ලෝකඩ, රත්තරන් කිරීමේ ක්‍රීඩාශීලී ක්‍රමවේදය

447

ක්‍රීඩාව යනු කුමක්ද? අපට දැනෙන හැටියට නම් එදා සිටම ජීවත්වීම පමණක්ම ක්‍රීඩාවක් ලෙස ගත හැකිය. ආදිකල්පික මනුෂ්‍යයා දඬු මුගුරු රැගෙන දරුණු වන සතුන් පසු පස හඹා යන්නට පටන්ගත්තේ උන් මරාගෙන කෑම පිණිසය. මෙය මනුෂ්‍යයාගේ පළමුවන මලල ක්‍රීඩාව විය හැකිය. වැඩේ අලවීමට එන බව දැනගත් වන සතා ආපසු හැරී තමා මරන්නට එන මිනිසා පසුපස පන්නන්නට පටන් ගනී. එවිට අතේ තිබෙන මුගුර ද පැත්තකට දමා අමු හෙලුවෙන්ම දුවන්නට පටන්ගත් ආදිකල්පික මනුෂ්‍යයා තම ඒරියා එකට දිව ගොස් පණ බේරා ගනී. කවුරු කොහොම කිව්වත් ඒ ලෞකික ලෝකය තුළ ක්‍රීඩාවේ ආතල් එක හෙවත් ආහ්ලාදය යනු සහභාගිත්වය නොවේ. ක්‍රීඩාවෙන් ජයග්‍රහණය කිරීමය. මේ නිසා වන සතාගෙන් බේරී පණ බේරාගැනීමේ ජයග්‍රහණය ගැන සිතා මනුෂ්‍යයා අප්‍රමාණ සැපක් ගන්නට ඇත. වන සතාට ඉවක් මිස මනුෂ්‍යයාට මෙන් විඤ්ඤාණයක් තිබුණ ද එය සීමිතය. මේ නිසා තම ජීවන උවදුර මගහැරුණු බව තේරුණු සැණින් වන සතා තුළද කිසියම් සතුටක් ඇතිවන්නට ඇති. අප මේ ලියන්නේ ක්‍රීඩාවේ ඉතිහාසය පිළිබඳ සිද්ධි අධ්‍යයන පාඩමක් නොවේ. එහෙත් මේ ගැන තව ටිකක් ලිවිය යුතුමය. ලෝකයේ මේ වන විට ක්‍රීඩා වර්ග 8000 ක් තිබේ. එයින් 200 කට ජාත්‍යන්තර පිළිගැනීමක් තිබේ. ලෝකයේ පළමුවන සංවිධානාත්මක ක්‍රීඩාව මල්ලවපොර ලෙසට පිළිගැනීමක් ඇත. එහෙත් ක්‍රිස්තු පූර්ව අටසිය ගණන්වල පමණ ග්‍රීසියේ පහළ වූ ඔලිම්පික් ක්‍රීඩා උළෙල සතුව තිබූ එකම අයිතමය ධාවන තරග පමණි. තමන්ට වසර දස දහස් ගණනකට පෙර විසූ හෙලුවැලි මානවයා සතුන් මරනු පිණිස හෙලුවැල්ලෙන් ධාවනයේ යෙදුණු පරිදි ශිෂ්ට ග්‍රීක ධාවන ශූරයා ද ඔලිම්පික් ධාවනයේ යෙදුනේ හෙලුවැල්ලෙනි. ක්‍රිස්තු වර්ෂ 393 දී ඔලිම්පික් උත්සවය නතර කරන ලදි. අද වන විට නිරුවතින් පාරේ දුවන එකෙක් වෙතොත් ඒකා එක්කෝ ඩෝප්කාරයෙකි; නොඑසේ නම් මන්ද බුද්ධිකයෙකි. ලංකාව පාරම්පරික ක්‍රීඩා රැසක් තිබූ රටකි. එහෙත් සියලුම විශ්වකෝෂ කියන්නේ මේ රටේ ක්‍රීඩාව බි්‍රතාන්‍ය ජාතිකයන් විසින් polish කරන ලද බවය. මේ සියලු කතා පසෙකට දමා මෙතැන් සිට අපේ ක්‍රීඩාව ගැන කතා කරනු ලැබේ. ක්‍රිකට් ක්‍රීඩාව චාවී, චොරවී, කුජීතවී ඇති මොහොතක සතුටු විය හැකි කාරණා කිහිපයක් ගැන අද අපි කතා කරමු. දකුණු කොරියාවේ මොක්පෝ නුවරදී පැවැත්වූ දෙවන ආසියානු හෙල්ල විසිකිරීමේ ශූරතාවේදී කැපී පෙනෙන දක්ෂතා අතරට පැමිණෙමින් රන් පදක්කමක් සහ ලෝකඩ පදක්කම් දෙකක් දිනාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. මෙහිදී රන් පදක්කම දිනුවේ රුමේෂ් තරංගය. එය මෙතෙක් පැවැති ආසියානු හෙල්ල විසිකිරීමේ ශූරතා වාර්තාව සමකිරීමකි. මීට අමතරව සුමේධ රණසිංහ ලෝකඩ පදක්කමක් දිනුවේය. නදීෂා දිල්හානි ලේකම්ගේට ද ලෝකඩ පදක්කමක් ලැබිණ. ඩී. හර්ෂනී ද තරගයේ හත්වැනි ස්ථානයට පත්වූවාය. ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ට ලැබෙන ඩොලර් මිලියන ගණන්වල වැටුප් හා දීමනා මේ අහිංසක කොල්ලන්ටත් කෙල්ලන්ටත් ලැබෙන්නේ නැත. ඔවුන්ට මොන්ටෙරෝ හෝ ලැම්බෝගිනි ද නැත. පපුවේ ගිනි සහ හිසේ ගිනි මිස අතේ සතේ ද ඔවුන්ට නැත. බෝලයට පිත්තෙන් ගසන එකා එම බෝලය පිත්තේ වැදුණත් නැතත් රජ වන සම්ප්‍රදායක් ලංකාවේ තිබේ. එහෙත් හෙල්ල විසිකරන කට්ටිය අන්තිමට නවතින්නේ ශ්‍රී ලංකා යුද හමුදාවේ කිසියම් සුළු නිලයක රස්සාවකය. මේ දරුවන් දිනූ පදක්කම් රත්තරන් වේවා, ලෝකඩ වේවා, ලක්ස්ප්‍රේ ටින් පියන් වේවා දුක දන්නා මිනිසුන් විසින් මහත් ආදරයෙන් සමරනු ලැබේ. මෙතැන් සිට ඉතිරි කොටස ලියමු.

මුළුමහත් ලංකාවටම සින්දු කීමට හැකි බව සුපර් ස්ටාර් සංකල්පය මගින් ඔප්පු කරන ලදි. අප මෙතෙක් ඇසූ ඇතැම් ගන් කබරයන්ගේ ගායනාවලට වඩා සුපර් ස්ටාර් දරුවන්ගේ ගායන මාධූර්යය කොපමණ අගනේද යන්න පසුගිය අවුරුදු 20 ක කාලය තුළ අපි තේරුම් ගතිමු. එසේම, ලංකාව තුළ හරිආකාරව ක්‍රීඩා තරග පැවැත්වෙන්නේ නම් මේ රට ඉපැරණි ග්‍රීසිය මෙන් ක්‍රීඩකයන්ගේ රාජ්‍යයක් බව හෙළිවනවා ඇත. එහෙත් අවාසනාවකට මෙන් ලංකාව ක්‍රීඩාව ලෙස හඳුනාගෙන ඇත්තේ පිත්තෙන් බෝලයට තට්ටු කිරීමේ කම්මැලි සහ කාලකණ්ණි ක්‍රීඩාවකි. මෙය තෝරාගැනීමට හේතුව ක්‍රිකට් ක්‍රීඩාව සතුව විශාල වාණිජ්‍ය වටිනාකමක් තිබීමය. ලංකාවේ ක්‍රිකට් යනු යුද්ධයකි. සෙසු ක්‍රීඩා සියල්ලම සාමය නියෝජනය කරයි. කිලෝමීටර් සිය ගණන් එක දිගට මැරතන් ධාවනයේ යෙදීමට හැකි දරුවන් මේ රටේ දුර බැහැර ගම් පළාත්වල සිටින නමුත් පයේ ලෑම පිණිස පාවහන් යුගලක් මිලදී ගැනීමට මුදල් නැතිවීම නිසා ඔවුහු මගින් හැරී ගෙදර දුවති. විවිධ ක්‍රීඩා තරගවලට යෑම සඳහා බුරුතු පිටින් පේවී පිටරට යෑම සඳහා සුදුසුකම් ද ලැබ ගාණ සොයාගැනීමට බැරිව හිඟාකන දරුවෝ ඕනෑතරම් අප අවට සිටිති. මොකා ක්‍රීඩා ඇමැති වුණත් ක්‍රිකට් ටීම් එකේ එයාර් ටිකට් එක ෆස්ට් ක්ලාස් හෝ බිස්නස් ක්ලාස් විය යුතු නිසා වෙනත් ක්‍රීඩාවලට මේ පාරිභෝගිකවාදී ශ්‍රී ලංකාව තුළ හරිආකාර ඉඩක් නැත. මේ ඉඩ හරිආකාරව ලැබුණු දවසට සියලු ටින් පියන් ලෝකඩ පදක්කම් බවටත්, සියලු ලෝකඩ පදක්කම්, රන් පදක්කම් බවටත් පත්වීමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment