ලොක්ඩවුන් ඉවරයි.. රෝඩ් මැප් ඇරඹෙයි… ශ‍්‍රී ලංකාව අලූත් ආර්ථික ගමනක…

605

ශ්‍යාම් නුවන් ගනේවත්ත
[email protected]

ලොක්ඩවුන් කාලය රජය විසින් අවසන් කර රට නැවත විවෘත කර තිබේ. එහෙත් ඒ යම් යම් සීමාවන්ට යටත්වය. කොරෝනා අවදානම් තත්ත්වය මුළුමනින්ම පහව ගොස් නැත. එහෙත් නිරෝධායන ඇඳිරි නීතිය පැනවීම නිසා කොරෝනා මරණ ගණන සහ ආසාදිතයින් වාර්තා වීම අඩු විය. මේ නිසා යම් යම් සීමාවන්ට යටත්ව රට විවෘත කර ආර්ථික කටයුතු පණ ගන්වා ගනිමින් සහ තවදුරටත් වසංගත තත්ත්වය පාලනය කර ගැනීම රජයේ අපේක්ෂාව වී ඇත. මේ අනුව පෙරේදා එනම් ඔක්තෝබර් 01 වැනිදා ඉතා වැදගත් සිදු වීම් දෙකක් සිදුවිය. එනම් රජය විසින් දින 41ක කාලයක් ක‍්‍රියාත්මක කළ නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කිරීම සහ ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් මාස හයකට පෙර දැක්මක් (රෝඞ් මැප් එකක්) ප‍්‍රකාශයට පත් කිරීමයි. හැමදෙනාම පාහේ නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කරන තෙක් බලා සිටියේය. එය සිදු වූ අතර එහෙත් තවමත් කොවිඞ් වසංගතය පවතින නිසා අපට මුළුමනින්ම සාමාන්‍ය ජනජීවිතය ගත කිරීමට නොහැකි බව ද අප තේරුම් ගත යුතුය. ඒ අපගේම ආරක්ෂාවටය. ඒ අනුව අප තවදුරටත් කටයුතු කළ යුත්තේ කෙසේ ද යන්න ගැන ද රජය දැනටමත් මහජනතාවට දැනුම් දී ඇත. එනම් නිරෝධායන ඇඳිරිනීතිය ඉවත් කිරිමෙන් පසු අනුගමනය කළ යුතු සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පෙරේදා (30) නිකුත් කළේය. දිගටම රට වසා තැබීමට ද රජයට හැකියාවක් නැත. ඒ අනුව වසංගත අවදානම අඩු කරගනිමින් ක‍්‍රමයෙන් අනෙකුත් සීමාවන් ද ලිහිල් කරගැනීමට හැකිවනු ඇත.

මේ පසුබිම තුළ ලොක්ඩවුන් අවසන් වීම සහ මහ බැංකුව විසින් එළිදැක්වූ සය මාසික ‘රෝඞ්මැප්’ එක අපගේ ආර්ථික කටයුතුවලට බලපාන අයුරු අපි මේ ලිපියෙන් සාකච්ඡා කරමු. මේ අනුව මුලින්ම යම් යම් සීමාවන්ට යටත්ව රට විවෘත වීම ගැන අවධානය යොමු කරමු. සාමාන්‍යයෙන් රටක් ලොක්ඩවුන් කළ විට එම රට වැසීමේ ක‍්‍රියාමාර්ගය ක‍්‍රියාත්මක කළ මට්ටම අනුව රටේ ආර්ථික කටයුතුවල අකර්මණ්‍ය වීමක් සිදු වේ. ඒ අනුව යම් යම් ආර්ථික කටයුතු ලොක්ඩවුන් කාලයේ සිදු වුවත් තවත් බොහොමයක් ආර්ථික කටයුතු අඩපණ වන බව ද රහසක් නොවේ. එහෙත් වසංගත තත්ත්වය පාලනය කර ගැනීම ආර්ථික කටයුතු පණ ගන්වා ගැනීමට අත්‍යවශ්‍යම කරුණකි. ලොක්ඩවුන් කාලයේ ආර්ථික කටයුතුවල අකර්මණ්‍ය වීමක් වුවත් මේ ලියුම්කරු නම් සිතන්නේ එය වසංගත තත්ත්වය පාලනය කරගෙන ආර්ථිකය ඉක්මනින් පණ ගන්වා ගැනීමට උපකාර වන බවයි. ආර්ථික කටයුතු හොඳින් කිරීමට නම් අපේ ශ‍්‍රම බලකායට නිරෝගීව සහ සක‍්‍රීය ලෙස ආර්ථික කටයුතුවල යෙදිය හැකි විය යුතුය. එසේම එන්නත්කරණය අපේ ජනතාවගෙන් සැලකිය යුතු පිරිසක් ආවරණය වන පරිදි සිදු කළ විට කොරෝනා මරණ අවම වීම සහ කොරෝනා ආසාදිත වුවත් අසාධ්‍ය තත්ත්වයට පත්වන පිරිස අවම වන බැවින් ඉදිරියේ දී රට ලොක්ඩවුන් නොකර රට පවත්වාගෙන යෑමට හැකිවනු ඇත. මේ නිසා පෙරේදා අවසන් වූයේ කොවිඞ් වසංගතය නිසා අප රටේ ක‍්‍රියාත්මක කළ අවසාන ලොක්ඩවුන් කිරීම වීමට බොහෝ දුරට ඉඩ තිබේ. මේ නිසා මේ ඔක්තෝබර් මාසයේ සිට අපට රටේ ආර්ථික කටයුතු වේගයෙන් පණ ගන්වා ගනිමින් ඉදිරියට යාමට හැකියාව ලැබෙනු ඇත.

ගිය මාසයේ රට තුළ වේගවත් වූ කොවිඞ් ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා රටම ආවරණය වන පරිදි නිරෝධායන ඇඳිරිනීතිය රජය විසින් පනවනු ලැබුවේ ඉකුත් අගෝස්තු මස 20 වැනිදා රාත‍්‍රි 10.00 සිටය. රට පුරා ක‍්‍රියාත්මක වූ නිරෝධායන ඇඳිරිනීතිය ඉවත් කළත් පළාත් අතර සංචරණ සීමා තවදුරටත් අඛණ්ඩව ක‍්‍රියාත්මක වේ. මේ ආකාරයට හෝ රට විවෘත කිරීමට හැකි වී ඇත්තේ ආසාදිතයින් සහ මරණ වාර්තාවීම සැලකිය යුතු මට්ටමකින් අඩුවීම හේතුවෙනි. ඒ නිසා තවදුරටත් අප ආරක්ෂිතව සෞඛ්‍ය උපදෙස්වලට අනුගතව කටයුතු කිරීමෙන් තවමත් පවතින අනෙකුත් සීමාවන් ද ක‍්‍රමයෙන් ලිහිල් කරගෙන රට පූර්ණ වශයෙන් විවෘත කිරීමට හැකි වනු ඇත. එසේම එය අපේ ආර්ථික ඉලක්ක ජය ගැනීමට මෙන්ම යළි ඉක්මනින් සාමාන්‍ය ජනජීවිතය ඇති කර ගැනීමට ද හේතු වන්නකි.

මේ සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවේ ප‍්‍රධාන කරුණු කිහිපයක් හෝ අප සිහිපත් කර ගැනීම වටී. ඒ අනුව අත්‍යවශ්‍ය නොවන සියලූම ගමන් සඳහා දිනපතා රාත‍්‍රී 10.00 සිට අලූයම 04.00 දක්වා අවසර හිමි නොවේ. මහජන රැස්වීම් පැවැත්වීම ද තවදුරටත් තහනම් කර තිබේ. පොදු ප‍්‍රවාහනයේ දී ආසන ධාරිතාවට පමණක් මගීන් රැගෙන යා යුතු අතර පොදු ප‍්‍රවාහන කටයුතු සඳහා වායුසමනය කළ රථ භාවිත නොකළ යුතුය. ආයතනවලට කැඳවන සේවකයින් ගණන සීමා කළ යුතු අතර හැකි සෑම විටම නිවසේ සිට වැඩ කිරීමට දිරිමත් කළ යුතු වේ. ඒ අනුවම නිවසින් පිටව යාමට අවසර හිමි වන්නේ රැකියා, සෞඛ්‍ය සහ අත්‍යාවශ්‍ය භාණ්ඩ හා සේවා මිලදී ගැනීමට පමණකි. නිවෙස්වල පැවැත්වෙන සුළු සාද ඇතුළු ගෘහස්ථ, එළිමහන් උත්සව හා එක්රැස්වීම් සඳහා අවසර හිමි වන්නේ නැහැ. විවාහ මංගල උත්සව පැවැත්වීමට සීමා පනවා ඇති අතර අවන්හල් තුළ ආහාර පරිභෝජනයට ද ඔක්තෝබර් 15 දින දක්වා අවසර හිමි නොවේ. සාප්පු, සිල්ලර වෙළෙඳසල්, සුපිරි වෙළෙඳසල් ඇතුළු වෙළෙඳසල් සඳහා පවතින ඉඩ ප‍්‍රමාණයෙන් සියයට 10ක් පිරෙන සේ ගනුදෙනුකරුවන් ඇතුළු කර ගත හැකි අතර ඔක්තෝබර් 16 වැනිදායින් පසු එම ප‍්‍රමාණය සියයට 20ක් දක්වා ඉහළ නැංවේ. බාබර් සහ රූපලාවන්‍යාගාර විවෘත කළ හැකි වුවත් එය වේලාවක් වෙන්කර ගැනීමෙන් පසු ඒ සඳහා පැමිණිය යුතුය. සිනමා ශාලා, ප‍්‍රදර්ශන හා සම්මේලන, උපකාරක පංති යනාදිය සඳහා තවදුරටත් අවසර හිමි නොවේ. රැස්වීම් වැඩමුළු හා සම්මන්ත‍්‍රණවලට සහභාගී කරගත හැකි උපරිම පුද්ගලයින් ගණන ද සීමා කර ඇත. මේ උපදෙස්වලට අනුගතව අප කටයුතු කිරීම අවශ්‍ය වන අතර මේවා නමට පමණක් ක‍්‍රියාත්මක නොකිරීමට රජය ද වගබලා ගතයුතු වේ. ඒ අනුව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කර ඇත්තේ රට විවෘත කිරීමෙන් පසු වාර්තා වන ආසාදිතයින් සහ කොවිඞ් මරණ සැලකිල්ලට ගනිමින් තවදුරටත් සීමාවන් පැනවීමට කටයුතු කරන බවයි. ඒ නිසා අපගේ වගකීම් සහගත හැසිරීම මෙහිදී ඉතා වැදගත් බව මහජනයාට සිහිපත් කළ යුතු වේ. රට වසා දැමූ විට වඩාත්ම දුකට පත් වන්නේ එදිනෙදා ආදායම් උපයන සාපේක්ෂව දිළිඳු අය බව ද අප අමතක නොකළ යුතුය. මේ නිසා මේ පවතින අනෙකුත් සීමාවන් ද ඉක්මනින් ඉවත් කරගැනීමට හැකිවන පරිදි කටයුතු කිරීම මේ මොහොතේ අප සැමගේ පුරවැසි වගකීමයි.

මේ අතර මහ බැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල් මහතා පෙරේදා (01) උදේ 10.00 ට මහ බැංකුවේ සය මාසික පෙර දැක්ම ප‍්‍රකාශයට පත් කළේය. මෙය ආර්ථිකය ගැන පවතින අවිනිශ්චිත බව දුරු කර ආර්ථිකය මෙහෙයවන දිශානතිය ගැන මහජනයාට සහ ආර්ථිකයේ අනෙකුත් සියලූම පාර්ශ්වකරුවන් තුළ විශ්වාසයක් ඇති කිරීමට සමත් ප‍්‍රතිපත්ති මාලාවක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ. මේ අනුව රට විවෘත වීමෙන් පසු සහ මහ බැංකුවේ කෙටිකාලීන පෙර දැක්ම එළිදැක්වීමෙන් පසු රටේ සුබවාදී වෙනසක් වීමට ඉඩ තිබේ. එය ආර්ථිකයට යහපත් ලෙස බලපානු ඇත. රටේ ආර්ථික ක‍්‍රියාකාරිත්වය ඉහළ නැංවීමට ද හෙතූ වනු ඇත.

කොවිඞ් අභියෝගය හමුවේ නව සාමාන්‍යකරණය යටතේ රටේ ආර්ථික ක‍්‍රියාවලිය අඛණ්ඩව ඉදිරියට ගෙන යාමට සියලූ අංශ එක්ව කටයුතු කළ යුතු බව මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා පසුගියදා කොවිඞ් මර්දන විශේෂ කමිටු රැස්වීමේ දී ප‍්‍රකාශ කර තිබිණි. මෙම සාකච්ඡාවේ දී ඔහු තවදුරටත් කියා තිබුණේ මේ වසරේ (2021) දෙවන කාර්තුවේ සියයට 12.3 ක ආර්ථික වර්ධන වේගයක් පවත්වා ගැනීමට හැකි වූ බවත්, රට වසා තැබීම හේතුවෙන් තෙවන කාර්තුවේ දී එය සියයට 1 ක් දක්වා පහත වැටීමට ඉඩ ඇති බවයි. එසේම සිව්වන කාර්තුවේ දී රටේ ආර්ථික වර්ධන වේගය සියයට 3 ක මට්ටමක පවත්වාගෙන යාමට ඉලක්ක සහගතව කටයුතු කිරීමේ අවශ්‍යතාව ද ඔහු එහිදී පැහැදිලි කර තිබිණි. ඒ තුළින් මේ වසරේ දී රටේ සමස්ත ආර්ථික වර්ධනය සියයට 5 ක මට්ටමක පවත්වා ගැනීම රජයේ ඉලක්කය වී තිබේ. කෙසේ හෝ කොවිඞ් බලපෑම් සහ රට වැසීම නිසා මේ වසරේ (2021) තෙවන කාර්තුවේ ආර්ථික වර්ධන අගය සැලකිය යුතු ලෙස පහත වැටීමට ඉඩ තිබේ. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල නම් පවසන්නේ මේ වසරේ ශ‍්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය සියයට 4 දක්වා පහත වැටෙනු ඇති බවයි. මේ සඳහා බොහෝ දුරට මේ වසරේ සිව්වන කාර්තුවේ ආර්ථික ක‍්‍රියාකාරිත්වය බලපානු ඇත.

අප මුහුණ දී සිටින මේ කොරෝනා වසංගතය සහ ආර්ථික විපත අප සියලූ දෙනා එක්ව සාමූහිකව ජයගත යුත්තකි. එය රජයට පමණක් භාර දී සිටිය හැකි දෙයක් නොවේ. මහජනයාට තිබෙන්නේ එයට අනුගතව තවදුරටත් සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් තමා කරන රැකියා කටයුතු හෝ වෙනත් ආර්ථික කටයුතුවල ආරක්ෂිතව නිරත වෙමින් කොරෝනා ආර්ථික විපතින් මිදීමට තම උපරිම දායකත්වය ලබා දෙමින් එක්ව කටයුතු කිරීමයි. මෙය සමාජයේ සෑම පාර්ශ්වයකම සාමූහික ප‍්‍රයත්නයක් විය යුතු වේ. පසුගිය කාලයේ නිරෝධායන ඇඳිරි නීතිය ක‍්‍රියාත්මක වුවත් එය මුළුමනින්ම රට වසා තැබීමක් නොවන බවද අපි දනිමු. කිසියම් දුරකට රටේ ආර්ථික කටයුතු සිදු වීමට ඉඩ දෙමින් එය ක‍්‍රියාත්මක විය. මේ කාලයේ පුද්ගලික වාහන කෙතරම් මහමග ධාවනය වුවත් පොදු ප‍්‍රවාහන සේවා ක‍්‍රියාත්මක නොවීය. ඒ නිසා පුද්ගලික හා රජයේ සේවකයන් සේවා ස්ථානවලට කැඳ වූයේ ද සීමිතවය. මේ නිසා අඩුපාඩු තිබුණත් ප‍්‍රමාද වී හෝ ක‍්‍රියාත්මක කළ මේ කොරෝනා මර්දන ක‍්‍රියාමාර්ග නිසා කොරෝනා මරණ සහ ආසාදිතයින් වාර්තා වීම මේ වන විට සැලකිය යුතු ලෙස අඩු වී ඇති බව ද පැහැදිලිය. එනම් රට විවෘත වුවත් මේ තත්ත්වය දිගටම ආරක්ෂා කරගනිමින් ආර්ථික කටයුතු පණ ගන්වා ගත යුතු වේ. මේ නිසා රට විවෘත වුවත් අප නම් සිතන්නේ ඒ සමගම සියලූ රාජ්‍ය අංශ සහ පෞද්ගලික අංශ සේවකයන් සියලූ දෙනාම වහාම සේවයට කැඳවීම සුදුසු නොවන බවයි. මේ නිසා නව සාමාන්‍ය තත්ත්වය යටතේ කිසියම් කාලයක් අප තවදුරටත් ආරක්ෂිතව කටයුතු කිරීම වඩාත් සුදුසුය. වෛද්‍ය අංශ ද ඒ බව දැනටමත් පවසා තිබේ. කොවිඞ් වසංගතය සමග රටේ ආර්ථික ප‍්‍රශ්න දරුණු වී තිබුණත් ඒවාට ලබාදෙන විසඳුම් හෝ ඉදිරි කාලයේ ආර්ථිකය මෙහෙයවන පැහැදිලි දිශානතිය කුමක් ද යන්න ගැන මෙතෙක් පොදු ජනයා වෙත හෝ ආර්ථිකයේ ප‍්‍රධාන පාර්ශ්වකරුවන්ට පැහැදිලි බවක් නොතිබිණි. එය මහ බැංකුවේ රෝඞ් මැප් එකෙන් (මාර්ග සිතියමෙන්) ලබා දීම ඉතා වැදගත් පියවරකි. එහි සදහන් කරුණු අපට ඉදිරි දිනවල විස්තරාත්මකව සාකච්ඡා කළ හැකිය. එහෙත් මේ පෙර දැක්මේ ප‍්‍රධානම අවධානය යොමුව ඇත්තේ ආර්ථික ස්ථායිතාව ඇති කර ගැනීමට බව පෙනේ. මෙවැනි පෙර දැක්මක් මගින් ආර්ථිකය ඉදිරියට මෙහෙයවෙන ආකාරය පිළිබඳ ඉලක්ක ප‍්‍රකාශයට පත් වීම තුළ පොදු ජනයා තුළත් ආර්ථිකයේ සෙසු පාර්ශ්වකරුවන් තුළත් කිසියම් විශ්වාසයක් ජනිත වේ. එය ආර්ථිකය පිළිබඳ මෙන්ම ආර්ථික අර්බුදය විසඳා ගැනීම සඳහා අනුගමනය කරන වැඩපිළිවෙළ ගැන දැනට පවතින අවිනිශ්චිතතා දුරු කිරීමට ද හේතු වනු ඇත. පසුගිය කාලයේ මෙන්ම තවමත් ආර්ථික කටයුතු ගැන ගැන බලවත් අවිනිශ්චිතතා පවතී. මේ නිසා වඩාත් වැදගත් වන්නේ එහි සඳහන් වන ඉලක්ක සහ එම ප‍්‍රතිපත්ති මාලාව ඒ අයුරින්ම අනුගමනය කරමින් එහි ඉලක්ක ඉටු කර ගැනීමට නිසි පසුවිපරමකින් යුතුව කටයුතු කිරීමයි.

advertistmentadvertistment