ලෝකයක් වටින වඳුරන්ට මහජන මුදලින් සිරගෙවල්

475

කොළඹ නගරය සමග බැඳී ඇති වගුරුබිම් නගරයේත් ජනතාවගේත් පැවැත්ම උදෙසා විශාල කර්ය භාරයක් සිදුකරයි. ඒ අතරින් ගංවතුර පාලනය, ජලය පිරිපහදු කිරීම, වාතයේ තෙතමනය රඳාගැනීම, උෂ්ණත්වය පාලනය, ආහාර සැපයීම, නොයෙකුත් ප‍්‍රයෝජන සපයන ශාක වර්ග සහ නගරයේ ජනතාවට සුන්දර දසුනක් ලබාදීමෙන් මානසික ආතතියට ප‍්‍රතිකාරද කරනු ලබයි. මීට අමතරව තෙත්බිම් අති විශාල පරාසයක ජෛව විවිධත්වයකට හිමිකම් කියයි.

කොළඹ නගරයේ පවතින තෙත්බිම් වටිනාකම නිසාම 2018 වර්ෂය අවසානයේ ඩුබායිහීදී පැවැත්වීමට යෙදුණු රැම්සා පාර්ශවකරුවන්ගේ සම්මුතියේ 13 වැනි සැසි වාරයේදී ශ‍්‍රී ලංකාවේ කොළඹ නගරය නාගරික තෙත් බිමක් ලෙස ප‍්‍රකාශයට පත් කිරීමට අවැසි යෝජනාව සම්මත විය. කොළඹ අවට පවතින තෙත් බිම් මගින් සිදු වන පාරිසරික සේවයේ ඇති වැදගත්කම සැලකිල්ලට ගනිමින් මේ ආකාරයට කොළඹ තෙත් බිම් නගරයක් ලෙස ප‍්‍රකාශයට පත් කිරීමට තීරණය විය. එහිදී කොළඹ නගරය තිරසර නගරයක් ලෙස ලබා දෙන පාරිසරික වටිනාකමත්, පරිසරය සහ මහජනතාව අතර සහජීවනයට ලැබෙන දායකත්වය පිළිබඳවත් සැලකිල්ලට ගෙන ඇත. මෙම සැසිවාරය නියෝජනය කරමින් රැම්සා සම්මුතියට බැඳුණු රටවල විෂය සමගාමී රාජ්‍ය ආයතන සහභාගි වු අතර ශ‍්‍රී ලංකාවේ රැම්සා සම්මුතිය ක‍්‍රියාත්මක කරන රාජ්‍ය ආයතනය වන වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවද මෙම සමුළුව සඳහා සහභාගී විය. එහිදී ශ‍්‍රී ලංකාවේ කොළඹ අවට ව්‍යාප්තව ඇති නාගරික තෙත් බිම් පිළිබඳව සහ ඒවායේ වැදගත්කම පිළිබඳවද ජාත්‍යන්තරයේ අවධානය යොමු කිරීමේ ප‍්‍රතිඵලයක් ලෙසට මෙම අවස්ථාව භාවිතයට ගැනීමට හැකිවීමත් සංවර්ධනය වන රටක් ලෙස ස්වභාවික පරිසරය සමග සිදු කරනා ගනු දෙනුව කෙබඳුදැයි පිළිබිඹු කළ අවස්ථාවක් ලෙසද මෙය හැඳින්විය හැකිය.

කොළඹ නාගරික තෙත් බිම ප‍්‍රකාශයට පත් කිරීමට සම්මත වූ යෝජනාවට සමගාමීව ලොව පුරා තවත් එබඳුම නාගරික තෙත් බිම් 18 ක් ප‍්‍රකාශයට පත් කිරීම මෙහිදී සිදු විය. (ඒ අනුව චීනයේ නාගරික තෙත් බිම් 06 ක්, ප‍්‍රංශයේ නාගරික තෙත් බිම් 04 ක්, කොරියානු ජනරජයේ නාගරික තෙත් බිම් 04 ක්, හංගේරියාවේ නාගරික තෙත් බිම් 01 ක්, ටියුනිසියාවේ නාගරික තෙත් බිම් 01 ක්, මැඩගස්කරයේ නාගරික තෙත් බිම් 01ක් සහ අප රට තුළ යෝජිත නාගරික තෙත් බිම ද ඇතුළුව නාගරික තෙත් බිම් 18 ක් ප‍්‍රකාශයට පත් විය.

කොළඹ, ශ‍්‍රී ජයවර්ධනපුර, මහරගම, දෙහිවල – ගල්කිස්ස, කඩුවෙල සහ කොළොන්නාව යන මහ නගර සභා බලප‍්‍රදේශ හයට අයත් ප‍්‍රකාශයට පත්කිරීමට යෝජිත නාගරික තෙත් බිම් අතරට ශ‍්‍රී ජයවර්ධනපුර කෝට්ටේ අභයභූමිය, බෙල්ලන්විල අත්තිඩිය අභයභූමිය, මුතුරාජවෙල අභයභූමිය, බොල්ගොඩ ඔය, වේරැස් ගඟ, කැලණි මිටියාවත, ලූනාව කලපුව ආදී පාරිසරික කලාපයන් ඇතුළත්ය.

එලෙසම කොළඹ නගරයට තදාසන්න ප‍්‍රදේශ හා සම්පූර්ණ කොළඹ පරිපාලන දිස්ත‍්‍රික්කය පුරාම අගනා තෙත්බිම් පරිසර රැසක් දක්නට ලැබෙන අතර, මේ සියල්ලක්ම ජෛව විවිධත්වයෙන් අතිශය පොහොසත්ය. ශීඝ‍්‍ර නාගරීකරණය, කර්මාන්ත ඉදිවීම නිසා දිනෙන් දින තෙත්බිම්වලට සිදුවන විනාශයද වේගයෙන් ඉහළ යන අතර, මේවා සංරක්ෂණය සඳහා පියවර නොගතහොත් නුදුරු අනාගතයේදීම කොළඹ තෙත්බිම් විනාශය වළකාලනු නොහැකිවනු ඇත. කොළඹ නගරය තුළ සංවර්ධන ක‍්‍රියාකාරකම් සිදු කිරීමේදී කොළඹ නගරය යනු නාගරික තෙත් බිමක් බව සැලකිල්ලට ගෙන ඒ ආශ‍්‍රිත සුවිශේෂි පරිසර පද්ධතීන් කෙරෙහි අහිතකර වූ බලපෑම් එල්ල නොවන පරිදි ඉදිරි සැලැසුම් සකස් කිරීම කෙරෙහි අවධානය යොමු කිරීම වැදගත්ය. නමුත් එය එසේ සිදුවන්නේ දැයි ඇතැම් සිදුවීම් අනුව අපට ප‍්‍රශ්නයක් මතු වේ. අද තලංගම හා අරංගල තෙත්බිම් හරහා යන අධිවේගී මාර්ගය නිසා උද්ගතව ඇති ගැටලූ, කරදියාන, මුතුරාජවෙල, ජයවර්ධනපුර වැනි තෙත්බිම්වලට සිදුවෙමින් පවතින ක‍්‍රියාකාරකම් දෙස බැලීමේදී කොළඹ තෙත් බිම්වල අනාගතය අවිනිශ්චිත වී ඇත.

monkey2

කොළඹ ප‍්‍රදේශයේ ඇති වගුරු බිම්වල හා ආශ‍්‍රිතව පක්ෂීන් විශේෂ 150කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වී ඇත. උරගයින් විශේෂ 44 ක්ද, දේශීය මිරිදිය මසුන් 30ක් පමණ වාර්තා වන අතර ඉන් බටහිර තීරුවේ පමණක් හමුවන පොට්ට ආඳුන් දෙදෙනාගේ සහ හොරදන්ඩියාගේ පැවැත්ම මුළුමනින්ම රඳාපවතින්නේ මෙම තෙත් බිම් මතය. වගුරු බිම් විනාශ වන නිසා මෙම පොට්ට ආඳුන් ගෙන් එක් අයෙක් (De Silvazs blind eel) දැඩි ලෙස වඳවීමේ තර්ජනයට මුහුණපා ඇති අතර අනෙක් පොට්ට ආඳා ( Swamp eel ) වඳවීමේ තර්ජනයට මුහුණපා ඇත.

ක්ෂීරපායි විශේෂ 22 ක් වාර්තා වන අතර ඒ අතර තර්ජනයට ලක්වූ ක්ෂීරපායින් වන කළු වඳුරා සහ හඳුන්දිවියාද වේ. තර්ජනයට ලක්වන සතුන්ගේ නාමලේඛනය සකසන (රතු දත්ත පොත ) පරිසර සංරක්ෂණය සඳහා වූ අන්තර්ජාතික සංගමය (IUCN ) මගින් ලොව වෙසෙන වඳුරන් විශේෂ 448 ගෙන් දැඩිලෙස තර්ජනයට ලක්වූ වඳුරන් 25 දෙනෙකු නම්කර ඇත. ඒ අතර ශ‍්‍රී ලංකාවට ආවේනික කළු වඳුරා – Purple-faced langur (Purple-faced leaf monkey) ද ඇතුළත් වේ.

නමුත් මෙම වටිනා පරිසරය කාලයක් තිස්සේ ගොඩකිරීම නිසා විනාශව ගොස් ඇති අතර දැනට කොළඹ ප‍්‍රදේශයේ ඉතිරිවී ඇති තෙත්බිම් කිහිපයක් වනජිවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පාලනය කරනු ලබන අභයභූමි වන අතර අනෙකුත් සියලූම තෙත් බිම් පාලනය කරනු ලබන්නේ ශ‍්‍රී ලංකා ඉඩම් සංවර්ධන සංස්ථාව ( SLLDC ) (අතීතයේ ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාව) මගිනි.

monkey3

නමුත් මෙම ඉඩම් සංවර්ධන සංස්ථාව ( SLLDC ) තෙත් බිම්වල ඇති ජෛව විවිධත්වය පිළිබඳව දැඩි තැකීමක් කරනු වෙනුවට ඒවාට දැඩි ලෙස හානි කරමින් සිටින බව අප කළ සොයා බැලීම්වලදී හඳුනාගන්නට හැකිවිය. ඔවුන් වගුරුබිම හාරා ජලාශ ඇතිකර සතුන් විශාල සංඛ්‍යාවකගේ වාසස්ථාන විනාශ කර දමන්නේ කිසිදු විද්‍යාත්මක පදනමකින් තොරව හා අඩුම තරමින් කොළඹ යනු ජාත්‍යන්තර වශයෙන් නම්කර ඇති තෙත්බිම් නගරයක් බවවත් නොතකමිනි. සැබැවින්ම මෙහි බලධරයෝ ඒ බව නොදන්නා බව අපගේ වැටහීමයි. වගුරුබිම් ජලාශ බවට පත්කිරීමෙන් පක්ෂි විශේෂ 5කට පමණක් පරිසරය නිර්මාණය වන අතර තවත් පක්ෂීන් විශාල සංඛ්‍යාවකට වාසස්ථාන අහිමිකරනු ලබයි. මීට අමතරව වගුරු බිම් මායිම්ව හෝ ඒ හරහා හෝ අනවශ්‍ය අයුරින් පුළුල් ඇළවල්, විශාල කාණු සහ මාර්ග තැනීමෙන් ඇතැම් (කුඩා) සතුන්ගේ වාසස්ථාන අහිමිකර ගමන් කිරීම අහුරා ඇත.
ශ‍්‍රී ලංකා ඉඩම් සංවර්ධන සංස්ථාව ( SLLDC ) මගින් විනාශ කළ කරදියාන ස්වභාවික වගුරුබිම වේරැස් ග`ගට මායිම්ව තිබූ අක්කර 17ක් පමණ වූ කඩොලාන ආශ‍්‍රිත වගුරුබිම විටින් විට හාරා කුඩා දූපත් බවට පත්කර ඇත. මෙම වගුරුබිම තනිකරම ස්වභාවික වගුරුබිමක් වූ අතර එය තෙත්බිම් ආශ‍්‍රිත සතුන්ගේ රජදහනක් විය. මේවනවිට අක්කර 5 ක් වැනි කුඩා ප‍්‍රදේශයක් ඉතිරිව ඇති අතර (මෙහි සංසන්දනාත්මක සිතියම් බලන්න) එහි ජීවත්වූ සතුන් විශාල ප‍්‍රමාණයක් වඳවී ගොස් ඇත.


monkey4
මෙම දූපත්වල දැඩි ලෙස තර්ජනයට ලක්වූ ලංකාවට ආවේනික කළු වඳුරන් ගණනාවක් හිරවී ඇති අතර මේවන විටත් වඳුරන් ගණනාවක් මියගොස් ඇත. ජීවත්ව සිටින 15 දනෙකු පමණ වන වඳුරන් නිසි ආහාරයක් නොමැතිව අව්වට පිච්චෙමින් පීඩාකාරී ලෙස ජීවත් වේ. (එක් කුඩා දූපතක වඳුරන් 12 ක් ජීවත් වේ.) මේ අතර වනජිවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්තිඩියේ පවත්වාගෙන යනු ලබන වනජීවී සුරැකුම් මධ්‍යස්ථානයට 2020 වසරේදී පමණක් අනතුරට ලක්වූ කළු වඳුරන් 337 දෙනෙකු ගෙනවිත් ඇති අතර ඉන් 270ක් මියගොස් ඇත.

ශ‍්‍රී ලංකා ඉඩම් සංවර්ධන සංස්ථාව (SLLDC ) විශාල පරිසර විනාශයක් මෙහි සිදුකරන අතරම ලංකා ආණ්ඩුවේ දැවැන්ත මුදල් විනාශයක් සිදුකරයි. වගුරුබිම් හෑරීම සිදුකරන්නේ මෙසේ රජයේ මුදල් ලබාගැනීම සඳහාත් හෑරූ පසු ඒවා නඩත්තුවටද විශාල මුදලක් ලබාගත හැකිවන නිසාත් බව කියනු ලැබේ. මේ වනවිට රජයට සම්බන්ධ ආයතන වලින් වැඩිම මුදලක් වැය කරන්නේ ඉඩම් සංවර්ධන කාර්යයන් සඳහා යැයි දැන ගන්නට ඇත. ඒ මෙම සංස්ථාව මගිනි. මෙසේ මුදල් සහ පරිසර විනාශය සිදුකරන මෙම සංස්ථාව පිළිබඳ විධිමත් පරීක්ෂණයක් ඉකමනින් සිදු කළ යුතු බව පරිසරවේදීන්ගේ අදහසයි. නැතහොත් තෙත්බිම් නගරයක් ලෙස ලෝකයම පිළිගත් කොළඹ නගරය එම තත්ත්වයෙන් ගිලිහීයාම කෙසේ වෙතත් කොළඹ තෙත්බිම් නිකම්ම නිකං වතුර ටැංකි බවට පත්වී මහා පරිසර විනාශයක් සිදුවීමත්, එහි ජෛව විවිධත්වය විනාශය වීමත්, මුදල් කාබාසිනියා වීමත් සිදුවන නිසාය.

පරිසර විමසුම – ජගත් කණහැරආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment