ලොකු පැටීගේ ඕඩර් එකකට හමුදා සෙබළෙක් මිනී මරන්න ඇවිත්

675

අම්බලංගොඩ කුරුමානම වරදියි: දෙදෙනෙක් අත්අඩංගුවට

ඩුබායි සිටින පාතාල නායකයකු වන ලොකු පැටී යන අයගේ නියෝග මත අම්බලංගොඩ නගරයේ ධනවත් ව්‍යාපාරිකයකු වෙඩි තබා ඝාතනය කිරීමට පැමිණි යුද හමුදා සෙබළකු ඇතුළු පාතාල සාමාජිකයන් දෙදෙනකු ගිනි අවිය සමග ඊයේ (18 දා) සවස පොලිස් විශේෂ කාර්ය බළකාය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

ඝාතකයන් දෙදෙනා ව්‍යාපාරිකයා ඝාතනය කිරීමට ඊයේ දහවල් අවස්ථා දෙකකදීම උත්සාහ කර ඇති අතර විශේෂ කාර්ය බළකායේ විශේෂ යතුරුපැදි ඒකකය නගරයේ සැරිසරමින් සිටීම නිසා එය ව්‍යර්ථ වී ඇත.

මෙම පාතාල සාමාජිකයන් මාළු ව්‍යාපාරිකයකු ඝාතනය කිරීමට සැරිසරන බවට ලැබුණු තොරතුරු මත පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් ඔවුන් ලුහුබැඳ ගොස් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ අවස්ථාවේ ඝාතකයන් දෙදෙනා සතුව තිබී මාළු ව්‍යාපාරිකයාගේ ඡායාරූපයක් ද හමු වී ඇත. අත්අඩංගුවට ගත් හමුදා සෙබළා යුද හමුදා මූලස්ථානයේ රාජකාරි කරන සෙබළකු වන අතර ඔහු 17 වැනිදා සිට නිවාඩු ලබා සිට ඇති බව පොලිසිය පවසයි.

ඝාතනය සඳහා මොවුන් රැගෙන ආ මිලිමීටර් 9 පිස්තෝලයක් ද පොලිසිය භාරයට ගෙන ඇත. පාතාල සාමාජිකයන් දෙදෙනා වැඩිදුර විමර්ශන සඳහා අම්බලංගොඩ පොලිසිය වෙත භාරදී ඇත. පොලිස් විශේෂ කාර්ය බළකායේ අනදෙන නිලධාරි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතාගේ උපදෙස් මත විමර්ශන පැවැත්වෙයි.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment