ලෝක කුසලානයේ දෙවැනි අවසන් පූර්ව තරගයට අතිරේක දිනයක් නැහැ

210

තරග කාලසටහන සම්බන්ධයෙන් ගැටලු මතු වෙයි

එළඹෙන පන්දු වාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගය සඳහා අතිරේක දිනයක් ලබා නොදීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ගෙන ඇති තීරණයත් සමග තරග කාලසටහන සම්බන්ධයෙන් යම් ගැටලුකාරී වාතාවරණයක් උද්ගත වී ඇති බව වාර්තා වේ.

එනම් යම් හෙයකින් දෙවැනි අවසන් පූර්ව තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වුව ද ඒ වෙනුවෙන් අතිරේක දිනයක් යොදා නොගැනීමට අයි.සී.සී.ය තීරණය කර ඇති අතර ඒ වෙනුවට දෙවැනි අවසන් පූර්ව තරගය සඳහා අමතර පැය හතරක (මිනිත්තු 250ක) කාලයක් ලබා දීමට තීරණය කර ඇත.

එහෙත් මීට පෙර අයි.සී.සී.ය නිකුත් කර තිබූ නිවේදනයේ දක්වා තිබුණේ අවසන් පූර්ව තරග දෙක සහ අවසන් මහා තරගය සඳහා අතිරේක දිනය බැගින් ඇතුළත් කර ඇති බවයි.

එසේම විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ලෝක කුසලානය පැවැත්වෙන කාල සීමාව තුළ බටහිර ඉන්දීය කොදෙව් දූපත් ආශ්‍රිතව වර්ෂාධික කාලගුණ තත්ත්වයක් ඇති වීමට නියමිත බවට කාලගුණ අනාවැකි පළවී තිබීම මෙම තත්ත්වයට හේතුවී ඇති බවයි.

තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය ජූනි මස 26 වැනිදා ටි්‍රනිඩෑඩ්හිදී පැවැත්වීමට නියමිත අතර දෙවැනි අවසන් පූර්ව තරගය 27 වැනිදා ගයානාහිදීත් අවසන් මහා තරගය 29 වැනිදා බාබඩොස්හිදීත් පැවැත්වීමට නියමිතව ඇත.

ඒ අනුව ජූනි 27 වැනිදා පැවැත්වෙන දෙවැනි අවසන් පූර්ව තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වුවහොත් අතිරේක දිනයේදී (28 වැනිදා) එම තරගය පැවැත්වීම ගැටලුකාරී වී තිබේ.

එසේම එම තරගයෙන් අනතුරුව ඉන් ජයගන්නා කණ්ඩායමට අවසන් මහා තරගයට මුහුණදීමට ඉතිරි වන්නේ පැය 24කටත් අඩු කාලයක් වීමත් මෙම ගැටලුව නිර්මාණය වීමට හේතුවී ඇත.

එසේම එම දිනය තුළ ගයානා සිට බාබඩොස් දක්වා ගමන් කිරීමටත් අදාළ කණ්ඩායමට සිදුවනු ඇති අතර මෙම කරුණු සැලකිල්ලට ගනිමින් දෙවැනි අවසන් පූර්ව තරගය සඳහා අතිරේක දිනයක් නම් නොකිරීමට අයි.සී.සී.ය තීරණය කර තිබේ.

එසේම යම් හෙයකින් මෙම තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවීම නිසා පැය 8ක් පුරා පැවැත්වීමට සිදු වුවහොත් එය විස්සයි-20 ඉතිහාසයේ දීර්ඝතම තරගය බවට පත් වනු ඇත.

එපමණක් නොව දෙවැනි අවසන් පූර්ව තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමට සිදු වුවහොත් සුපිරි 8 වටයේ ඉදිරියෙන් පසුවන කණ්ඩායමට අවසන් තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමට අවස්ථාව උදා වන බව අයිසීසීය වාර්තා කර සිටී.

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment