ලොවක් සසලකර අවසන් ගමන ගිය ඉංජිනේරු ප්‍රියන්ත

663

එම මරණීය සිදුවීම් මාලාව ආරම්භ වන්නේ ඉකුත් 03 දාය. ශිෂ්ට සම්පන්න සමාජය විසින් මුළුමනින්ම ප‍්‍රතික්ෂේප කළ, එපමණක් නොව ලෝකයම කම්පනයට පත්කළ මිනිස් ඝාතනයක් ලෙස එය නිමාවට පත්වන්නේ ශ‍්‍රී ලාංකික පුරවැසියකු වන ප‍්‍රියන්ත කුමාර දියවඩන මහතාගේ ජීවිතය අකල්හී මරණයට පත් කරමින්ය. ඔහු මරණයට පත්වන්නේ මිනිස් වෙස් ගත් අර්ධ ගෝත‍්‍රික නරුමයන් පිරිසකගේ වධ බන්ධනයන්ට ලක්වය. එපමණක් නොව එම මිලේච්ඡ ඝාතනය රූපගත කොට ලෝකය පුරා බෙදාහැරීමට තරම් එම නරුමයන් සැහැසි වී තිබීම හරහා අන්තවාදයේ කැත හිරිකිත ගෝත‍්‍රික ස්වරූපය යළි යළිත් ඉස්මතු කොට ලෝකයක් හමුවේ ප‍්‍රදර්ශනය කර අවසන්ය. කෲර අන්තවාදයේ සැබෑ මුහුණුවර කරලියට පැමිණෙන්නේ ඒ ආකාරයෙන්ය.

ප‍්‍රියන්ත කුමාර දියවඩන මහතාගේ ජීවන තොරතුරු පිළිබඳ පුවත් බොහෝමයක් ජනමාධ්‍ය හරහා මේ වනවිට නිරාවරණය කර අවසන්ය. පාකිස්ථානයේ සියල්කොට් නගරයේ පිහිටි ප‍්‍රමුඛ පෙළේ නිමි ඇඳුම් කර්මාන්ත ශාලා භූමියක ඝාතනය කරන ලද රොෂාන් කුමාර දියවඩන මහතාගේ ශරීර කොටස් ඉකුත් 06දා මෙරට රැගෙන ආ අතර ඔහුගේ අවසන් කටයුතු සිදුකරන ලද්දේ ඉකුත් 08 වන දිනය. එදින දහවල ගෙවී යෑමත් සමඟ ලෝකයේම අවධානයට ලක් වූ ‘මළගමක්’’ පිණිස අවශ්‍ය වටපිටාව නිර්මාණය වන අයුරු ගණේමුල්ල කැන්දලියද්දපාලූවට ගිය අපට දැකගත හැකි වූහ.

සුදු කොඩි, බැනර් ආදියෙන් සරසා තිබුණ ගණේමුල්ල කැන්දලියද්දපාලූව හා ඒ අවට දකින්නට ලැබුණේ පාළුවට ගිය ස්වභාවයක්ය. එම ශෝකී පාළු වටපිටාව තුළ සුදුවතින් සැරසුන විශාල පිරිසක් ප‍්‍රියන්ත කුමාර දියවඩන මහතාගේ නිවස වෙත ගමන් කරන ආකාරයක් දැකගත හැකි විය. තම ඥාතියාට, මිතුරාට, අසල්වැසියාට සමුදීම පිණිස පැමිණි එම සෑම මුහුණකම මෙතෙකැයි කිව නොහැකි වේදනාවක සේයාවක් රැදී ඇත. නිවසෙහි මැද සාලයේ තැන්පත් කොට ඇති ප‍්‍රියන්ත කුමාර දියවඩන මහතාගේ ශරීර කොටස් සහිත මුද්‍රා තබන ලද දෙණ අසල මදක් ගැවසෙන පැමිණෙන පිරිස එම ස්ථානයෙන් පිටව යන්නේ වනේ වන හතුරෙකුටවත් එවන් විපතක් නොවන ලෙස ඇසෙන නෑසෙන හඬින් මුමුනමින්ය.

ප‍්‍රියන්ත කුමාර මහතාගේ වියපත් මවට අනූව අකාලයේ මිය ගොස් සිටින්නේ ‘සුදු මහත්තයා’’ය. තම බාල පුතණුවන්ගේ දෙණ අසල එම වියපත් මව නගන ශෝකීය වැලපුම රිදුම් උපදවන සුළුය. මින් මතු ‘සුදු මහත්තයා’ කතා කරන්නේ නැත. දෙපියන් තදින් වසන ලද පෙට්ටියක් මත සැතපෙන තම පුතණුවන්ගේ මුහුණ අවසන් වරට දැක බලා ගැනීමට ඇයට අවස්ථාවක් නැත. කුරිරු අන්තවාදය එතරම් මිලේච්ඡය.

තම ආදරණීය තාත්තාව කිසියම් අන්තවාදීන් පිරිසක් විසින් මරාදමා ඇත. එම සිදුවීමෙන් කම්පනයට පත් ප‍්‍රියන්ත කුමාර මහතාගේ පුතණුවන් දෙදෙනා වරෙක තාත්තාගේ දෙණ අසලත් තවත් වරෙක අම්මා අසලත් ගැවසෙන ආකාරය දකින ඕනෑම කෙනෙකු තුළ උපදින්නේ එම දරු පැටවුන් දෙදෙනා පිළිබඳ අනුකම්පා සහගත හැඟීමක්ය. ප‍්‍රියන්ත කුමාර මහතාගේ මරණයෙන් මතු ඔවුන්ට මොන දේ හිමිවුණද ඉන් ඵලක් නැත. තාත්තා නැති අඩුව පිරවීම පිණිස ඒ කිසිවකින් ඵලක් නැත. තමන්ට වඩාත් හොඳ ලෝකයක් නිර්මාණය කිරීම පිණිස විදේශ ගත වූ තාත්තා තවත් හොරා කීපයකින් පස්යට මිහිදන්ව යෑමට නියමිතය. ගම්පහ බණ්ඩාරනායක විදුහලේ 9 ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන ප‍්‍රියන්ත කුමාර මහතාගේ වැඩිමහල් පුතණුවන්, 14 හැවිරිදි ගවිද් ෂෙනුක තම ආදරණීය තාත්තා පිළිබඳ මතකය මෙනෙහි කරන්නට වූවේ මේ ආකාරයෙන්ය.

‘‘මේ සිද්ධිය වෙන්න දවස් දෙකතුනකට කලින් තාත්තා අන්තිම වරට මට කතා කළා. මගෙයි මල්ලිගෙයි අධ්‍යාපන කටයුතු ගැන තමයි කතා කරන හැම වෙලාවකම පළමුවෙන් අහන්නෙ. තාත්තා අපිට නිතරම කිව්වේ හොඳින් ඉගෙන ගන්න කියලා තමයි. තාත්තා අවසන් වතාවට ලංකාවට ආවේ 2019 මාර්තු මාසයේ. මාසයක් විතර නිවාඩුව ගත කරලා තාත්තා නැවත රැකියාව පිණිස විදේශ ගතවුණා. ඒ වෙලාවේ තමයි අපි අන්තිමටම තාත්තාව දැක්කෙ. මේ වගේ දෙයක් ලෝකයේ වෙනත් තාත්තා කෙනෙකුට වෙන්න දෙන්න එපා කියලා තමයි මට කියන්න තියෙන්නෙ.’’

ලොවක් සසලකර අවසන් ගමන ගිය ඉංජිනේරු ප්‍රියන්ත

තම ආදරණීය තාත්තා පිළිබඳ මතකයත් ඔහුට සිදු වූ විපත සම්බන්ධවත් මාධ්‍යයට අදහස් දැක්වූ ප‍්‍රියන්ත කුමාර මහතාගේ වැඩිමහල් පුතණුවන් සඳහන් කර සිටින්නේ ඉහත සඳහන් අදහස්ය. තවමත් 14 හැවිරිදි වියෙහි පසුවන ඔහු යමක් කමක් පිළිබඳ අවබෝධයක් සහිත දරුවකු බවට පත්වන දිනක ලෝකය මෙතරම් නපුරුදැයි ඔහුගෙන්ම ප‍්‍රශ්න කරනු ඇත.

දරුවන් දෙදෙනෙකු සමඟ මෙලොව තනිවූ ප‍්‍රියන්ත කුමාර මහතාගේ බිරිඳ වන නිලූෂි දිසානායක මහත්මිය හට සියල්ල සිහිනයක් බඳුය. තම ආදරණීය සැමියාගේ අකල් මරණය විසින් ඇය මත ඇති කරන ලද කම්පනය ඇය ආයාසයෙන් යුතුව උහුලා සිටින්නීය. දරු පැටවුන් දෙදෙනා ඉදිරියේ නොහඩා සිටින්නට වෙර දරන ඇය ඉහළට ගත් හුස්මක් සුසුමක් කොට මුදාහැර තම ආදරණීය සැමියා පිළිබඳ මතකය මෙනෙහි කරන්නට වූවේ මේ ආකාරයෙන්ය.

‘‘මගේ මහත්තයා කියන්නෙ ඉතාමත් ගුණයහපත් කෙනෙක්. එහෙම නැති කෙනෙකුට පාකිස්ථානය වගේ රටක වසර 11 ක් රස්සාව කරන්න බෑ. ඒ රටේ ආගම, සමාජ වටපිටාව, මිනිස්සුන්ගෙ හැසිරීම් රටාව, ඔය හැම දෙයක් පිළිබඳවම එයාට හොඳ අවබෝධයක් තිබුණා. ඒ වගේම තමන්ගෙ රස්සාව මොකක්ද, ඒකෙ තියෙන වගකීම මොන වගේද කියලා හොඳ අවබෝධයක් එක්ක තමයි එයා නිතරම කටයුතු කළේ.’’

‘‘මහත්තයා මුලින්ම ඒ රටේ රැකියාවක් පිණිස ලංකාවෙන් පිටත්වෙලා ගියේ 2010 වසරේ සැප්තැම්බර් මාසයේ. හැම අවුරුද්දකම වගේ එයා නිවාඩුව පිණිස ලංකාවට එනවා. ඊට අමතරව හැමදාම වගේ දුරකථනයෙන් මට කතා කරනවා. අම්මා ගැන, දරුවො දෙන්න ගැන නිතර නිතර විමසන එක එයාගෙ පුරුද්දක්. ඔය සිද්ධිය වෙන දවසට ඉස්සරින්දා හවස මත්තයා මට කතා කළා. අපේ විස්තර අහල මම හෙටත් කතා කරන්නම් කියලා තමයි අවසාන වශයෙන් එයා මට කිව්වෙ. නමුත් පහුවැනිදා එයාට කතා කරන්න ඉඩ ලැබුණේ නෑ. එදා දවල් තමයි මගේ මහත්තයව ඒ රටේ පිරිසක් විසින් පහරදීල මරණයට පත්කරලා තියෙන්නෙ. ඒ අවාසනාවන්ත සිදුවීමේ වීඩියෝ එක මම දැක්කා. නමුත් ඒක දිහා බලා ඉන්න පුළුවන් කමක් නෑ. ඒ තරම් කුරිරු ලෙස ඒ පහරදීම් සිද්ධ කරනවා. දරුවො දෙන්නටවත් ඒක පෙන්වන්න පුළුවන් කමක් නෑ. මුළු ලෝකයම ඒ සිද්ධියෙදි අපිත් එක්ක දුක් වණා. මම බිරිඳක් මවක් විදිහට රටවල් දෙකෙන්ම ඉල්ලා සිටිනවා මේ වගේ විපතක් තවත් කෙනෙකුට වෙන්න දෙන්න එපා කියලා…’’

ප‍්‍රියන්ත කුමාර මහතාට මෙන්ම ඔහුගේ වැඩිමහල් සහෝදරයා වන කමලසිරි දියවඩන මහතාටද පාකිස්ථානය යනු නුහුරු රටක් නොවීය. කමලසිරි දියවඩන මහතාද කලක් තිස්සේ එරට සේවය කළ පුද්ගලයෙක්ය. ඔහු මීට මාස දෙකහමාරකට පමණ පෙර මෙරටට පැමිණ ඇත. තම සහෝදරයාගේ මරණය සම්බන්ධයෙන් වැදගත් තොරතුරු රැසක් ඔහු සතුව ඇත.

‘‘මගේ මල්ලි ඔය කියන ඇඟළුම් කම්හලේ සාමාන්‍යාධිකාරී විදිහට තමයි රැකියාව කළේ. ඔහුගේ අනු දැනුම මත තමයි කර්මාන්ත ශාලාවෙ සියලූම වැඩ කටයුතු සිද්ධ වෙන්නෙ. මොකද මගේ මල්ලිගෙ මහන්සියෙන් තමයි ඒ කර්මාන්ත ශාලාව ජාත්‍යන්තර මට්ටමට රැගෙන යන්න පුළුවන් කම ලැබුණේ. ආයතනයේ හිමිකරු ඒ බව හොඳින්ම දන්නවා. මල්ලිගෙ රාජකාරි ජීවිතය ගැන ආයතනයේ හිමිකරු ලොකු පැහැදීමක හිටියෙ. ඔහු ඒ රටේ නැති වෙලාවක තමයි මේ අවාසනාවන්ත සිද්ධිය වෙන්නෙ.

මල්ලිගේ ඝාතනයත් එක්ක පෝස්ටර් ගැල වූ කතාවක් යනවා. ඒක සම්පූර්ණයෙන්ම බොරුවක්. ඔය ෆැක්ටි‍්‍රයේ එක තට්ටුවක් නිසි පරිදි පවිත‍්‍ර කරල තිබිලා නෑ. ඒ සම්බන්ධව මල්ලි සේවකයකුට දොස් කියලා තියෙනවා. ඒ පුද්ගලයා තමයි තවත් අන්තවාදීන් පිරිසක් එක්ක එකතු වෙලා මේ පහරදීම සිද්ධ කරලා තියෙන්නේ. කුරාණය සහිත පෝස්ටර් ගැලවූ කතාව බොරුවක්.

ලොවක් සසලකර අවසන් ගමන ගිය ඉංජිනේරු ප්‍රියන්ත

මැෂින් 300 ක් තිබුණ ආයතනයක් මැෂින් 2500 ක් දක්වා දියුණු වුණේ මල්ලිගෙ නායකත්වයෙන්. පාකිස්ථාන් ක‍්‍රිකට් කණ්ඩායමට නිල ඇඳුම මහන්නෙත් මේ ආයතනයෙන්. ඒ අයාතනයට තිබුණ කීර්ති නාමයත් මේ සිද්ධියත් එක්ක දැනටමත් විනාශයට පත්වෙලා ඉවරයි.’’

පකිස්ථානයේ පිහිටි ප‍්‍රධාන පෙළේ නිමි ඇඳුම් කර්මාන්ත ශාලාවේ කීර්ති නාමය විනාශ කොට ඇත්තේ අන්තවාදී මිනීමරුවන් පිරිසක් විසිනි. ප‍්‍රියන්ත කුමාර දියවඩන මහතා යනු කලක් එම ආයතනය ජාත්‍යන්තර කීර්තියට පත්කිරීම පිණිස කාලය, ශ‍්‍රමය හා තමන් සතු දැනුම නිර්ලෝභීව ප‍්‍රදානය කළ කීර්තිමත් පුද්ගලයකි. එපමණක් නොව කිසිවෙකුටත් හිරිහැර නොකළ නිරායුධ මිනිසෙකි. පොලූ මුගුරු ආදියෙන් පහරදී ඝාතනය කොට මහමඟ පුළුස්සා දමන ලද්දේ එහෙව් මිනිසෙකි. එම මිනිස් ඝාතනය පිළිබඳව නීතිය තදින් ක‍්‍රියාත්මක කරන පකිස්ථානු රජය අදාළ සිදුවීම සම්බන්ධව මෙරටට සිය කනගාටුව ප‍්‍රකාශ කර සිටින්නේ එබැවිනි. එපමණක් නොව ප‍්‍රියන්ත කුමාර දියඩවන මහතාගේ මරණය සම්බන්ධයෙන් අතිශය කම්පනයට පත් එරට ප‍්‍රධාන පෙළේ අක්ෂි ශල්‍ය වෛiවරයකු වන නියාස් බ්‍රෝහි මහතා සඳහන් කර සිටින්නේ එරට වැසියන්ට ලෝකය දැකබලා ගැනීම පිණිස ශ‍්‍රී ලාංකිකයන් විසින් තිස්පන්දහසක් ඇස් ලබාදුන් බවත් එයින් නිසි පෙනුමක් ලබා ගැනීමට පාකිස්ථානුවන් අපොහොසත් වී ඇති බවත් මෙම අවාසනාවන්ත සිදුවීම හරහා ඔප්පු වී ඇති බවය.

අන්තවාදයට ඇස් නැත. අන්තවාදී මත දරන්නන් ආගමික මතිමතාන්තර විසින් අන්ධභාවයට පත් කොට ඇත. එමෙන්ම ඔවුන්ට හිතක් පපුවක් නැත. ඒ බව ප‍්‍රියන්ත කුමාර දියවඩන මහතාගේ මරණය හරහා යළි යළිත් ඔප්පු වෙමින් ඇත. වසර 10 කට අධික කාලයක් තමන්ගේ නොවන රටක සේවය කළ ඔහුට අවාසනාවන්ත ලෙස එහිම මිය යෑමට සිදුවන්නේ එබැවින්ය.

ගණේමුල්ල පොල්හේන සුසාන භූමියේ අලූත කපන ලද වලක් තුළ ඉකුත් 08 දා සඳහටම මිහිදන්ව ගිය ප‍්‍රියන්ත කුමාර දියවඩන මහතා (අවු.49) සිය ජීවිතයෙන් ඒ බව කියා දී ලෝකයෙන් නික්ම යන්නේ දහසක් සෝ සුසුම් සැදෑ අවකාශයට මුසු වූ පාළු සෝබර සැදෑවකය.

රුවන් ජයවර්ධන
ඡායාරූප –
කමල් බෝගොඩ,
නිමල් දයාරත්න,
තුෂාර අතපත්තු

advertistmentadvertistment
advertistmentadvertistment