එක්දින ක්‍රිකට් පිටියේ වත්මන් ලෝක අනුශූරයන් මෙන්ම ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වලට අනුව 01 ස්ථානයේ පසුවන ප්‍රබල ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය පසුගිය සති අන්තයේදී නිමාවට පත්වුණා. ඒ වසර 27 කට පසු ඉන්දියාවට එරෙහිව ශ්‍රී ලංකාව අත්පත් කරගත් විශිෂ්ට තරගාවලි ජයක් අපට හිමිකර දෙමින්. තරගාවලියට එක්දින තරග 3ක් ඇතුළත් වූ අතර සියලුම තරග කොළඹ ඛෙත්තාරාම ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා. මෙම තරගාවලිය කලකට පසු ලෝක ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ට හිමි වූ අඩු ලකුණු සහිත තරග උන්මාදයක් ඇති කළ තරගාවලියක් වීම විශේෂත්වයක්. තරග තුනේදීම කිසිදු කණ්ඩායමක් ලකුණු 250 සීමාවට නොපැමිණීම ඊට හොඳම උදාහරණයයි. එසේම තරග තුනේදීම ශ්‍රී ලංකාවට කාසියේ වාසිය හිමිකර ගැනීමට හැකිවීමත් තරග තුනේදීම අතිප්‍රබල ඉන්දීය පිතිකරණ බලඇණිය සම්පූර්ණයෙන්ම දවා ගැනීමට හැකිවීමත් තරගාවලිය තුළ සිදු වූ තවත් සුවිශේෂී සිදුවීමක් ලෙස හැඳින්විය හැකියි. එයිනුත් ඉන්දීය කණ්ඩායමේ පිතිකරුවන් 27 ක් තරග තුන තුළදී දවාගැනීමට අපගේ දඟ පන්දු යවන්නන් සමත් වීමත් විශේෂත්වයක් වනවා. මේ කාරණා වලින් ඔප්පු වන්නේ අපගේ ක්‍රීඩාංගණවල වාසිය අප විසින් හොඳින් ප්‍රයෝජනයට ගෙන ඇති බවයි. අවසාන වශයෙන් මේ වසරේ ඉදිරියට ඇති සෑම මාසයකදීම ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමට කිසියම් හෝ ජාත්‍යන්තර තරගාවලියක් ඇති බැවින් මෙම ඓතිහාසික ජයග්‍රණය එකී තරග සඳහා මනා ප්‍රවේශයක් ලබාදෙනු ඇති බව අපගේ විශ්වාසයයි.

තරගාවලියට පෙර කණ්ඩායම් දෙකෙහි පසුබිම.

ලෝක ක්‍රිකට් අධිරාජ්‍යයට ඓතිහාසික ප්‍රහාරයක්

මෙම තරගාවලියට සහභාගී වූ ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම ඔවුන්ගේ පන්දුවාර විස්සයි විස්ස කණ්ඩායමට වඩා බොහෝ සෙයින් වෙනස් විය. ඒ සඳහා අවශ්‍ය තරම් ක්‍රිකට් ක්‍රීඩකයන් ඉන්දියාව සතුව සිටීමත් ඔවුන් මෙම තරග රටා දෙක සඳහා වෙනස් ආකාරයේ ප්‍රවේශයන් ලබාගෙන තිබීමත් බොහෝ විට ඊට හේතු විය හැක. ශ්‍රී ලංකාව පැත්තෙන් මෙම කාරණය වෙනස් වන්නේ අපට හොඳ යැයි අපේක්ෂිත ක්‍රිකට් ක්‍රීඩකයන් කිහිපදෙනෙක් ශාරීරික යෝග්‍යතාවය නොමැතිව අහිමිවීම නිසායි. එසේම ඉන්දීය කණ්ඩායමට තරම් ආදේශන අපට නොමැතිකම බොහෝවිට ශ්‍රී ලංකාවට මෙම තරගාවලිය ජයගැනීමට හේතු වු ලෙසද යමෙකුට තර්ක කිරීමේ අවස්ථාව ඇත. ඒ අනුව ශ්‍රී ලංකාව මෙම එක්දින තරගාවලිය ආරම්භ කළේ වනිඳු හසරංග, මතීෂ පතිරණ, නුවන් තුෂාර, දුෂ්මන්ත චමීර, බිනුර ප්‍රනාන්දු සහ දිල්ශාන් මදුසංක යන ක්‍රීඩකයන් නොමැතිවයි. ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම සහ T – 20 කණ්ඩායම යන දෙකෙහිම නායකත්වය හිමිවූයේ චරිත් අසලංකටයි. ඊට අමතරව ශ්‍රී ලංකා T – 20 කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයන් කිහිපදෙනකුම එක්දින තරග සඳහා ද ඇතුළත් වුණා. එහෙත් තරග තුනකින් සමන්විත වූ T – 20 තරගාවලිය ජයගත් ඉන්දීය T – 20 ක්‍රිකට් කණ්ඩායමේ නායක සූර්ය කුමාර් යාදව් එක්දින තරගාවලියට ඇතුළත් නොවීමත් මෙහිදී සැළකිය යුතු කාරණයක්. අනෙක් පැත්තෙන් බැලූ කල ශ්‍රී ලංකාව වෙනුවෙන් දක්ෂතා දක්වා තරග තුන තුළදී දඟ පන්දු යවන්නන් ලබාගත් කඩුලු 27 න් කඩුලු 22ක්ම IPL තරග සඳහා සහභාගී නොවූ හෝ එම තරග වලදී පන්දු නොයැවූ ඉන්දියාව පැත්තෙන් සැලකු විට ඔවුන්ට අලුත්ම පන්දු යවන්නන් වූ ජෙෆ්රි වැන්ඩසේ, දුනිත් වෙල්ලාලගේ, චරිත් අසලංක සහ අකිල ධනංජය යන ක්‍රීඩකයන් අත බෙදී යෑමත් විශේෂත්වයක්. ඒ අනුව ශ්‍රී ලංකාවටත් ඉන්දියාවටත් මෙම තරගාවලිය බොහෝ සෙයින් හිතන්නට ඉඩ ඉතිරි කළ තරගාවලියක් ලෙස නම් කළ හැකියි.

තිරය පිටුපස 12 වැනි ක්‍රීඩකයෝ

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වූ මෙම එක්දින ක්‍රිකට් තරගාවලිය ලෝක ක්‍රිකට් තරගාවලි සඳහා බලපෑම් කළ හැකි එහෙත් කිසිදු කණ්ඩායමක් සමග තරග වැදීම සඳහා පිටියට එක් නොවන විශේෂ පුද්ගලයන් කිහිපදෙනෙක් පිළිබඳ කතා වූ තරගාවලියක් බවටද පත්වුණා. ඔවුන් තරගයක 12 වැනි ක්‍රීඩකයා ලෙස හැඳින්වීමටද පුළුවන්. ශ්‍රී ලංකාව පැත්තෙන් සැළකු විට සනත් ජයසූරිය ඉන් එක් පුද්ගලයෙක්. මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ අන්තර්වාර පුහුණුකරු ලෙස ක්‍රියා කරන සනත් සෑම තරගයකදීම සෑම පන්දුවකදීම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයෙක් ලෙස දැක ගැනීමට හැකිවීම ඒ අතරින් සුවිශේෂ වනවා. කණ්ඩායම් නායක චරිත් අසලංක තරගාවලිය ජයගැනීමෙන් අනතුරුව ප්‍රකාශ කළේ ජයසූරියගේ එම සබැඳියාව කණ්ඩායමට විශාල ශක්තියක් වූ බවයි. එසේම මෙරට ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ට තමන් සමඟ ක්‍රිකට් රස විඳිය හැකි පුහුණුකරුවෙක් සිටීම ද ඔවුන්ගේ නොමඳ සතුටට කාරණයක් වූ බව මෙහිදී දැකගත හැකි වුණා. තරගයක් සඳහා ඍජුව බලපෑම් කළ හැකි අනෙක් පුද්ගලයන් වන්නේ විනිසුරුවන්. මෙම තරගාවලිය පුරාම ශ්‍රී ලංකාවට අවාසිදායක වන තීරණ කිහිපයක් ලබාදීමට තරග විනිසුරුවන් පමණක් නොව තාක්ෂණය උපරිමයෙන් භාවිතා කරන තෙවැනි විනිසුරුවන්ද යොමුවීම ප්‍රේක්ෂකයන් මවිතයට පත්කළ කාරණයක්. ඉන්දීය කණ්ඩායමට එරෙහිව පවත්වන තරගවලදී ලෝකයේම විනිසුරුවන් අතින් අනෙක් කණ්ඩායම්වලට එබඳු වැරදි සිදුවන බවට සමාජ මතයක් ගොඩනැගීම ඇත්තෙන්ම ප්‍රබල ඉන්දියාවට සිදුවන අයහපත් සලකුණක් ද විය හැකියි. ක්‍රිකට් අධිරාජ්‍යයේ බලපෑම තරග තීරණ සඳහා කෙසේ බලපානවාද යන්න ගැන ඉදිරියේදී ලෝක ක්‍රිකට් ප්‍රේක්ෂකයන් මෙන්ම විචාරකයන්ද අවධානය යොමු කරන කාරණයක් වනු ඇති බව අපගේ විශ්වාසයයි. මේ තරගාවලිය තුළ අවධානය දිනා ගත් අනෙක් 12 වැනි ක්‍රීඩකයන් ලෙස හැඳින්විය හැකි ප්‍රබල පුද්ගලයන් වේ. මෙම තරගාවලිය තුළ තම ජිවිත කාලය තුළදී උපයා ගත හැකි සුවිශේෂ කඩඉමක් පසුකළ 12 වැනි ක්‍රීඩකයෙක් ද බිහිවුණා. ඒ ශ්‍රී ලංකාවෙන් බිහි වූ ලොව අග්‍රගන්‍යම තරග තීරකයා වූ රන්ජන් මඩුගල්ලේ මහතා තම 400 වැනි තරගයට සහභාගී වීමයි. වසර 30 කට අධික කාලයක් පුරා තරග තීරකයෙක් ලෙස සේවය කරන රන්ජන් මඩුගල්ලේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවති තුන්වන එක්දින තරගයට තරග තීරකයෙක් ලෙස සහභාගී වීමත් සමග මෙම කඩ ඉමට පැමිණි ලොව ප්‍රථම තරග තීරකයා බවට පත් වුණා. එසේම ටෙස්ට් තරග 200 කට වැඩි ප්‍රමාණයක් සඳහා තරග තීරකයෙක් ලෙස සම්බන්ධ වීමද රන්ජන් මඩුගල්ලේ සතු වාර්තාවක්.

ලොව එක්දින ශ්‍රේණිගත කිරීම්වලට අනුව අංක 7 ස්ථානයේ පසුවන ශ්‍රී ලංකාව ලොව අංක එකේ එක්දින ක්‍රිකට් කණ්ඩායම සමඟ තරගාවලි ජයක් හිමිකරගැනීම යනු ඇත්තෙන්ම අද්වීතිය ජයග්‍රහණයක්. මෙය වඩාත් වැදගත් වන්නේ අපි ඉන්දියාවට එරෙහිව තරග කරද්දී පසුගිය කාලය පුරා කිසියම් මානසික පසුබෑමක සිට තරග කිරීම නිසායි. නමුත් මෙම තරගාවලිය තුළදී නව පුහුණුකරුවෙක්, නව නායකයෙක් සහ නව ක්‍රීඩකයන් සමඟ තරගයට ඉදිරිපත්වීම නිසා ඔවුන්ට එකී මානසික ගැටලුව ඇති නොවන්නට ඇති බව මෙම ජයග්‍රණය මගින් පැහැදිලි වනවා. ඒ අනුව Sri Lanka Can හෙවත් අපිට පුළුවන් යන හැඟීම මනසට එන්නත් කරගැනීමට හැකිවීම මෙම තරගාවලිය තුළ ශ්‍රී ලංකා කණ්ඩායම ලබාගත් විශාලතම ජයග්‍රහණයයි.

සුනිල් සෝමසිරි

advertistmentadvertistment
advertistmentadvertistment