ලෝක කුසලානයේ ශ්‍රී ලංකා නිල ජර්සිය එළිදකී

61

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිල ඇඳුම් සහකරුවන Moose Clothing සමාගම එළැඹෙන විස්සයි 20 ලෝක කුසලානය සඳහා සහභාගිවන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් නිල ටීෂර්ටය (ජර්සිය) එළැදැක්වීම පසුගිය දා සිදු කෙරුණි.

ශ්‍රී ලංකා පිරිමි ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් හා කාන්තා කණ්ඩායමේ ක්‍රීඩිකාවන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසකගේ සහභාගිත්වයෙන් ජාඇළ පිහිටි Moose Clothing සමාගම් පරිශ්‍රයේදී මෙම එළිදැක්වීම සිදුකෙරුණි.

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා, Moose Clothing සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී හසීබ් ඕමාර් මහතා හා ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක ඈෂ්ලි ද සිල්වා, ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම් ක්‍රිෂාන්ත කපුවත්ත යන මහත්වරු ද එම අවස්ථාවට සහභාගි වූහ.

මෙම නව ජර්සිය ශ්‍රී ලංකාවේ ප්‍රෞඩ ඉතිහාසය සංචාරක මර්මස්ථාන ඇතුළු ශ්‍රී ලාංකේය උරුමයන් ඉස්මතු වන ආකාරයෙන් නිර්මාණයකොට තිබීම විශේෂත්වයකි. ශ්‍රී ලංකාවේ ජාතික පුෂ්පය වන නිල් මානෙල් මල, ආරක්කු 9කින් යුත් පාලම, හබරන අලි එකතුව, ශ්‍රී ලංකාවේ සඳකඩ පහන, ජාතික කොඩියේ එන සිංහ රුව ආදී සංකේත මෙම ජර්සි නිර්මාණයට යොදා ඇත. ශ්‍රී ලාංකිකයන් සතු අභියෝග සඳහා ඔරොත්තු දීමේ හැකියාව නොසැලෙන අධිෂ්ඨානය හා නොපසුබට උත්සහය ඉන් පිළිඹිබු කරයි.

Moose Clothing ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි හසීබ් ඔමාර් මහතා පැවැසූවේ නව නිල ජර්සිය ශ්‍රී ලංකා ක්‍රිකට් පිල වෙත පිළිගැන්වීමට ලැබීම සතුටට කරුණක් බවය.

“මේ නව නිල ජර්සිය මගින් ශ්‍රී ලංකා අභිමානය ගෝලීය වශයෙන් විදහා දැක්වෙනවා. ක්‍රීඩකයන් දිරිමත් කිරීම වගේම ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරය පිළිබඳ ලෝකය වෙත පණිවිඩයක් ගෙන යනවා” ඔමාර් මහතා පැවැසීය. Moose Clothing හා ශ්‍රී ලංකා ක්‍රිකට් ගොඩනඟාගත් සහයෝගය ගෝලීය වශයෙන් කීර්තිමත් විලාසිතා ප්‍රමුඛයකු බවට පත්වීමේ දිගුකාලීන දැක්ම යථාර්ථයක් බවට පත්කර ගැනීමට මහත් ශක්තියක් බවද ඒ මහතා සඳහන් කළේය.
කුෂාන් සුබසිංහ

ඡායාරූප – නිශාන් එස්. ප්‍රියන්ත

advertistmentadvertistment
advertistmentadvertistment