඇතැයි කියා රටේ ප‍්‍රධාන ප‍්‍රවෘත්ති නාලිකා හා පුවත්පත් ද මෙම පුවත වාර්තා කර තිබිණි.
මෙම පුවත ආණ්ඩුව ඇතුලේම සිටි තවත් කණ්ඩායමක් භාරගත්තේ රජයට කළ අභියෝගයක් ලෙස ය…
”කැබිනට් මණ්ඩලයේ ඇතුළෙ සද්ද නැතුව හිටියා. රට වහනවා ද නැද්ද කියන කතිකාවට කිසිම අදහසක් පළ කළේ නෑ. එළියට ගිහිල්ලා ඩබල් ගේම් එකක් ගැහුවා.”
එම කණ්ඩායම විමල්, වාසු, ගම්මන්පිල ඇතුළු පිරිසට එසේ බරපතළ චෝදනා එල්ල කළා පමණක් නොව, පුවත්පත් සාකච්ඡාවක් පවා කැඳවමින් බැණ වදින්නට වූහ. එසේ විමල් වාසු ගම්මන්පිල ආදී දේශපාලනඥයින් සටනට කැඳවන මෙහෙයුමේ ප‍්‍රමුඛයා වූයේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් නීතිඥ සාගර කාරියවසම් ය.
එහෙත් මෙම කාරණාවේ සැබෑ ස්වරූපය පෙනෙන්නට තිබූ චිත‍්‍රයට වඩා තරමක් වෙනස් එකක් විය. පක්ෂ දහයක් විසින් ඒකරාශී වී ජනාධිපතිවරයාට එවන ලද සන්දේශයෙහි ප‍්‍රමුඛ කාරණාව රට වසා දමන්නට යෝජනා කිරීම නොවේ. එය මෙම අසීරු අවස්ථාවේ මද සහනයක් ලබන්නට නම්, කළයුතු යැයි කියා එම කණ්ඩායම විසින් යෝජනා කරන ලද කාරණා 7ක් අඩංගු සංදේශයක එක් කාරණාවක් පමණි. රට වසා දැමීම මුල් කොටගෙන රටේ කතිකාවක් ඇති කළහොත් රජයත් විමල් වීරවංශලාත් අතර යම් විරසකයක් සාදන්නට එය ප‍්‍රමාණවත් වේ යැයි සිතූ ඇතැම් පිරිස් එම ප‍්‍රකාශයෙන් එම කරුණ පමණක් උලූප්පා මතුකරන්නට දරා තිබූ උත්සාහයක් මෙසේ පලදරා තිබිණි.
කෙසේ වෙතත් මෙම කාරණාව පිළිබඳ පුළුල් කතිකාවක් ඒ වන විට රජය අභ්‍යන්තරයේ ද සිදුවෙමින් පැවතිණි. කතිකාවේ තීරණාත්මක කරුණු සාකච්ඡාවට ලක්වූයේ ඉකුත් 20 වන සිකුරාදා දහවල් පැවති කොවිඞ් මර්දන කාර්ය සාධක බලකා රැස්වීමේදීය.
සිකුරාදා දහවල් 11 ට ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් ආරම්භ වූ මෙම රැස්වීමට සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ සිට සියලූම සෞඛ්‍ය බලධාරීන්, හමුදාපති, නාවික හමුදාපති, පොලිස්පති ප‍්‍රමුඛ ආරක්ෂක ප‍්‍රධානීන්, නිලධාරීන් හා සුපුරුදු දේශපාලනඥයන් පැමිණ සිටියහ. සෞඛ්‍ය ඇමැති කෙහෙලිය, සුදර්ශණි, ප‍්‍රසන්න, චන්න ජයසුමන, සිසිර ජයකොඩි, ඩලස් අලහප්පෙරුම, ජනාධිපති ලේකම් පී. බී. ජයසුන්දර, විශේෂ උපදේශක ලලිත් වීරතුංග ඇතුළු නිලධාරීන් පිරිසක් ද සිටියහ.
රැස්වීම පටන් ගන්නට මොහොතකට පෙර ජනාධිපතිවරයාගෙන් සිසිර ජයකොඩිට ඇමතුමක් ලැබී ඔහු ඇතුළට ගියේය.
ටික වේලාවකට පසු ඔහු යළි පැමිණ වාඩි වන විට අනෙකුත් අය ඔහු කැඳවූයේ මන්දැයි කියා විමසූහ.
”ජනාධිපතිතුමා කියනවා ප‍්‍රතිශක්තිය වඩවන ආයුර්වේද ඖෂධ පාර්සලයක් ජනතාවට ලබා දෙන්න සූදානම් කරන්න කියලා…”
”ඒක නම් ඉතාම හොඳ වැඩක්…” අනිත් අය එම යෝජනාව අනුමත කරමින් කතා බහ කරන අතරේ ජනාධිපතිවරයා, අගමැතිවරයා හා මුදල් ඇමැතිවරයා එම රැස්වීමට පැමිණියාහ.
”මොනවද ගුඞ් නිවුස්… ගුඞ් නිවුස් නං නැතුව ඇති… කොහොමද අපේ එන්නත්කරණ වැඩපිළිවෙළ… ඒවා ඔක්කොම ටාගට්ස්වලට යනවා ඇති නේහ්…. ඒක තමයි ඉතින් හොඳම විසඳුම…” ජනාධිපතිවරයා කී ය.
”60ට වැඩි අය එන්නත් කරන්න තියෙන අපහසුව තමයි ප‍්‍රශ්නේ… ඒ අය එනව හොරයි. 60 ට වැඩි අයගෙ කැටගරි එකෙන් වැඩිපුර පිරිසක් මිය යන්න එක හේතුවක් තමයි එන්නත ගහලා නැතිකම….” සෞඛ්‍ය බලධාරීන් පෙන්වා දුන්හ.
”අපි දැන් මේ සෙනසුරාදා ඉඳලා සතියක් පුරා ම බස්නාහිර පළාතේ එන්නත් කරලා නැති 60න් ඉහළ අය හොයාගෙන ගෙවල්වලට ගිහිල්ලා එන්නත් කරන්නයි සූදානම”… හමුදාපති ශවේන්ද්‍ර කීවේය.
”ඒක හොඳයි… හොයාගෙන ගිහිල්ලා එන්නත් කරන එක තමයි හොඳම විසඳුම. ඕක මෙහෙම කළොත් නරකද… අපට පුළුවන් ප‍්‍රාදේශීය ලේකම්ලා, ග‍්‍රාමසේවකලා යොදාගෙන ගම් මට්ටමෙන් ඒ ඒ පළාත්වල ඉන්න 60ට ඉහළ අයගේ නිවැරදි නම් ලැයිස්තුවක් ගන්න…” ජනාධිපති කීවේය.
මෙහෙම විපක්ෂයක් –
ලෝකෙටම එකයිලූ
ඉන් පසුව සියලූ දෙනාම කතාබහ කළේ මෙවන් ව්‍යසනයක් තිබියදීත් විපක්ෂයේ කල්ලි කණ්ඩායම් මහජනයා නොමග යවමින් කරන අවස්ථාවාදී දේශපාලනය ගැනය.
”මේගොල්ල එකක් කරනකොට තව එකක් ගැන විවේචනය ගේනවා. හැබැයි ඒකට විකල්පය මොකක්ද කියන යෝජනාව ගේන්නෙ නෑ… මෙහෙම විපක්ෂයක් නම් ලෝකෙටම එකයි.”
විපක්ෂය හිතනවා මෙහෙම කලබල කළහම ජනතාව එයාලට කැමති වෙයි කියලා… මේගොල්ලෝ මේ දේවල් කියන්නෙ අනවශ්‍ය ප‍්‍රශ්න ගෙනල්ලා ආණ්ඩුව අපහසුතාවයකට පත් කරලා ආර්ථිකය කඩා වට්ටන්න බව දැන් ජනතාව දන්නවා….
”අපේ ගෙවල් ළඟ තියෙනවා සර් ත‍්‍රීවීලර් පාක් එකක්. මම දවසක් කඬේට ගියාම ඒ මිනිස්සු මාව වට කරගෙන එක යුද්ධයයි රට වහන්න එපා කියලා. එහෙම කළොත් තමන්ගේ අඹු දරුවෝ බඩගින්නෙ බව කියන්න ගත්තා…” රැස්වීමේ සිටි සෞඛ්‍ය බලධාරියෙක් කීවේය.
”ඉතින් ඔයා ඔය කතාව මාධ්‍යවලට කියන්නකෝ… මේ රට වහන්න වහන්න කියලා කෑගහන මිනිස්සුන්ට ඕවත් ඇහෙන්න ඕන…” ජනාධිපති එසේ කියන විට සෞඛ්‍ය බලධාරියා ඊට එතරම් කැමති වූයේ නැත.
ඒ අයුරින් පැවැත්වුණු කතාබහ නිමාවට පත්වූයේ එදා රාත‍්‍රියේ සිට මේ මස අවසන් වන තුරුම මුළු රටම නිරෝධායන ඇඳිරි නීතියට යටත් කිරීමට අවශ්‍ය තීන්දු තීරණ ගැනීමෙන් පසුවය.
21 වැනි සෙනසුරාදා සිට අකුරටම නිරෝධායන ඇඳිරි නීතිය රට පුරා ක‍්‍රියාත්මක විය. රට තුළ උදා වී ඇති තත්ත්වය පැහැදිලි කරමින් ජනාධිපතිවරයා ජාතිය අමතා කෙටි අදහස් දැක්වීමක් කරන්නට ද යෝජනා විය.
කොරෝනා තතු හොයන
ස ජ බයේ පර්යේෂණ
අපේ රටේ දේශපාලන ක්ෂේත‍්‍රයේ විපක්ෂයක් හැටියට සටන්කාමී පිළිවෙතක සිටින්නේ සාමාන්‍යයෙන් නම් ජනතා විමුක්ති පෙරමුණයි. එහෙත් වර්තමානයේ සමගි ජන බලවේගය රජයට එරෙහිව දක්වන සටන්කාමීත්වය අතින් ජවිපෙට වඩා පෙරමුණට පැමිණ කටයුතු කරන බව පැහැදිලි වූයේ ආණ්ඩුව කරන කරන සෑම කටයුත්තකටම ප‍්‍රතිරෝධීව සජබය පෙන්නුම් කළ සටන්කාමීත්වය නිසාය. ජවිපය එම සටන්වලදී සජබයේ සහායක සමගාමී බලවේගයක් බව පෙන්නුම් කළේය.
සජබයෙන් රජයේ කිසිදු කටයුත්තකට සමාවක් නොවීය. ආණ්ඩුව කොවිඞ් උවදුර මර්දනය කිරීමට කරන කොයිකත් සජබයේ දැඩි විවේචනවලට ලක්වූහ.
තත්ත්වය මෙසේ තිබියදී පසුගිය සතියේ සමගි ජන බලවේගයේ නායක සජිත් පේ‍්‍රමදාස සිය කණ්ඩායම් රැස්වීම සූම් තාක්ෂණය ඔස්සේ කරන්නට කල්පනා කළේ රටේ තිබෙන සෞඛ්‍ය තත්ත්වය යහපත් නොවූ නිසාය. සජිත් මුලින්ම කොවිඞ් වසංගතේ වත්මන් තත්ත්වය ගැන අවධානය යොමු කළේය.
”ජනාධිපති කොච්චර හිතුවක්කාර මතයක හිටියත් අන්තිමේ කොවිඞ් උවදුරින් දවසකට දෙසීයක් විතර මැරෙන්න ගත්තාම අපි කියන දේ අහන්න සිද්ද වුණා… ”
”කීදෙනෙක් මැරුණත් රට නම් වහන්නෙ නෑ කියන තැන තමයි ජනාධිපතිවරයා ඉඳලා තියෙන්නේ… ඒ නිසයි රට වහන්න කියලා ලියුම් ලියපු විමල් කයිවාරුටයි ගම්මන්පිලටයි හොඳටම බැණලා තිබුණේ…” රංජිත් මද්දුමබණ්ඩාර කීවේය.
”කොරෝනා රෝගය සහ එයින් මියයන සංඛ්‍යාව ගැන මේ ආණ්ඩුව ඉදිරිපත් කරන දත්ත කොහොමටවත් පිළිගන්න බෑ… ආණ්ඩුව ඇතුළේ ඉන්න අයත් මේ සංඛ්‍යා ලේඛන විවේචනය කරනවා… ඇත්ත ගණන්වලින් බාගෙට බාගයක් වත් දෙනවද කියල සැකයි…”
”අපි මේවා ගැන හොයන්න research unit එකක් පටන් අරගෙන ඒකෙ කටයුතු මනූෂට පවරමු…” මද්දුම බණ්ඩාර කීවේය.
”ලංකාවේ හැම ප‍්‍රාදේශීය සභාවකටම ආදාහනාගාර තියනවා. එහෙම තියෙද්දි පැය 24ම නොකඩවා වැඩ කරන්න තරම් ආදාහනාගාරවල තදබදයක් තියෙනවා නම් නිසැකවම මේ මරණ සංඛ්‍යාව අපට පිළිගන්න බැහැ. ඒ ගණන 200 අඩුයි කියලා ආණ්ඩුව කොහොමද කියන්නේ. නිසැකවම එම ප‍්‍රමාණය මේ කියන ගණන්වලට වඩා ගොඩක් වැඩියි….” චම්පික රණවක හොඳ තර්කයක් ගෙනාවේය. එහෙම නම් පාඨලීටයි මරික්කාර්ටයි පුළුවන් කොළඹ දිස්ත‍්‍රික්කයේ මැරෙන සංඛ්‍යාව හා දෛනිකව පුච්චන සංඛ්‍යාව සැසදෙනවද කියලා හොයලා බලන්න. ගාල්ල මනූෂ බලාගන්න. ගම්පහ අපි හර්ෂණට බාරදෙමු…” සජිත් කීවේය.
”නෑ නෑ ගම්පහ හරියන්නේ කාවින්ද ට….” හර්ෂණ යෝජනා කළේය.
”නෑ නෑ… ඕකට හරියන්නේ හර්ෂණ ම තමයි.. මරික්කාර් කීවේ හර්ෂණ මගහරින්නට උත්සාහ කරන බව පෙන්වා දෙමිනි.
22 වෙනි ඉරිදා නිකිණි පුර පසළොස්වක පෝය දිනයයි. නිකිණි පුර පසළොස්වක පෝය දිනයේ විශේෂත්වය වූයේ මහනුවර දළදා මාලිගාවේ රන්දෝලි පෙරහැරෙහි අවසන් දිනය එදිනට යෙදී තිබීමයි. කොතරම් වැඩ රාජකාරි මධ්‍යයේ වුවද, හිරිහැර බාධා කොතකුත් තිබුණද චිරාත් කාලයක් මුළුල්ලේ පැවත එන දළදා පෙරහැර සම්ප‍්‍රදාය කිසිදු අඩුපාඩුවකින් තොරව පැවැත්විය යුතු යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තිර අදිටනකින් කටයුතු කළේය. සියලූ නිරෝධායන නීති රීති අනුගමනය කරමින් ‘‘මහජන ප‍්‍රදර්ශනයකින් තොරව’’ පෙරහැර චාරිත‍්‍ර වාරිත‍්‍ර පවත්වන්නට රජයේ අවසරය සහ අනුග‍්‍රහය දළදා මාලිගාව වෙත ලැබී තිබිණි.
ජනාධිපතිවරයා ඉරිදා දහවල් මහනුවර බලා පිටත්ව ගියේය. ටික වේලාවක් ජනාධිපති මන්දිරයේ විවේකීව කාලය ගත කළ ජනාධිපතිවරයා එදින හවස පෙර රජ දරුවන් කළා සේ සම්ප‍්‍රදායානුකූලව මහනුවර රජගෙදර අභියස සිට පෙරහැර නරඹන්නට සූදානම්ව සිටියේය. වෙනදා මෙන් පරිවාර ඇමැතිවරු කිසිවෙකුටත් ආරාධනා නොවීය. ජනාධිපතිවරයා සම්ප‍්‍රදාය ඉටු කරමින් පෙරහැර ආරම්භයේ සිටම අවසානය දක්වා එය නරඹන ලැබූයේ කවදත් මෙවන් සාම්ප‍්‍රදායික පුණ්‍යකර්මවලට හා චාරිත‍්‍ර වාරිත‍්‍රවලට සැදැහැ සිතින් සහභාගි වන ජනාධිපති ආර්යාව ද සමගය. පසුදින පෙරහැර කාර්යය අවසාන කිරීම නිමිත්තෙන් ඉටු කෙරෙන සාම්ප‍්‍රදායික චාරිත‍්‍ර වාරිත‍්‍ර රැසකට සහභාගී වීමට ජනාධිපති සූදානම්ව සිටියේය.
උදය වරුවේ ගැටඹේ දිය මංකඬේ දී චාරිත‍්‍රානුකූල දිය කැපීමේ මංගල්‍යය පැවැත්විණි. හවස දළදා මාලිගාවේ දියවඩන නිලමේ තැන්පත් ප‍්‍රදීප් නිලංග දෑල විසින් පෙරහැර පුණ්‍ය කර්මය අවසන් කිරීමේ නිවේදනය ඇතුළත් පෙරහැර සංදේශය රාජ්‍ය නායකයාට භාර දීමේ උත්සවය පැවැත්වීමට නියමිත විය. එම සංදේශයේ භාරදීම සඳහා ජනාධිපතිවරයා වාසය කළ ජනාධිපති මන්දිරය වෙත දියවඩන නිලමේවරයා ප‍්‍රමුඛ මාලිගාවේ නිලමේවරු පැමිණියේ රජ පෙරහැරකිනි. සංදේශය පිළිගැන්වීමේ උත්සවය සඳහා රජ මැදුර ඉදිරිපිට භූමිය මනා සේ හැඩ ගන්වා පිළියෙල කර තිබිණි. පෙරහැරෙන් පැමිණි නිලමේවරුන් අතරින් දියවඩන නිලමේ නිලංග දෑල ප‍්‍රමුඛව එම සංදේශය හඬ නගා කියවනු ලැබීය. පෙරහැර අවසන් කිරීමේ පුවත රැගත් සංදේශය ජනාධිපතිවරයාට බාර දුන්නේ ඉන් අනතුරුවය. ඉන් පසුව ජනාධිපතිවරයා එම ආර්යාව, දියවඩන නිලමේවරයා ඇතුළු පරිවාර නිලමේවරු පෙරහැර පුණ්‍ය කර්මයේ පෙරමුණේ රාලලා හා මුලාදෑනීන් රැගත් සමූහ ඡායාරූපයක් ගැනීමට ද කටයුතු සංවිධානය කර තිබිණි. ජනාධිපති මන්දිරය ඉදිරිපිට වෙනම තැනක් ඒ සඳහා සූදානම් කර තිබිණි.
පෙරහැරට සහභාගි වූ ඇත් පන්තිය වෙනුවෙන් කලගුණ සැලකීමේ චාරිත‍්‍රයක් ද රාජ්‍ය නායකයා ඉටු කළ යුතු විය. පෙරහැරේ ගමන් ගත් අලංකාර හස්තියකු ”වන්දා”ට පලතුරු කූඩයක් පිළිගැන්වීමෙන් ජනාධිපතිවරයා එම චාරිත‍්‍රය සංකේතාත්මක ව ඉටු කරනු ලැබීය. වෙන දා මෙම අවස්ථාව උත්සවාකාරයෙන් සමරණු ලැබුවත් මෙවර එම උත්සවය අත්‍යවශ්‍ය චාරිත‍්‍රානුකූල කටයුතුවලට පමණක් ම සීමා වීම විශේෂත්වයකි. මහනුවර ප‍්‍රභූ පවුල්වල උදවියට ද මෙම අවස්ථාව සඳහා සහභාගිවීමට වෙනදා ආරාධනා තිබුණත් මෙවර රටේ ඇතිවී තිබෙන වසංගත තත්ත්වය මත සීමිත පිරිසකගේ සහභාගිත්වයෙන් පමණක් උත්සවයේ වැඩකටයුතු අවසන් කෙරිණ.
ගුරු වැටුප් හදන්න
ඉක්මන් පියවර ගන්න
මෙවර අමාත්‍ය මණ්ඩල රැස්වීම් ඉතාමත් තීරණාත්මක එකක් වනු ඇතැයි බොහෝ දෙනා අනාවැකි පළකර තිබිණි. එහෙත් රටේ පවතින අනාරක්ෂිත තත්ත්වය මත වෙනදා මෙන් එකට රැස්වී කැබිනට් මණ්ඩල හමුව තබන්නට සෞඛ්‍ය අංශ නිර්දේශ කළේ නැත. ආරක්ෂක හා සෞඛ්‍ය අංශවල උපදෙස් අනුව මෙවර අමාත්‍ය මණ්ඩල හමුව පැවැත්වුණේ ‘දදප තාක්ෂණය ඔස්සේය. අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ එහි මුලසුන ගත්තේය.
නියමිත වේලාවට අමාත්‍යවරු කැබිනට් හමුවට එක් වෙමින් තිබිණි. ඒ වන විටත් ලබාදී තිබූ ”ලින්ක්” එක හරහා අමාත්‍ය මණ්ඩල හමුවට එක්ව සිටි විමල් වීරවංශ අමාත්‍යවරයා තරමක් ලොකු මල් සහිත නිල් සහ සුදු පැහැ කමිසයක් හැඳ සිටියේය.
”විමල් ඇමැතිතුමාගේ ෂර්ට් එක හරි ලස්සනයිනේ” සී.බී. රත්නායක අමාත්‍යවරයා කීවේය.
”ෂර්ට් එක විතරද ලස්සන, මම ලස්සන නැද්ද”
”නෑ නෑ ඇමැතිතුමාත් ලස්සනයි. ඇමැතිතුමාගේ ෂර්ට් එකත් ලස්සනයි.” සී.බී. රත්නායක අමාත්‍යවරයා සිනහසෙමින් පිළිතුරු දුන්නේ ය.
ගුරු විදුහල්පති වැටුප් විෂමතාවය විසඳීමට නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පත් කළ අමාත්‍ය මණ්ඩල අනු කමිටු වාර්තාව අමාත්‍ය මණ්ඩල හමුවට ඉදිරිපත් කර තිබිණි.
කමිටු වාර්තාව සම්බන්ධයෙන් සාකච්ඡාව ඇරඹිණි. එහිදී ඩලස් අලහප්පෙරුම අමාත්‍යවරයා ”අපි වෘත්තී සමිති එක්ක සාකච්ඡා කළා. සුබෝධනී වාර්තාවට බොහෝ දෙනා එකඟයි. සමහරුන්ට ඒ ගැන ප‍්‍රශ්න තියෙනවා. කමිටුව දීර්ඝ ව මේ ගැන අධ්‍යනය කළා. එතනදී ගුරුවරුන්ගේ වැටුප් විෂමතාව ඉවත් වෙන්න ඕන කියන මතයේ කමිටුව ඒකමතිකව සිටිනවා. ඒ වගේම මීට ලබා දෙන විසඳුම නිසා වෙනත් රාජ්‍ය නිලධාරින්ගේ වැටුප් විෂමතා සිදු නොවිය යුතුයි කියන ස්ථාවරයෙත් ඉන්නවා.” කීවේය.
”ඒ වගේම ඉතා ඉක්මනින් වැටුප් වැඩිවීම සිද්ධ වෙන්න ඕනේ. ඉදිරි අයවැයෙන් ඒ සඳහා වැඩපිළිවෙළ යෝජනා කරලා ඒ ක‍්‍රියාත්මක කරන ආකාරය පිළිබඳව රටට පැහැදිලි කිරීමක් කරන්න වෙනවා” විමල් වීරවංශ අමාත්‍යවරයා පැවසීය.
එම සාකච්ඡාවට එක්වෙමින් උදය ගම්මන්පිල අමාත්‍යවරයා ” අන්තිම මොහොතේ තමයි අපිට කමිටු වාර්තාව ලැබුණේ. ඒ නිසා වාර්තාව අධ්‍යයනය කරන්න වෙලාවක් තිබුණෙ නැහැ.” කීවේය.
වාර්තාව ප‍්‍රමාද වීම සම්බන්ධයෙන් එහිදී අදහස් දැක්වූ අමාත්‍ය මණ්ඩල ලේකම්වරයා ”අනු කමිටු වාර්තාව අපිට ලැබුණෙත් හවස දෙකට විතර. මේ වාර්තාව ඉදිරිපත් කිරීමේ දැඩි අවශ්‍යතාවයක් තියෙන නිසයි අද මේ වාර්තාව ඉදිරිපත් කරන්නේ” කීවේය.
”ඔව්. කමිටුව පුළුවන් ඉක්මනින් මේ වැඬේ නිම කළා. ඒ මේ ප‍්‍රශ්නය හැකි ඉක්මනින් ඉවර කිරීමේ අවශ්‍යතාවය තියෙන නිසයි.”
”මේකට අදාළ අනෙකුත් වාර්තා දුන්නොත් මේ වාර්තාව හොඳට අධ්‍යනය කරලා ඊළඟ සතියේ අමාත්‍ය මණ්ඩල හමුවට කරුණු දක්වන්න පුළුවන්” උදය ගම්මන්පිල අමාත්‍යවරයා නැවතත් පැවසීය.
”අපි කතා කරන්න මේ රටේ දරු දැරියන්ගේ ප‍්‍රශ්නයක්. ගුරුවරුන්ගේ ප‍්‍රශ්නය මේක ඇතුලෙ තිබුණට දරුවන්ගේ අනාගතයයි මේ ඇතුළෙ තියෙන්නෙ. දිගින් දිගටම කල් දැමීම නම් සුදුසු නෑ” විමල් වීරවංශ අමාත්‍යවරයා නැවතත් සඳහන් කළේය.
”ඒ කතාව අපි පිළිගන්නවා. ප‍්‍රශ්නය කල් දැමීම සුදුසු නැහැ. නමුත් මේ හරහා යළි අර්බුදයක් නිර්මාණ නොවන විදිහට කටයුතු කරන්නත් ඕන. ඒ ගැනත් අපි මෙතනදි සලකා බලන්න වෙනවා” මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා කීවේය.
”අනිත් වාර්තාත් ඉදිරිපත් වුණොත් මේ ගැන ඊළඟ කැබිනට් එකේදි නිසි තීරණයක් ගන්න පුළුවන් වෙයි” රෝහිත අබේගුණවර්ධන අමාත්‍යවරයා ද කීවේය.
අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ”සියලූ වාර්තා ඉදිරිපත් කරන්නම්. මේක හොඳින් අධ්‍යයනය කරලා තීරණ ගන්න ඕන කාරණයක්. මේකට නිසි විසඳුමක් ඉදිරිපත් කරන්න ඕනේ” කීවේය.
”එහෙම නම් අදාළ ලිපි ලේඛන වාර්තා අධ්‍යනය සඳහා අධ්‍යාපනය ඇමැතිතුමා ම ඉදිරිපත් කරානම් හොඳයි.” අමාත්‍යවරයා කීවේය.
මේ අවස්ථාවේදී අමාත්‍ය මණ්ඩල ලේකම්වරයා සියලූම අමාත්‍යවරුන්ගෙන් විශේෂ ඉල්ලීමක් කළේය. ”අමාත්‍ය මණ්ඩල හමුවේදී තීරණ අරගෙන ඊට පස්සේ මාධ්‍ය වෙත ඊට වෙනස් ප‍්‍රකාශ නිකුත් කිරීම නිසා අමාත්‍ය මණ්ඩල ලේකම් කාර්යාලය අපහසුතාවයට පත්වෙනවා. මේ ගැන සැලකිලිමත් වෙන්න කියලා ඉල්ලීමක් කරනවා.” අවසානයේ විදුහල්පති ගුරු ගැටලූව සම්බන්ධයෙන් එලැඹෙන සඳුදා පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල හමුවේදී අවසන් තීරණයකට එළඹ ඒ සම්බන්ධයෙන් රට හමුවේ ප‍්‍රකාශයක් කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කළේය.
ඇඳිරි නීතිය යෙදීම නිසා ජීවනෝපාය අහිමි වන පුද්ගලයින් සඳහා රුපියල් 2000 ක දීමනාවක් ලබාදීමට අදාළ කැබිනට් පත‍්‍රිකාවක් මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කර තිබිණි.
”රුපියල් දෙදහසේ දීමනාව පවුල් ලක්ෂ දාහතකට දෙන්න තියෙනවා” මුදල් අමාත්‍යවරයා කීවේය.
”ඔය කියන ලක්ෂ 17 ඇතුළෙ නිවැරදිවම දීමනාව ලැබිය යුතු පිරිස ද ඉන්නේ” වාසුදේව අමාත්‍යවරයා විමසීය.
”ඔව්. පසුගිය සැරේ දී අපි පවුල් ලක්ෂ 60 කට විතර පන්දහසේ දීමනාව දුන්නා. ඒ වෙලාවෙදි ගාමන්ට් වහලා. අනිත් කර්මාන්තශාලා වහලා. ඒත් පවුල්වලටත් ආදායම් අහිමි වෙන නිසා දීමනාව ලබා දුන්නා. මෙවර කර්මාන්තශාලා වැඩ. ඒ නිසා ඒ අයට දීමනාව ලැබෙන්නේ නැහැ. ඇත්තටම ජීවනෝපාය අහිමි වෙලා ඉන්න කට්ටියට තමයි මේ පාර දෙන්නෙ” ඇමැතිවරයා පැහැදිලි කළේය.
නිරෝධායනයට ලක්කරන පවුලට රුපියල් දස දහසේ බඩු මල්ලක් ලබා දීම සම්බන්ධයෙන් මෙවර අමාත්‍ය මණ්ඩල හමුවේදී විශේෂයෙන් සාකච්ඡා විය.
”අපි දන්න අතිරේක ලේකම්වරයකුගේ ගෙදරටත් මේ කියන අත්‍යවශ්‍ය බඩු මල්ල ලැබිලා” මුදල් ඇමැතිවරයා පෙන්වා දුන්නේය.
”ඇත්තටම අත්‍යවශ්‍යම අඩු ආදායම් ලාභීන්ට මේ බඩු මල්ල ලැබෙන ක‍්‍රමවේදයක් සකස් කරන්න ඕනේ” වාසුදේව නානායක්කාර පැවැසීය.
මහින්දානන්දට සහන…
විමල්ට කිසිවක් නැහැලූ!
”මටත් බඩු මල්ල ලැබුණා. මම ආයෙත් ඒ බඩු මල්ල යැව්වා” මහින්දානන්ද අලූත්ගමගේ ඇමැතිවරයා කීය.
”මට ලැබුණෙ නෑ නේ” විමල් වීරවංශ පැවසීය.
”ඒ කියන්නේ ඔබතුමා එක්ක ප‍්‍රාදේශීය ලේකම් තුමාගේ මොකක් හරි ආරෝවක් ඇති” වාසුදේව නානායක්කාර ඇමැතිවරයා සිනහසෙමින් පැවසීය.
ඊට සිනහවෙන් පිළිතුරු දුන් විමල් වීරවංශ ”ඒක තමයි මමත් මේ බැලූවේ. මට විතරක් ඇයි එහෙම කළේ. ඒක වෙනමම හොයලා බලන්න වෙන කාරණයක්” කීවේය.
අමාත්‍ය මණ්ඩලයේ දෛනික කටයුතු අවසන්වීමෙන් පසුව රෝහිත අබේගුණවර්ධන මහතා ඇමැතිවරයාගෙන් විශේෂ ඉල්ලීමක් කළේය.
”කැබිනට් තීරණ ගැන මුළු රටම බලන් ඉන්නවා. ගිය සතියේ රට අගුලූ දැමීම ගැන කැබිනට් එකේදි කතා කරා. එතැනදි තීරණය වුණේ ජනාධිපතිතුමා විශේෂ ප‍්‍රකාශයක් කරලා විශේෂඥයින් සමග සාකච්ඡා කරලා ඊට පස්සේ තීන්දුවක් ගන්නයි. හැබැයි ඒ තීන්දු අරන් පැය 24 ක් යන්නත් කලින් කැබිනට් මණ්ඩලය නියෝජනය කරන ගරු ඇමැතිවරු තිදෙනෙකුත් අත්සන් කරලා රට අගුලූ දාන්න කියලා ජනාධිපතිවරයාට ලිපියක් දුන්නා. මෙම ලිපිය යැවීමේ ගැටලූවක් නැහැ. හැබැයි ඒ ලියුම ජනාධිපතිතුමා කියවලා සාකච්ඡා කරන්න කලින් මාධ්‍යයට නිකුත් වෙනවා. ප‍්‍රශ්නෙ තියෙන්නෙ එතන. එතකොට එළියේ අය හිතන්නේ අමාත්‍ය මණ්ඩල ඇතුළෙ ප‍්‍රශ්නයක් කියලයි. අමාත්‍ය මණ්ඩලයේ එකමුතු බව පෙන්වන්න ඕන වෙලාවක සාමූහික වගකීම චෙක් කරන්න කියලා ඉල්ලනවා. ඉදිරියේදී මෙවැනි සිදුවීම් සම්බන්ධයෙන් දැඩි තීරණයක ඉන්න ඕනේ කියලා විශ්වාස කරනවා අගමැති තුමනි.”
”ඔය කියන ලියවිල්ලට මම අත්සන් කරේ නැහැ. ඔය ලියවිල්ල මම දැක්කෙත් මාධ්‍යයෙන්. හැබැයි සාමූහික එකඟතාවය රකින්න ඕනේ කියන තැන මමත් ඉන්නවා” ඩග්ලස් දේවානන්ද අමාත්‍යවරයා ඊට පිළිතුරු දුන්නේය.
”ඒක ඇත්ත. මමත් සම්පූර්ණයෙන් එකඟයි. අමාත්‍ය මණ්ඩලයේ සාමූහික එකඟතාවයක් නෑ කියලා හිතෙනවා. එහෙම හිතලා අනිත් පාර්ශ්වයන් එක එක ප‍්‍රකාශ කරනවා. ඊට පස්සේ මාධ්‍යයත් ඒ ගැන ප‍්‍රශ්න කරනවා.” එස්. එම්. චන්ද්‍රසේන අමාත්‍යවරයා ද කීය.
මේ අවස්ථාවේ එම ලිපියට අත්සන් තැබුවා කියන විමල් වීරවංශ අමාත්‍යවරයා අමාත්‍ය මණ්ඩල හමුවෙන් ඉවත් ව සිටියත් වාසුදේව නානායක්කාර සහ උදය ගම්මන්පිල ඇමැතිවරුන් අමාත්‍ය මණ්ඩල හමුව සමඟ එක්ව සිටියහ. නමුත් ඔවුන් ඒ සම්බන්ධයෙන් කිසිදු ප‍්‍රකාශයක් නොකළේය.
”මෙයා මේවා කියන්නේ විමල් ගියාට පස්සෙනේ… විමල් ඉන්න වෙලාවේයි මේක කියන්න තිබුණේ. විමල් හිටිය නම් මේකට මොනවා හරි කියනවා. මේ ගැන අපි අතර සංවාදයක් ඇති වෙන එකත් හොඳයි…. ඇමැතිවරු දෙතුන් දෙනෙක් මුණු මුණු ගාන්නට වූහ.
එහිදී අග‍්‍රාමාත්‍යවරයා සඳහන් කළේ ”ඔව් අපි ඉදිරියේදී මේ වගේ සිද්ධිවලදි මීට වැඩිය වගකීමෙන් කටයුතු කරමු” යනුවෙනි.
අලූත ආ ඇමැතිවරු
වැඩ පටන් අරන්ලූ
නව කැබිනට් මණ්ඩල සංශෝධනයෙන් පසුව අලූත් වගකීම් භාරගත් ඇමැතිවරු ඉතා ඉක්මනින් තම තමන්ගේ වගකීම් හඳුනා ගනිමින් වැඩ කරන්නට පටන් ගෙන සිටියහ. වෙනදා මෙන් අමාත්‍ය ධුරයේ වැඩ කටයුතු ගැන අධ්‍යයනයක නියැළෙන්නට කාලයක් ඔවුන්ට නොලැබුණත් සියල්ලෝම පරිණත දේශපාලනඥයන් නිසා අලූත් තනතුරුවල වැඩ අල්ලා ගැනීම ලොකු අපහසුවක් කිසිවෙකුටත් තිබුණේ නැත.
විශේෂයෙන්ම ඩලස් අලහප්පෙරුම ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙසත්, ආණ්ඩුවේ නව කැබිනට් ප‍්‍රකාශකයා ලෙසත් ඉටු කරන්නට පටන්ගෙන තිබුණේ ඔහුගේ සුපුරුදු මාධ්‍ය රාජකාරිය නිසා කිසිදු ගැටලූවක් නොවීය. ඔහු පැමිණි පසු ආණ්ඩුවේත් ජනමාධ්‍ය ක්ෂේත‍්‍රයේත් සම්බන්ධීකරණය තුළ ලොකු වෙනසක් සහ සමීපත්වයක් දක්නට ලැබුණු බව රහසක් නොවීය. අමාත්‍ය ධුරවල වගකීම් අතින් ගත්විට මේ අවාසනාවන්ත වසංගත සමයේ භාරදූර කාර්යභාරය පැවැරී තිබුණේ නව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල වෙතටය. ඔහු ඉතාමත්ම ඉක්මනින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැඩ කටයුතු අධ්‍යයනය කළේය. දිවා රැයේ වෙහෙසෙමින් එම අධ්‍යයනය කටයුතු හමාර කළ කෙහෙළිය පසුගිය දිනවල සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ මතුව තිබූ ගැටලූ නිරාකරණය කරන්නට අවධානය යොමු කළේය.
ඔහු හඳුනාගෙන තිබූ පරිදි නිලධාරීන් අතර මනා සම්බන්ධීකරණයක් නොතිබීම එක් ගැටලූවක් විය. සෞඛ්‍ය ක්ෂේත්රයේ වෘත්තීය සමිති මේ වසංගත ව්‍යසන අවස්ථාවේදී විපක්ෂයේ අවස්ථාවාදී කල්ලි කණ්ඩායම්වල වුවමනාවන් ඉටු කරන්නට ඔවුන් වෙනුවෙන් පෙනී සිටින්නේ ද යන ගැටලූව ද ඔහුට තිබිණි.
ඒ හා සමානවම ඔහු හඳුනාගත් තවත් ගැටලූවක් වූයේ ජාත්‍යන්තර වශයෙන් ලබාගත හැකි සහයෝගයන් ලබාගැනීමට රාජ්‍ය තාන්ත‍්‍රික සබඳතා එතරම් සාර්ථක ලෙස පාවිච්චි කර නොතිබීම ය. පළමුව ඒ අඩුපාඩු හදා ගන්නට අමාත්‍යවරයා කල්පනා කළේය.
මෙම අවස්ථාවේ ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉතා ඉහළ සහයෝගයක් රටට ලබා ගත හැකි බව තේරුම්ගත් අමාත්‍යවරයා මුලින්ම ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ‍්‍රී ලංකා නිත්‍ය නියෝජිතයා හමුවන්නට තීරණය කළේය. ඒ අනුව නිත්‍ය නියෝජිත අලකා සිං සමඟ ඉතා සාර්ථක සාකච්ඡාවක් මේ සතියේ පවත්වන්නට අමාත්‍යවරයාට හැකි විය. එන්නත් ලබා ගැනීමේදී මෙන්ම විදේශීය තාක්ෂණ සහ සහයෝගය ලබාගැනීමේදී මෙතෙක් ඇතිව තිබූ ප‍්‍රශ්න රැසක් නිරාකරණය කරගන්නට අමාත්‍යවරයාට මෙම සාකච්ඡාවේදී හැකි විය. දෙවනුව තවත් තානාපතිවරු දෙදෙනකු සමඟ කෙහෙළිය ලංකාවේ මතුව ඇති සෞඛ්‍ය ගැටලූ ගැන සාකච්ඡා කළේය. ජපානයේ තානාපතිවරයා හා කියුබාවේ තානාපතිවරයා ඒ අතර වූහ. ඉන්දියානු මහ කොමසාරිස්වරයා සමග අමාත්‍යවරයා මෙම සතියේ කරනු ලැබූ සාකච්ඡාව ද ඉතාමත්ම පලදායී විය. ඊට අමතරව සිදුකරන ලද තවත් වැදගත් හමුවීමක් වූයේ යුනෙස්කෝවේ ශ‍්‍රී ලංකා නිත්‍ය නියෝජිතයා හමුවී කතාබහ කිරීමයි. මේ සියලූම දෙනා පොදුවේ ලංකාවේ සිදුකෙරෙන එන්නත්කරණය ගැන සිය සතුට පළ කරමින් කතා කළහ. මේ තරම් වේගයෙන් ජනතාව එන්නත්කරණය කරමින් පොදු ජනතාවගේ ආරක්ෂාව සැලසීම ගැන ඔවුන් ප‍්‍රශංසා කළහ. කියුබානු තානාපතිවරයා සමඟ කරන ලද සාකච්ඡාවේදී වසංගත රෝග මැඬලීම සම්බන්ධයෙන් කියුබාව අනුගමනය කරන යම් යම් ක‍්‍රමවේද ගැන අමාත්‍යවරයාට ලොකු දැනුමක් හා අවබෝධයක් ඇති විය.
”අපි ලෝකෙ කොහෙන්වත් වැක්සීන් ගෙනාවේ නෑ. අපි ජනතාවට දුන්නේ අපේ රටේම නිෂ්පාදනය කරපු වැක්සීන්… මේ අවුරුද්දේ අග වන විට අපි අපේ රටේ සියලූම දෙනාට වැක්සින් දීලා හමාර කරනවා” තානාපතිවරයා කීවේය.
”මේ අවුරුද්දේ නොවැම්බර් මාසය අග වන විට අපේ රටේත් අවුරුදු 18ට වැඩි සියලූම දෙනාට වැක්සීන් දෙන්න අපිත් සැලසුම් කරලා ඉවරයි…” කෙහෙළිය කීවේය.
ඉන්දීය මහ කොමසාරිස්වරයා සමඟ කළ සාකච්ඡාවේ දී ලංකාවට අවශ්‍ය ඔක්සිජන් පිළිබඳව තිබූ ලොකු ප‍්‍රශ්නයක් නිරාකරණය කරගන්නට හැකිවිය.
මේ සාකච්ඡා වටයෙන් පසුව අමාත්‍යවරයා සෞඛ්‍ය ක්ෂේත්රයේ වෘත්තීය සමිති හමුවන්නට කල්පනා කළේය. මුලින්ම අභයාරාමයට ගිය කෙහෙළිය රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් සමඟ සාකච්ඡාවක් කළේය. සාකච්ඡාව ඉතා ඵලදායී විය. අනතුරුව බ‍්‍රහස්පතින්දා දිනයේ සාමාන්‍යයෙන් රජයේ කටයුතුවලට නිරතුරුවම විරෝධය පාන සෞඛ්‍ය ක්ෂේත්රයේ වෘත්තීය සමිති ලෙස සැලකෙන සමන් රත්නප‍්‍රියලාගේ, රවි කුමුදේශ්ලාගේ හා වසන්ත සමරසිංහලාගේ වෘත්තිය සමිති සමග සාකච්ඡා කරන්නට විය. ඒකාබද්ධ සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයක් ලෙස ඔවුන් සියලූ දෙනා පැමිණ සිටියේ එකටය. ඔවුන් සෞඛ්‍ය ක්‍ෂේත‍්‍රයෙහි උන්නතිය වෙනුවෙන් රජය වෙත ලබාදීමට කරුණු 10ක යෝජනා සහිත සංදේශයක් ගෙනාවහ.
”අපේ ඉල්ලීම ගැන සලකලා රට කදජනාදඅබ කරන්න ජනාධිපතිතුමා එකඟ වීම ගැන අපි සතුටුයි. හැබැයි මේ වගේ දේශපාලන කදජනාදඅබ එකක් කරලා වැඩක් නෑ. මේක විද්‍යාත්මක ලොක්ඩවුන් එකක් බවට පත් කරන්න…” වෘත්තීය සමිති ඉල්ලා සිටියහ.
සාකච්ඡාව සාමකාමී එකක් විය. තව තවත් පී සී ආර් පරීක්ෂණ හා ඇන්ටිජන් පරීක්ෂණ වැඩි කළ යුතු බව ඔවුන් යෝජනා කළහ. එන්නත්කරණයේ දී රජය පෙන්නුම් කළ කාර්යක්ෂමතාව ගැන සතුට පළ කළ වෘත්තීය සමිති එය තව තවත් රටේ අහුමුළුවලට විහිද යා යුතු බව යෝජනා කළහ. මේ අයුරින් සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ තිබුණු ගැටලූ එකින් එක විසඳාගෙන සාධනීය ඉදිරි ගමනකට ඇමැතිවරයා මුල පුරා තිබූ බව පසුගිය සතියේ පැහැදිලි විය.
මාතරම හඬවමින්
මංගල අවසන් ගමනේ
රටේ ජීවත් වූ ඉතා ඉහළ පෙළේ ධනපතියකු මෙන්ම ව්‍යාපාරිකයකු වූ කිලී මහරාජා කොරෝනා රෝගයෙන් මිය ගියේ මීට සති කිහිපයකට ඉහතදීය. ඔහුගේ මරණයෙන් රටට හෙළි කළ සදාතනික සත්‍යයක් විය. කොරොනා වැනි වසංගත රෝගයක් උත්සන්න වූ විට කොතරම් මුදල් හදල් තිබෙන ධනවතකුට වුවත් බලවතකුට වුවත් ඉන් සමාවක් නොමැති බවයි. පසුගිය සතියේ ඒ හා සමාන තවත් පුද්ගලයෙක් කොවිඞ් නිසා මරණයට පත් වූයේ ය. ඒ සුවිශේෂී මිනිසා හිටපු අමාත්‍ය මංගල සමරවීරයි. මංගලට ද අවශ්‍ය නම් ලෝකයේ ඕනෑම රෝහලකට ගොස් ප‍්‍රතිකාර ලබා ගැනීමේ හැකියාවක් ඇති පුද්ගලයකු බව නොකිවමනාය. ලංකාවේ සිටියදීත් ඔහු ප‍්‍රතිකාර ගත්තේ ඒ සඳහා මෙහි ඇති ඉහළම ආරෝග්‍යශාලාවේය. එහෙත් ඔහුට නොසිතූ මොහොතක ජීවිතයෙන් සමුගෙන යන්නට සිදුවූයේ කොරෝනා රෝගයේ අතිශයින් සංකීර්ණ බියකරු ලක්ෂණ නිසාය. මංගලගේ මියයෑම පිළිබඳ ආරංචිය ආණ්ඩු පක්ෂයේත් විපක්ෂයේත් දේශපාලනඥයෝ බොහෝ දෙනකුට අතිශයින් සංවේදී කරුණක් වූයේ ය. පසුගිය අඟහරුවාදා උදේ ඔහු ජීවිතයෙන් සමුගෙන ගොස් තිබිණි.
මංගලට සිටියේ එක් වැඩිමල් සහෝදරයෙක් හා සහෝදරියක් පමණි. ඔස්ටේ‍්‍රලියාවේ පුරවැසියකු වන සහෝදරයා මිය ගොස් බොහෝ කල්ය. ඥාතියකුට කියා ඔහුට සිටියේ ලංකාවේ සිටි සහෝදරියයි. ඒ හැරුණු විට මංගල වෙනුවෙන් ඉදිරිපත්ව කටයුතු කරන්නට බොහෝ සමීප හිතමිත‍්‍රාදීන් පිරිසක් ඔහුට සිටියහ. එහෙත් මෙය කොවිඞ් මරණයක් වූ බැවින් රජයේ නීති රීතිවලට අනුකූලව අවසන් කටයුතු කළ යුතු විය.
අඟහරුවාදා හවස බොරැල්ල කනත්තේදී මංගලගේ දේහය පිළිබඳ අවසන් කටයුතු බොරැල්ල ආදාහනාගාරය ඇතුළත සිදු වූයේ සහෝදරිය හා හිතවතුන් දෙතුන් දෙනෙකුගේ සහභාගිත්වය තුළය. එහෙත් අති විශාල හිත මිතුරන් පිරිසක් හා පාක්ෂිකයින් පිරිසක් බොරැල්ල ආදාහනාගාරයේ යකඩ වැටට මෙපිට රැස්ව ඇතුළත දේහයේ අවසන් කටයුතු සිදුවන ආකාරය දෙස බලා සිටියහ. මංගලගේ සමීප දේශපාලන හිතවතියක වන හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනිය ද ඒ අය අතර වූහ. ආණ්ඩු පක්ෂයේත් විපක්ෂයේත් දේශපාලනඥයෝ පිරිසක් ද එතන සිටියහ.
මංගලගේ මරණය සම්බන්ධයෙන් ශෝක නොවූ කෙනෙක් මේ රටේ නොමැති තරම්ය. ආණ්ඩු පක්ෂයේ පවා අද සිටින ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් වන සමහරු මංගලගෙන් දේශපාලනය ඉගෙන ගත් අය බව රහසක් නොවේ. විශේෂයෙන්ම දකුණේ දී දේශපාලනය සම්බන්ධයෙන් ඔහු විශාල පෙරළියක් කළ අයෙකි. ආණ්ඩු තැනූ අයෙක් මෙන්ම ආණ්ඩු පෙරළන්නට ද මුල් වූ අයෙකි. මේ නිසා මංගල ලකුණ ලංකාවේදී දේශපාලනයේ කිසිදා නොමැකෙන සිහිවටනයකි. මාතර නගරය ගත්විට අද එහි ඉතිරිව ඇති සෑම සියලූ භෞතික වස්තුවකම ඉදිකිරීම් පිටිපස සිටියේ මංගල ය. මේ නිසා මාතර ජනතාව ඔහුට බොහෝ සේ ආදරය කළෝය. දේශපාලනයකින් තොරව ගෞරව කළෝය.
හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතාගේ අභාවය සම්බන්ධයෙන් අග‍්‍රමාත්‍යවරයා ද කම්පා විය.
එම මරණය සම්බන්ධයෙන් අග‍්‍රාමාත්‍යවරයාට දැනුම් දෙන්නේ අතිරේක ලේකම්වරයෙකි. ” මංගලගේ මරණය අපේ මිනිස්සුන්ට ආදර්ශයක්. සමහරු හිතනවා බලය තියෙනවා නම් මුදල් තියෙනවා නම් සෞඛ්‍ය පහසුකම් ලබා ගන්න පුළුවන් කියලා. කොවිඞ් කියන්නේ එහෙම දෙයක් නෙමෙයි. සෞඛ්‍යය උපදෙස් නිසියාකාරයෙන් පිළිපැදලා රෝගයෙන් වැළකෙන එකයි මේ වෙලාවේ කරන්න තියෙන්නේ.” අග‍්‍රාමාත්‍යවරයා කනගාටුවෙන් පැවසීය.
රනිල්ගේ හිතවතුන් 6ක්
කොවිඞ් නිසා මියගිහින්
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ පසුගිය සතියම වෙන් කෙරුවේ පක්ෂ 75 වන සංවත්සරයේ සංවිධාන කටයුතු වෙනුවෙනි. ඉකුත් සෙනසුරාදා නායකයා සිය නිවසට නියෝජ්‍ය නායක රුවන්, වජිර හා සාගල කැඳවා තිබුණේ සංවත්සර කටයුතු ගැන සාකච්ඡා කිරීමට ය. ඒ අතර නායකයාගේ දුරකතනයට සම්බන්ධ වූ මහලේකම් රංගේ බණ්ඩාර කියා සිටියේ ජාතික සේවක සංගමයේ ඛනිජ තෙල් ශාඛාවේ සභාපති ආනන්ද පාලිත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් අත්අඩංගුවට පත්ව ඇති බවය.
”ආනන්ද පාලිත කීවේ ඇත්ත. ඒක නිසා ඔහු වෙනුවෙන් අපි පෙනී සිටින්න ඕනේ. අපේ නීතිඥවරුන්ට කියන්න එයාව එළියට ගන්න අවශ්‍ය කටයුතු කරන්න කියලා. මොකද වුණේ කියලා මාව දැනුම්වත් කරන්න.” නායකයා මහලේකම්වරයාට උපදෙස් දුන්නේය.
නායකයාගේ උපදෙස් මත මහලේකම්වරයා වහාම නීතිඥ සංජිව සෙනවිරත්නට කතා කොට උපදෙස් දුන්නේ ආනන්ද පාලිතට අවශ්‍ය නීති සහාය දෙන ලෙසය. නීතිඥ සංජීව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යමින් සිටියේ ඒ වන විටත් ආනන්ද පාලිත මේ ගැන සංජීව දැනුවත් කර තිබූ බැවිනි.
වජිර, සාගල හා දිනුක් කොළඹගේ ඉකුත් සඳුදා නායකයාගේ නිවසට පැමිණියේ සංවත්සරයේ ඉදිරි කටයුතු ගැන කතා කිරීමටය. ඔවුන් කතා බහ කරමින් සිටිය දී සේවකයෙකු පැමිණ කීවේ මංගල සමරවීර නායකයාගේ දුරකතනයට සම්බන්ධව සිටින බවය. කොවිඞ් ආසාදිතව කොළඹ පෞද්ගලික රෝහලක ප‍්‍රතිකාර ලබමින් සිටි මංගල සමරවීරගේ සෞඛ්‍ය තත්ත්වය නායකයා රෝහල් කාර්ය මණ්ඩලයෙන් විමසා තිබූ බැවින් ඒ බව දැනගත් ඔහු නායකයාට ඇමතුමක් ගෙන තිබුණි.
තමන්ට මුව ආවරණ පැළඳ ගෙන කතා කිරීමට අපහසු බව මංගල කියද්දී නායකයා කීවේ ”කතා කරන්න උත්සාහ කරන්න එපා. අපි හැමවිටම ඔබ ගැන සොයා බලනවා. සුවය ලැබූ පසු හමුවෙමු” යනුවෙනි. සුවපත්ව පැමිණි පසු හමුවීමට පැමිණෙන බව කියා නායකයා දුරකතනය විසන්දි කරද්දී මංගල ද ඊට කැමැත්ත පළ කොට තිබුණේ ඉතා ප‍්‍රීතියෙනි.
”මංගල අසනීප වූ සතියෙත් අපි හමුවෙන්න දාගෙන තිබුණේ. ලොකු වැඩ කොටසක් ගැන අපි කතා බහ කරමින් සිටිනවා.” නායකයා කීවේ වජිර දෙස බලමිනි.
”එතුමා ගැන අපි වගේම, ආණ්ඩු පක්ෂයෙත් ගොඩක් අය හොයලා බලනවා.” වජිර ද කීවේ නායකයාගේ කතාව අනුමත කරමිනි.
පක්ෂ සම්මේලනය සූම් තාක්ෂණය ඔස්සේ පැවැත්වීම ගැන මෙන්ම සම්මේලනයෙන් පසුව පක්ෂ කටයුතු ඉදිරියට ගෙන යන ආකාරය ගැන ද දීර්ඝ ලෙස සාකච්ඡා කළ පිරිස නැවත පිටත්ව ගියේ බදාදා දිනයේ පක්ෂයේ හිටපු මන්ත‍්‍රීවරුන් සමග සූම් තාක්ෂණය ඔස්සේ යළිත් සාකච්ඡා කිරීමට ගිවිස ගනිමිනි.
අඟහරුවාදා පෙරවරුවේ නායකයාට දැනගැනීමට ලැබුණේ කනගාටුදායක පුවතකි. ඉන් කියැවුණේ මංගල සමරවීර හිටපු ඇමැතිවරයා මියගිය බවය. එම පුවතින් පසු නායකයා රුවන්ට, වජිරට හා රංගේ ට කතා කරමින් පැවැසුවේ අභාවය සම්බන්ධයෙන් පක්ෂයක් ලෙස අපෙන් ඉටු විය යුතු යුතුකම් කොටස ගැන සොයා බලන ලෙසය. බොරැල්ල කනත්තට ගොස් සිය පක්ෂ සගයාට අවසන් ගෞරව දැක්වීමට නායකයාට අවශ්‍ය වූවත් ආරක්ෂක අංශ හා පවුලේ ඥාතීන්ගේ දැඩි ඉල්ලීම මත එම අදහස ඉවත් කර ගැනීමට ඔහුට සිදුවිණි.
සූම් තාක්ෂණය ඔස්සේ පක්ෂයේ හිටපු මන්ත‍්‍රීවරුන් සමග කතා බහ කිරීමට නායකයා එක් වූවේ ඉකුත් සතියේ බදාදා ය. මුලින්ම මංගල සමරවීර හිටපු ඇමතිවරයාගේ අභාවය වෙනුවෙන් ශෝකය පළකරමින් පිරිස විනාඩියක නිශ්ශබ්දතාවයක් පළ කළහ.
බුලිත ප‍්‍රදීප් කුමාර