ලොව ප්‍රථම සිංහල සංවිධානය ආරම්භ කල ගාමිණී ‘දිවයින’ට කතා කරයි

389

එංගලන්තයෙන් දුටුගැමුණු කෙනෙක් ඇවිත්….
සිංහල බල මණ්ඩලය ආරම්භ කරලා කොළඹ සිට

අනුරාධපුරය හරහා නුවරට රථ පෙළපාලියක් ගියා…
ලෝකය පුරා රටවල කොටි සාමාජිකයන් යුද පුහුණුව ලබන බව

ප්‍රථම වරට මෙරටට දැනුම් දුන්නේ මමයි…

අදටත් ඒ හඬ ගාම්භීරය. සිංහල ජන දුක හමුවේ දැනුදු ඒ හදවත කම්පනයට පත් වේ. හිරු නොබසින අධිරාජ්‍යයේ සැපවත් ජීවිතයක් ගත කිරීමට අවස්ථාව තිබියදී, ඔහු මෙරට හුදෙකලා ජීවිතයක් ගත කරනුයේ දුක්විඳින සිංහල ජනතාවට සරණක් වීමටය. හේ අන් කිසිවෙක් නොව ඉතිහාසයේ ප්‍රථම වරට එංගලන්තයේ ‘සිංහල සංවිධානය’ සහ මෙරට ‘සිංහල බල මණ්ඩලය’ ගොඩනැගූ ගාමිණී කීර්තිචන්ද්‍ර ය. අද ඔහු වියපත්ය. වයස අවුරුදු අසූපහකි. එහෙත් ඔහු සමාජයට සේවය කිරීමේදී භද්‍ර යෞවනයෙක් වැනිය. පසුගිය දිනෙක සුන්දර හැන්දෑවක ඒ සොඳුරු මිනිසා සමග සුහද පිළිසඳරක නිරතවීමට මට අවස්ථාව උදා විය. හෝරා දෙකකට වැඩි කතාබහේදී දුක දිනා ජීවිතය ජයගත් ආකාරයත්, නිදා සිටි සිංහල ජාතිය අවදි කළ ආකාරයත් හේ කෙටියෙන් විස්තර කළේය. දැන් අපි ඔහුගේ හඬින්ම ඒ කතාව ඔබට කියන්නෙමු.

“මම ඉපදිලා තියෙන්නෙ 1939 පෙබරවාරි මාසෙ 14 වැනිදා. උපන් ගම මොරටුව. ජීවත් වුණේ වැල්ලවත්තේ. අපේ පවුලේ සහෝදර, සහෝදරියෝ දහතුන්දෙනයි. ගැහැනු දරුවො හයදෙනයි. පිරිමි දරුවො හත්දෙනයි. සහෝදර, සහෝදරියන් තුන්දෙනෙක් පුංචි සන්දියේම මිය ගියා. මම තමයි පවුලේ වැඩිමලා. මගේ තාත්තා මෝටර් රථ කාර්මිකයෙක්. තාත්තා වැඩ කළේ තලවකැලේ ගරාජ් එකක. මාසෙකට වතාවක් ගෙදර ආවේ. අපිව රැක බලා ගන්නවා හැර අම්මට රස්සාවක් කරන්න වෙලාවක් තිබුණේ නෑ…

ඒ කාලේ අපි බොහොම දුප්පත්. වැල්ලවත්තේ ජීවත් වුණේ ගෙවල් පේළියක. එක කාමරයයි, පුංචි ඉස්තෝප්පුවයි. කුස්සිය මඩුවක්. පවුලේ සේරටම නිදාගන්න කාමරය ඉඩ මදි. ඒ වගේම තාත්තා ගරාජ්වල වැඩ කරලා ගන්න පඩිය අපේ පවුල නඩත්තු කරන්න ප්‍රමාණවත් වුණේ නෑ. සමහර දවස්වල රෑට අපිට කන්න නෑ. තියෙන හාල්වලින් කැඳ හදලා අපිට දීලා අම්මා වතුර බීලා නිදාගත්තා. අම්මගේ එකම අභිප්‍රාය වෙලා තිබුණේ තාත්තා එවන සල්ලි පරිස්සම් කරගෙන අපිට හොඳට උගන්වන්න. නංගිලා, මල්ලිලා සේරම හොඳ පාසල්වලට ඇතුළත් කරගත්තා. මම අධ්‍යාපනය හැදැරුවේ බම්බලපිටිය ශාන්ත පීතර් විද්‍යාලයේ. නංගිලා ඉගෙන ගත්තෙ විශාඛා විද්‍යාලයේ.

ලොව ප්‍රථම සිංහල සංවිධානය ආරම්භ කල ගාමිණී 'දිවයින'ට කතා කරයි

‘අපේ තාත්ත, අම්ම අපිට ඉගැන්නුවේ නෑ. මාව ඉස්කෝලෙ යැව්වා නම් අද මම උසස් තැනක ඉන්නවා. මට වෙච්ච දේ ඔයලාට වෙන්න දෙන්නෙ නෑ…’ අපෙ අම්මා මන්තරයක් ජප කරනවා වගේ නිතර එහෙම කියමින් අපිට උගන්වන්න පුදුම විදිහට උනන්දු කළා. ඒ වගේම අපේ අම්මා හැමදාම උදේ පාන්දර හතරට අවදි වෙලා අපි සේරම අවදි කරලා එළඟි තෙල් පහනක් පත්තු කර අල්මාරිය උඩින් තියලා වඳිනවා. උදේ පහ වෙනකොට මම යාළුවො කිහිපදෙනෙක් එක්ක වෙරළට ගිහින් ගල්කිස්සෙ වෙරළට දුවලා මුහුදෙන් නානවා. එන ගමන් රෝයල් බේකරියට ගිහින් පරණ පාන් අරගන්නවා. නංගිලා, මල්ලිලා, කෑමට ඉස්කෝලෙට අරගෙන ගියේ පරණ පාන්. සමහර දවස්වලට ඉස්කෝලෙ ගිහින් එනකොට නංගිලා අඬනවා. පරණ පාන් කනකොට ළමයි ඔච්චම් කරලා. ඒත් මට කවුරුවත් අනං මනං කියන්න ආවේ නෑ. පුංචි කාලේ ඉඳලා මම හිටියේ චණ්ඩි පාට් එකෙන්. කවුරුහරි කඩප්පුලි කතාවක් කිව්වොත් ඒ මොහොතේම ගහනවා. හරිම මුරණ්ඩුයි. දඩබ්බරයි. මගේ නැති බැරිකම් වහ ගත්තෙ ගණන්කාරකමෙන්. ඒ වගේම මම ඉස්කෝලෙ නොකරපු ක්‍රීඩාවක් නෑ. හොඳ ක්‍රිකට. නංගිලා, මල්ලිලත් ක්‍රීඩා කළා. ඒත් අපි සේරම හොඳට ඉගෙන ගත්තා…

මම ඉගෙන ගත්තෙ ඉංග්‍රීසි මාධ්‍යයෙන්. ගණිත අංශයෙන් උසස් පෙළ ඉහළින්ම සමත් වුණා. නංගිලා, මල්ලිලා විශ්වවිද්‍යාලවලට තේරුණා. මම විශ්වවිද්‍යාලයට ගියේ නෑ. ක්‍රීඩා කරලා තිබුණු නිසා පිටකොටුවේ වෝකරේන් සන්ස් ආයතනයේ රැකියාවට ගියා. කොන්ත්‍රාත් සමාගමක්. එංගලන්ත කොම්පැණියක්. දක්‍ෂතාවයට වඩා මම උනන්දුවෙන් වැඩ කරගෙන ගියා. ඒ වගේම ආයතනයේ ප්‍රධාන එංගලන්ත ජාතිකයන් දෙතුන් දෙනාම අපිත් එක්ක රගර් සෙල්ලම් කළා. ටික කාලයක් යනකොට හොඳ යාළුවො බවට පත් වුණා. ඒ සමඟ දේශීය කොන්ත්‍රාත් සමාගම් කිහිපයක්ම ආරම්භ වුණා. ඒ සමාගම් අඩුවට ටෙන්ඩර් ගන්නකොට අපේ සමාගමට වැඩ නැතිව ගියා. අන්තිමේ අපේ ආයතනයේ කළමනාකාරිත්ව කොම්පැණිය වහලා එංගලන්තයට යන්න තීරණය කළා…

ගාමිණිත් අපිත් එක්ක එංගලන්තයට යන්න එනවද? ආයතනයේ ප්‍රධාන සුදු ජාතිකයා මගෙන් ඇහුවා…

‘හරි මම ලෑස්ති…’ හිතන, පතන කිසිම දෙයක් නෑ… ඒ මොහොතේම කැමති වුණා.

කොම්පැණිය වහලා සති දෙකක් විතර යනකොට මම එංගලන්තයට ගියා. ප්‍රථම වරට රටින් ගියේ 1959 වර්ෂයේදී. එංගලන්තයේ වෝකරේන් සන්ස් ප්‍රධාන ආයතනයේ රැකියාව කරන අතරේ වැඩිදුර ඉගෙන ගත්තා. ඒ අතරේ මගේ නෝනා මුණගැහුණා. ඇයත් ශ්‍රී ලාංකික කාන්තාවක්. 1973 අවුරුද්දෙ අපි විවාහ වුණා. මගේ බිරිඳ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ. පී. ද සොයිසාගේ වැඩිමහල් දියණිය. පිලිප් ගුණවර්ධනට පුටුවෙන් ගැහුවේ මගේ මාමණ්ඩි. ඒත් මාමණ්ඩි දේශපාලනය කළාට දියණියවත්, මමවත් දේශපාලනයට සම්බන්ධ වුණේ නෑ. දක්‍ෂතාවය, උගත්කම නිසා එංගලන්තයේ ප්‍රසිද්ධ ආයතන කිහිපයක ඉහළ රැකියා කළා. ටෙක්ස් එකෝ ඉන්ධන පිරවුම්හලේ කළමනාකරු විදිහට වැඩ කරන කාළේ මගේ පරිපාලනය දැකලා වෙනත් ඉන්ධන පිරවුම්හලක් කරගෙන යන්න සම්පූර්ණයෙන්ම මට භාර දුන්නා. මම දෙකේම වැඩ කරගෙන යනකොට ටෙක්ස් එකෝ කොම්පැණියෙන් දැනගෙන එකක් තෝරගන්න කියලා මට කිව්වා. එදාම මම ටෙක්ස් එකෝ ආයතනයෙන් ඉවත් වෙලා මගේ ආයතනය දියුණු කරන්න උපරිම කාලය වැය කළා. ඒ කාලයේ එංගලන්තයට ගිහින් වීසා නැතිව හිටිය ශ්‍රී ලාංකිකයන් හැම කෙනෙකුටම වගේ ජොබ් දුන්නෙ මමයි. 1976 අවුරුද්ද වෙනකොට අපේ රට බෙදන්න යනවා කියලා මට ආරංචි වුණා. ලෝකෙ විවිධ රටවල එල්.ටී.ටී.ඊ. සාමාජිකයන්ට යුද පුහුණුව ලබාදෙන බවට ලිඛිත සාක්‍ෂි සමඟ මට තොරතුරු ලැබුණා. ඒ තොරතුරු ලබාදුන්නෙ අපේ ඉන්ධන පිරවුම්හලේ වැඩ කරපු ලංකාවේ දෙමළ තරුණයෙක්. සෙල්වරාජා. එවකට එංගලන්තයේ එල්.ටී.ටී.ඊ. හිතවාදියෙක්.

ලොව ප්‍රථම සිංහල සංවිධානය ආරම්භ කල ගාමිණී 'දිවයින'ට කතා කරයි

‘තරුණයො විදිහට ජාතිය වෙනුවෙන් පණ දෙන්න වුණත් සූදානම් වෙන්න ඕනෑ. ඔයලාගේ සංවිධානයේ රැස්වීමකට යන්න ඕන නම් මට කියන්න, නිවාඩු දෙන්නම්…’ කියලා මම ඒ කොල්ලව මුරුංගා අත්තෙ තියලා සියලු තොරතුරු ලබාගත්තා. ඒ තොරතුරු ජේ. ආර්. ජයවර්ධනට ලබා දුන්නා. ජේ. ආර්. ඒ තොරතුරු ගැන සොයා බලනවා වෙනුවට මම මොනවද කරන්නෙ කියලා සොයාබලන්න එස්. පී. මර්වින් ප්‍රනාන්දුව එංගලන්තයට එවලා තිබුණා. නීතිවිරෝධී කිසිම දෙයක් මම කළේ නෑ. උගත්කමෙන්, දක්‍ෂතාවයෙන්, කැපවීමෙන් හම්බ කළා. මා ගැන තොරතුරු සොයාගෙන පැමිණි අයටත් ඉඳුම් හිටුම් පහසුකම් ලබා දුන්නෙ මමයි…

ඒ කාලේ සිංහල යාළුවන්ට වඩා මට හිටියේ දෙමළ, ලංසි ජාතික හිතවතුන්. ශාන්ත පීතර විද්‍යාලයේ අපේ පන්තියේ වැඩිපුර ඉගෙන ගත්තෙ දෙමළ සහ ලංසි ළමයි. පාසලෙන් විසිරිලා ගියත් අපේ යාළුකම් ඈත් වුණේ නෑ. ඒත් දෙමළ ජාතිකයන් රට බෙදීමට සූදානම් වෙනකොට ලංකාවේ දෙමළ යාළුවන්ට කතා කරලා ‘බෙදන්න යන රටක හිතවත්කම් පවත්වන්න බෑ… සියලු ජාතීන් එක ධජයක් යටතේ ජීවත් වෙන්න කැමති දවසක මම ඔයලාට කතා කරන්නම්…’ සියලුම දෙමළ හිතවතුන්ට එහෙම දැනුම් දීලා මම එංගලන්තයේ සිංහල සංවිධානයක් ගොඩනැගුවා. එම සංවිධානය ආරම්භ කළේ 1976 වර්ෂයේදී. එතකොට මගේ ලොකු දුවට වයස අවුරුදු දෙකයි. ප්‍රථම රැස්වීම පැවැත්වුවේ බැලැන් බාත් ශාලාවේ. ඒ රැස්වීමට සිංහල මිනිස්සු හැත්තෑ ගාණක් විතර සහභාගි වෙලා හිටියා. ඊට පස්සෙ පෙළපාලි ගියා. ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණ කළා. ඒත් එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ගොඩනැඟීම ගැන අපේ රටේ වගේම ලෝකයේ ජීවත්වන බොහෝ සිංහල ජාතිකයන්ට හරිහැටි අවබෝධයක් තිබුණේ නෑ. ඒ නිසාම මම ජාතිවාදය පතුරුවනවා කියලා සමහර මිනිස්සු විවේචනය කළා. සිංහල සංවිධානය ආරම්භ කරලා ලංකාවේ බෙදුම්වාදයට එරෙහිව එංගලන්තයේ ක්‍රියාත්මක වෙනකොට මා ගැන තොරතුරු රැස්කරන්න සේපාල ආටිගල එංගලන්තයට ආවා.

‘පුතා… ඔයාගේ වැඩසටහන ඉතාම හොඳයි. අපිත් උදව් කරන්නම්…’ අරවා දෙන්නම්… මේවා දෙන්නම් කියලා එංගලන්තයෙන් පිටත් වුණා. ඒත් කිසිම දෙයක් දුන්නෙ නෑ. එතකොටත් දෙමළ බෙදුම්වාදී සංවිධානයක් හිස ඔසවන්න යනවා කියලා ලංකාවේ මිනිස්සුන්ට අවබෝධයක් තිබුණේ නෑ. ඒ වෙනකොට එංගලන්තයේ දෙමළ මිනිස්සු එළිපිටම ක්‍රියාත්මක වෙමින් සිටියා. ලන්ඩන් විහාරයේ නායක හාමුදුරුවෝ හම්මළුවේ සද්ධාතිස්ස හාමුදුරුවොත් දෙමළ ක්‍රියාකාරකම්වලට තදින්ම විරුද්ධ වුණා. උන්වහන්සේ එංගලන්තයට වැඩම කරලා තිබුණේ 1939 වර්ෂයේදී. ලෝකය පුරා බෞද්ධ ආගම ව්‍යාප්ත කිරීමට උන්වහන්සේ විශාල සේවයක් කරගෙන ගියා.

ඔය කාලේ එංගලන්තයේ ජීවත්වන ශ්‍රී ලාංකිකයන්, එරටට තානාපතිවරයෙක් ඉල්ලා මෙරට ජනාධිපති ජේ. ආර්. ජයවර්ධනට ලිඛිතව දැනුම් දීලා තිබුණා. ප්‍රේමදාස අගමැතිවරයාගේ සූදානම තිබුණේ දෙමළ ජාතික මූර්තිව එංගලන්ත තානාපති විදිහට පත් කරන්න. දෙමළ බෙදුම්වාදී සංවිධාන හිස ඔසවන පසුබිමක දෙමළ ජාතිකයෙක් එංගලන්ත තානාපති විදිහට පත්වීම සුදුසු නෑ. ඒ නිසා ඒකට විරුද්ධ වෙලා අපි පෙත්සමක් අත්සන් කර ජනාධිපති ජේ. ආර්. ට යොමු කළා. අන්තිමේ මූර්තිව තානාපති විදිහට පත් කර, අපි යවපු පෙත්සමේ කොපියක් දීලා එංගලන්තයට එවලා තිබුණා. ඊට ටික දවසකට පස්සෙ 1978 අවුරුද්දේ එංගලන්තයේ සර්වජන ඡන්ද ප්‍රදර්ශනය පැවැත්වුණා. එම උත්සවයට ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන, අගමැති ප්‍රේමදාස ඇතුළු රාජ්‍ය නිලධාරීන් විශාල පිරිසක් එංගලන්තයට පැමිණ සිටියා. ඒ අවස්ථාවේදී ප්‍රේමදාස අගමැති නතර වෙලා හිටිය හෝටලයට මට එන්න කියලා දැනුම් දුන්නා. මම ගිහින් එතුමා සමඟ පැය තුනක් සාකච්ඡා කළා. ‘ගාමිණී… මූර්තිව තානාපති කළේ අපි නෙමෙයි. හමීට්. එයා තමයි මේ සේරම අවුල් කරන්නෙ… මීට පස්සෙ අපි මූර්ති එක්ක නෙමෙයි වැඩ කරන්නෙ, ගාමිණී කීර්තිචන්ද්‍ර එක්ක…’ එවකට විදේශ කටයුතු ඇමැති විදිහට හිටියෙ හමීට්. සියලු වැරැදි හමීට් පිට පටවලා ‘ගාමිණී කවදද සිංහලයො අපිට උදව් කරන්නෙ…’ කියලා ප්‍රේමදාස මගෙන් ඇහුවා. ඒ වචනයට එම උත්සවය සාර්ථක කරගන්න සිංහල බෞද්ධ සංවිධානයේ සාමාජිකයො උපරිමයෙන් වැඩ කළා. සර්වජන ඡන්ද ප්‍රදර්ශනය විවෘත කරන්න පැමිණියේ එංගලන්ත මහ රැජින. එල්.ටී.ටී.ඊ. හිතවාදීන් උද්ඝෝෂණ කරලා, දොරවල් කඩලා ලොකු ආරවුලක් ඇති කළා. දෙමළ කෝලාහළ මැද ජනාධිපති, අගමැති ඇතුළු අපේ දේශපාලන නායකයන්ව ආරක්‍ෂා කරගෙන ප්‍රදර්ශනය සාර්ථකව පැවැත්වීමට අපි ලොකු වැඩ කොටසක් කළා. ප්‍රදර්ශනය අවසාන වෙලා ජනාධිපති ජේ. ආර්. ලංකාවට පිටත් වෙන්න සූදානම් වෙලා මට එන්න කියලා විශේෂයෙන් ස්තුති කළා. ඊට ටික දවසකට පස්සෙ මම සිංහල සංවිධානය රැස් කරලා ‘එංගලන්තයේ ක්‍රියාත්මක වෙලා ඵලක් නෑ. ලංකාවට යන්න ඕනෑ…’ කියලා අපේ සාමාජිකයන් දැනුවත් කළා. ඊට පසුව මම 1980 අවුරුද්දෙ ලංකාවට ඇවිත් වරකගොඩ සීලරතන පණ්ඩිත හාමුදුරුවෝ, මාදුළුවේ සෝභිත හාමුදුරුවෝ, මඩිහේ පක්‍ද්ක්‍දාසීහ හාමුදුරුවෝ දැනුවත් කරලා උන්වහන්සේලා ප්‍රධාන කොටගෙන මෙරට ස්වාමීන්වහන්සේ විශාල නමක් සම්බන්ධ කරගෙන ‘සිංහල බල මණ්ඩලය’ ආරම්භ කළා. ප්‍රථම රැස්වීම පැවැත්වුවේ පිටකොටුවේ බී.ටී.එස්. ශාලාවේ. දැනුම් දීමකින් තොරව එම රැස්වීමට බෙංගමුවේ නාලක හිමි ඇතුළු භික්‍ෂූන් වහන්සේ විශාල පිරිසක් වැඩම කළා. රැස්වීම අවසාන වෙලා බෙංගමුවේ නාලක හාමුදුරුවෝ පන්සලට එන්න කියලා මට විශේෂ ආරාධනාවක් කළා.

ඒ විදිහට තමයි කොටි බෙදුම්වාදයට එරෙහිව මෙරට ප්‍රථම සිංහල සංවිධානය ආරම්භ වුණේ. ලෝකය පුරා කොටි සාමාජිකයන් ආයුධ පුහුණුව ලබන බව මෙරට ජනතාවට ප්‍රථම වරට දැනුම් දුන්නෙ සිංහල බල මණ්ඩලයෙන්. ප්‍රථම රැස්වීම පවත්වලා දිනක් ගෙවෙන්න පෙර මගේ මාමණ්ඩි ඒ. පී. ද සොයිසා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් ඉවත් කරලා තිබුණා. ඒත් අපිව නතර කරන්න බැරි වුණා. ප්‍රථම රැස්වීමේදී මම කරපු කතාව අහගෙන ඉඳලා එරමිටිපොළ හාමුදුරුවො, කොටුගොඩ ධම්මානන්ද හාමුදුරුවන්ට දුරකථනයෙන් කතා කර ‘එංගලන්තයේ ඉඳලා දුටුගැමුණු කෙනෙක් ඇවිත් ඉන්නවා. ජාතියට ලොකු හයියක්…’ කියලා තිබුණා. ඒ වගේම මම ජාතියට ශක්තියක් වුණා…

1982 අවුරුද්දෙ දී කොළඹ ඉඳලා අනුරාධපුරය හරහා නුවරට රිය පෙරහැරක් සංවිධානය කළා. වාහන තුන්සියක් විතර ගියා. සියලු වියදම් දැරුවේ මමයි. ලංකාවේ සියලුම නායක හිමියන් ඒ පෙරහැරේ වැඩම කළා. පාර දිගට වෙළෙඳසැල්වල එක ලෑල්ලයි ඇරලා තිබුණේ කොළඹ ඉඳලා නුවරට යනකම් මග දිගට තොරණ් ගහලා අපිව පිළිගත්තේ. නුවර වයි. එම්. බී. ශාලාවේ පැවැති රැස්වීමේදී ගැටඹේ විහාරයේ නායක හිමි, ලබුදුවේ සිරිධම්ම නායක හාමුදුරුවො ජනාධිපති ජේ. ආර් ට, අගමැති ප්‍රේමදාසට රිදෙන්න දේශනයක් කරගෙන යනකොට ශාලාවේ විදුලිය කැපුවා. බෞද්ධ සම්මේලනය කුඩු වෙන්න පහර දුන්නා. ඊට පහුවෙනිදාම ගැටඹේ විහාරයට කම්බි ගැහුවා. මට අපේ ගෙදරින් එළියට බහින්න බැරි විදිහට පොලිස් නිලධාරීන් යෙදෙව්වා. හතරවෙනි තට්ටුවට අරගෙන ගිහින් ප්‍රශ්න කළා. ප්‍රේමදාස අගමැති, ලංකාව පුරා ව්‍යාපාරිකයන් රැස් කරලා අපේ සංවිධානයට උදව් කරන්න එපා කියලා තර්ජනය කරලා තිබුණා. සිංහල බල මණ්ඩලයේ රැස්වීම් පවත්වන්න කිසිම තැනක් දුන්නෙ නෑ. එදා ජේ. ආර්. – ප්‍රේමදාස කළේ සිංහලයගේ අතපය බැඳලා දෙමළ මිනිසුන්ට ගහන්න ඉඩ හැරීම. අවසානයේ 1983 කළු ජූලියට දවස් දෙකකට පෙර මාව රටින් පිටුවහල් කළා. නැවත මම ලංකාවට ආවේ 1994 අවුරුද්දෙ ප්‍රේමදාස ජනාධිපතිවරයා නැති වුණාට පස්සෙ…

අවුරුදු දහයක් ලංකාවට ආවේ නෑ කියලා මම වැඩ නොකර හිටියේ නෑ. එංගලන්තයට ගිය දවසෙ ඉඳලා ලංකාවටම තමයි කළේ. ඒ වගේම ගමනායකත් එක්කත් කතා කළා. සියලු දේශපාලන නායකයන් එක්ක ගනුදෙනු කළා. ඒත් කිසිම දේශපාලන පක්‍ෂයකට වැඩ කළේ නෑ. මගේ එකම සිහිනය වුණේ ජාතියට වැඩ කිරීම. ශාසනයේ උන්නතියට වැඩ කිරීම. පුංචි කාලේ අපි විඳපු දුක තවත් ළමයෙක්ට විඳින්න නොදෙන්න කටයුතු කිරීම. ඒ වෙනුවෙන් වසර ගණනාවක් තිස්සෙ ඉඳලා කළ හැකි උපරිමයෙන් වැඩ කරගෙන යනවා. අදටත් මම ඉතුරු කරපු දෙයක් නෑ. අතේ තියෙන සතෙත් නැති, බැරි මිනිසුන් වෙනුවෙන් වියදම් කරනවා. 1979 සිංහල බල මණ්ඩලය පිහිටුවීමේ උත්සව සභාව අමතලා කීවේත් ‘මම වියදම් කරනවා හාමුදුරුවො වැඩ කරන්න…’ සිංහලේ අවදි කරන්න එදත් වියදම් කළේ මම විතරයි. අදටත් මම මේ රටේ දුප්පත් මිනිසුන් වෙනුවෙන් වියදම් කරනවා. මැරෙනකම් ඒ සද්කාරය කරනවා. දෙයක් කරන්න හිතුවොත් ඒ කටයුත්තට අවශ්‍ය ප්‍රතිපාදන මට ලැබෙනවා. මගේ දරුවො හතරදෙනාම කසාද බැඳලා තියෙන්නෙ එංගලන්ත ජාතිකයන්. ඒත් බුද්ධාගමයි. සිංහලකමයි ගහයි පොත්තයි, පන්සල නැති නම් අපිත් නැති බව මගේ දරුවොත් අවබෝධ කරගෙන ඉන්නවා. ඒ අයත් සෑම මොහොතකම නැති, බැරි මිනිසුන්ට උදව් උපකාර කරන්න කැප වෙනව. ඒ වගේම එදා වගේම අදටත් මේ රටේ දේශපාලනඥයෝ කිසිම කෙනෙක්ට රට වෙනුවෙන් වැඩ කරන්න දෙන්නෙ නෑ…” දීර්ඝ කාලයක් හදවතේ තුරුලු කරගෙන සිටි මතක පොත නැවත වසා දමා හේ දිගු සුසුමක් පිට කළේය.

ලෝකය පුරා කොටි හඬ පරයමින් සිංහල හඬ අවදි කළ ගාමිණී කීර්තිචන්ද්‍ර ගැන දන්නෝ දනිති. නොදන්නෝ බොහෝය. ඒ ඔහුගේ ජාතික මෙහෙවරට හඬබෙර නොවැදුණු නිසාය. අදටත් මෙරට ඈත, එපිට දුෂ්කර ගම්මානවල දුක්විඳින සිංහල ජනතාව වෙනුවෙන් කරන මෙහෙවර ගැන ප්‍රසිද්ධ කරනවාට ඔහු අකමැතිය. ඒ ඔහු දේශපාලනඥයෙක් නොවන නිසාය. ජනතා ප්‍රසාදයෙන් ඔහුට ඵලක් නොවන නිසාය. ඔහුගේ එකම අභිප්‍රාය සිංහල ජාතියට ජීවයක්දීම පමණි.

තරංග රත්නවීර

advertistmentadvertistment
advertistmentadvertistment