ලෝකය හොල්ලන  යුකේ‍්‍රන අර්බුදය

1097

රටේ කප්පරක් ප‍්‍රශ්න, ගැටලූ ඇතිමුත් රුසියාව සහ ඇමරිකාව ඇස ගසාගෙන සිටින යුකේ‍්‍රන අර්බුදය ගැනද අවධානය යොමු කළ යුතුව ඇත. රුසියානු ආක‍්‍රමණයක් පිළිබඳ භීතිය තවදුරටත් වැඩි කරමින් රුසියානු ප‍්‍රහාරක හෙලිකොප්ටර් යානා සමූහයක් යුකේ‍්‍රන දේශ සීමා වෙත මේ වන විටත් රුසියාව යවා තිබේ.

රුසියාවේ යුකේ‍්‍රන දේශසීමා අසල පමණක් 137,000 රුසියානු හමුදාවක් ස්ථානගත වී සිටි. මෙය මුළු යුරෝපයම යුද උණුසුමකට පත්කරන අවස්ථාවකි. බටහිර බෙල්ගොරොඞ් ප‍්‍රදේශයේ රුසියානු හෙලිකොප්ටර් පියාසර කරන අයුරු වීඩියෝ දර්ශන මගින් තහවුරු වී ඇති අතර බටහිර බෙල්ගොරොඞ් සිට යුකේ‍්‍රනයට ඇත්තේ සැතපුම් 19 ක දුරකි. 2014 වසරේදී රුසියාව ක‍්‍රිමියා අර්ධද්වීපය අල්ලා ගැනීම සඳහා පහර දීම ආරම්භ කළ අවස්ථාවේ ද මෙවැනිම ආකාරයෙන් ප‍්‍රහාරක හෙලිකොප්ටර් යානා බටහිර බෙල්ගොරොඞ් ප‍්‍රදේශයේ දැකගත හැකි වූ බව විශ්ලේෂකයෝ පවසති. බටහිර රුසියාවේ විවිධ ස්ථානවල කමොව් කේ.ඒ 52, එම් අයි 8, එම්.අයි 24 ප‍්‍රහාරක හෙලිකොප්ටර් යානා පියාසර කරන වීඩියෝ දර්ශන සමාජ මාධ්‍යයන්හි සැරිසරන බව බටහිර මාධ්‍ය පවසයි.

එසේම බෙලරුස් රාජ්‍යයේ සහ ක‍්‍රිමියා අර්ධද්වීපය අසල කළු මුහුදේ රුසියා යුද අභ්‍යාස ආරම්භ වී තිබේ. මෙයින් කියවෙන්නේ රුසියානු ආක‍්‍රමණය නොවැළැක්විය හැකි බවද? රුසියාව නම් කියන්නේ ආක‍්‍රමණයකට තමන්ගේ සූදානමක් නැති බවය. සෑම වසරකම පාහේ ශීත ඍතුවේ පැවැත්වෙන යුද අභ්‍යාස මෙවර ද ක‍්‍රියාත්මක බව මොස්කව් පාලනය කියයි. ඇමෙරිකානු ජනපති ජෝ බයිඩන් හා රුසියානු ජනපති ව්ලැදිමීර් පුටින් අතර පසුගිය දිනක පුරා පැයක් තිස්සේ දුරකථන සාකච්ඡාවක් පැවති අතර එහිදී ඇමෙරිකානු නායකයා ප‍්‍රකාශ කර ඇත්තේ යුකේ‍්‍රනය ආක‍්‍රමණය කළහොත් රුසියාවට දරුණු ප‍්‍රතිවිපාකවලට මුහුණදීමට සිදුවන බවයි. ඇත්තෙන්ම ඇමෙරිකාව හා බටහිර ලෝකයත් රුසියානු ජනපතිවරයාත් අතර සීතල යුද්ධයක් ඇතිව තිබේ. ජයගන්නේ කවරෙකුද? පුටින් කිසිම විටක ඇමෙරිකාවේ හෝ බටහිර මතයට යටවෙන්නේ නැත.

ඇමෙරිකාව මේ යුද්ධයට තම හමුදා භටයින් සම්බන්ධ කර නොගන්නා බව කිව්වත් ඩොලර් බිලියන ගණනක ආයුධ දැනටමත් යුකේ‍්‍රනයට ඒවා ඇත. බි‍්‍රතාන්‍ය හමුදා උපදේශකයෝ යුද ටැංකි නාශක අවි භාවිතය ගැන යුකේ‍්‍රන හමුදාවට උපදෙස් ලබා දෙති. එසේම ඇමෙරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, නවසීලන්තය, ඔස්ටේ‍්‍රලියාව, ඉතාලිය, ඊශ‍්‍රායලය, නෙදර්ලන්තය සහ ජපානය ඇතුළුව රටවල් 12 ක් පමණ තම පුරවැසියන්ට යුකේ‍්‍රනයෙන් ඉවත් වන ලෙස දැනුම් දී ඇත. වත්මන් යුකේ‍්‍රන අර්බුදයේ ආරම්භය 2014 වර්ෂය දක්වා දිගුවේ. 2014 දී මෙන්ම 2005 දී ද යුකේ‍්‍රනය මත රුසියානු ආධිපත්‍යයක් නොපැවැතිය යුතු බවට ද යුරෝපා සංගමය හා නේටෝව සමඟ එක්විය යුතු බවට ද හඬ නැඟිණි. 2014 දී ඇති වූ මහජන නැඟිටීමේදී මොස්කව් හිතවාදී ජනාධිපති වික්ටර් යනුකොවිච් බලයෙන් පහකරනු ලැබිණි.

මෙය ඇමරිකාවේ පූර්ණ ආශිර්වාදයෙන් සිදු වූ නිසා මෙයට එකට එක කිරීමක් ලෙස රුසියාව ක‍්‍රිමියාව ඈඳාගැනීම සිදු විය. 2014 වසරේදී රුසියාව සහ යුකේ‍්‍රනය අතර ඇති වූ යුද ගැටුම් නිමාවට පත් කෙරුණේ ප‍්‍රංශය සහ ජර්මනිය මැදිහත් වී සිදු කළ සාම ක‍්‍රියාවලිය මඟිනි. එම සාම සම්මුතිය කඩ කිරීමට යුකේ‍්‍රනය කටයුතු කරමින් සිටින බවට රුසියාව චෝදනා කරයි. එසේම නේටෝව මඟින් යුකේ‍්‍රනයට මිසයිල පද්ධති ඇතුළු නවීන අවි ආයුධ සපයා ඇති බවට ද පෙන්වා දී තිබේ. මේ පසුබිම රුසියාවේ රතු ඉර පැනීමට පෙළඹවීමක් බව පැහැදිලි කාරණයකි. මේ යුද උණුසුම නිසා ලෝක තෙල් මිල ද ඉහළ යමින් පවතී. යුකේ‍්‍රන අර්බුදය පිළිබඳ උණුසුම ලංකාවට වැඩියෙන් නොදැනුන ද ලෝක තෙල් මිල වැඩිවීමෙන් තවදුරටත් ඇතිවිය හැකි ආර්ථික අර්බුදය නම් මෙරට වැසියන්ට තවත් විදුලි සැරයක්ම වනු ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment