ලෝකයේ ගමන වෙනස් කරන මකරාගේ අලුත් ගමන

452

අභියෝග මැද්දේ ෂී ජින් පින්ගේ තුන්වැනි යාමයට

සීරෝ කොවිඩ් ප්‍රතිපත්තියේ සැඟවුණු වෛරසය

යුක්රේන පාඩමෙන් තායිවානයට ගමනක්

බිලියන 1.41ක් වන චීන ජනගහනයේ නායකයා වනවාට වඩා, ඇස්තමේන්තුගත සාමාජිකයන් මිලියන 90 ක් සිටින චීන කොමියුනිස්ට් පක්ෂයේ සභාපතිත්වය ප්‍රබල බව ලෝක දේශපාලන විචාරකයන් බොහෝ දෙනෙකුගේ අදහසය. චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි ජාතික සම්මේලනය මේ වසරේ නොවැම්බර් මාසයේදී බීජිංහිදී පැවැත්වීමට නියමිත හෙයින් චීන නායකයාගේ ඊළඟ පිම්ම පිළිබඳව සංවේදී නොවී ලෝකයේ ඊළඟ පියවර පිළිබඳව කතා කළ නොහැකි වනු ඇත.

2,300 ක් පමණ කොමියුනිස්ට් පක්ෂයේ නියෝජිතයන් බීජිං හි මහජන මහා ශාලාවට, නොවැම්බර් මාසයේ රැස්වන්නේ ඉදිරි වසර පහ සඳහා චීනයේ ඉරණම මෙන්ම ලෝක ඉරණමේ ද විශාල පංගුවක් සඳහා දායකවීමට බව කිව හැකිය. ජාලයක් මෙන් එකිනෙක සමග ජාත්‍යන්තරයේ වෙලෙමින්ද, ස්වායත්ව ජාතික ආකාරයෙන් පවතින අරගල සහ අර්බුද හේතුවෙන්ද ලෝක දේශපාලන සිතියම නව දිශානතියක් කරා ගමන් කරමින් සිටින බව කිව හැකිය. රුසියා – යුක්රේන අර්බුදය දෙස ලෝක දේශපාලන ඇස යොමුව තිබෙන මොහොතක චීනයේ මතුව ඇති තත්ත්වය ද කියවා නොගතහොත් ලෝකය ගමන් කරන දිශානතිය නිවැරදි ආකාරයෙන් කියවා ගත නොහැකි වනු ඇත.

● ආර්ථික අගුලු දැමීමක් ද…?

ඔමික්‍රොන් ප්‍රභේදය සමග නව සටනක් අරඹා ඇති චීනය ඒ සඳහා යොදා ඇති නම වන්නේ කොවිඩ් ශුන්‍ය කිරීම හෙවත් සීරෝ කොවිඩ් ලෙසය. මෙය ලෝකය මෙතෙක් අනුගමනය කරන ලද පශ්චාත් කොවිඩ් තත්ත්වයට වඩා සපුරා වෙනස් මානයකි. ලෝකයේ සියලු රටවල් අගුලුලෑම අතහැර නව සාමාන්‍යකරණය යටතේ සිය ජීවන රටාව සඳහා පිවිසෙන විට, චීනය සිය ප්‍රධාන නගර සියල්ලම පාහේ ලොක්ඩවුන්කරණයට ලක් කරමින්, කොවිඩ් වෛරසය සහමුලින්ම සිය දේශයෙන් පිටමං කිරීම සඳහා උත්සාහ දරමින් සිටියි. මේ උත්සාහ දැරීම සඳහා චීන පාර්ශ්වයෙන් ලබාදෙන අර්ථකථනය වනුයේ සිය සුවිශාල ජන ඝනත්වය වෙත ආරක්ෂාකාරී අනාගතයක් සඳහාත්, විටින් විට රට ඇරීම සහ වැසීම සිදු කිරීමෙන් සිදුවන ව්‍යාකූලත්වයෙන් මිදීම සඳහාත්, මෙසේ එකවර ‘සතුරා මුළුමනින්ම විනාශ කිරීම’ සිය උපාය මාර්ගය කර ගත් බවය. විශේෂයෙන්ම චීන ආර්ථිකයේ සහ දේශපාලනයේ වැඩි බරක් දරා සිටින බීජිං සහ ෂැන්හයි ප්‍රදේශ මුළුමනින්ම වසා දැමීම පිටුපස සෞඛ්‍යමය වුවමනාවට වඩා වැඩි යමක් තිබෙන බව චීනයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි. එහිදී වැදගත් වන්නේ ආර්ථිකමය උපාය මාර්ගය ය. දළ දේශීය නිෂ්පාදිතය අනුව චීනයේ ඉහළම නගර 100 න් 57 ක අගුලු දැමීමට හෝ සංචරණ සීමා කිරීම් සඳහා යටත් කර තිබේ.

2022 වසර සඳහා දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධන ඉලක්කය සියයට 5.5 ක පමණ වනු ඇතැයි නිල වශයෙන් පුරෝකථනය සිදු කර තිබුණ ද මීට මාසයකට පෙර එය සියයට 4.9 සිට පසුගිය සතියේදී සියයට 4.6 දක්වා වී තිබේ. ෂැංහයි හි අගුලුදැමීම මාස දෙකක කාලයක් පැවතුණහොත් සහ අනෙකුත් විශාල නගරවලට ද බලපෑම් ඇති වුවහොත්, 2022 දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය සියයට 3.8 දක්වා පහත වැටෙනු ඇති බවත්, ආර්ථිකය පළමු කාර්තුවේ අත්විඳින ලද හේතුවෙන් වසර අවසානයේ ආර්ථික වර්ධනය සියයට 1.3ක අගයක් කරා ගමන් කරනු ඇති බවට ද සමහර ආර්ථික විද්‍යාඥයන් අනතුරු අඟවා තිබේ. මෙතරම් ආර්ථිකමය අගාධයක් පෙනි පෙනී, සීරෝ කොවිඩ් මෙහෙයුම සඳහා චීන ආණ්ඩුව පිය නගන්නේ ඇයි…? වෛරසය සමග ජීවත් වෙනවා යන ලෝකයේ සියලුදෙනා අනුගමනය කරන ප්‍රතිපත්තිය වෙනුවට කොවිඩ් වෛරසයක් නොමැති චීනයක් යන දුෂ්කර ඉලක්කය සඳහා මෙතරම් වැය බරක් සහිතව චීනය පිය නගන්නේ ඇයි…?

‘පොදු සමෘද්ධිය’ නම් චීන රජයේ නව ප්‍රතිපත්තිය හැඩ ගැසී ඇත්තේ සමාජවාදයේ අත්‍යවශ්‍ය අංගයක් ලෙස සලකාය. එහිදී වත්මන් චීන පාලනයේ දැඩි අවධානය යොමුව ඇත්තේ ආදායම් බෙදී යෑමේ විෂමතාවය අවම අගයක තබා ගැනීම සඳහා ය. හොංකොං පෝස්ට් හි වාර්තාවකට අනුව, චීන නිලධාරීන්ගේ දැඩි කොවිඩ් ප්‍රතිපත්තිය සැකසී ඇත්තේ සිය රටේ සිටින දැවැන්ත සමාගම් එක්තරා සීමාවක රඳවාගැනීමේ උපාය මාර්ගික ප්‍රවේශයක් ලෙසය. අති ධනවත් පුද්ගලයින් සහ දැවැන්තයින් ඇතුළු ධනපති පන්තියට ‘දඬුවම් දීම’ සඳහා වන උපායශීලී ආකාරයක් සීරෝ කොවිඩ් ප්‍රතිපත්තිය ප්‍රදර්ශනය කරමින් සිටින බව එම වාර්තාව පෙන්වා දෙයි. විශේෂයෙන්ම ආර්ථික සමෘද්ධිය හෙවත් ජාතික ආර්ථිකය බලවත් ආකාරයෙන් පවතින මොහොතක පන්ති පරතරය බලවත් ලෙස වර්ධනය වීම නැවැත්වීම චීනයට අවශ්‍යව ඇත්තේ, සමාජ සංතුලනය බිඳ වැටීම වළක්වා ගැනීම සඳහාය. මේ ආකාරයෙන් චීන ආර්ථිකය අඛණ්ඩ ලෙස ගලා ගියහොත් පන්ති පරතරය හේතුවෙන් ජනිත වෙන අසහනය පුපුරා යෑම චීන ආර්ථිකයට මතු නොව දේශපාලන ස්ථාවරභාවය සඳහා ද බලපෑමක් ඇති කරනු ඇතැයි කිව හැකිය. ඒ අනුව නව ආර්ථික මොඩලයක් සඳහා වන වැදුම් ගෙය බවට සීරෝ කොවිඩ් ප්‍රතිපත්තිය චීනය පත් කරගෙන ඇතැයි කිව හැකිය. එසේම ලෝක ආර්ථිකයේ සංචලිතය සඳහා වන ඉදිරි දැක්මක් ද ඒ තුළ ගැබ්ව ඇති බව කිව හැකිය. විශේෂයෙන්ම රුසියානු – යුක්රේන යුද්ධය හේතුවෙන් ඇතිවිය හැකි ආර්ථික අවදානම සහ කොවිඩ් පසු යුගයේ ආර්ථික කඩාවැටීම සඳහා මුහුණ දීම ද ගෝලීය වශයෙන් මෙම සීරෝ කොවිඩ් ප්‍රතිපත්තියෙන් චීනය අපේක්ෂා කරන බව පෙනී යයි. විශේෂයෙන්ම යුරෝපා සහ ඇමරිකානු මහාද්වීප සඳහා චීන නිපැයුම් අපනයනය විශාල ලෙස පහළ වැටීමක් මෙම තත්ත්වය සමග ඇති විය හැකි බැවින්, ඒ සඳහා වන පෙර සූදානමක් ද මේ තුළ ගැබ්ව තිබේ. ලෝක ආර්ථිකයේ නව සාමාන්‍යකරණය සඳහා වන ප්‍රවේශයක් ලෙස රට අගුලු දමා සූදානම් කරවීමට චීනය මෙහිදී අපේක්ෂා කරන බව පෙනී යයි.

යුක්රේන යුද්ධයෙන් ඉක්බිති, තෙල් මිල සහ ප්‍රධාන ආහාර ද්‍රව්‍යවල ඉහළ යෑම සමග ඒ සඳහා නව ආකාරයකින් මුහුණදීම අත්‍යවශ්‍ය බව චීන වැටහීම බව පැවසිය හැකිය. චීනයේ ‘පොදු සමෘද්ධිය’ නම් පිළිවෙත, 2021 සිට බීජිං ප්‍රතිපත්ති සම්පාදනයේ බලවත්ම සංකල්පය ලෙස මතු විය. ආදායම් පරතරය අඩු කිරීම සහ ජනතා කේන්ද්‍රීය සංවර්ධනය ප්‍රවර්ධනය කිරීමට කොමියුනිස්ට් පක්ෂය මේ වන විට දැඩි ප්‍රතිපත්තිමය තීන්දුවක් ගෙන තිබේ. මෙම සංකල්පය 2021 අගෝස්තු මාසයේදී මූල්‍ය හා ආර්ථික කටයුතු සඳහා වූ මධ්‍යම කාරක සභාවේදී ජනාධිපති ෂී ජින්පින් හඳුන්වා දෙන ලදී. සිය කතාවේදී ජනාධිපතිවරයා තර්ක කළේ මෙම ප්‍රතිපත්තිය “අධික ඉහළ ආදායම් සාධාරණ ලෙස නියාමනය කරන අතර ඉහළ ආදායම් ලබන පුද්ගලයන් සහ ව්‍යවසායන් සමාජයට නැවත පැමිණීමට දිරිගන්වන බවය. ගොවීන්ට පළමුව පොහොසත් වීමට ඉඩ දීම, පොදු සමෘද්ධිය ළඟා කර ගැනීමේ ප්‍රායෝගික ප්‍රතිපත්තිය බව ද ඔහු එහිදී අවධාරණය කළේය.

ඒ අතරම කිව හැක්කේ නව ලෝක තත්ත්වයක් සඳහා චීනය මෙසේ සූදානම් වෙමින් තිබෙන බවය. මහජන විප්ලවයේ දෙවැනි අවස්ථාව ලෙස සමහර විචාරකයන් මෙම පිළිවෙත හඳුන්වා දෙනු ලබන්නේ එහෙයිනි.

● අගුලු දැමීමේ දේශපාලන න්‍යාය පත්‍රය

චීනයේ දේශපාලන අධිකාරියෙන් ඍජු ලෙසම මෙම ලියුම්කරු වෙත දැන ගැනීමට ලැබුණේ ජනාධිපති ෂී ජින්පින්ගේ තෙවැනි වාරය සඳහා වන නොවැම්බර් සම්මේලනය තීරණාත්මක බැවින් එම තත්ත්වය තහවුරු කර ගැනීම සඳහා වන උපායක් ද සීරෝ කොවිඩ් ප්‍රතිපත්තිය තුළ සැඟව ඇති බවය. විශේෂයෙන්ම සිය දේශපාලන ස්ථාවරත්වයට එරෙහි කණ්ඩායම් නැගීමක් ජනාධිපතිවරයා සහ ඔහුට හිතවාදී කණ්ඩායම නිරීක්ෂණය කර තිබෙන අතර, එම කණ්ඩායම් සඳහා එක්සත් ජනපද සහය වැනි විදේශ සහයක් ලැබීම වළක්වා ඔවුන් හුදකලා භාවයට පමුණුවා අසරණ කිරීමක් ද මේ තත්ත්වයේ අරමුණ බව කිව හැකිය. විශේෂයෙන්ම ප්‍රබල චීන නායකයාගේ තුන්වෙනි යාමය සභාපති මාවෝ, ඩෙන් ෂියා ඕ වැනි චීනය සඳහා තවත් පෙරළියක් ඇති කරනු ඇතැයි අපේක්ෂා කළ හැකිය. ඒ සඳහා පැමිණෙමින් තිබෙන අභ්‍යන්තර ප්‍රතිවිරෝධය තුනී කර ගනිමින්, ප්‍රශ්නය චීනය තුළම ගාල් කර සිය තුන් වෙනි යාමය සඳහා ප්‍රවේශවීම ජනාධිපති ෂී ජින් පින්ගේ අභිප්‍රාය බව එම ආරංචි මාර්ග සඳහන් කළේය. සිය බල ඇණිය සමග ඉදිරි පස් වසර සඳහා වන චීන බලය හෙබවීම සඳහා වන අත්‍යවශ්‍ය කඩුල්ල පණ ගැනීමේ දී පක්ෂ අභ්‍යන්තරය බලහත්කාරයෙන් සන්සුන් කර ගැනීම චීනයට අවශ්‍ය වන්නේ එක්සත් ජනපදය එක් අතකින් චීන නායකත්වය ද අනෙක් අතින් රුසියානු නායකත්වය ද සෙලවීම සඳහා යටි උගුල් අටවා ඇති පරිසරයක ය.

රුසියාව සිය හමුදා යුක්රේනයට යැවීමට පෙර, පෙබරවාරි 4 වන දින ජනාධිපති ෂී ජින්පින් සහ ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ඒකාබද්ධ ප්‍රකාශයකට අත්සන් තැබූ අතර එය චීනය සහ රුසියාව අතර ‘සීමා රහිත’ හවුල්කාරිත්වයක් සඳහා එකඟත්වය පළ කළ අවස්ථාවක් විය. මාර්තු 18 වන දින, එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැය දෙකකට ආසන්න කාලයක් වීඩියෝ ඇමතුම් හමුවක් පැවැත්විණි. චීනය, රුසියාවට යම් ද්‍රව්‍යමය සහයක් ලබා දෙන්නේ නම් එහි ඵල විපාක සඳහා ද චීනයට මුහුණ දීමට සිදුවනු ඇති බවට බයිඩන් එහිදී අනතුරු අඟවා තිබුණි. එය එක්තරා අතකින් චීනයේ සඳහා ඇති තායිවාන් කෑදරකමට එල්ල කරන ලද අතුල් පහරක් බව කිව හැකිය.

● යුක්රේනයෙන් පාඩම්

යුක්රේනයේදී රුසියාව මුහුණ දෙන තත්ත්වය සඳහා චීනය සංවේදීව සිටින්නේ කලාපීය වශෙයන් තමන් ද එවැනි ‘යුක්රේනයන්’ කිහිපයක් තනාගෙන ඇති බැවිනි.

දැවැන්ත ප්‍රචාරණයක් දියත් කර තායිවාන විරෝධයක් චීනය පතුරුවා හැර තිබියදී, කොමියුනිස්ට්වාදීන්ට තායිවානය ‘මුදා ගැනීමේ’ සැලසුම් වසර ගණනාවක් කල් දැමීමට සිදුවනු ඇති බව කිව හැක්කේ, රුසියානුවන් යුක්රේනය ලබන අත්දැකීම් අනුවය. රුසියානු නාවික බලයට පවා, බටහිර ආධාර ඇතිව යුක්රේනය අභියෝග කරමින් සිටින අවස්ථාවක තායිවානය අත්පත්කර ගැනීම සඳහා චීනය පිවිසෙන්නේ නම්, එහිදී ප්‍රබල චීන නාවික බලය කඩදාසි කොටියෙකු බවට පත්වනු ඇතැයි චීන විරෝධී ලේඛකයෙකු සඳහන් කර තිබුණි.

ජපන් පුවත් වාර්තාවකට අනුව “රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කරමින් සිටියදී, චීනය විසින් තායිවානයට එරෙහි වර්ජනයක් සහ තායිපේ වැනි ප්‍රධාන නාගරික ප්‍රදේශයක් අත්පත් කර ගැනීමේදී අත්විඳිය හැකි දුෂ්කරතා පිළිබඳ නැවත ඇගයීමටට පටන් ගෙන තිබේ. මේ සඳහා පෙර සූදානමක් ලෙස, බීජිනය විසින් තායිවාන් සමුද්‍ර සන්ධියේ ඕනෑම ගැටුමක දී එක්සත් ජනපද මිලිටරි මැදිහත්වීම නැවැත්වීමේ මාර්ගයක් ලෙස එහි න්‍යෂ්ටික අවි ගබඩාව පුළුල් කිරීම වැනි විකල්ප ගවේෂණය සිදු කරනු ඇත. කෙසේ වෙතත් සිය තෙවැනි වාරයෙන් පසුව තායිවානය අත්පත් කර ගැනීම සඳහා වන මෙහෙයුම ට ජනාධිපති ෂී ජින් පින් අණ දෙනු ඇතැයි අපේක්ෂා කළ හැකිය. එය රුසියාව යුක්රේනය විෂයෙහි අනුගමනය කළ ක්‍රියාමාර්ගයට වඩා වෙනස් හැඩරුවක් අනිවාර්යෙන්ම ගනු ඇති අතර, ආසියාව සඳහා ආසියාව යන චීන පාඨය අනුව සහ ‘යුක්රේන පාඩම’ ද සිහි කැඳවමින් ඒ සඳහා චීනය පිය මනිනු ඇත.

ලෝක ආර්ථිකයේ චීනය දරණ පංගුව සහ එහි දේශපාලන බල කේන්ද්‍රය හේතුවෙන් චීනය නව උපාය මාර්ගය එක් අතකින් නව ලෝකයක් සඳහා මාවත විවර කරනු ඇති අතර එය හුදකලා ලෙස ගතහොත් චීනයේ ඊළඟ මහජන විප්ලවය ලෙස ද පිළිගැනීමට සිදුවනවා ඇත.

මනෝජ් අබයදීර

advertistmentadvertistment
advertistmentadvertistment