ලොස් ඇන්ජලිස් ළැව් ගිනි පැතිරීම වර්ධනය වේ

305

මරණ සංඛ්‍යාව 10ක් දක්වා වැඩි වේ

ඇමෙරිකා එක්සත් ජනපදයේ ලොස් ඇන්ජලිස් නගරයේ ශීඝ්‍රයෙන් පැතිර යමින් පවතින ළැව් ගිනි හේතුවෙන් ඊයේ (10දා) වන විට පුද්ගලයන් 10 දෙනෙකු මියගොස් සිටි අතර ළැව් ගිනි වලින් පරිසරයට එක්ව ඇති තද කළු පැහැති දුම් ආඝ්‍රාණය කිරීම හේතුවෙන් ශ්වසන අපහසුතා හටගත් නගරවාසීන්ගෙන් ලොස් ඇන්ජලිස් නගරයේ රෝහල් පිරී ඉතිරී යමින් පවතින බව වාර්තා වේ.

මෙම ළැව් ගිනි පවතින දැඩි සුළං මධ්‍යයේ තවත් වර්ධනය වෙමින් පැතිර යෑම හේතුවෙන් මේ වන විට නගරයේ නිවාස, ගොඩනැඟිලි, වාහන, ඉන්ධන පිරවුම්හල් ඇතුළු දේපළ 10,000කට අධික සංඛ්‍යාවක් පිලිස්සී අළු බවට පත්ව තිබෙන අතර නිවැසියන් එක්ලක්ෂ අසූදහසක් පමණ දෙනා නිවෙස්වලින් ඉවත් කරගෙන ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. තවත් දෙලක්ෂයක පමණ පිරිසකට සිය නිවෙස්වලින් ඉවත්වන ලෙසට බලධාරීන් විසින් නියෝග කර තිබේ.

ලොස් ඇන්ජලිස් නගරයේ පොලිස් බලධාරීන්ට අනුව නගරයේ දරුණු ලෙස පැතිර යන ළැව් ගිනි හේතුවෙන් දැඩි ලෙස විනාශ වී ගොස් ඇති ප්‍රදේශ වෙත ළඟාවීම අසීරුවී තිබීම නිසා ගිනිවලින් මියගිය පිරිස තවත් ඉහළ යෑමේ අවදානමක් පවතී. මේ අතර පවතින වියළි කාලගුණය හා දැඩි සුළං මධ්‍යයේ අලුතින් ආරම්භ වී ඇති කෙනත් නමැති ළැව් ගින්න ඇවිලූ බවට සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය විසින් පියවර ගෙන තිබේ.

මේ වන විට ඇවිලෙමින් පවතින ළැව් ගිනි හේතුවෙන් ලොස් ඇන්ජලිස් නගරයේ හෙක්ටයාර් 30,000කට අධික භූමි ප්‍රමාණයක් ගිනිගෙන විනාශ වී ඇතිබව ඇස්තමේන්තු කර තිබේ. මේ අතර ළැව් ගිනි මධ්‍යයේ සිය නිවෙස්වලින් ඉවත් කළ ලොස් අන්ජලිස් නගරවාසීන් විශාල පිරිසක් ගිනිගෙන විනාශ වූ සිය නිවාස දකබලා ගැනීම සඳහා පැමිණෙමින් සිටින බව විදෙස් මාධ්‍ය පවසයි.

සංස්කරණය – ඒමන්ති මාරඹේ


advertistmentadvertistment