ලෝක කුසලාන ක්‍රිකට් තරගයක් අතරතුර ඔන්ලයින් ක්‍රීඩාවෙන් මිලියන 15ක් දිනූ ඉන්දීය එස්. අයිගේ සේවය අත්හිටුවයි

9495

ඉන්දියාවේ පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ බංග්ලාදේශය සහ එංගලන්තය අතර පැවති තරගය අතරතුර ‘ඩී්‍රම් 11’ නමැති අන්තර්ජාල ක්‍රීඩාවෙන් ඉන්දීය රුපියල් මිලියන 15 ක් දිනාගත් ඉන්දීය පොලිස් නිලධාරියකුගේ සේවය අත්හිටුවා තිබේ.

ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ පූනේ දිස්ත්‍රික්කයේ උපපොලිස් පරීක්ෂකවරයකු වන සෝම්නාත් සෙන්ඩේ ඩී්‍රම් 11 නමැති ඔන්ලයින් ෆැන්ටසි ක්‍රීඩාවෙන් අදාළ මුදල් දිනා ගෙන තිබිණි. නමුත් පොලිස් බලධාරීන් පවසන්නේ, සෝම්නාත් සෙන්ඩේ පොලිස් ආචාරධර්ම උල්ලංඝනය කිරීම හේතුවෙන් ඔහුගේ සේවය අත්හිටුවූ බවය. සෙන්ඩේ සේවයේ නියුතු පූනේ දිස්ත්‍රික්කයේ පිහිටි පිම්ප්‍රි චින්ච්වාද් ප්‍රදේශයේ පොලිස් දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර ඇත්තේ අවසරයකින් තොරව ඔන්ලයින් ක්‍රීඩාවේ යෙදීම සහ නිල ඇඳුමින් සැරසී මාධ්‍යවලට අදහස් දැක්වීම යන කරුණු මත මේ නිලධාරියාගේ සේවය අත්හිටුවූ බවයි.

සෝම්නාත් සෙන්ඩේ පවසන්නේ තමන් ඩී්‍රම් 11 ක්‍රීඩා කිරීම ආරම්භ කළේ පසුගිය මාසයේ සිට බවයි. එම ක්‍රීඩාව ජයග්‍රහණය කිරීමෙන් ඔක්තෝබර් 10 දා ඔහුට රුපියල් මිලියන 15 ක් හිමි විය. මෙම දඬුවම නිසා තමාට විශාල අසාධාරණයක් සිදුව ඇති බව ද හෙතෙම කියයි. ඩී්‍රම් 11 සමාගම මෙම ක්‍රීඩාව ‘කුසලතාමය ක්‍රීඩාවක්’ ලෙස හඳුන්වන අතර එය එරට සූදු නීතියෙන් නිදහස් කර ඇති බව ද කියයි.
චතුර පමුණුව


advertistmentadvertistment