ලොක්ඩවුන් අස්සේ ආර්ථිකය

130

රටේ පවතින තත්ත්වය සලකා බලා නිරෝධායන ඇඳිරිනීතිය සැප්තැම්බර් 06 වැනිදා දක්වා දීර්ඝ කිරීමට රජය තීරණය කර ඇත. රට වැසීම ගැන රජයේ ඇතැම් අය පවසන්නේ එය ආර්ථිකයට හානිකර බවයි. රට වසා තබන දවස්වලට රට වසා තබන මට්ටම අනුව ආර්ථික කටයුතුවල අකර්මන්‍ය වීමක් සිදු වේ. එය සත්‍යයක් වුවත් එන්නත්කරණය ව්‍යාප්ත කරගනිමින් වසංගත තත්ත්වය පාලනය කරගැනීම, ආර්ථිකය පණ ගැන්වීමට තිබෙන හොඳම සාධකය බවද අප අමතක නොකළ යුතුය. මේ ලියුම්කරු නම් දකින්නේ මේ කොරෝනා මර්ධන ක‍්‍රියාමාර්ග ආර්ථිකය ඉක්මණින් පණ ගන්වා ගැනීමට අවශ්‍ය පසුබිම සකස් කරන බවයි. මේ නිසා ආර්ථිකය පණ ගැන්වීම සහ වසංගතය පාලනය කිරීම ගැන විවිධ අයට විවිධ අදහස් හා යෝජනා තිබේ. මේ ලිපියෙන් අපි ඒ ගැන අවධානය යොමු කරමු.

රට වැසීම ගැන ආණ්ඩුවේ ඇතැමුන් කුමන කතා කීවත් ආර්ථික තීන්දු තීරණ ගන්නා අය ඒ සඳහා අකමැති විය හැකි වුවත් නිරෝධායන ඇඳිරිනීතිය සැප්තැම්බර් 6 වැනිදා අලූයම 4 දක්වා දීර්ඝ කිරීමට රජය කටයුතු කළේය. ඒ වසංගත තත්ත්වයේ පවතින අවධානම තවමත් පහව ගොස් නැති නිසාය. මේ නිසා වෛද්‍ය විශේෂඥයන් පැවැසුවේ රට වැසීමේ කාලය තවදුරටත් දීර්ඝ කළ යුතු බවයි. එය රජය පිළිගෙන තිබේ. මේ ගැන සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ද ට්විටර් පණිවුඩයක් නිකුත්කර තිබුණි. ඊයේ (27 දා) උදෑසන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වෙන් රැුස්වූ කොවිඞ් මර්දන විශේෂ කමිටුවේදී එම තීරණය ගෙන ඇත. අපත් සිතන්නේ ආර්ථික කටයුතුවල කිසියම් අකර්මන්‍ය වීමක් මේ දින කිහිපයේ ඇති වුවද වසංගත තත්ත්වයේ පවතින දැඩි අවදානම් තත්ත්වය නිසා එය පාලනය කර ගැනීමට තවදුරටත් ක‍්‍රියාමාර්ග ගැනීම සුදුසු බවයි. අපේ රෝහල් ධාරිතාව ද අවසන් වීම නිසා කොරෝනා රෝගයෙන් අමාරු වන අයට ඇතැම් විට රෝහල්ගත වීමට පවා අවස්ථාවක් නොලැබ මිය යෑමට සිදු විය හැකිය. එවැනි සිද්ධීන් දැනටමත් වාර්තා වෙමින් ද තිබේ. එනම් අපට ප‍්‍රතිකාර කර බේරාගත හැකි අය පවා බේරා ගැනීමට අපහසු තත්ත්වයක් නිර්මාණය වී ඇති බවයි. එය ඉතා කනගාටුදායක මෙන්ම අවාසනාවන්ත තත්ත්වයකි. වළක්වාගත හැකි මරණ වළක්වා ගැනීමට නම් ආසාධිතයන් වාර්තා වීම පාලනය කරගත යුතුමය. ඒ සඳහා මේ රට වැසීම තවදුරටත් දික් කිරීම ඉවහල් වේ. එහෙත් රට වැසීම එනම් මේ නිරෝධායන ඇඳිරිනීතිය හරියට ක‍්‍රියාත්මක කිරීම ද අතවශ්‍ය වේ. අත්‍යවශ්‍ය සේවාවල හෝ ආර්ථික කටයුතුවලට දායක නොවන නිකම් රවුම් ගහන අයටත් පාරේ යන්න ඉඩ තිබෙනවා නම් මේ රට වැසීමේ ඵලදායක බව අඩු වනු ඇත.

අපේ වසංගත තත්වයේ නවතම මුහුණුවර කුමක් ද? එනම් රට වසා තිබුණත් දිනපතා වාර්තා වන මරණ ප‍්‍රමාණයේ සහ ආසාධිතයන් ප‍්‍රමාණයේ අඩුවක් දකින්නට නැති බවයි. එසේ වීමට ප‍්‍රධාන හේතුවක් වන්නේ රට වැසීමේ තීරණය ප‍්‍රමාද වී ගැනීම සහ ඒ වන විටත් සැලකිය යුතු මට්ටමකට කොරෝනා වසංගත තත්ත්වය රටේ පැතිර ගොස් තිබීමයි. එනම් අශ්වයා පැන ගිය පසු මෙවරද ඉස්තාලය වසා තිබේ. මේ නිසා සිදුව ඇත්තේ රට වැසීමට සිදුවන දින ගණන වැඩි වී ආර්ථිකයට වන අහිතකර බලපෑම් ද වැඩි වීමයි. දැන් එය සිදුව හමාරය. දැන් කළ යුතුව තිබෙන්නේ තවදුරත් මේ අහිතකර තත්ත්වය නරක අතට පත්වීම වළක්වා ගැනීමයි. ඉකුත් අගෝස්තු 25 දින තවත් කොවිඞ් මරණ 209ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර කළේය. එය ඒ දක්වා දිනක් තුළ වාර්තා වූ වැඩිම මරණ ගණනයි. එම මරණ සමග සමස්ත කොවිඞ් මරණ සංඛ්‍යාව 8,157ක් දක්වා ඉහළ ගියේය. මේ වාර්තා දිනපතාම අලූත් වෙමින් ද තිබේ. දිනක මරණ ප‍්‍රමාණය 200 ඉක්මවා යෑම අප වැනි පුංචි රටකට දරා ගැනීමට අපහසුය. එසේම අගෝස්තු 26 වැනිදා වාර්තා වූ සමස්ත ආසාදිතයන් ගණන 4,602කි. මේ සියල්ල වාර්තා වන්නේ රටේ නිරෝධායන ඇඳිරිනීතිය පනවා තිබියදී වීම විශේෂත්වයකි. මරණ ගණන අඩුකර ගනිමින් ක‍්‍රමයෙන් අපේ ආර්ථිකය පණ ගන්වා ගැනීමේ අභියෝගය ජය ගැනීමට නම් මේ වසංගතය තත්ත්වය පාලනය කරගැනීම අත්‍යවශ්‍ය වේ.

මේ විපත අප සියලූ දෙනාම එක්ව ඉමහත් කැපකිරීම් කර මුහුණ දිය යුතු ව්‍යසනයක් වුවත් එය එලෙස සිදුවන්නේ නැත. එනම් පිරිසක් කැප කිරීම් කරමින් සිටින අතර තවත් කොටසක් එසේ නැතුව ජනතා බදු මුදලින් වැටුප්, දීමනා සහ වරප‍්‍රසාද ලබමින් යෙහෙන් සිටින තත්ත්වයක් ද දකින්නට තිබේ. පොදුවේ ජනයාට මේ ව්‍යසනය හමුවේ මේ පණිවිඩය දෙන අතරම එසේ කැපකිරීම් කළ යුතු සෙසු පිරිස් ගැන ද අවධානය යොමු කර සියලූ දෙනාම එක්ව මේ අර්බුදය අප ජයගත යුතුව තිබේ. එසේ නැතහොත් දිනෙන් දින අප තවත් අමාරු තත්ත්වයකට ගමන් කරනු ඇත. මේ වන විට විදේශ මුදල් හිඟය ද වඩාත් උග‍්‍ර තත්ත්වයකට පත්ව ඩොලරයේ කළුකඩ මිල රු. 235 ද ඉක්මවා ගොස් ඇති අතර බැංකුවල ඩොලර් විකුණුම් අගය ද සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇත. මේ නිසා විදේශ විනිමය අර්බුදයට මුහුණ දීමට නිසි පෙර සුදානමක් නොමැතිව අප මේ යන විදියට ඔහේ ගමන් කළහොත් ලබන වසරේ (2022* මැද භාගය වන විට විදේශ ණය ගෙවීම ඉතා දුෂ්කර තත්ත්වයට පත් වීමට ඉඩ තිබේ. දැන් එවැනි විධිමත් සූදානමක් ඇති බවක් අපට පෙනෙන්නට නැති බව කනගාටුවෙන් වූවත් කිව යුතු වේ.

රට වැසීම දිගටම අනුගමනය කළ හැකි පිළිවෙතක් නොවේ. එනම් විවිධ කොරෝනා රැළි සහ නව ප‍්‍රභේද හමුවේ දිගින් දිගටම රට වැසීම් සිදු කිරීම දුෂ්කර බව සත්‍යයකි. ඊට එන්නත්කරණය විසඳුමක් වනු ඇත. එන්නත්කරණය කිරීමෙන් මරණ ප‍්‍රමාණය විශාල වශයෙන් අඩුවන බවට මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය ද අදහස් දක්වා තිබුණි. එන්නත්කරණය ආරම්භ කිරීමට සහ එන්නත් ඇනවුම් කිරීමට කිසියම් ප‍්‍රමාදයක් වුවත් දැන් එන්නත්කරණය වේගයෙන් සිදුවෙමින් තිබේ. මරණ ශුන්‍ය කළ නොහැකි වූවත් වළක්වා ගත හැකි සෑම මරණයක්ම වළක්වා ගැනීමට මේ එනන්තකරණය බෙහෙවින් ඉවහල් වේ.

එහෙත් කොරෝනා වසංගතය මැඬපැවැත්වීමේ එකම විසඳුම එන්නත්කරණය නොවන බව නැවතත් සිහිපත් කරගත යුතුය. ඒ බව වෛද්‍ය විශේෂඥන් පවසන අදහස් අනුව ද පැහැදිලි වන්නකි. එන්නත්කරණය සමග තවත් කළ යුතු බොහෝ දේ තිබෙන අතර ඒ සියල්ලම අඩු වැඩි වශයෙන් අප අනුගමනය කළ යුතු වේ. මින් ප‍්‍රධාන කරුණ එන්නත්කරණය සමග සියලූ සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කිරීමයි. එන්නත්කරණය නිසා ආසාධිතයන් අමාරු තත්ත්වයට පත් වීම සහ මරණයට පත් වීම සැලකිය යුතු ලෙස අවම කර ගත හැකිය. ඒ සමග අනෙකුත් සියලූ ක‍්‍රියාමාර්ග අනුගමනය කරමින් පුරවැසියන් තමා ආසාධිතයකු බවට පත් නොවන පරිදි ආරක්ෂිතව කටයුතු කරන්නේ නම් අනාගතයේ දී අපේ ආර්ථික කටයුතු හොඳින් කිරීමට හැකි වාතාවරණයක් ඉක්මනින් උදාකරගත හැකිය. එහෙත් මේ ඉතා අවදානම් මොහොතේ වසංගතය තවදුරටත් පැතිරීම පාලනය කර ගැනීමට අවශ්‍ය නිසා තවදුරටත් රට වැසීම දික් කිරීම නිවැරදි පිළිවෙතක් බව අපගේ අදහසයි. එය වසංගතයේ ආර්ථික බලපෑම් අවම කරගැනීමට ද හේතුවනු ඇත. එහෙත් මේ නිසා පීඩාවට පත්වන කණ්ඩායම් කෙරෙහි සහන සැලසීමට අවශ්‍ය පියවර ගැනීමට රජය ක‍්‍රියාත්මක වීම අත්‍යවශ්‍ය වේ. එදිනෙදා අදායම් ලබන ජනයා ඉතාම අමාරු තත්ත්වයකට පත්ව සිටින නිසා ඒ අය මේ දින කිහිපයේ අප විසින් රැක බලාගත යුතුය.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
[email protected]

advertistmentadvertistment
advertistmentadvertistment