ලොලීටා සුවිශේෂ ඇරඹුම

168

යම්කිසි පොතක ඇරඹුම සහ අවසානය වැදගත් අංග ද්විත්වයකි. පොතක් ඇරඹෙන ආකාරය එම පොත කියැවීමට පාඨකයා හට උත්තේජනයක් සපයන වග මා විශ්වාස කරන මතය යි. වෙසෙසින් ම ජනප්‍රිය ලේඛක ස්ටීවන් කිංග් ගේ ඇරඹුම් බොහෝමයක් ඔහුගේ පොත් කියැවීමට පාඨකයින් පොළඹවයි. උදාහරණයක් ලෙස, ඔහු රචනා කළ IT නම් කෘතියෙහි ආරම්භක වැකිය—“තවත් වසර විසි අටක් ගතවන තාක් අවසන් නොවන භීෂණය-එය සහතිකේට ම අවසන් වන්නේ නම්-මට කිව හැකි පමණින් හෝ මා දන්නා තරමින් ඇරැඹුණේ, පුවත්පත් කඩදහියකින් තැනූ කඩදහි බෝට්ටුවක් වැසි ජලය පිරුණු කාණුවක් වෙතට ඇදී යාමත් සමඟ ය”—පාඨකයා කතන්දරය වෙතට ඇදගනී. ඔහු එක් වතාවක පැවසුවේ ඔහු සාර්ථක ආරම්භක වාක්‍යයක් ලියන්නට මාස ගණන් ගතකරන බව ය. ඇරඹුම් වැකි ගැන මීට යම් කලකට ඉහත දී ද මා ලිපියක් ලියූ අතර, එහි ඇති බොහෝමයක් ඇරඹුම් වැකිවල නොතිබූ විශේෂත්වයක් මම ලොලීටා හි දකින වග මම එහි ම සඳහන් කර ඇත්තෙමි. එවැන්නක් ලිවීමට මා සිතුවේ මන්දැයි කියා පවසනු වස්, මෙම ලිපිය ලියන්නට සිතීමි. මෙය සඳහා ඡේද හතරකින් පමණක් යුතු, ලොලීටා හි පළමු පරිච්ඡේදය ම තෝරා ගන්නට ඉටා ගත්තෙමි.

“Lolita “light of my life” fire of my loins. My sin, my soul, Lo-lee-ta (the tip of the tongue taking a trip of three steps down the palate to tap, at three, on the teeth. Lo, Lee, Ta.” මෙය වනාහි, ලොලීටා හි පළමු ඡේදය යි. මෙහි පළමු වැකිය ‘Lolita, light of my life, fire of my loins.’ ය. පළමු වැකියෙන් ම, කතාවේ ප්‍රධානතම චරිතයක් වන ලොලීටා (ඩොලෝරස්) පාඨකයිනට හඳුන්වා දෙනු ලැබේ. එසේ සිදු කරනුයේ හම්බර්ට් හම්බර්ට් ය. ඇය ඔහු තුළ ජනිත කරන්නා වූ හැඟුම් සහ ඇය ඔහුගේ ජීවිතයට බලපෑම් කළ ආකාරය පිළිබඳ ව මෙම වැකියෙන් කියැවේ. ලොලීටා පිළිබඳ වචනයක් හෝ අසා නැති අයෙකුට වුව ද, මෙම වැකිය දුටු කෙණෙහි, ආදරය කතාව සඳහා තේමා වී ඇති වග වැටහේ. හම්බර්ට් ඩොලෝරස් ට සැබැවින් ම පෙම් කළායැයි කියා කිව නොහැකි වුව ද, ව්ලැදිමියර් නබොකෝ ලොලීටා ප්‍රේම කතාවකැයි පැවසීම ප්‍රතික්ෂේප කර, ඉන් ප්‍රේමයක් පිළිබඳ නොකියැවෙන බැව් පැවසුව ද, කතන්දරයේ මූලික තේමා ආදරය සහ උමතුමය සම්මෝහනය බැව් කිසිවෙකුට ප්‍රතික්ෂේප කර නොහැකි ය. මෙම වැකියේ නිතර නිතර යෙදෙන ශබ්දය ‘ල’ ශබ්දය ය. නිතර නිතර යෙදෙන වචනය, වැකිය අමතක කොට තනිව ගත් කල ‘මගේ’ යන අර්ථය දෙන “My” යන වචනය ය. දෙවැනි වැකිය “My sin, my soul” යන්න යි. එහි ද ‘මගේ’ යන වචනය නැවත නැවත යෙදී ඇත. ඔහු උමතු වී සිටින්නේ ලොලීටාගෙනි. ඩොලෝරස් හේස්ගෙන් නොවේ. ලොලීටා ඔහුගේ නිමැවුමක් මිස, සැබෑ ඩොලෝරස් ම ද? කතන්දරය කියන්නේ ද හම්බර්ට් නොවේ ද? ඔහු ලොලීටා ඔහුගේ ආත්මය – ප්‍රාණය ලෙස ද, පාපයක් – ඔහු පාපයෙහි යොදවන දෙයක් ලෙස දකින්නට ද පෙළඹේ. ඒ ආකාරයෙන් ලොලීටා කෙරේ ඔහු තුළ ඇති නුරා ඇල්ම, ආගමික දෙයක්, ආධ්‍යාත්මය පුබුදවන දෙයක් ලෙසට දකින්නට ඔහු පෙළඹේ.

“Lo-lee-ta(the tip of the tongue taking a trip of three steps down the palate to tap, at three, on the teeth. Lo. Lee. Ta.” අති මධුර පද ගැළපුම්වලින් යුතු නබොකෝ, ඉනික්බිති හම්බර්ට් ඇය සඳහා නිමැවූ ‘සුරතල්’ නාමය තෙපලන විට දී පුද්ගලයෙකු ගේ දිවෙහි තුඩ සරනා ආකාරය, එනම් වැදුම් දෙකකින් අනතුරු ව දිවෙහි තුඩඟ උඩුතල්ල දිගේ පහළට රූටා විත්, තෙවනුවට දත් ඇන්දට වැදෙන පරිදි, අප මනැසේ මවයි. ඔහු ඇගේ නම හා ළදරුවෙකු මෙන් සෙල්ලම් කරයි. එම වැකියේ ප්‍රධානතම ශබ්ද ද්විත්වය ‘ට’ සහ ‘ද’ ශබ්ද ය. Alliteration යන්න, එසේ නැතොත් අනුප්‍රාසය ඉන් ප්‍රකට වේ. පුන පුනා ‘ට’ ශබ්දය මුලට යොදන නබොකෝ අතින්, හඬ නඟා කියවන විට දී මියුරු නාද රටාවක් ඇති කරන්නට සමත් වැකියක් නිපද වේ. නබොකෝ වැකිය අවසන් කරන්නේ ද ඔහු දැමූ ‘සුරතල්’ නම ඛණ්ඩනය කරමිනි.

පළමු ඡේදය එතැනින් අහවර ය.

දෙවැනි ඡේදය ඇරඹෙන්නේ මෙසේ ය: “She was Lo, plain Lo, in the morning, standing four feet ten in one sock. She was Lola in slacks. She was Dolly at school. She was Dolores on the dotted line. But in my arms, she was always Lolita’.” ඩොලෝරස් හේස් නම් දැරිවිය ගේ නේකවිධ වූ ස්වරූප සඳහන් කරන්නට හම්බර්ට් පෙළඹේ. පාඨකයින් හට ලොලීටා දැරිවියක බව හඳුනාගන්නට පුළුවන් වන්නේ ද මේ වාක්‍ය මාලාවෙනි. එම මාලාවේ එන “…four feet ten in one sock…” නම් කොටස, කතන්දරය අනෙක් පස පෙරළන්නේ ය. එක් පාද ජාලාවක් පැළඳ ඇය සිටින්නේ මන්දැයි කියා පාඨකයා විමසන්නට විමසන්නට, හම්බර්ට්ගේ වැකියේ ස්වරූපය වෙනස් වේ. එය අර්ථකතනය කළ හැකි ක්‍රම කීපයක් ඇත. කතන්දරය දිගට ම කියවා යද්දී, එම වැකිය දෙස අප බලනා අයුරු වෙනස් විය හැක. ඇය ඇඳ සිටින ඇඳුම පැළඳුම, ඇය සිටින ස්ථානය අනුව ඇගේ නම වෙනස් වන අයුරු අප හා පවසන හම්බර්ට්, ඔහුගේ තුරුලේ ඇය ලොලීටා බව කියයි. දැන් ලොලීටා ඔහු සතු වස්තුවකි. එතැන ද ‘මගේ’ යන වචනය යෙදීමෙන්, ලොලීටා ඔහුගේ ම සම්මෝහනයේ එක්තරා කොටසක් බැව්, ඔහුගේ නිමැවුමේ කොටසක් බැව්, හම්බර්ට් තුළින් නබොකෝ පෙන්වයි. ලොලීටා ගේ සැබෑ නම ඩොලෝරස් ය. ලතින් බසින් එහි තේරුම “විඳවුම, වේදනාව” වන්නේ ය. ඇගේ ජීවිතය ගැන හම්බර්ට්ගෙන් කියවන්නන් හට දැනගන්නට ලැබෙන දෑ සලකා බලන කල, ඇගේ නමෙහි අර්ථය, ඇය හා තදින් ම බැඳී ඇති බැව් පෙනේ. ඇගේ පෙළපත් නාමය Haze ය. Haze යන්නෙහි අර්ථය නොපැහැදිලි බව ය; ව්‍යාකූලත්වය ය. එය ද කතන්දරයට මනාව ගැළපෙන්නකි. කෙසේ නමුත්, කතන්දරයේ සංඥාපනය කියවන විට වැටහෙන්නේ කතන්දරයේ සංස්කාරක වන John Ray Junior නම් ආචාර්යවරයා ඩොලෝරස් ගේ පෙළපත් නාමය වෙනස් කර ඇති බවකි. එය ජෝන් රේ ජූනියර් නම් මනඃකල්පිත චරිතය මඟින් ගෙන එන නබොකෝ, සැබෑ ඩොලෝරස් හම්බර්ට්ගෙන් වැසී ඇති බව එත්තු ගන්වයි.

දෙවැනි ඡේදය අවසන් ය.

තෙවැනි ඡේදය මෙසේ ය: “Did she have a precursor? She did, indeed she did. In point of fact, there might have been no Lolita at all had I not loved, one summer, a certain initial girl-child. In a princedom by the sea. Oh when? About as many years before Lolita was born as my age was that summer. You can always count on a murderer for a fancy prose style.” හම්බර්ට්, පූර්වගාමී දැරිවියක හඳුන්වාදෙන අවස්ථාව මෙය ය. ඔහු, ලොලීටා තම ජීවිතයට එන්නට හේතුව ලෙස දක්වන්නේ මෙම දැරිවිය ය. ඇය ඉදිරි පරිච්ඡේදයක දී පාඨකයින් හට හඳුනාගන්නට ලැබෙන ඇනබෙල් ලේහ් ය. මෙහි ඇති ‘In a princedom by the sea’ යන වැකිය, එඩ්ගා ඇලන් පෝ ගේ ප්‍රසිද්ධ කවියක් වන Annabel Lee හි එන In a kingdom by the sea යන වැකියට සම වාක්‍යයකි. ඇනබෙල් ලී යන කවිය එඩ්ගා ඇලන් පෝ, තම මුල් භාර්යාව වූ ඔහුගේ ඥාති සොයුරියකට ලියූ කවියකැයි පිළිගැනේ. ඔවුන් විවාහ වෙද්දී එඩ්ගා ඇලන් පෝ ට වයස අවුරුදු 27 ක් වූ අතර, ඇයට වයස අවුරුදු 13 ක් විය. එම කවිය, ඇගේ අකල් මරණය නිසාවෙන් දුකට පත් ව ඔහු ලියූවකි. එයින් නබොකෝ, ඇනබෙල් ලේහ් ගේ ඉරණම, ඇනබෙල් ලී ගේ ඉරණම එකට යා කරයි. එතැනින් අනතුරු ව පාඨකයින් හට දැකගත හැකි වන “About as many years before Lolita was born as my age was that summer,” යන වාක්‍යය, සාමාන්‍ය ඉංග්‍රීසි වැකි රටාවෙන් තරමක් බැහැර වූ වැකියකි. ගණිත ගැටලුවක් බඳු වැකියක් වන එයින් කියැවෙන්නේ ඇනබෙල් සහ හම්බර්ට් හමුවූයේ ලොලීටා ඉපදෙන්නට පෙර බවත්, ඔවුන් හමුවුණේ ඔවුන් දෙදෙනා හමුවෙද්දී ඔහු පසු වූ වයස තරම් කලකටත් පෙර බව ය. මෙම වැකිය කතන්දරයේ මුල් පරිච්ඡේදයේ දී එතරම් වැදගත් නොවුණත්, කෘතිය මඳක් කියවන විට, ලොලීටා කෘතියෙහි වැදගත් අංග මෙම වැකියෙන් නිරූපිත බැව් පැහැදිලි වේ. සිය මධුර පද ගැලපුම් පිළිබඳ ව තුටු වන හම්බර්ට්, එවැන්නක් මිනීමරුවකුගෙන් බලාපොරොත්තු විය හැකි බව පවසයි.

තෙවැනි ඡේදය අහවර ය.

අවසන් ඡේදය ඉතා කුඩා ය. එය මෙසේ ය: Ladies and gentlemen of the jury, exhibit number one is what the seraphs, the misinformed, simple, noble-winged seraphs, envied. Look at this tangle of thorns. දැන් අප ඔහුගේ ජූරිය බවට පත් වී ලා ය. ඔහු නිර්දෝෂී ද දෝෂී ද කියා තීරණය කළ යුත්තේ අප ය. නැවතත් එඩ්ගා ඇලන් පෝ ගේ ඇනබෙල් ලී හි එන කොටසකට සමාන කොටසක් මෙහි දැකිය හැකි වේ. එය “exhibit number one is what the seraphs, the misinformed, simple, noble-winged seraphs. envied’.” ය. ඇනබෙල් ලී හි එයට සමාන කොටස මෙසේ ය:’

With a love that the winged seraphs of Heaven

Coveted her and me’

The angels, not half so happy in Heaven,
Went envying her and me-
Yes!-that was the reason (as all men know,
In this kingdom by the sea)
That the wind came out of the cloud by night,
Chilling and killing my Annabel Lee.

උක්ත කොටස, ඇනබෙල් ගේ මරණය ගැන එඩ්ගා ඇලන් පෝ ලියූ අයුරු ය. නමුත්, ඔහු පවසන්නේ පළමු ප්‍රදර්ශන භාණ්ඩය දේවදූතයින් ඊර්ෂ්‍යා කළ දෙය බව ය. එඩ්ගා ඇලන් පෝ ගේ කවියට අනුව, එය ඇනබෙල් සහ පෝ අතර පැවති ආලය ය; හම්බර්ට් ට අනුව, ඇනබෙල් සහ ඔහු අතර ඔවුන් දරුවන් වූ කල පැවති ආලය යි. ඉනික්බිති, කටු අකුලක් එක්කාසු කරමින් නබොකෝ පළමු පරිච්ඡේදය ම අවසන් කරන අතර, “Look at this tangle of thorns,” කොටසින් කියැවෙන්නේ කුමක්දැයි කියා නිවැරදි ව ම පැවසීම තරමක් අපහසු ය. එයින් කියැවෙන්නේ ඇනබෙල් සහ ඔහු අතර පැවති ආලය ගැන විය හැක. එසේ නැතහොත් ලොලීටා ගැන විය හැක. එකට ගැටගැසී ඇති කටු අකුලක චිත්ත රූපයක් මවමින්, නබොකෝ ලොලීටා පෙති නැති රෝස මල් ගසකට සම කරනවා විය හැක. රෝස මල් ගසක පෙති ඉවත් කර පසු ඉතිරි ව ඇත්තේ කටු පමණක් නිසාවෙන්, ඔහු අතින් ලද පීඩා නිසා හම්බර්ට් ඇය කටු අකුලකට සම කරනවා විය හැක. හම්බර්ට් මල් බුදින සතෙකු යැයි සිතුවහොත්, ඔහු සාර්ථක ව එය ආහාරයට ගෙන ඇතැයි සිතුවහොත්, ඔහුට ඉතිරි ව ඇත්තේ කටු අකුලක් නොවේ ද? එනමුත්, එම වැකිය නිවැරදිව ම අර්ථකතනය කිරීම තරමක් උගහට ය.

ලොලීටා හි ඇරඹුම මා ප්‍රිය කරන්නේ මෙනිසාවෙනි.

● කාව්‍ය තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment