ලොකු හාමුදුරුවෝ මරලා පෙම්වතිය ළඟට යන්න හැදූ ගෝල හාමුදුරුවෝ

1185

ඩුබායි යෑම වැළකුණේ ආගමන විගමන නිලධාරිනියක් නිසා
වාහන දෙකත් කෝටි දෙකකට විකුණලා

සීදුව රද්දොළුව වෑත්තෑව නන්දාරාම විහාරස්ථානයේ භික්ෂූන් වහන්සේලා දෙනමක් වැඩ සිටියහ. එහි විහාරාධිපති ධුරය දැරුවේ මැදගමුවේ මහානාම හිමියන්ය. අවුරුදු පනහක් පමණ වයසැති උන්වහන්සේ අධ්‍යාපන අමාත්‍යාංශයේ ගුරු උපදේශකවරයකු වශයෙන් කටයුතු කළේය. එයට අමතරව බොදු බල සේනාවේ ගම්පහ දිස්ත්‍රික් හිටපු සභාපතිවරයා වශයෙන් ද කටයුතු කළේ එම ස්වාමීන් වහන්සේය.

නායක ස්වාමීන් වහන්සේගේ ගෝල හිමිනම වූයේ ඒකල සුමනසිරි හිමියන්ය.

ගෝල හිමිනම පැවිදි වී තිබුණේ වයස අවුරුදු පහේදීය. එතැන් සිට අවුරුදු 13 ක් පමණ වන තුරු එම හිමිනම හැදී වැඩුණේ මෙම නායක ස්වාමීන් වහන්සේ යටතේය. එහෙත් දැනට වසර කිහිපයක සිට නායක ස්වාමීන් වහන්සේ සහ මෙම ගෝල භික්ෂුව අතර ගැටුම් ඇතිවන්නට පටන් ගත්තේය. ඒ විහාරස්ථානයේ දේපළ සම්බන්ධයෙනි. විහාරස්ථානයේ දේපල තනිවම භුක්ති විඳින බව පවසමින් නිරතුරුවම ගෝල හිමි නායක ස්වාමීන් වහන්සේට චෝදනා එල්ල කළහ. අවස්ථා ගණනාවක දී මෙම ගැටුම් විසඳීම සඳහා සමහර දායකයෝ ද මැදිහත් වූහ. එහෙත් පලක් වූයේ නැත. අවසානයේ මෙම භික්ෂූන් දෙනම සීදුව පොලිසියේ පවා එම ගැටුම් පිළිබඳව පැමිණිලි පවා දමා තිබුණහ.

තත්ත්වය එසේ තිබියදී ගෝල හිමි නම හැසිරුණේ භික්ෂුවකට උචිත අයුරින් නොව සමාජයේ පිස්සු කෙළින තරුණයකු මෙන්ය. බුදු බණ ඉගෙන ගැනීම පසෙක දැමූ මෙම හිමි අන්තර්ජාලයේ ෆේස්බුක්, ටික් ටොක් වැනි සමාජ මාධ්‍ය ජාලවල නිරතුරුවම සැරිසැරුවේය. ඒ අතරතුර එම ගෝල හිමිනම පෙම්වතියක් ද සොයා ගත්තේය. ඇය නමින් සඳුනි ය. සඳුනි මෙම හිමි නමට වඩා වසර කිහිපයක් වැඩිමල් තරුණියකි.

මෙම හිමිනමට පෙර සඳුනිගේ පෙම්වතා වූයේ මුස්ලිම් ජාතික තරුණයෙකි. වසර ගණනක් ඇය ඔහු සමග එම සම්බන්ධතාවය පවත්වාගෙන ගියාය. අවසානයේ ඇයට මෙරට ජීවත් වීමේ බැරි තත්ත්වයක් උදා විය. ඒ අවස්ථාවේදී මුස්ලිම් ජාතික තරුණයා ඇයව ඩුබායි රාජ්‍යය බලා පිටත් කර යැව්වේය.

ගෝල හිමිනම සඳුනිට පණ දෙවැනි කොට ආදරය කළේය. එම හිමියන් පොරොන්දු වී තිබුණේ හැකි ඉක්මනින් ඩුබායි රාජ්‍ය බලා පැමිණ ඇයව විවාහ කර ගන්නා බවයි. ඒ අතර නායක ස්වාමීන් වහන්සේ ළඟ තිබෙන දේපල පිළිබඳව ද ඇයට කියා තිබුණි.

පසුගිය සති කිහිපය තුළ ගෝල හිමිනම සහ පෙම්වතිය කතිකා කරගත්තේ නායක ස්වාමීන් වහන්සේගේ දේපල ලබා ගන්නා ආකාරය පිළිබඳවයි. එහෙත් නායක ස්වාමින් වහන්සේ ජීවත්ව සිටියදී එම දේපළ කිසිදිනෙක ලබාගත නොහැකි බව ගෝල හිමියන් ඇයට පැවසුවේය. එම නිසා අවසානයේ ඔවුන් දෙදෙනා මෙලෙස කතිකා කරගත්හ.

ලොකු හාමුදුරුවෝ මරලා පෙම්වතිය ළඟට යන්න හැදූ ගෝල හාමුදුරුවෝ

“ලොකු හාමුදුරුවෝ ඉන්නකම් මට දේපල දෙන්නෙ නැහැ. එයා හරි තණ්හාවයි ඒවට.”

“එතකං අපිට බලන් ඉන්නත් බැහැ.”

“ඔව් ඒක ඇත්ත. ලොකු හාමුදුරුවන්ගේ ඩිෆෙන්ඩරය සහ වැගන් ආර් එකම කෝටි දෙකක් විතර වටිනවා. මම හැමතිස්සෙම ඒ දෙක ඉල්ලනවා. ඒත් දෙන්නේ නැහැ.”

“ඔයාට ඒවා කවදාවත් හොඳින් නම් ගන්න බැහැ.”

“ඒක ඇත්ත. අපිට වෙන විදියක් ගැන කල්පනා කරන්න වෙනවා.”

“ඒ මොකක් ගැනද?”

“දේපල ගන්න ඕන නම් ලොකු හාමුදුරුවන් ව මරන්න ඕනා.”

“ඔයා කැමතිනං ඒක කරන්න. මම ඔයාව මෙහෙට ගන්නම්.”

“ඔයාට එක කරන්න පුළුවන්ද?”

“මම දන්න මුස්ලිම් අයියා කෙනෙක් ඉන්නවා. එයාට කියලා මං ඔයාගෙ පාස්පෝර්ට් වීසා සේරම හදලා දෙන්නම්.”

“එහෙනම් අපි ඒ ටික හදාගෙන හාමුදුරුවන්ව මරලා සේරම දේපල ටික ගමු. මේක මට තනියම කරන්න බැහැ. තව විශ්වාස කෙනෙක්ගෙ උදව් ඕන වෙනවා.”

“ඒ ගැන බය වෙන්න එපා. අපේ අම්මයි තාත්තවයි මම ඔයාට සම්බන්ධ කරලා දෙන්නම්”

“ඒගොල්ලො කැමති වෙයිද?”

“සල්ලි හම්බවෙනවා නං ඒගොල්ලො ඕන දේකට කැමතියි. ඔයා බය නැතුව ඉන්න.”

“එහෙනම් අපි කතා කරගත්ත විදිහට වැඩ ටික කරමු.”

“ඔයා මගේ ඩුබායි වැඩ ටික සෙට් කරලා දෙන්න. මේ පැත්තේ වැඩ ටික සේරම මම බලා ගන්නම්.”

එලෙස කතා කරගත් පරිදි ගෝල හිමි නමගේ සහ පෙම්වතියගේ අරමුණ වූයේ නායක ස්වාමීන් වහන්සේ ඝාතනය කර දේපල ලබාගෙන ඩුබායි රාජ්‍යය වෙත පැන ගැනීමයි. ඒ සඳහා අවශ්‍ය කටයුතු ඔවුහු ඉතා සූක්ෂම ලෙස සූදානම් කළහ. එ අතර පෙම්වතිය තම චීවරධාරි පෙම්වතාට ගුවන් ගමන් බලපත්‍රයක්, වීසා සහ ගුවන් ටිකට් පතක්ද වෙන් කර ගත්තාය. එලෙස වෙන් කරගත් පසු නායක ස්වාමීන් වහන්සේ ඝාතනය කිරීම සඳහා දින නියම කර ගත්තේය.

දිනය පසුගිය දොළොස් වැනිදාය. දහවල් එක පසු වූවා පමණි. ගෝල හිමිගේ පෙම්වතියගේ දෙමව්පියන් එම විහාරස්ථානයට පැමිණියේය. එලෙස පැමිණි පසු ගෝල හිමි සහ ඔවුන් දෙදෙනා ආවාස ගෙයි සිටි විහාරාධිපති හිමියන්හට පහර දුන්හ. එලෙස පහර දී විහාරාධිපති හිමියන්ව අඩපණ කර ගත්හ. ඉන්පසු පෙම්වතියගේ දෙමව්පියන් නායක ස්වාමීන් වහන්සේගේ ගෙල සිරකර ඝාතනය කළේය. නායක ස්වාමීන් වහන්සේ ඝාතනය කළ පසු සිරුර පුටුවක බැඳ දමා කාමරය පුරා මිරිස් කුඩු ද දමා තිබුණි. එලෙස මිරිස් කුඩු දමා ඇත්තේ පොලිස් පරීක්ෂණ සඳහා බාධා කිරීමටයි.

නායක ස්වාමීන් වහන්සේ එලෙස සාහසික ලෙස ඝාතනය කළ පසු සැකකාර චීවරධාරියා එම හිමියන්ගේ දේහය විහාරස්ථානයේ තිබියදීම ඩිෆෙන්ඩර් රථය සහ වැගන් ආර් රථය විකුණා ඇත. එලෙස වාහන විකුණූ පසු විහාරාධිපති හිමියන්ට අයත් මුදල් සහ තවත් දේපල ද රැගෙන මෙම චීවරධාරියා පලා ගියේය. එලෙස පලාගියේ ඩුබායි රාජ්‍ය බලා යෑමේ අරමුණින්ය.

විහාරාධිපති හිමියන් ඝාතනය කර දින කිහිපයක් ගත විය. ඝාතනයට සම්බන්ධ වූ පිරිස හැර වෙන කිසිවෙකුත් ඒ පිළිබඳව දැන සිටියේ නැත. දින කිහිපයක සිට විහාරස්ථානයේ ආවාස ගෙය දෙසින් දුගඳක් හමන බව දැනුණු ප්‍රදේශවාසීහු ඒ පිළිබඳව සීදුව පොලීසියට පැමිණිලි කළහ. පැමිණිල්ලට අනුව විහාරස්ථානයට පැමිණි එම නිලධාරීහු විහාරස්ථානය පරීක්ෂා කිරීමේදී නායක ස්වාමීන් වහන්සේගේ දේහය සොයාගැනීමට හැකිවූහ.

දේහය දුටු පමණින්ම එය ඝාතනයක් බව එම නිලධාරීහු දැනගත්හ. ඒ වන විටත් පන්සලේ සිටි ගෝල හිමි නම අතුරුදන්ව සිටි නිසා පොලිසිය එම චීවරධාරියා සොයා විමර්ශන ආරම්භ කළේය. ඒ වන විටත් සැකකාර චීවරධාරියා සිදුව ලියනගේමුල්ල ප්‍රදේශයේ ලැගුම්හලක සැඟවී සිටියේ ඩුබායි රාජ්‍ය වෙත පැන ගැනීම සඳහා දින උදාවන තුරුය.

සැකකාර චීවරධාරියා පසුගිය 15 වැනිදා අලුයම ඩුබායි රජය වෙත පැන යෑම සඳහා කටුනායක ගුවන් තොටුපළට පැමිණියේය. එලෙස පැමිණි සැකකාර චීවරධාරියාගේ ලියකියවිලි ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරිනියක් පරීක්ෂා කළාය. ලියකියවිලි කිසිම ගැටලුවක් නොමැති නිසා එම නිලධාරිනිය සැකකාර චීවරධාරියාට ඩුබායි රාජ්‍යය වෙත යෑම සඳහා අනුමැතිය ලබා දුන්නාය. එලෙස ලබා දුන්නත් එම සැකකාර චීවරධාරියාගේ හැසිරීම පිළිබඳව ඇයට ගැටලුවක් මතු වූවා ය. ඒ සමඟම ඇයට මතක් වූයේ සීදුව විහාරස්ථානයක හිමිනමක් ඝාතනය කිරීමේ සිද්ධියයි. එයට මෙම චීවරධාරියාගේ සම්බන්ධයක් ඇතැයි ඇය සැක පහළ කළාය. ඒ අනුව වහාම ඇය තම ප්‍රධාන නිලධාරියාට ඒ බව දැනුම් දුන්නාය.

එලෙස දැනුම් දෙන විටත් සැකකාර චීවරධාරියා ඩුබායි බලා ගමන් කිරීමට නියමිත ගුවන් යානය වෙත ඇතුල් වීමට සූදානමින් සිටියේය. ඒ සමගම යළි පැමිණි ආගමන විගමන නිලධාරීන් එම සැකකාර චීවරධාරියා නැවත රැගෙන ගොස් ප්‍රශ්න කළේය. එලෙස ප්‍රශ්න කිරීමේදී එම නිලධාරීන්ට මෙම චීවරධාරියා ගැන සැක සිතී පොලිසියට භාරදී තිබේ. තව විනාඩි කිහිපයක් ප්‍රමාද වූවා නම් කිසිදු ගැටලුවක් නොමැතිව සැකකාර චීවරධාරියාට ඩුබායි රාජ්‍යය වෙත යෑමට ඉඩකඩ තිබුණි. එය වැළකී ගියේ ආගමන විගමන නිලධාරිනියගේ දක්ෂතාවය නිසාය.

පොලිස් අත්අඩංගුවට පත්වීමෙන් පසු සැකකාර චීවරධාරියා පවසා ඇත්තේ විහාරාධිපති හිමියන් ඝාතන සැලසුම සකස් කළේ ඩුබායි සිටින තම පෙම්වතිය විසින් බවයි. විහාරාධිපති හිමියන් ඝාතනය කර ඩිෆෙන්ඩර් රථය සහ වැගන් ආර් රථය ලබා ගෙන ඒවා අලෙවි කර මුදල් ඩුබායි රටට එවන ලෙස පෙම්වතිය තමන්ට අවස්ථා කිහිපයකදීම තර්ජනය කළ බවයි.

විහාරාධිපති හිමියන් ඝාතනය කර ලබාගත් වාහන දෙකෙන් ඩිෆෙන්ඩර් ජීප් රථය එක්කෝටි තිස්පන් ලක්ෂයකට අලෙවි කර ඇති අතර එම මුදල් පෙම්වතියට යවා තිබේ. චීවරධාරියා වැගන් ආර් රථය ලක්ෂ 65 ක මුදලකට විකුණා එම මුදල් පෙම්වතියගේ දෙමව්පියන් සමඟ බෙදාගෙන තිබේ. ඩිෆෙන්ඩර් ජීප් රථය මිලදී ගත් පුද්ගලයා එම රථය තවත් පිරිසකට රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට විකුණා ඇති බව විමර්ශනවලින් හෙළි විය. එයට අමතරව විහාරාධිපති හිමියන් ඝාතනයට සම්බන්ධ ඩුබායි පෙම්වතියගේ මව සහ පියා සොයා පොලිස් කණ්ඩායම් තුනක් මෙම ලිපිය ලියන මොහොත වන විටත් විමර්ශන පවත්වාගෙන යයි.

සැකකාර චීවරධාරියා රැඳවුම් නියෝග මත දින හතක් තබාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය විසින් අවසර ලබාදී තිබේ.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත මීගමුව කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සමන් සිගේරා, පොලිස් අධිකාරී එරික් පෙරේරා යන මහත්වරුන්ගේ මෙහෙයවීමෙන් සීදුව පොලිස් ස්ථානාධිපති ධනුෂ්ක බණ්ඩාර ඇතුළු නිලධාරීහු මෙම සිද්ධිය පිළිබඳව විමර්ශන පවත්වති.

ගයාන් සමරසිංහ
පිංතුර – ආනන්ද නිශ්ශංක

advertistmentadvertistment
advertistmentadvertistment