ලෝකයක් ගීතයෙන් මුසපත් කළ  ගීත කෝකිලාවිය

311

(ලෝකයක් සිය ගීතයෙන් වස`ගයට ගත් ලතා මංගෙෂ්කාර් නම් ගීත කෝකිලාවියගේ අභාවය නිමිත්තෙන් ඇයට ගෞරවයක් පිණිස මෙය නිර්මාණය කරන ලදි.)

 බ‍්‍රාහ්මණ මතවාදයන්හි එල්බ ගත් ඉන්දියාව වනාහි සෑම විටකම පුරුෂාධිපත්‍ය ප‍්‍රමුඛත්වයෙහිලා කටයුතු කිරීමට උත්සාහ ගත් බව අවිවාදිතය. එබැවින් ඉන්දියාවේ සෑම ක්ෂේත‍්‍රයකම පාහේ පුරුෂාධිපත්‍ය රජ කරන සමයක කාන්තාවක් කිසියම් ක්ෂේත‍්‍රයක ඉහළටම පැමීණීම අභියෝගාත්මක කරුණකි. කෙසේ නමුත් එම අභියෝගය සාර්ථකව ජයගැනීමට සමත් වූ එදා මෙදා තුර ලෝක සංගීත ක්ෂේත‍්‍රයේ එක්තරා පරිච්ජේදයක් සිය නම ඉදිරියේ සනිටුහන් කර ගැනීමට සමත් වූ ඉන්දියාවේ ගීත කෝකිලාවිය හෙවත්  ලතා මංගෙෂ්කාර් පිළිබඳව මතකාවර්ජනයක් සිදු කිරීමට මෙයින් අපේක්ෂා කෙරේ.

 වර්ෂ 1929 වූ සැප්තැම්බර් මස 28 වැනි දින භාරතයේ ඉන්දෝර් ප‍්‍රදේශයේ (මධ්‍ය ප‍්‍රදේශ්), සරස්වත් නම් බ‍්‍රාහ්මණ කුලයට අයත්, සංගීත පසුබිමකින් හෙබි මහාරාෂ්ඨීය පවුලක, ලතා මංගෙෂ්කාර් උපත ලැබීය. සම්භාව්‍ය සංගීතඥයකු, වේදිකා නළුවකු, නාට්‍ය නිෂ්පාදකයකු වූ පණ්ඩිත් දීනනාත් මංගේෂ්කාර් සහ ෂේවන්ති මහත්මියගේ වැඩිමල් දියණිය වූ ලතා මංගේෂ්කාර්ට මීනා, ආෂා, ඌෂා සහ හ‍්‍රින්ද්‍යනාත් යන බාල සොයුරු සොයුරියෝ වූහ. විශේෂයෙන්ම ලතා පාසල් අධ්‍යාපනයක් ලැබුවේ නැත. එහෙත් ඇය සතුව අධ්‍යාපනය ලද අයකුගෙන්වත් නොදැකිය හැකි තරමේ කුසලතාවක් හා නිහතමානී අව්‍යාජත්වයක් දිස්විය. මංගේෂ්කාර් පවුලේ සියලූ දරුවෝ පියාගෙන් සංගීත පාඩම් උගත්හ. කේ. එල්. සයිගල් වැනි සංගීත ශිල්පීන් ඔවුන්ගේ වීරයන් බවට පත්විය. පස්හැවිරිදි වියේදී සංගීත් නාටක ලෙස හැඳින්වූ නාට්‍යවල පියා සමඟ රඟපෑමට කුඩා අවදියේ දී ලතා මංගෙෂ්කාර් යොමු විය. ඒ අනුව 1942 දී වසන්ත් ජොගල්කර් නිෂ්පාදනය කරන ලද, කිටි හසාල්, නම් මරාති සිනමාපටය සඳහා ලතා පළමුවරට ගීත ගායනයෙන් දායක විය. කෙසේ වෙතත් සිය ¥වරුන් සිනමාපටවල ගීත ගායනයට යොමුවීම පියාට සිත් දුන් සිදුවීමක් නොවූ බැවින් එම සිනමා පටයෙන් ලතාගේ ගීය ඉවත්කරන ලදි. ලතා මංගෙෂ්කාර්ගේ පියා වූ දීනනාත්ගේ උපන් ගම වූයේ ගෝවේ මංගේෂි පෙදෙස වේ. සිය ගමට වූ ළැදියාව හේතුවෙන් හරිද්කාර් ලෙසින් වූ ඔහුගේ වාසගම, මංගේෂ්කාර් ලෙස හෙතෙම වෙනස් කරගත්තේය. ඇයට ඇගේ පියා හේමා යන නම් තැබීය. පසුව ඔහු නිෂ්පාදනය කළ මරාති වේදිකා නාට්‍යයක ආ චරිතයක් ඇසුරින් ඇයටද ලතා යන නාමය තබන ලදි.

 කෙසේ නමුත් හදවත් රෝගයක් හේතුවෙන් ලතා මංගේෂ්කාර්ගේ පියා එම වසරේදීම මිය යන ලදි. ආර්ථික ප‍්‍රශ්න බලවත්වීම හේතුවෙන් වැඩිමහලූ දැරියකව සිටි ලතා මුදල් සෙවීමේ පරමාර්ථයෙන්, බලවත් කැමැත්තකින් තොරව හින්දි සහ මරාති සිනමාපටවලට රංගනයෙන් දායක වීමට යුහුසුළු විය. පහිලී මංගලෝර්, මාස් බාල්, ජීවන් යාත‍්‍රා, චත‍්‍රපති ශිවාජී වැනි සිනමාපටවල ඇය නිළියක විය. සිනමා පටවලට ගීත ගායනයෙන් සහායවීමට ගිය අවස්ථාවලදී වාර ගණනාවක් ඇය ප‍්‍රතික්ෂේප කෙරිණි. එවක සංගීත අධ්‍යක්ෂකවරුන්ට ලතාගේ ස්වරය වුවමනාවට වඩා හීනි වූ අතර වරෙක, වුවමනාවට වඩා තියුණු විය. සිය පවුලට හිතැති මිතුරකු වූ විනායක් දමෝදර් කර්නාටකි ඇයට රැුකියාවක් සොයාදීමට උනන්දු වූ අතර, මාස්ටර් විනායක් ආයතනය බොම්බාය නගරයට ගෙන ආ දිනවලදී ඇය බොම්බායට පැමිණියාය. උස්තාද් අමන් අලි ඛාන්ගෙන් හින්දුස්ථානි සංගීතය උගත් යොවුන් ලතා 1943 දී ගජාභාවු සිනමා පටයට සිය පළමු හින්දි ගීතය ගායනා කළාය. මේ අවධියේදී ප‍්‍රකට සංගීත අධ්‍යක්ෂවරයකු වූ ගුලාම් හයිදර්ගේ ඇසුර ලැබීමෙන් ලතාගේ සංගීත ගමන්මග වඩාත් ශාස්ත‍්‍රීය සහ හරවත් විය.

 හයිදර් මහතාගේ මග පෙන්වීම යටතේ 1948 දී මජ්බූර් සිනමාපටය සඳහා ඇය දිල් මෙරා තෝඩා නම් ගීය ගැයූ අතර, එය ඇගේ අනන්‍යතාව පළ කළ ගීය විය. 1949 දී ජනප‍්‍රිය රංගන ශිල්පිනී මධු බාලාට හඬ දෙමින් මහල් චිත‍්‍රපට වෙනුවෙන් ඇය ගැයූ ආයේගා ආනේවාලා ගීය භාරතයේ ජනප‍්‍රියත්වයට පත්වූයේ ලතා එතෙක් කලක් සෙවූ තැන ඇයට උරුම කරදෙමිනි. විශේෂයෙන්ම පේ‍්‍රමසිරි කේමදාස චරිතාපදානය විචාරාත්මකව ගෙන එන එරික් ඉලයප්ආරච්චි කේමදාසගේ සංගීත සන්දර්භය මවු සංඥාවේ උත්තරීකරණයක් ලෙසින් දක්වයි. කේමදාසට අහිමි වූ උපන් තොටිල්ල ඔහු සිය සංගීතයෙන් සොයායන්නට වූ බව, දැක්වීම මෙහිදී ලතා මංගේෂ්කාර් හා සිය පියා විෂයෙහි අපට ගළපාගත හැකිය. පියාගෙන් අහිමි වූ සංගීත පෙළඹවීම ඇගේ අඩු වූ ආශාව විය. ඇයගේ සංගීත සංඥාව පීතෘමූලික එකක් වූවා විය හැකිය.

 ඇය ගැයූ ගීයේ නමින් එහි රගපෑ නිළියන් ජනයා අතර ප‍්‍රකට විය. 1949 දී ‘ඒක් ති ලඞ්කී’ චිත‍්‍රපටය වෙනුවෙන් මීනා ෂෝරේ රංගන ශිල්පිනියට ඇය ගැයූ ලාරා ලප්පා ලාරා ලප්පා ගීය කෙතරම් ජනප‍්‍රිය වූයේද යත්, එතැන් පටන් භාරතීය ජනයා මීනාව හඳුන්වා දෙන්නට වූයේ ලාරා ලප්පා ලෙසිනි. 1960 දශකය වනවිට සිනමාපට පසුබිම් ගායනය සඳහා ලතා සිය භූමිකාව ඉදිරියට මෙහෙයවා තිබිණි. ආප් කී නසරෝ නෙ සම්ජියා නේනා බර්සෙ රිම් ජිම්, ලග් ජා ගලේ., තූ කිත්නේ බරස් කා, ආජා රේ පර්දේසී, කුච් නා කහෝ, ආජ් පිර් ජීනේ කී තමන්නා හේ ගාතා රහේ මෙරා දිල් ආදී ගී ඒ අතර විය. රාග අනුව යමින් ගැයූ මොහේබෝල් ගයේ සාවරියා (1952), බටහිර සංගීත හුරුව අනුව ගැයූ අජීබ දාසතා හෙ යේ (1960), බජන් ආකාරයේ ගීයක් වූ අල්ලා තේරා නාම් (1961) ආදී ගී, 60 දශකයේ ඇය ගැයූ සිනමා පසුබිම් ගී අතර ජනප‍්‍රිය විය. මොහොමඞ් රාෆි, කිෂෝර් කුමාර්, හේමන්ත් කුමාර්, මහේන්ද්‍ර කපූර් ආදීහු ඈ සමඟ ගී ගායනා කිරීමට ලැබීම පවා භාග්‍යයක් ලෙසින් සැලකූහ. 1970-1980 කාලයේදී ඇය කිෂෝර් කුමාර් සමඟ ආරාධනා (1969) චිත‍්‍රපටයට ගැයූ කෝරා කා ගර්, අන්ධි (1971) සිනමාපටයෙහි තෙරෙ බිනා සින්දගී සේ, අභිමාන් (1973)හි තෙරේ මේරේ මිලනි කී යේ ගර් (1978) හි ආප්කි ආකෝමේ කුච් වැනි ගී මගින් භාරත සිනමාවේ සිය ලකුණ සනිටුහන් කළාය. 80 දශකයේදී ලක්ෂ්මීකාන්ත් ප්යාරේලාල් නම් සංගීත අධ්‍යක්ෂවරයා සමඟ ගොඩනගා ගත් සංගීත ආස්ථානය, වර්තමානයේ පවා ඉන්දීය ජනයා උත්කර්ෂයෙන් වැළඳගන්නා ගී සමුච්චයක් දක්වා ගොඩනැගිණි.

 අනූ මලික්, ඒ. ආර්. රහුමන්, ජතින් ලලිත් වැනි 1990 දශකයේ සංගීත අධ්‍යක්ෂවරුන් සමඟ කටයුතු කළ ලතා මංගේෂ්කාර් බොලිවුඩයේ ජනප‍්‍රිය චිත‍්‍රපට වූ, සිනමා ශාලා රසිකයන්ගෙන් පිරීතිරී ගිය, දිල්වාලේ දුල්හානියා ලේ ජායෙන්ගේ, හම් ආප්කේ හේ කෝන්, දිල් සේ., රන්ග් දෙ බසන්ති චිත‍්‍රපටවල ගී ගායනා කළාය. මෙම ගී ඊට පණ පෙවූ නිළියන්ගේ ස්වභාවට උචිතම ස්වර ලෙසින් සිනමාලෝලීහු ද පිළිගත්හ. ලතා මංගේෂ්කාර්ගේ ජීවිතය වූයේ සංගීතයයි. ඇය ඇසුරු කළේ සංගීතයට ලැදි පරිණත පිරිසක් ද විය. සචින් දේව් බර්මන් හෙවත් එස්. ඞී. බර්මන්, රහුල් දේව් බර්මන් (ආර්. ඞී. බර්මන්) සලීල් චෞද්‍රි, ශංකර් ජයිකිෂන්, නවුෂාඞ්, මදන් මෝහන්, පණ්ඩිත් අමර්නාත් හුසන්ලාල්, ලක්ෂ්මිකාන්ත් ප්යාරේ ලාල් වැනි සංගීත විෂයෙහි ප‍්‍රවීණයන්ගේ ඇසුර ලැබීමට ඇයට හැකි විය. 1950 දශකයේදී මදර් ඉන්දියා (1957), බව්ජි බව්රා (1952), දේව්දාස් (1955), චෝරි චෝරී (1956), මධුමතී (1958) වැනි සිනමාපට සඳහා ගීත ගායනයෙන් දායක වූ ලතා මංගේෂ්කාර් සොයා සංගීත අධ්‍යක්ෂවරු පැමිණෙන්නට වූහ. එස්. ඞී. බර්මාන් වැනි සංගීත රචකයන් සඳහා ගී පටිගත කිරීමට ද ඇය යොමු විය. 1963 ඉන්දු චීන යුද්ධයෙන් පසු රටේ ජනතාව ප‍්‍රබෝධමත් කිරීම සඳහා වූ ගීතයක් වන Aye Mere Watan Ke Logon ඇය ගායනා කළාය. එය සෑම ප‍්‍රසංගයකම ඉල්ලීම් සමඟ මංගේෂ්කාර් සමඟින් ගීතයක් බවට පත් විය.

 විශේෂයෙන්ම ලතා මංගෙෂ්කාර්ගේ ජීවිතයේ පරිවර්තනීය සිදුවීමක් වශයෙන් 1958 දී ඇයට පළමු ෆිල්ම්ෆෙයර් සම්මානය හිමිකර ගැනීම පෙන්වා දිය හැකිය. ඒ, මධුමතී චිත‍්‍රපටයට ගැයූ ආජා රේ පර්දේසී ගීතය වෙනුවෙනි. 1955 දී ලතා මරාති චිත‍්‍රපටවලට සංගීත රචනයෙන් දායක වූවාය. පසුව ඈ සිය බාල සොහොයුරා වූ, ප‍්‍රකට සංගීත අධ්‍යක්ෂ හ‍්‍රින්ද්‍යනාත් මංගේෂ්කාර් සමඟ එක්ව මරාති ගීත ගායනා කළාය. 1956 දී එන්තන් කන්නලන්. නම් දෙමළ ගීය ගායනා කළ ඇය, ක‍්‍රමයෙන් කණ්ණඩ, මලයාලම් භාෂාවලින්ද ගායනයට යොමුවූවාය. සිය උපන් ගම සහ හැදුණු වැඩුණු මරාති සංගීතය ඇයට විවිධ භාෂාවලින් ගී ගායනයට මහෝපකාරී විය. විශේෂයෙන්ම ඇගේ මලනුවන් හ‍්‍රින්ද්‍යනාත් සමග එක්ව චලා වහි දේස් (1979), රාම් රතන් දන් පායෝ (1983) සහ ශ‍්‍රද්ධාංජලී (1994) මැයෙන් ඈ සංගීත ඇල්බම කිහිපයක්ද නිකුත් කළාය. රාම් රාම් පව්හනේ (1963) ආදී මරාති චිත‍්‍රපට කිහිපයක සංගීත අධ්‍යක්ෂකවරිය ලෙස කටයතු කළ ලතා මංගේෂ්කාර්, වාදල් (1953), ජාන්ජර් (1953) වැනි චිත‍්‍රපට නිෂ්පාදනයෙන් චිත‍්‍රපට නිෂ්පාදිකාවක බවටද පත් වූවාය. ඇය ගැයූ දේශාභිමානී ගීතයක් වන ඒ මේරේ වතන් කී ගීය, එවක ඉන්දීය අගමැති ජවහර්ලාල් නේරු තුමා කඳුළු රැුඳි දෙනෙතින් අසා සිටීම ඇගේ ගායනයට කළ ප‍්‍රශංසනාවක් බඳු විය. ලතා ඔබ මගේ ඇස්වලට කඳුළු ගෙන ආවා යැයි ලතා හමුවූ නේරුතුමා පැවසීය. ඉන්දියාවේ ප‍්‍රාන්ත භාෂා 31 කින් සහ විදෙස්

 භාෂාවන්ගෙන්ද ගීත 50,000කට ආසන්න සංඛ්‍යාවක් ගායනා කර ඇති ලතා මංගේෂ්කාර් 1974දී වැඩිම චිත‍්‍රපට ගණනක ගී ගැයූ සංගීත ශිල්පිනිය ද වේ. ලතා මංගේෂ්කාර්ගේ මුවින් සිදුවූ සුවිශේෂීම සිදුවීමක් වනුයේ සිංහල භාෂාවෙන්ද ගීතයක් ගායනා කර තිබීම වේ.

 ඒ අනුව ‘ශ‍්‍රී ලංකා… මා ප‍්‍රියාදර ජයභූමි’ ගීතයේ මුල් ගායිකාව වන්නේද ලතා මංගේෂ්කාර් මහත්මියයි. ඇය විසින් මෙම ගීතය ගායනා කරන ලද්දේ ටී. සෝමසේකරන් විසින් අධ්‍යක්ෂණය කරන ලද සැඩ සුළං චිත‍්‍රපටය වෙනුවෙනි. මෙය ආනන්ද සමරකෝන් මහතාගේ ගේය පද රචනයකි. ඇයගේ මලණුවන් මෙන්ම නැගණිය වූ ආශා බෝස්ලේද භාරත සංගීත ක්ෂේත‍්‍රයේ අනන්‍යතාව සනිටුහන් කිරීමට සමත් වූවාය. තවද, 2001 වර්ෂයේ දී දී ඇය ඉන්දියාවේ ඉහළම සිවිල් ගෞරවය වන භාරත් රත්නයෙන් පිදුම් ලැබුවාය. ඇය 1999 දී ඉන්දියාවේ දෙවන ඉහළම සිවිල් සම්මානය වන පද්ම විභූෂන් සම්මානයෙන් ද පිදුම් ලැබුවාය. මංගේෂ්කාර් ඉන්දියාව තුළ විවිධ චිත‍්‍රපට කර්මාන්ත සඳහා භාෂා පහකට වඩා වැඩි ගණනකින් රඟපා ඇත. 1974 දී ගිනස් වාර්තා පොත, මංගේෂ්කාර්

 ඉතිහාසයේ වැඩිම වාර්තාගත කලාකරුවා ලෙස ලැයිස්තුගත කරන ලද අතර, ඇය 1948 සහ 1974 අතර ඉන්දියානු භාෂා 20 කින් ඒකල, යුගල සහ ගායන පිටුබලය සහිත ගීත 25,000 කට නොඅඩු වාර්තා කර ඇති බව වාර්තා කරයි. ගීත 28,000ක් පමණ ගායනා කළ බව කියන මොහොමඞ් රාෆි විසිනි. රාෆිගේ මරණයෙන් පසු, එහි 1984 සංස්කරණයේ, ගිනස් ලෝක වාර්තා පොත වැඩිම වාර්තා කිරීම්, සඳහා ඇයගේ නම සඳහන් කළ නමුත්, රෆිගේ ප‍්‍රකාශය ද ප‍්‍රකාශ කළේය. ගිනස් පොතේ පසු සංස්කරණවල සඳහන් වූයේ ඇය 1948 සහ 1987 අතර ගීත 30,000කට නොඅඩු ප‍්‍රමාණයක් ගායනා කර ඇති බවයි.

 කෙසේ නමුත් ඉන්දියාවේ, ශිවාජී විශ්වවිද්‍යාලය, කොල්හපූර් විශ්වවිද්‍යාලය, පූනෙයි විශ්වවිද්‍යාලය, හයිද්‍රාබාද් විශ්වවිද්‍යාලය යන විශ්වවිද්‍යාලවලින් ලතා මංගේෂ්කාර් මහත්මියට සංගීතය පිළිබඳ ආචාර්ය උපාධිය පිරිනමා ඇත. ඒ අනුව ලෝකයක් ගීතයෙන් මුසපත් කළ ඉන්දියාවේ ගීත කෝකිලාවිය හෙවත් ලතා මංගේෂ්කාර් ආයු වසර 92 ක් විඳිමින් 2022-02-06 දින ලෝකයක් හ`ඩවමින් දිවි ගමන නතර කරනු ලැබීය. ඇයගේ මුවින් ගැයූ ගීත, රංගනයෙන් දායක වූ චිත‍්‍රපට තවත් කාලාන්තරයක් යන තුරු මිනිසුන්ගේ හදවත් තුළ රැඳෙනු ඇත.

 ඩබ්. එම්. ප‍්‍රසන්න වන්නිනායක,
 පුරාවිද්‍යා (විශේෂ), සිවුවන වසර,
 පුරාවිද්‍යා අධ්‍යයනාංශය,
 පේරාදෙණිය විශ්වවිද්‍යාලය.

advertistmentadvertistment
advertistmentadvertistment