ලොවට විවර කළ ආර්ථිකයක ගොවීන් කෘෂි ව්‍යවසායකයන් කරන්නට සිහින මැව් ලලිත්

213

(අප්‍රේල් 23 වැනි දිනට යෙදෙන හිටපු අමාත්‍ය දිවංගත ලලිත් ඇතුලත්මුදලි මහතාගේ 31 වැනි ගුණානුස්මරණය වෙනුවෙන් රචිත ලිපියකි)

යුද ගිනි දැල් නිවන්නට උතුරු නැගෙනහිර ක්‍රියාන්විත වෙත යමින් රණවිරුවන්ට ධෛර්ය හා නායකත්වය ද ලබා දුන් ලලිත් ඇතුලත්මුදලි මහතා මහපොළ වැනි වැඩසටහන් දියත් කරමින් විශ්වවිiාල අධ්‍යාපනය දිරිගන්වා දැයේ දරුවන්ට එදා දුන් ශක්තිය අදට ද ඔහුගේ ගුණ සුවඳ සමගින් අමරණීය වන්නේය. මායිම් ගම්මානවල ජීවිත රැකදීමට ද එතුමා හැම විටම උත්සුක විය. වරාය සංවර්ධන ඉතිහාසයේ ද එතුමාගේ නාමය සදානුස්මරණීයව පවතී.

පුරාතනයේ සිට ශ්‍රී ලාංකේය ආර්ථිකයට කෘෂිකාර්මික ක්ෂේත්‍රය දක්වන දායකත්වය සුවිශේෂී වේ. ඉවත දමන දණ්ඩ වුව ද දලු ලා යළි පැළවෙන සශ්‍රීක භූමියත්, කෘෂිකර්මාන්තයට හිතකර දේශගුණයත්, පුරාණ රජ දරුවන් ගොඩනැඟූ මහා වාපි ශිෂ්ටාචාරයත් වැවයි – දාගැබයි – ගමයි – පන්සලයි යන සංකල්පයෙන් සුපෝෂණය වූ ජන සංස්කෘතියත් ඊට ඉවහල් වන ප්‍රධාන කාරණාවන් බව නොරහසකි. මෙනිසාවෙන්ම මෙරට ස්වයංපෝෂිත කෘෂි ආර්ථිකයක් පැවැති බව පෙරදිග ධාන්‍යාගාරය ලෙස සම්භාවනාවට ලක්වීමෙන්ම පැහැදිලි වේ.

එකල මෙරට පැවැතියේ වී වගාව ප්‍රධාන කර ගනිමින්, ඊට අමතරව අතිරේක ආහාර බෝග වගාවට පමණක් සීමා වූ යැපුම් කෘෂිකර්මාන්තයකි. නමුත් යටත්විජිත පාලනය යටතේ මෙරටට තේ, කෝපි, සින්කෝනා වැනි වැවිලි බෝග හඳුන්වාදීමත් සමඟ වාණිජ කෘෂිකාර්මික අර්ථ ක්‍රමයක් රාජ්‍ය අනුග්‍රහය යටතේ නිර්මාණය විය. මෙහි ප්‍රතිඵලයක් ලෙස බිඳවැටුණු දේශීය කෘෂිකර්මාන්තය නඟාසිටුවීමට නිදහසින් පසු ගොවි ජනපද සහ බහුකාර්ය යෝජනා ක්‍රම බිහි විය. ඒ තුළින් නව වගා බිම් බිහි වීමත්, හැටේ දශකයේ මෙරට ක්‍රියාත්මක වූ වගා සංග්‍රාම ව්‍යාපාරයත් නිසා මෙරට කෘෂි නිෂ්පාදනයේ සැලකිය යුතු වර්ධනයක් සිදු විය. මේ කාලවකවානුව වන විට ගෝලීය වශයෙන් ආහාර සඳහා වූ ඉල්ලුම සපුරාලීමට නිෂ්පාදනය ප්‍රමාණවත් නොවීම නිසා වූ අර්බුදය නිරාකරණය සඳහා ”හරිත විප්ලවය” ක්‍රියාවට නැංවුණි. විද්‍යාත්මක පර්යේෂණ තුළින් ඉහළ අස්වැන්නක් සහිත බීජ වර්ග හඳුනාගැනීම හා ප්‍රචලිත කිරීමත්, කෘෂි රසායනික නිපදවීම හා ඒවා භාවිතය ඉහළ යෑමත්,කෘෂි ආයතනික හා සේවාවන්හි සංවර්ධනයත් යන අංශවලින් හරිත විප්ලවය සමන්විත විය. නමුත් 70 දශකයේ මුල් භාගයේ මෙරට ක්‍රියාත්මක වූ සංවෘත ආර්ථික ක්‍රමය නිසාවෙන් හරිත විප්ලවයේ ප්‍රතිලාභ නියමාකාරයෙන් අත්විඳින්නට අපට හැකි වූයේ 1977න් පසුවය.

ජේ. ආර්. ජයවර්ධන රජයේ වෙළෙඳ සහ නාවික කටයුතු අමාත්‍ය ධුරයට පත් ලලිත් ඇතුලත්මුදලි මහතාගේ මූලිකත්වයෙන් විවෘත වෙළෙඳපොළ ආර්ථික ක්‍රමයක් හඳුන්වාදීමත් සමඟ මෙරට සෑම ක්ෂේත්‍රයකම හදිසි වර්ධනයක් සිදුවිය. එය කෘෂිකර්ම ක්ෂේත්‍රයට ද අදාළ විය. එහිදී ආහාර ද්‍රව්‍ය නිදහසේ ආනයනය කිරීම සඳහා අවසර දීම තුළ වී හැරුණුකොට අනෙකුත් ආහාර බෝග නිෂ්පාදනයෙහි තාවකාලික පසුබැසීමක් දක්නට ලැබුණු නමුත්, වෙළෙඳ අමාත්‍යවරයා වශයෙන් ලලිත් ඇතුලත්මුදලි මහතාගේ වූ ශූර බුද්ධිය නිසාවෙන් තීරු බදු ක්‍රමය හරහා එම ආහාර ද්‍රව්‍ය ආනයනයට යම් සීමා පැනවීම හරහා වසර 3-4ක කාලයක් තුළ එම වගාවන් පූර්ණ වශයෙන් යථා තත්ත්වයට පත් විය.

ලලිත් ඇතුලත්මුදලි මහතා කෘෂිකර්මාන්තයට අසීමිත ලෙස ඇලුම් කළ පුද්ගලයෙකි. ඔහුගේ ගිරිඋල්ලේ පිහිටි වත්තක විවිධ වගාවන් සිදුකිරීමටත්, වගා ක්‍රම අත්හදා බැලීමටත් එතුමා නිරන්තරයෙන් උත්සුක විය. 1989දී කෘෂිකර්ම, ආහාර සහ සමුපකාර අමාත්‍ය ධුරයට පත්ව එම අමාත්‍ය ධුරය හෙබවූ කෙටි කාලසීමාව තුළ කෘෂිකර්ම ක්ෂේත්‍රයේ අභිවෘද්ධිය වෙනුවෙන් එතුමා ඇප කැපවී වැඩ කටයුතු කළේය. එතුමන් කුරිරු ලෙස ඝාතනය වන අවස්ථාවේදී ඔහුගේම අත් අකුරින් සකස් වූ මූලික ප්‍රතිපත්ති හා මාර්ගෝපදේශ අන්තර්ගත ප්‍රතිපත්ති ලේඛනයක් ඔහුගේ මේසය මත විය. රටේ ඉදිරි දැක්ම වෙනුවෙන් වැදගත් වන සෑම ක්ෂේත්‍රයක්ම ආවරණය වන පරිද්දෙන් රචිත එම ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ කෘෂිකාර්මික සංවර්ධනය සඳහා වන නව උපාය මාර්ග පිළිබඳ යථාර්ථවාදී ප්‍රායෝගික ප්‍රතිපත්ති මාලාවක් අන්තර්ගත විය. එහි වූ ප්‍රවේශයන් හා ක්‍රමෝපායන් දශක තුනක් ඉක්බිති වර්තමානය වනවිට ක්‍රියාවට නැංවෙමින් තිබීම තුළ ලලිත් ඇතුලත්මුදලි මහතා තුළ වූ දූරදර්ශී චින්තනය මොනවට පැහැදිලි වේ.

‘වෙළෙඳපොළ බලාගෙන ගොවිතැන් කිරීම‘ යන්න මෙම ප්‍රතිපත්ති මාලාව තුළ ඉස්මතු කර දක්වා තිබේ. එහිදී වර්තමානයේ ජාතික ආර්ථිකයට මහත් දායකත්වයක් සපයන කෘෂිකාර්මික නිෂ්පාදන අපනයනය කෙරෙහි එතුමා දැඩි අවධානයක් යොමු කර ඇත. ඊට ප්‍රථමයෙන්ම කෘෂි නිෂ්පාදන සඳහා අපනයන සහ දේශීය වෙළෙඳපොළ පිළිබඳ අධ්‍යයනයක් ද එවැනි වෙළෙඳපොළ් සඳහා එම නිෂ්පාදන නිපදවීමට අවශ්‍ය පර්යේෂණ හා ව්‍යාප්ති උත්සාහයන් සිදු විය යුතු බවත් දක්වා ඇත. තවද කෘෂි නිෂ්පාදන ක්‍රම සකස් වීම විවිධ දේශගුණික කලාපයන්ට ගැළපෙන පරිදි ලාභදායිත්වය, ආයෝජනය පියවා ගැනීම, අපනයනය සඳහා ඇති හැකියාව ආදී කරුණු පදනම් කරගෙන සිදු විය යුතු බව එම ප්‍රතිපත්ති ලේඛනයේ අවධාරණය කර ඇත. එහි අන්තර්ගත තවත් සුවිශේෂී කරුණක් වූයේ විසිතුරු පැළ අපනයනය සඳහා අනාගතයේ විභවතාවයක් ඇති විය හැකි බවට එතුමා අනුමාන කර තිබීමත් ඒ සඳහා වූ නිෂ්පාදන සහනාධාර වැඩි කළ යුතු බවත් යෝජනා කර තිබීමත්ය. 1992 දී එතුමා තුළ වූ එම දැක්ම වර්තමානය වනවිට යථාර්ථයක් වෙමින් විසිතුරු පැළ අපනයනය තුළින් මෙරට ජාතික ආර්ථිකයට සැලකිය යුතු දායකත්වයක් හිමිව තිබීම විස්මයජනකය.

සාම්ප්‍රදායික සීමාවන් අතික්‍රමණය කර ගොවියා කෘෂි ව්‍යවසායකයකු කිරීම ලලිත් ඇතුලත්මුදලි මහතාගේ දර්ශනය විය. ගොවීන් එක් බෝගයක් වගා කරන ක්‍රමයෙන් ඈත් කොට බෝග විවිධාංගීකරණයටත් වාණිජමය පදනමක් මත ගොවිතැන් කරන ක්‍රමවලටත් යොමු කළ යුතු අතරම ගෙවතු වගා කරන්නන් පවා වෙළෙඳපොළ බලාගෙන නිෂ්පාදනයට පුරුදු කළ යුතුය යන්න ඇතුලත්මුදලි මහතාගේ දැක්ම විය. අපනයන නිෂ්පාදන ගම්මාන සහ කෘෂිකාර්මික ඵලදායිතා ගම්මාන මෙරට කෘෂිකර්මාන්තය මෙන්ම ගොවි ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමෙහිලා එතුමන් ඉදිරිපත් කළ නැවුම්, ප්‍රගතිශීලී සංකල්පයක් විය.

ග්‍රාමීය නිෂ්පාදන සැලසුම් සංවර්ධනය උදෙසා වූ මාර්ගයේ වැදගත් පියවරක් ලෙස අපනයන නිෂ්පාදන ගම්මාන සැලකිය හැකිය. ගම් මට්ටමින් කරන නිෂ්පාදන එම ගම්මාන මගින් අපනයන වෙළෙඳපොළට හඳුන්වා දීම ද අපනයන වෙළෙඳපොළත් ග්‍රාමීය සැපයුම්කරුත් අතර ඇති කරගන්නා ව්‍යාපාරික බැඳීමකදී එම දෙපාර්ශ්වයේ සම්බන්ධතා පුරුක හැටියට අපනයන නිෂ්පාදන ගම්මානයන් ක්‍රියා කිරීමත් මෙම සංකල්පයේ වූ සුවිශේෂිතාවය විය.මෙම අපනයන නිෂ්පාදන ගම්මාන මගින් ඵලදායිත්වය, නිෂ්පාදනයන්හි ගුණාත්මක භාවය පවත්වාගෙන යෑමේ වැදගත්කම, ව්‍යාපාර කළමනාකාරිත්වය, ව්‍යවසායකත්වය ආදී කරුණු ග්‍රාමීය ප්‍රජාවට හඳුන්වා දීම තුළ ඔවුන් දැනුමින් හා අත්දැකීම්වලින් සන්නද්ධ කිරීම ද අරමුණු කොට තිබිණි. ගොවි ජනතාවට වෙළෙඳපොළ මෙහෙයවීමට හැකි වන අයුරින් ග්‍රාමීය මට්ටමෙන් ඒකාබද්ධ සංවිධාන ව්‍යුහයක් නිර්මාණය කිරීමත්, වැය ලබාගැනීමට හැකි වන අයුරින් මෙන්ම වැඩි ඵලදායිතාවක් හා උපරිම ආදායමක් සහතික කරන පදනමක් මත ගොවිතැන හා අලෙවිය සංවිධානය කිරීමට හැකි වන අයුරින් ගොවි ජනතාව සමුපකාර සමිති තුළ සංවිධානය කිරීමත් කෘෂිකාර්මික ඵලදායිතා ගම්මාන සංකල්පයේ ප්‍රධාන හරය විය.

ලලිත් ඇතුලත්මුදලි මහතාගේ මෙම සංකල්පයන් වර්තමානය වනවිට විවිධ ව්‍යාපෘතීන් හරහා ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවෙමින් තිබීම තුළ ‘කවුද හරි නොව කුමක්ද හරිදැයි සොයමු‘ යන උධෘත පාඨය මතම පදනම් වූ එතුමන්ගේ යථාර්ථවාදී ප්‍රායෝගික දෘෂ්ටිය සක්සුදක් සේ පැහැදිලි වේ. රටට බත සපයන්නට දහදිය වගුරුවන ගොවි ජනතාව ජීවිත කාලයම කුඹුරට, හේනට සීමා නොකර ලොවට විවර කළ ආර්ථිකයක කෘෂි ව්‍යවසායකයන් ලෙස ජාත්‍යන්තර වෙළෙඳපොළ අතික්‍රමණය කරනු දකින්නට ලලිත් ඇතුලත්මුදලි මහතාගේ වූ සිහිනය, රුදුරු වෙඩ් උණ්ඩයකින් හමාර නොවන්නට වර්තමානය වනවිට ගොවීන් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ගොවි රජුන් වී මෙරට ආර්ථිකයේ ගාමක බලවේගයක් වීම අතිශෝක්තියක් නොවනු ඇත.

● එම්.ඒ. මහේෂ් ලක්මාල් බණ්ඩාර
නියෝජ්‍ය ලේකම්- ලිබරල් තරුණ සංසදය

advertistmentadvertistment
advertistmentadvertistment