ලෝකයේ ආරම්භය කෙසේ සිදුවීද?

98

පෙරදිග පුරාතන ආගමික සිද්ධාන්තවලට අනුවද ද්වාපර යුගයේ විසූ පංච අභිඥා ලාභී අෂ්ඨ සමාපත්ති ලාභී සෘෂි උතුමන් වහන්සේලාගේ අනාවරණයන් අනුව ද බුදුන් වහන්සේ විසින් දේශනා කිරීමට යෙදුණ ඇතැම් සූත්‍ර ධර්මයන්ට අනුව ද ලෝකයේ ආරම්භය එකම ලෙසකට සිදුවී ඇත. මෙය ජ්‍යොතිෂ විද්‍යාත්මක ගණනයන් තුළින් විමසන කල ද සත්‍ය හා නිවැරදි බව පෙනීයයි. විශේෂයෙන්ම බුද්ධ ධර්මයේ සඳහන් ත්‍රිපිටකයෙන් සූත්‍ර පිටකයේ දීප නිකායේ අග්ගඤ්ඤ සූත්‍රයේ ලෝක ආරම්භයේ නතු මනාව විස්තර වේ.

අග්ගඤ්ඤ සූත්‍රයේ සඳහන් ධර්ම කරුණුවලට අනුව ලෝක විනාශයෙන් පසු නැවත ලෝකය ආරම්භය මෙසේ සඳහන් වේ. ලෝක විනාශයත් සමග ලෝක විනාශයට පෙර තිබූ පෘථිවිය හා එය පිහිටි චක්‍රාවාටය යන සියල්ල හිරුත් සඳුත් සමගම විනාශ විය. මෙලෙස ලෝක විනාශයෙන් පසු දීර්ඝ කාලයක් හිස්ව පැවති අජටාකාශයේ පෘථිවිය පිහිටි තැන කර්මානුරූපව මහ පොළව හට ගත්තේය. එහිදී මුලින්ම දිය කඳ සෑදුන බව සඳහන්ය. ඉන් අනතුරුව ඒ දියකඳ මත රස පොළව හටගත් බව කියවේ. මේ වනවිට හිරු සඳු තරු ආදිය නොතිබීමෙන් පෘථිවිය මත තද ගන අඳුරක් පැවතුණි. බුද්ධ දේශනාවට අනුවත් සෘෂිවරුන් වහන්සේලාගේ අනාවරණයන්ට අනුවත් මේ සමයේ කිසිදු සත්වයෙක් පෘථිවිය මත වාසය කළේ නැති බව සඳහන්ය. කෙසේ නමුත් ලෝක විනාශයට පෙර මහත් වූ පුණ්‍ය මහිමයකින් යුතු සත්වයෝ ද්විතීය ධ්‍යාන භූමියක් වූ ආබස්සර නම් බඹ ලොව ඉපදුනහ. එසේ ආබස්සර නම් බඹ ලොව උපන් සත්වයෝ එම කුසලය ක්‍ෂය වී ආබස්සර බඹ ලොවින් චුතව බ්‍රහ්මයන් හා සමාන ක්‍යාම ප්‍රභාව ඇතිව ආකාශ චාරීව හැසිරෙන සත්ව කොට්ඨාසයක් සේ ඉපදුනි. මොවුන් බ්‍රහ්මයන් හා සමාන වූයෙන් ප්‍රීතියම ආහාරය කොට ගත්හ. ධ්‍යාන බල අතින් ද ඉතා උසස් තලයක සිටි මෙම සත්ව විශේෂය පෘථිවිය මත වූ අහසේ සෘද්ධියෙන් එහා මෙහා සැරිසැරූහ. මෙලෙස එහා මෙහා සැරිසැරීමේදී රස පොළවේ වර්ණය හා සුවඳ දැනුණි.

මෙම රස පොළවේ වර්ණයට හා සුවඳට ආශාව ඇති වූ එම ආකාශානුචාරී එක සත්වයෙකු තම ඇඟිල්ලෙන් රස පොළවේ රස බැලු බව සඳහන්ය. මෙලෙස රස පොළවේ රසට වශීව අනෙක් සියලු සත්වයෝ ද රස පොළව ආහාරයට ගත්හ. මෙලෙස බොහෝ කාලයක් රස පොළව ආහාරයට ගන්නා විට ඉතා සියුම් ශරීර දැරූ බ්‍රහ්මයන් හා සමාන වූ එම සත්වයන්ගේ ශරීර රළු විය. එලෙස ශරීර රළු මෙන්ම ක්‍යාම ප්‍රභව ක්‍රමයෙන් අතුරුදන් විය. ඒ නිසා එතෙක් තම ශරීර ආලෝකයෙන් ජීවත් වූ මෙම සත්වයන්ට ආලෝකය අවශ්‍ය විය. ඒ නිසා මොවුන් ආලෝකය ලැබෙන්නට සූර්යයෙකු පැතීය. මෙම සත්වයන් මහා පුණ්‍ය මහිමයකට හිමිකම් කියූ නිසාවෙන් සූර්යයකු පහළ විය. එවිට අඳුර නැති විය. නමුත් දිවා කාලයේ පායන සූර්යයා සවස් වෙත්ම බැස යන නිසා නැවත පසුදා උදය වනතුර අඳුර ඇති විය. මෙයට විසඳුම් ලෙස මෙම සත්වයෝ රාත්‍රි කාලයට නැවත සෞම්‍ය ආලෝකයක් පැතීය. ඒ අනුව චන්ද්‍රයා පහළ විය. මින් අනතුරු සෙසු ග්‍රහලෝක ආදියත් තාරකා ආදියත් පහල විය. මෙලෙස ඉර හඳ ප්‍රමුඛව ආකාශ වස්තුන් පහල වීමේදී රෑ දවල් දින මාස සෘතු වසර ආදී ලෙස කාලයේ බෙදීම් ඇති විය.

බුද්ධ දේශනාවේ සඳහන් උත්පාද තිථි බංග යන නියමයන්ට අනුව ලෝකයේ ඇතිවීම පැවතීම හා නැතිවීම සිදුවේ. මෙය හුදෙක් කාලානුරූපව සිදුවන සදාතන ධර්මතාවකි. කාලයේ චක්‍රියතාව මෙම ධර්මතාවයට සෘජුවම බලපාන බව ද මෙහිදී කිව යුතුමය. රස පොළව ආහාරයට ගනිමින් මෙසේ දීර්ඝ කලක් ගත වනවිට එවක විසූ බ්‍රහ්මයන් හා සමාන වූ සත්වයෝ තම ගුණ දහම් පිරිහී මාන්නාදික වීමෙන් රස පොළව ක්‍රමයෙන් අතුරුදන් විය. ඒ සමගම සත්වයන්ගේ ආහාරය සඳහා මිහිරි රසැති බිම්මල් විශේෂයක් පහල විය. එම ප්‍රණීත වූ බිම්මල් ද දීර්ඝ කාලයක් ආහාරයට ගැනීමෙන් එම සත්වයන්ගේ ශරීර තව තවත් දැඩි විය. මෙහිදී ද මෙම සත්වයන්ගේ ගුණ යහපත්කම් තවදුරටත් පිරිහී මාන්නාධික වීමෙන් එම බිම්මල් විශේෂය ද ක්‍රමයෙන් අතුරුදන් විය. ඉන් අනතුරු සත්වයන්ගේ ආහාරය උදෙසා මිහිරි රසැති වැල් විශේෂයක් පහල විය. මෙම වැල් විශේෂය ද බොහෝ කලක් පැවත සත්වයන්ගේම අයහපත්කම් හේතුවෙන් කලින් වතාවලදී සේම ක්‍රමයෙන් අතුරුදන් විය. මින් අනතුරු සත්වයන්ගේ ආහාරය උදෙසා කුඩු දහයියා ආදියෙන් තොර සුවඳවත් රසවත් සහල් විශ්ෂයක් පහල විය. මෙම සහල්වල විශේෂත්වය වූයේ මේවා උදයට නෙළාගත් විට නැවත සවසට හට ගැනීමයි. මෙම සහල් විශේෂය සත්වයන් දීර්ඝ කාලයක් ආහාරයට ගැනීමෙන් ඔවුන්ගේ ශරීර වඩ වඩාත් රළු විය.

ආබස්සර බ්‍රහ්ම ලෝකයෙන් චුතව මේ දක්වා මෙම සත්වයන්ට ස්ත්‍රී පුරුෂ භේදයන් නොතිබිණි. එහෙත් සියුම්ව තිබූ ශරීර ක්‍රමයෙන් රළු වෙන්ම ඔවුනොවුන් ඔවුනොවුන්ගේ ශරීර දෙස බලා සිටීමෙන් ක්‍රමයෙන් රාගය පහල විය. ඒ අනුව ලෝක විනාශයට පෙර සිටි ලෙසටම මෙම සත්වයන්ට ස්ත්‍රී පුරුෂ බව පහල විය. ස්ත්‍රී පුරුෂ බව පහල වීමත් සමගම රාගයෙන් භරිත වූ මෙම ස්ත්‍රී පුරුෂයෝ ප්‍රසිද්ධියේ මෛථූන සේවනයේ යෙදීමට පටන් ගත්හ. එම තත්ත්වය පිළිකුලටත් පරිභවයටත් නින්දාවටත් හිංසාවටත් හේතු වූයෙන් මෙම ස්ත්‍රී, පුරුෂයන්ට ආරක්ෂා සහිත වාසස්ථානයක අවශ්‍යතාව ඇති විය. ඒ නිසා ඔවුන් වාසස්ථාන සකසා ගත්තේය. මෙලෙස වාසස්ථාන සකසා ගැනීමත් සමග එක වේලකට සෑහෙන සේ නෙළාගෙන ආ සහල් තෘෂ්ණාවෙන් යුතුව වේල් කීපයකට දින කීපයකට ආදී ලෙස රැස් කර ගබඩා කිරීමට පෙලඹුණි. මෙලෙස මෙම සත්වයන්ට තණ්හාව ඇති වූ නිසාවෙන් සහල් නෙළාගත් කල නැවත සහල් හටගැනීම ක්‍රමයෙන් නැති විය. තවද සහල්වල කුඩු දහයියා පවා ඇති විය. මෙලෙස සහල් හිඟ වූයෙන් සහල් වැවී ඇති පොළවේ කොටස් නියර ආදිය බැඳ තමාගේ අයිතිය පවසමින් වෙන්කර ගැනීමට යෙදුනි. මෙලෙස සහල් හිඟ වූයෙන් මිනිසුන් ඉදිරි පරිභෝජනය සඳහා සහල් හා අනෙකුත් ධාන්‍ය ආදිය රැස් කර ගබඩා කිරීමට පුරුදු විය. මේ අතර මෙම මනුෂ්‍යයන්ගෙන් කෙනෙක් මෙම සහල් ධාන්‍ය ආදිය සොරකම් කළේය. ඒ සමග සොරකම ආරම්භ විය. මේ නිසා මෙම අසාධාරණ අකටයුතුකම විනිශ්චය කොට ඊට සුදුසු දඬුවම් ලබාදීමට පුද්ගලයෙකුගේ අවශ්‍යතාව ඇති විය. එහිදී එකල විසූ මනුෂ්‍යයෝ එක්ව සැවොමගේම සම්මතයෙන් කවුරුත් පිළිගත් පුද්ගලයකු ඒ සඳහා පත්කර ගත් අතර ඔහු සපයන මේ සේවාව වෙනුවෙන් ඔහුට සැවොම එක්ව ධාන්‍ය කොටසක් පිරිනැමීම සම්මත කර ගත්හ. මෙලෙස මෙම පුද්ගලයා සැමගේ සම්මතයෙන් පත්වූ බැවින් මහා සම්මත නමින් ද කෙතට අධිපති වූ බැවින් ක්‍ෂත්‍රිය නමින් ද දැහැමින් සාධාරණව කටයුතු කළ බැවින් රජ නමින් ද ප්‍රකට විය. මේ අයුරින් ක්‍ෂත්‍රිය කුල පරම්පරාව ඇරඹුණි.

මෙලෙස ක්‍රමයෙන් ප්‍රජාව ඇති වීමත් සමග තවත් කුලයක් ඇති විය. විශේෂයෙන් මිනිසුන් තුළ සොරකම, මුසාවාදය, ගැරහුම ආදී ළාමක ධර්ම පහල වීමත් සමග ඒ පිළිබඳ පහන් සංවේගය උපදවාගත් තවත් පිරිසක් එම අකුසල ධර්මයන්ගෙන් වැළකී පින් කිරීම ධ්‍යාන වැඩීම ආදී උසස් කුසල කර්මවල යෙදීමට පෙලඹුණි. බ්‍රහ්මචාරී ජීවිතයක් ගත ුකළ ඔවුන්ට බ්‍රහ්මණයයි ව්‍යවහාර විය. මෙලෙස බ්‍රාහ්මණ කුලය ආරම්භ විය. තවද ගව පාලනය ආදී වූ නොයෙක් කර්මාන්ත කිරීමට පෙලඹුණ පිරිස වෛශ්‍ය ලෙස හැඳින්විණි. ඒ අනුව එලෙසට වෛශ්‍ය කුලය ආරම්භ විය. මේ අතර තවත් ඉතාම සුළුතර පිරිසක් ඉතා පහත් අධම දීන නපුරු ක්‍රියා කිරීමට පෙලඹුණි. සමාජයෙන් ගැරහීමට ලක්වූ ඔවුන් ශුද්‍රයන් ලෙස හඳුන්වන ලදී. එලෙසම ශුද්‍ර කුලය ඇති විය. මේ අයුරින් එකල ජීවත්වූ මනුෂ්‍යයන්ගේ ක්‍රියාව අනුව බ්‍රාහ්මණ, ක්‍ෂත්‍රිය, වෛශ්‍ය හා ශුද්‍ර යන කුල සතර ඇති විය. මෙලෙසට මෙම කුල බෙදී යෑමේදී ධර්මය හා අධර්මය බොහෝ දුරට උපමානයන් ලෙස භාවිතා වුණි.

කෙසේ නමුත් උතුම් සම්බුද්ධ දේශනාවට අනුව යම් මනුෂ්‍යයෙකු බ්‍රාහ්මණයකු හෝ වසලයෙකු වන්නේ තම ක්‍රියාවෙන් මිස අන් දෙයකින් නොවේ. මේ බව ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ ඛද්දක නිකායේ (සූත්ත නිපාතේ) වසල සූත්‍රයේ සඳහන්ය. සම්බුද්ධ දේශනාවට අනුව ඉහත සඳහන් කවර කුලයකට අයත් වුව ද සිත, කය, වචනය යන ත්‍රිදොරින් අයහපත් වූ කාය, වචී, මනෝ කර්ම ආදිය කරයි නම් එය ස්ථිරවම දුක පිණිස හේතු වන බවත් එසේම තිදොරින් යහපත් වූ කාය, වචී, මනෝ කර්ම ආදිය කරයි නම් එය ස්ථිරවම සැප පිණිස හේතු වන බවත් එසේම තිදොරින් යහපත් හා අයහපත් කාය, වචී, මනෝ කර්ම ආදිය සිදු කරයි නම් එය සැප හා දුක අඩු වැඩි වශයෙන් ගෙන දීමට හේතු වන බවත් සඳහන්ය. එය එසේ මුත් සතර කුලයෙන් කවර කුලයක මනුෂ්‍යයකු හෝ සිත කය වචනය යන ත්‍රිවිධ ද්වාරයෙන් සංවර වී බෝධි පාක්ෂික ධර්ම වඩා සියලු කෙලෙසුන් නසා උතුම් රහත් පදවියට පත් වන්නේ ද හෙතෙම සියල්ලන්ගේම අග්‍ර වන්නේය. ඒ අනුව වටින්නේ අධර්මය නොව ධර්මය යනු සම්බුදු දෙසුමයි. ඒ නිසා අපත් හැකිතාක් උපරිමයෙන් ධාර්මික වෙමු. රෝග බිය, මරණ බිය, අමනුෂ්‍ය බිය වළකා ගමු. යහපත් මනුෂ්‍යයන් වී සොබාදහම තුළින්ම ආරක්ෂා වෙමු. සැනසිල්ලේ ප්‍රීතියෙන් සතුටින් ජීවත් වෙමු.

ජ්‍යොතිෂ්‍යවේදී, දේශබන්දු
ආචාර්ය මහේන්ද්‍ර පල්ලෙබැද්ද
පානදුර
දු.අංකය 0774 126 023

advertistmentadvertistment
advertistmentadvertistment