ලෝකයේ ලොකුම බතික් ඇඳුම අපේ රටින්…මහනුවර ඇසළ පෙරහැරේදී එළිදකී

1191

‘බතික්’ කියන්නෙ අපේ සංස්කෘතිය තුළ ගැඹුරින් මුල් බැසගෙන තිබෙන සාම්ප‍්‍රදායික රෙදිපිළි වර්ණවත් කිරීමේ කලාවක්. බතික් කලාවේ ආරම්භය මීට අවුරුදු දහස් ගණනට පෙර ඉන්දුනීසියාව, මැලේසියාව වැනි රටවල ජීවත් වූ ගෝත‍්‍රික ජනතාව අතරින් බිහිවුණත් බතික් යන නාමය අපට ලැබෙන්නෙ ජපානයෙන්. ජපන් භාෂාවෙන් ‘බතික්’ කියන්නෙ ‘‘ඉටිවලින් ලිවීමටය.’

 බතික් ශ‍්‍රී ලාංකික අපට ආවේණික නොවූ කලාවක් වුවත් අපට ආවේණික මෝස්තර රටා ඉටි ප‍්‍රතිරෝධී සායම්කරණය තුළින් ඉතා අලංකාර ලෙස රෙදි පිළි මත සිතුවම් කරන්නට දක්‍ෂ ශිල්පීන් බිහිවීම තුළ එකී බතින් කලාව අපේ රටේ හස්ත කර්මාන්ත අතර බෙහෙවින් ජනප‍්‍රිය වී තිබේ.

 සංචාරක කර්මාන්තය හරහා බතික් නිෂ්පාදකයින් ලාභ වැඩි ලබන ව්‍යාපාරිකයින් බවට පත්වූවත් මේ කර්මාන්ත පවත්වාගෙන යෑමට නව පරපුර ඉදිරිපත් නොවීම තුළ අද දවසේ ඒ ලස්සන බතික් කලාව අපෙන් ඈත්වෙමින් පවතී.

 එවැනි පසුබිමක් තුළ කොතැනින් කොහොම දායාද වුවත් අපට ගැළපෙන ලෙස සකස් කරගනිමින් අපේම කරගත් බතික් නිර්මාණ අපෙන් ගිලිහෙන්නට නොදී ඉහළට ඔසවමින් මතු පරපුරට උරුමකර දෙන්නට ඉදිරිපත් වූ අපූරු තරුණයෙක් අපට හමුවුණා. තවමත් 27 වැනි වියේ පසුවන ඔහු නමින් චානක මධුභාෂණ පන්නිලගේය.

 උසස් පෙළින් පස්සෙ ජීවන වෘත්තිය ලෙස සංචාරක මාර්ගෝපදේශනය තෝරා ගත් ඔහු අනාගත සහකාරිය තෝර ගන්නේ සිය පාසල් කාලය තුළදීමයි. ශලනි රණසිංහ නම් වූ ඇය ජපන් භාෂාවට තිබූ හැකියාව නිසාම ජපානයට සම්බන්ධ කර්යාලයක ලේකම්වරියක්් වුණා. එහෙත් අද වනවිට ඔවුන් දෙදෙනා ඒ රැකියාවලින් ඉවත් වෙලා අපේ රට තුළ බතික් කර්මාන්තය දියුණු කරන්න කැපවුණ හැටි චානක කිව්වෙ මෙහෙමයි.

 මගේ තාත්තා වෘත්තියෙන් නර්තන ශිල්පියෙක්. අම්ම මැහුම් ශිල්පිනියක්. ඔය අතරෙ බොහොම පුංචියට අමතර ආදායමක් ලබන්න අපේ ගෙදර බතික් ඇඳුම් නිර්මාණය වුණා. ඒ කලාව මගේ අම්ම තාත්තාට කියල දුන්නෙ තාත්තගෙ නැන්ද කෙනෙක්.

 මමවත් ශලනිවත් කවදාවත් හිතුවේ නෑ මේ කර්මාන්තය අපේ ජීවන වෘත්තිය කරගන්නවා කියලා. ඒකට මූලික අඩිතාලම වැටෙන්නෙ ශලනිගෙ අප්පච්චි හරහා. ඔහු බහරේන් රාජ්‍යයේ සේවය කරන කෙනෙක්. නිවාඩුවට ලංකාවට ආවම නැවත යද්දී යාළුවන්ට තෑගි දෙන්න ගෙනියන්නෙම බතික් ඇඳුම්. ඒ යාළුවන්ට වඩා ඔහු බතික්වලට ප‍්‍රියකරන නිසා.

 අන්න එහෙම වෙලාවක මගේ කටින් කියවුණා. අපේ ගෙදර බොහොම සුළුවෙන් බතික් ඇඳුම් නිර්මාණය වෙන බව. ඒ වෙලාවෙ ඔහු කිව්වා එවැනි වටිනා කලාවක් නියෝජනය වෙන බතික් කර්මාන්තය දියුණු කරල සාර්ථක කරගන්න මම ආයෝජනය කරන්නම් දෙන්නම එකතු වෙලා මේ කටයුත්තෙ නියැළෙන්න කියලා.

 ඒ අනුව තමයි අපේ බතික් කියන මේ පුංචි ව්‍යාපාරය ගොඩනැෙ`ගන්නෙ. බොහෝ උපදෙස් දීපු ඔහු අන්තිමට මෙහෙම කිව්වා.

 චානක – ශලනි කියන නම් ව්‍යාපාරය සඳහා යොදා ගන්නෙ නැතුව දෙන්නම එකතු වෙලා මේක දියුණුවට පත්තර ගන්න නම් නිතරම අපේ කියන හැ`ගීම තියෙන්න ඕන. ඒ නිසා අපේ කියන වචනය මූලික වෙන්න ඕන කියලා.

ලෝකයේ ලොකුම බතික් ඇඳුම අපේ රටින්...මහනුවර ඇසළ පෙරහැරේදී එළිදකී

කොහොම හරි 2019 අවුරුද්දෙ දවසක අපේ ගෙදර ඉඩකඩ තියෙන විදියට වැඩපළ ආරම්භ කරන්න අපි තීරණය කළා. හැබැයි වෙනත් ව්‍යාපාර වගේ සුබ නැකැත් අනුගමනය කරලා නෙමෙයි. ඊට කලින් දවසෙ අපි කෝට්ටේ රජ මහ විහාරයට ගියා. ඒ පන්සලේ තියෙනවා නාබෝධියත් සම`ග සපුමල් බණ්ඩාර සහ දැඩිමුණ්ඩ දෙවියන්ට වෙන්වුණ දේවාලයක්. අපේ ගමේ ඕනම කෙනෙක් පිහිට පතාගෙන යන්නෙ එතෙන්ට. අපිත් එතැනට ගිහින් අපේ ව්‍යාපාරය සිහි කරල ආශිර්වාදය පැතුවා. එදා 2019 අවුරුද්දෙ ඇසළ පෙරහැර වෙනුවෙන් කප් සිටුවන දවස. ආපහු එන ගමනෙදි අපි කතා වුණා 2020 අවුරුද්දෙ පෙරහැරේ කරඬුව වඩම්ම වන ඇතාට අපේ ගානෙ බතික් ඇඳුමක් පූජා කරන්න. ඒත් කොවිඞ් වසංගතය නිසා පෙරහැර පැවැත්වුණේ නැහැ.

 නියම කර ගත්තු දවසෙ අපි වැඬේ පටන් ගත්තා. මුලින්ම එකකට එක්ක වෙනස් විදියේ බතික් ඇඳුම් කිහිපයක් අපි නිර්මාණය කළා. කෝට්ටෙට බොහොම කිට්ටුව තියෙන මාදිවෙල ප‍්‍රදේශයේ ස්වස්ති බුටික් කියන සාප්පුවේ හිමිකරුවන් මැහුම් කටයුතු කරගන්න අම්ම ගාවට ආපු වෙලාවක අම්ම ඒ අයට කියලා අපේ පුතත් දැන් බතික් ඇඳුම් කරනවා කියලා. එතැනදී ඔවුන් කියල තියෙනවා ඒවා අරගෙන එන්න කියන්න කියලා. මමත් ශලනිත් නිර්මාණය කරපු ඇඳුම් අරගෙන ඔවුන් හමුවෙන්න ගියා. එදා ඒවා පරීක්‍ෂා කරල සේරම තියල යන්න කිව්වා. අන්තිමේ අපිට තවත් කෙනෙකුට පෙන්වන්න සාම්පල් එකක්වත් ඉතුරු වුණේ නෑ. පහුවදාම වගේ එන්න කියල ගණන් අහල අපි කියපු ගණන් ගෙවීම කිසිම අඩුකිරීමකින් තොරව ඒ විදියට සිදු කළා. රම්‍ය වික‍්‍රමසිංහ, තමාරා වික‍්‍රමසිංහ දෙපළ තමයි අපේ පළමු ගැනුම්කරුවෝ. ඒ සිදු වීමෙන් පස්සෙ නොහිතපු විදියට බතික් කලාවේ නියැළුණ අපේ නැන්දා කෙනෙක් ඇවිත් ඉස්සර පාවිච්චි වුණ දැනට අභාවයට යමින් තියෙන රෙසිපි එකක් අපට කියලා දුන්නා. ඒ තමයි මල්ටි කලර් ඩිසයිනින් ජාවා බතික් කියන එක. ඒක උපයෝගී කරගෙන තරුණ පිරිස ඉලක්ක කරගෙන ඔවුන්ට ගැළපෙන ඇඳුම් අපි නිර්මාණය කළා. ඒ හැම දේකදීම අපි ගොඩක් අනුගමනය කළේ මොඩන් ආර්ට්. එතැනදී අපිට ජාතික ශිල්ප සභාවට අපේ නිර්මාණ යොමු කරන්න අවස්ථාව හමු වෙනවා.

 ඒ කාලෙ එහි සේවය කළ ඉහළ නිලධාරීන් නිර්මාණ බොහෝ ඇ`ගයීමට ලක් කළා. එයින් දිරිමත් වූ අපි ඒ අංශයේ නව මානයක් සොයාගෙන ගියා. ඒ අනුව බතික් කොට කලිසමක් අපි කළා. ඒකත් කැලි සීයයි. ප‍්‍රසිද්ධ නිරූපණ ශිල්පිනියක් යොදාගෙන එය මුහුණු පොත හරහා ප‍්‍රසිද්ධ කරල දින 10ක් ඇතුළත ඒ කෑලිම 100ට විකිණුනා.

 ඔය අතරෙ නව තාක්‍ෂණය හරහා කාලය ඉතුරු කරගෙන පරිගණකය උපයෝගී කරගෙන මෝස්තර නිර්මාණය කරල අදාළ වර්ණ ගළපගෙන එකකට එකක් වෙනස් විදියට නිර්මාණ සාර්ථක කරගන්න අපි උනන්දු වුණා. ඒ දේවල් මේ වෙද්දී සාර්ථක වෙලා තියෙනවා. ඇත්තට ම අපි දන්න තරමින් ග‍්‍රැෆික් ඩිසයින් හරහා බතික් ඇඳුම් නිර්මාණය කරන අය නැති තරම්.

 හැමදේම ඒ විදියට ගත වූ සුළු කාලය අතර තුර ගමේම මිත‍්‍රයෙක් වූ ලහිරු අසංග හරහා මෙවර නුවර දළදා මාලිගාවේ පෙරහැරේ හස්තීන් තිදෙනෙක් වෙනුවෙන් බතික් ඇඳුම් නිර්මාණය කිරීමේ අවස්ථාව අපට හිමිවුණා.

 ඒ අවස්ථාව අපි හැමෝම වගේම ‘අපේ බතික්’ ආයතනය ලබපු ලොකු ජයග‍්‍රහණයක් වගේම ගෞරවයක් කියලා තමයි මම හිතන්නෙ.

 මෙවැනි භාරදුර කටයුත්තකට අත ගහන එක අසීරු කාරණාවක් වුණත් අවස්ථාව මඟහරින්න අපි උත්සාහ කළේ නෑ. මොකද අවස්ථාව කියන දේ අපි ඕනම කෙනෙකුගේ කටයුතුවලට ගොඩක් වටිනවා. ඒත් එක්කම හිතේ ලොකු භක්තියකින් තමයි අලි ඇතුන්ට බතික් ඇඳුම් මහන කටයුතු ආරම්භ කළේ.

 පෙරහැර කියන්නෙ අපේ සංස්කෘතික කලා අංගයක්. ඉතින් එවැනි තැන්වලදී පෞරාණික නොනැසෙන විදියට අපට ආවේණික චිත‍්‍ර රටා මෝස්තර මේ හස්තීන්ගේ ඇඳුම්වලට යොදාගන්න අපි තීරණය කළා. ඒ දේවල් හොයාගෙන හැදෑරීම් කළා. වෙනසකට සිද්ධ කළේ වර්ණ වෙනස් කිරීම පමණයි. මොකද මේ තාක් හස්තීන් වෙනුවෙන් නිර්මාණය කරපු හැම ඇඳුමකටම වගේ යොදාගෙන තියෙන්නෙ රතු කහ කියන වර්ණ දෙක. ඒත් අපි නිර්මාණය කරන මේ හස්තීන් තුන්දෙනාගෙ ඇඳුම් නිල් පැහැයෙන් වර්ණ ගන්වන්න සැලසුම් කරලා ඒ බව දැන්නුවාට ඒ අය මේ සඳහා කැමැත්ත පළකළා.

 ලබන මාසෙ පැවැත්වෙන ෙඓතිහාසික ශ‍්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යය තුළ වසර තිහකට පසුව තමයි මෙවර අපේ අතින් නිර්මාණයවන බතික් ඇඳුම්වලින් හස්තීන් සැරසෙන්නෙ. මේ දේ මට දැනෙන්නෙ ව්‍යාපාරික කටයුත්තකට වඩා විශාල කුසල කර්මයකට අතගැසීමක් විදියටයි. ඒ තරම් භක්තියකින් තමයි අපි හැමෝම මේ කටයුත්තෙ නිරත වෙන්නෙ.

 හස්තියෙක් වෙනුවෙන් සකස් කරන ඇඳුම් කට්ටලයකට පිටරෙද්ද, නෙන්තිමාලය සහ කන් ජෝඩුවක් ඇතුළත් වෙනවා. මිමි අරගෙන නෙත්තිමාලය පළඳින හස්තියාගේ ඇස් දෙක විවෘතව පවතින විදියට නිර්මාණය කිරීම බොහොම සීරුවට කල්පනාවෙන් සංගමයකින් යුතුව කරන්න ඕන දේවල්. අද එවැනි ඇඳුම් කට්ටල තුනක් බතික් කලාව උපයෝගී කරගෙන නිර්මාණය කිරීමේ වගකීම තමයි මට පැවරිලා තියෙන්නෙ. ඇත්තට ම ඒ සඳහා මම කැප වීමෙන් කටයුතු කරනවා.

 මොකද බතික් නිර්මාණයට මා තුළ තියෙන හැකියාව විශ්වාස කරලයි මේ දුර්ලභ අවස්ථාව මට ලබා දීලා තියෙන්නෙ. මේ වෙද්දී මගේ බතික් හස්ති වස්ත‍්‍ර නිර්මාණය ගැන ශ‍්‍රී දළදා මාලිගාවේ ඇත් පන්තිය භාර ප‍්‍රදීප් මියනපලාව මහත්මා ලොකු විශ්වාසයකින් පසුවීමත් මගේ ඉදිරි ගමනට විශාල ශක්තියක්.

 මේ සියලූම කටයුතුවලට අපි දෙන්නගේ ගෙවල් දෙකේ හැමෝමත් හිත මිතුරන් පිරිසකුත් ලබාදෙන සහයෝගය වචනයෙන් විස්තර කරන්න බෑ. මොකද බතික් කර්මාන්තය කියන්නෙ ලේසියෙන් පහසුවෙන් කරන්න පුළුවන් එකක් නෙමෙයි. මෝස්තර නිර්මාණය කරන්න ඕන. ඒවා ග‍්‍රැෆික් ඩිසයිනින් මගින් නවීකරණය කරන්න ඕන. අදාළ වර්ණ එකකට එකක් ගැළපෙන විදියට සංයෝග කරල ඉටි වගේම ඩයි වර්ග යොදාගෙන බොහොම ඉවසිල්ලෙන් සන්සුන් මනසකින් තමයි නිර්මාණය අවසන් වෙනකම් වැඩ කරන්න ඕන. මේ හැම කටයුත්තක්ම වෙනුවෙන් කැප වෙන්න මට හොඳ කණ්ඩායමක් ඉන්නවා. අපි අතරේ කියන එකමුතුකම තමයි අපේ සාර්ථකත්වයට විශාල ලෙස බලපාන්නෙ.

 එදා නැකතක් නැතුව මම පටන්ගත්තු අපේ බතික්වලට ඉහළ ඉල්ලූමක් ලැබෙන්නෙ දෙවියන්ගේ ආශිර්වාදය නිසාම වෙන්න ඕන.

 නුදුරේදීම තවත් පිරිසක් අපේම කරගෙන අපිට දායාද වුණ මේ සාම්ප‍්‍රයික බතින් කලාව තුළ නව නිර්මාණ කරමින් ඇති හැකි අයට වගේම නැති බැරි අයටත් තම තමන්ගේ ශක්ති ප‍්‍රමාණයෙන් නවීන විලාසිතාවලට අනුව නිමවුණ බතික් ඇඳුම් මිලදී ගැනීමට හැකි වෙළෙඳ පොළක් නිර්මාණය කර එය ජාත්‍යන්තරයට ගෙන ගොස් ශ‍්‍රී ලාංකික නාමය ඉහළට ඔසවා තැබීම තමයි මගේ එකම අරමුණ.


 ධම්මික හේවාවසම්
 ඡායාරූප – ධනංජය හිරෝශන

advertistmentadvertistment
advertistmentadvertistment