ලෝකය වෙනතකට ගෙන ගිය දේශප්‍රේමී මහා යුද ජයග්‍රහණය

448

අදට යෙදෙන දේශප්‍රේමී මහා යුද ජයග්‍රහණය නිමිත්තෙනි

ෆැසිස්ට් ජර්මනියට එරෙහිව සෝවියට් සංගමය දියත් කළ මහා දේශප්‍රේමී යුද ජයග්‍රහණයේ සැමරුම හෙවත් ‘ජයග්‍රහණයේ දිනය’ සෑම වසරකම මැයි 09 වන දිනට යෙදී තිබේ. 1939 දී ජර්මනිය විසින් ආරම්භ කරන ලද මෙම නිහීන යුද්ධය රටවල් 60කට ආසන්න සංඛ්‍යාවක් පුරා පැතිර ගිය අතර, මෙමගින් සිදුවූ ජීවිත හානිය මිලියන 70ක් ලෙස ගණන් බලා තිබේ. මෙයින් මිලියන 27ක ජීවිත වීරෝධාර සෝවියට් ජනතාවගේ ය.

එම දරුණු යුද කාලය දෙස ආපසු හැරී බැලීමේ දී එදා සිට මේ දක්වා අප උගත් පාඩම්වල ඇති වැදගත්කම අපට වඩාත් හොඳින් වටහාගත හැකි ය. ලෝක ජනගහණයෙන් සියයට 80 ක් වෙසෙන රාජ්‍යයන් රැසක් සම්බන්ධ වූ එම දෙවන ලෝක යුද්ධය එම රටවල ජනතාවට පමණක් නොව, සමස්ත මිනිස් සංහතියටම බලපෑ දරුණු ව්‍යසනයක් විය.

ලෝකය වෙනතකට ගෙන ගිය දේශප්‍රේමී මහා යුද ජයග්‍රහණය

ලොව දරුණු ගෝලීය ආර්ථික අවපාතයක් පැවති 1929 සිට 1933 අතර කාලපරිච්ඡේදය වනවිට මහා බි්‍රතාන්‍යය, ප්‍රංශය, ඇමෙරිකා එක්සත් ජනපදය, නෙදර්ලන්තය, බෙල්ජියම, ඉතාලිය, පෘතුගාලය සහ ස්පාඤ්ඤය වැනි බොහෝ යුරෝපීය රටවල් ඒ වනවිට ද යටත්විජිතවල අයිතිකරුවන් බවට පත්ව සිටියෝ ය. එහෙත්, ජර්මනියට එකදු යටත්විජිතයක් හෝ අයත්ව නොතිබුණි. ලොව බොහෝ රටවල් ඒ වනවිට කාර්මික රටවල් බවට පත්ව තිබූ අතර, එවන් කාර්මික රාජ්‍යයක් බවට පත්ව තිබූ ජර්මනිය ද මෙම යටත්විජිත පිපාසයෙන් පෙළෙන්නට විය.

මේ සියලු රටවල් අතරින් සමාජවාදී රාජ්‍යයක් බවට පත්ව තිබුණු එකම රට සෝවියට් රුසියාව යි. ‘ශ්‍රේෂ්ඨ ඔක්තෝබර් විප්ලවය’ නමින් හැඳින්වෙන 1917 දී රුසියාවේ ඇති වූ සමාජවාදී විප්ලවය ලොව පුරා වැඩකරන ජනතාව කෙරෙහි ප්‍රබල බලපෑමක් ඇති කළේ ය. එසේම, එය යටත්විජිතවාදීන්ගෙන් නිදහස්වීමට සටන් වදිමින් සිටි ජාතික විමුක්ති ව්‍යාපාරවලට ද ඉමහත් ආශ්වාදයක් විය.

ලෝකය වෙනතකට ගෙන ගිය දේශප්‍රේමී මහා යුද ජයග්‍රහණය

රුසියානු විප්ලවය ආරම්භ වූ දා පටන් ම ඊට එරෙහිව බොහෝ සතුරෝ සිටිය හ. සියලු ධනවාදී රටවලට අවශ්‍ය වූයේ, සමාජවාදී මතවාද පතුරවමින් සිටි රුසියාවේ බලපෑම නතර කිරීම සඳහා රුසියානු විප්ලවය විනාශකර දමන්නට ය. එහෙත්, එය ලෙහෙසි පහසු කාර්යයක් නොවූ අතර, එම සියලු ප්‍රතිවිරෝධතා පරාජය කර ඔක්තෝබර් විප්ලවය ජයගෙන සමාජවාදය පිහිටුවන්නට ශ්‍රේෂ්ඨ රුසියානු ජනතාව සමත් වූහ.

ජර්මනියේ යටත්විජිත පිපාසය වඩාත් තීව්‍ර වූයේ, 1933 දී ජර්මානු චාන්සලර්වරයා ලෙස ඇඩොල්ෆ් හිටලර් තේරීපත්වීමත් සමඟ ය. ඔහුගේ මෙම ‘යටත්විජිත සිහිනය’ සැබෑකර ගැනීම සඳහා එරට ධනවතුන් විසින් ඔහුට ඇති තරම් අරමුදල් සපයන ලද අතර, එහි පළමු පියවර ලෙස දරුණු පහරදීමකින් පසුව රුසියාව අල්ලා ගැනීමට හිට්ලර් සැලසුම් කළේ ය. එහෙත්, ‘බාබරෝසා’ නමින් හැඳින්වුණු හිට්ලර්ගේ මෙම සැලසුම රුසියානු බුද්ධි අංශවලට රහසක් නොවීය. එනිසා, ෆැසිස්ට් ජර්මනියට මුහුණදීම සඳහා ඒකාබද්ධ සන්ධානයක් ඇතිකර ගැනීමේ වැදගත්කම මහා බි්‍රතාන්‍යය, ප්‍රංශය, ඇමෙරිකා එක්සත් ජනපදය වැනි ප්‍රමුඛ රටවලට ඒත්තු ගැන්වීමට රුසියාවට අවශ්‍ය විය.

නමුත්, යුරෝපීයයන්ට ඊට වඩා හාත්පසින්ම වෙනස් සැලසුමක් තිබුණි. ඔවුන් බලා සිටියේ ජර්මනිය, සෝවියට් සංගමය හා යුද්ධය ආරම්භ කළ පසු දරුණු ලේ හැලීමකින් රටවල් දෙකම එකවර අල්ලා ගැනීමට ය. 1939 සැප්තැම්බර් 01 වැනි දින පෝලන්තයට පහර දී පසුව කුප්‍රකට ‘මියුනිච් ගිවිසුම’ හරහා චෙකොස්ලොවැකියාව ජර්මනියට ඈඳාගත් හිට්ලර්, අනතුරුව 1940 දී ජපානය හා ඉතාලිය සමඟ නව ලෝක වැඩපිළිවෙළක් සඳහා වූ ගිවිසුමක් අත්සන් කළේ ය.

1941 ජූනි 22 වැනි දින ෆැසිස්ට් ජර්මනියේ නාසි හමුදාවන් සෝවියට් සංගමයට පහර දුන්නේ ‘ආක්‍රමණ සිදු නොකරන’ බවට වූ පෙර පැවති ගිවිසුම් සියල්ලම උල්ලංඝනය කරමිනි. ජර්මානු හමුදා නවීන අවි ආයුධ, ගුවන් යානා, කාලතුවක්කු සහ බලගතු යුද ටැංකි යොදාගනිමින් රුසියාවේ ගම්වලට හා නගරවලට දිගින් දිගටම පහර දෙනවිට සෝවියට් ජනතාවට සිදුවූයේ, තම ජීවිත බේරාගැනීම සඳහා පලා යන්නට ය. ෆැසිස්ට්වාදී හමුදා සෝවියට් සමූහාණ්ඩුවට අයත් නගර 1,710ක් හා ගම්මාන 70,000ක් පුළුස්සා විනාශකර දැමූ අතර, කර්මාන්තශාලාවලට සහ කෘෂිකර්මාන්තයට සිදුකරන ලද හානිය ගණනය නොකළ හැකි තරම් ය. හිට්ලර්ගේ සැලසුම වූයේ දින 14කින් සෝවියට් සංගමය අත්පත් කරගැනීම ය. ඔහුගේ එම සංහාරයේ පළමු මාස හය තුළ දී පමණක් සෝවියට් සංගමයට සිය භූමි භාගයෙන් සියයට 40ක ප්‍රමාණයක් අහිමි කරන්නට ජර්මානුවන්ට හැකි විය. සිරකරුවන් ලෙස ගෙන ගිය සමහර සිවිල් වැසියන් මරා දමන ලද අතර, අනෙක් අය වහලුන් ලෙස වැඩට ගන්නා ලදි. එහෙයින්, තම මව්බිම ආරක්ෂා කර ගැනීම සඳහා සමස්ත ජනගහණයම එක්රැස් කර සතුරාට එරෙහිව සටන් කරන්නට සෝවියට් සංගමයට සිදුවූ අතර, ඔවුන් එය හැඳින්වූයේ ‘මහජන යුද්ධයක්’ ලෙස ය.

මෙම ‘මහජන යුද්ධයේ’ සාර්ථකත්වය හේතුවෙන් 1941 අගභාගය වනවිට එනම්, යුද්ධයේ පළමු මාස හය තුළ ජර්මානුවන්ට තම සොල්දාදුවන් 500,000කට ආසන්න සංඛ්‍යාවක් අහිමි විය. තම හමුදාවේ චිත්ත ශක්තිය වැඩිකිරීම සඳහා කිසියම් උත්තේජනයක් ලබාදීමට අදහස් කළ හිට්ලර්, මොස්කව් නගරය අල්ලා ගැනීමට උත්සාහ කළේ ය. ඒ වනවිට ජර්මානු හමුදා රැඳී සිටියේ, රුසියානු අගනුවරට කිලෝ මීටර 25ක්, 30ක් තරම් ආසන්න දුරකිනි.

එහෙත්, රතු හමුදාව විසින් අනුගමනය කරන ලද දැඩි ප්‍රතිරෝධය සහ උපාය මාර්ග ජර්මානුවන් කිලෝ මීටර් 200කින්, 300කින් පමණ පසුපසට තල්ලු කළේ ය. මෙය දෙවන ලෝක යුද්ධයේ ගමන් මග වෙනස් කළ සුවිශේෂ සන්ධිස්ථානයකි. සෝවියට් රතු හමුදාව, ජර්මානුවන් තවදුරටත් බර්ලිනයට තල්ලුකර හිට්ලර්ගේ ලෝක ආධිපත්‍ය පිළිබඳ සිහිනය අවසන් කළේ මෙම ‘වොල්ගොග්‍රාඩ්’ හෙවත්, ‘ස්ටාලින්ග්‍රාඩ්’ සටන හේතුවෙනි. මෙම වොල්ගොග්‍රාඩ් හෙවත් ස්ටාලින්ග්‍රාඩ්, කර්ස්ක් හා පීටර්ස්බර්ග් හෙවත් ලෙනින්ග්‍රාඩ් යන සටන් ත්‍රිත්වය ලොව පුරා සිටින හමුදා මූලෝපාය විශේෂඥයන්ගේ අධ්‍යයනයන්ට ලක් වූ සටන් ලෙස ඉතිහාස ගතවී තිබේ.

මේ ආකාරයට සෝවියට් සංගමය සතුරු ආක්‍රමණයේ බරපතළකම සියතට ගත්තේ ය. ඔවුන්ගේ නැගෙනහිර පෙරමුණ නාසි හමුදා සංකේන්ද්‍රණයව සිටි ජර්මානු බළකායන්ට වසර 04කට ආසන්න කාලයක් පහර දුන්නේ ය. සෝවියට් සංගමය හා ගැටීමෙන් නාසි හමුදාවන්ට සියයට 85ක පමණ යුදමය පාඩුවක් සිදුවූ අතර, නාසි ජර්මනියට එරෙහි යුද්ධය ජයග්‍රාහී අවසානයකට රැගෙන එන ලද්දේ සෝවියට් රතු හමුදාව විසිනි. එහි අවසාන ප්‍රතිඵලය වූයේ, බර්ලිනයට පහර දී චෙක් ජනරජයේ අගනුවර වන ප්‍රාග් නගරය නිදහස් කරගැනීම ය.

මෙම ඓතිහාසික දේශප්‍රේමී යුද ජයග්‍රහණය සඳහා සෝවියට් සංගමයට අධික මිලක් ගෙවන්නට සිදු විය. මෙහි දී සෝවියට් සංගමයට සිදු වූ මිනිස් අලාභය පමණක් මිලියන 26.6 කි. සටනේ දී තුවාල ලබා මියගිය සොල්දාදුවන් සහ ආධාරකරුවන්, කුසගින්නේ මියගිය සෝවියට් සිවිල් වැසියන්, බෝම්බ හා ෂෙල්වෙඩිවලට ගොදුරුවූවන්, යුද සිරකරුවන්, ඝාතක කල්ලි විසින් වධහිංසා පමුණුවා වෙඩිතබා මරා දමන ලද කොමියුනිස්ට්වාදීන් සහ කොම්සොමෝල් ක්‍රියාකාරීන් රැසක් ඒ අතර වූ හ. මේ අනුව, 1920 සිට 1924 දක්වා වූ කාලය තුළ උපත ලද අයගෙන් යුද පෙරමුණට ගොස් ආපසු නිවෙස් කරා එන්නට වාසනාව ලද්දේ සියයට 04ක තරම් සුළු පිරිසකට පමණි.

සෝවියට් රුසියාවේ සෑම නිවසකටම මෙම කුරිරු යුද්ධය නිරුපද්‍රිතවම පැමිණියේ ය. එහෙයින්, රුසියාවේ සෑම පවුලකටම තමන්ගේම වූ යුද වීරයෙක් හෝ යුද වීරයන් කිහිපදෙනෙක් සිටිති. රුසියාව සිය ජයග්‍රහණයේ අභිමානය පරම්පරා ගණනාවක් පුරා මෙසේ බෙදා ගනිමින් සිටින්නේ මෙම පාඩු විඳීමේ සහ අහිමිවීමේ වේදනාව ද සමඟ ය. එසේ වුව ද, දෙවන ලෝක සංග්‍රාමයේ එම ඓතිහාසික ජයග්‍රහණය ඔවුන් අත්කර ගත්තේ, හිට්ලර් විරෝධී සන්ධානයේ සියලු රටවල ඒකාබද්ධ ප්‍රයත්නයෙන් බව ඔවුහු කිසිවිටෙකත් අමතක නොකරති. තම බටහිර සහචරයන් වන මහා බි්‍රතාන්‍යය, ඇමෙරිකා එක්සත් ජනපදය, ප්‍රංශය මෙන්ම, විවිධ රටවල ෆැසිස්ට් විරෝධී ව්‍යාපාරයන් ද මෙම ජයග්‍රහණය සඳහා සැලකිය යුතු දායකත්වයක් ලබා දී ඇති බව ඔවුහු දැඩිව විශ්වාස කරති. රුසියානුවෝ සෑම වසරකම මැයි 09 වැනි දින මෙම යුද ජයග්‍රහණය සමරති. ඒ මොස්කව් නුවර ක්‍රෙම්ලීනය ඉදිරිපිට ඇති නාඳුනන සොල්දාදුවාගේ සොහොන අබියස පිහිටි නොනිමෙන ගිනිසළුව අසලදී ය. එය එරට ප්‍රධානතම රාජ්‍ය උත්සවය යි. එරට ‘මහජන පෙරමුණ’ නමැති සංවිධානය මෙම නොනිමෙන ගිනිසිළුවෙන් ගත් ගිනිසිලක් ලොව පුරා කි.මී. 75,715ක දුරක් රැගෙන යමින් ඔවුන්ගේ නොනිමෙන කෘතවේදීත්වය එම යුද විරුවන්ට පළකරති. ඒ, ගුවන්යානාවලින් 61,260 ක් සහ ගොඩබිම ප්‍රවාහන මාධ්‍යවලින් 14,455ක් වශයෙන් ලොව රටවල් 13කටත්, රුසියාවේ පළාත් 33 කටත් ය. මෙවර එහි සමාරම්භක උත්සවය පැවතියේ ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ලෙවන් එස්. ජගාරියන් මහතාගේ ප්‍රධානත්වයෙන් සහ රුසියානු වේදිකා හා චිත්‍රපට නළුවකු වන සස්ලාන් සීදරොෆ් හා මහජන පෙරමුණේ සාමාජිකාවක වන අලෝනා පස්තවාලොවාගේ සහභාගිත්වයෙන් පසුගිය 04 වන දින කොළඹ මහජන පුස්තකාලය ඉදිරිපිට ඇති දෙවන ලෝක මහා යුද්ධයේ යුද ස්මාරකය අබියස දී ය.

අනුර බී. සෙනෙවිරත්න

advertistmentadvertistment
advertistmentadvertistment