ලෝක කුසලාන තරගාවලියේ ඉහළට පැමිණීමට ලංකාවට හැකියි

2092

සනත් කලූ ආරම්භක සුසංයෝගය ගැන මුලින්ම අදහස ගෙනාවේ දුලිප් මෙන්ඩිස්

1996 ලෝක ශූර ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ඩේව් වට්මෝර්

ශ්‍රී ලංකා ක්‍රිකට්වලට බාහිර අතපෙවීම් හා බලපෑම් නිතර එල්ල වෙනවා, මේ තත්ත්වයද අවම කර ගැනීම වැදගත්. එය ක්‍රීඩකයන්ගේ මානසිකත්වයට ද බලපානවා

පන්දු වාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අද ආරම්භ වේ. එම තරගාවලියේදී ශ්‍රී ලංකාව සොයා යන්නේ සිය තෙවැනි ලෝක කුසලාන ජයග්‍රහණයයි. එනම් ශ්‍රී ලංකාව මීට පෙර දෙවතාවක් ලෝක ශූරයන් වී ඇත. ඒ 2014 පන්දු වාර 20-20 ලෝක කුසලාන තරගාවලියේදී සහ 1996 එක් දින ලෝක කුසලාන තරගාවලියේදීය. එම ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කළ ඩේව් වට්මෝර් මහතා යළි 1999 වසරේ ද ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකාර ධුරය භාර ගත්තේය. ලෝක කුසලාන තරගාවලියක් ක්‍රියාත්මක වෙමින් තිබියදී ශ්‍රී ලංකාවට ලෝක කුසලානයක් ලබා දුන් පළමු පුහුණුකරුවා වන ඩේව් වට්මෝර් මහතා සමග කළ සාකච්ඡාවක් මෙහි දැක්වේ.

ප්‍රශ්නය – ඔබ උපන්නේ ශ්‍රී ලංකාවේ බව අප අසා තිබෙනවා. ඒ ගැන වැඩිදුර විස්තර දැනගන්න කැමතියි.

ඔව් මම උපන්නේ ශ්‍රී ලංකාවේ. මගේ කුඩා කාලය ගතවුණේ වැල්ලවත්ත ප්‍රදේශයේ. වැල්ලවත්ත දුම්රියපළ පාරේ තමයි අපගේ නිවස තිබුණේ.

මට අවුරුදු 8 පිරෙන තුරුම, අපේ පවුල ලංකාවේ හිටියා, මගේ පියා ව්‍යාපාර කළා. ඇත්තෙන්ම එක අතකින් මම ශ්‍රී ලාංකිකයෙක් කිව්වොත් නිවැරදියි. මට තියෙන්නේ ශ්‍රී ලාංකික හැඳුනුම්පතක්. ඒ වගේම මට තියෙන්නේ ශ්‍රී ලංකාවේ විදෙස් ගමන් බලපත්‍රයක්. බොහෝ දෙනෙක් ඒ බව දන්නේ නැහැ.

ප්‍රශ්නය – ශ්‍රී ලංකාව තුළ ගෙවූ ඒ ළමා කාලයේ මතකයන් අවදි කළොත්.

එය හරිම සුන්දර කාලයක්. මම පාසල් ගියේ කොළඹ රාජකීය විදුහලට. පාසලෙන් පසු හැමදාම හවසට අසල්වැසි යහළුවන් සමග මම ක්‍රිකට් ක්‍රීඩා කළා මට මතකයි. ක්‍රිකට්වලට මම පෙම් බඳින්න පටන් ගත්තේ ලංකාවේ සිටි කාලය තුළදීමයි. ඒ වගේම මම ශ්‍රී ලංකාවේ උපන් කෙනකු වීම, පසුකාලීනව මගේ වෘත්තීය ජීවිතයටත් ධනාත්මකව බලපෑවා. පසු කාලයේ ශ්‍රී ලංකාවේ මෙන්ම දකුණු ආසියානු රටවල් කිහිපයක හා ලීග් මට්ටමේ ක්‍රිකට් කණ්ඩායම් කිහිපයකද පුහුණුකරු ලෙස කටයුතු කළා. මම ශ්‍රී ලංකාවේ උපන් කෙනකු වීම නිසා එම රටවල පරිසරය දේශගුණය හා සමාජයට හුරුවීම මට ගැටලුවක් වුණේ නැහැ.

ප්‍රශ්නය – පසුව ඔබ ඔස්ටේ්‍රලියාවට ගොස් වෘත්තීය මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩකයකු බවට පත්වෙනවා.

මම කුඩා කාලයේ සිටම ක්‍රිකට්වලට ආදරේ කළ නිසා ඔස්ටේ්‍රලියාවෙදීත් දිගටම ක්‍රීඩා කළා. එරට පළමු පෙළ ක්‍රිකට් තරගවලදී දැක්වූ දස්කම් නිසාම මට ඔස්ටේ්‍රලියානු ජාතික කණ්ඩායමට ද එක්වීමට වරම් ලැබුණා. මම එරට ජාතික පිල වෙනුවෙන් ටෙස්ට් තරග හතකට ක්‍රීඩා කළා. මම පිතිකරුවකු ලෙසයි කණ්ඩායම නියෝජනය කළේ. විශේෂයෙන්ම ෂෙෆීල්ඩ් කුසලාන තරගාවලියේ දී මම හොඳින් දස්කම් දැක්වූවා.

ප්‍රශ්නය – නමුත් ඔබ වඩාත් ජනප්‍රිය වන්නේත්, සාර්ථකත්වයක් ලබන්නේත්, ක්‍රිකට් පුහුණුකරුවකු ලෙසයි.

ඔව්. ක්‍රිකට් ක්‍රීඩකයකු ලෙස විශ්‍රාම ගිය පසුවත් මට ක්‍රිකට් ක්‍රීඩාව සමග තවදුරටත් සම්බන්ධ වී සිටීමට අවශ්‍ය වුණා. ඒ නිසා ක්‍රිකට් ක්‍රීඩාවට සමුදුන් පසුව මම ක්‍රිකට් පුහුණුකරුවකු වීම සඳහා කටයුතු කළා. අවශ්‍ය හැදෑරීම්, පුහුණුවීම් සියල්ල නිවැරදිව සිදුකළා. ඊට අවශ්‍ය සියලු සුදුසුකම් සපුරා ගත්තා. මම වික්ටෝරියා ක්‍රීඩා ආයතනයේ පුහුණුකරුවකු ලෙස සේවයට එක්වුණා. එම වකවානුවේ තමයි ශ්‍රී ලංකා ජාතික පිල පුහුණුකිරීම සඳහා මට ආරාධනාවක් ලැබුණේ. ශ්‍රී ලංකා පිල, පුහුණුකරුවකු ලෙස මගේ පළමුවැනි ජාතික ක්‍රිකට් කණ්ඩායමයි.

ප්‍රශ්නය – ශ්‍රී ලංකා ක්‍රිකට් සමග ඔබේ එක්වීම ගැන සිහිපත් කළොත්

එවකට ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ලෙස කටයුතු කළේ ආනා පුංචිහේවා මහතායි. ඔවුන් මේ කාලයේදී ශ්‍රී ලංකා පිලට විදෙස් පුහුණුකරුවකු සොයමින් හිටියේ. ඔස්ටේ්‍රලියාවට බොබ් සිම්ප්සන් කළා වගේ සේවයක් තමා ඔවුන් මගෙන් අපේක්ෂා කළේ. මම ඒ අභියෝගය භාරගත්තා. ඒ වනවිට ශ්‍රී ලංකා පිලේ අත්දැකීම් සහිත ප්‍රවීණ ක්‍රීඩකයන්ද රැසක් සිටියා. මා ඔවුන් සමග බොහොම සුහදව, අත්දැකීම් බෙදාහදා ගනිමින් කටයුතු කළා.

ප්‍රශ්නය – ඉතා කෙටි කලක් ඇතුළත ලෝක කුසලානයක් ජයගැනීමට තරම් ඉහළ මට්ටමකට මෙරට ක්‍රිකට් පිල ඔසවා තැබීමට ඔබට හැකිවුණා. ඔබ එහිදී භාවිතා කළ විශේෂ සැලසුම් හා පුහුණු ක්‍රම මොනවාද?

ලෝක කුසලාන තරගාවලියේ ඉහළට පැමිණීමට ලංකාවට හැකියි

ක්‍රීඩකයන් තුළ තිබෙන හැකියාවන් නිවැරදි ලෙස ඉස්මතු කරගැනීම තමයි මගේ මූලික ඉලක්කය වූයේ. ක්‍රීඩකයන්ට අලුතෙන් තාක්ෂණික ක්‍රමවේද කියා දෙනවා වෙනුවට ඔවුන් තුළ ඇති සහජ කුසලතා ඔප්නංවා ගැනීමට අවශ්‍ය සහය ලබාදීමයි මා සිදුකළේ.

සෙසු ක්‍රිකට් කණ්ඩායම් පිළිබඳ මෙන්ම ක්‍රීඩකයන්ගේ හැකියා හා දුර්වලතා පිළිබඳ විශ්ලේෂණයන් සිදුකිරීමට අප පියවර ගත්තා. ඒ සඳහා අද මෙන් නවීන තාක්ෂණය භාවිතා කරන්නට අපට හැකියාවක් තිබුණේ නැහැ, නමුත් අප හැකි පමණින් වීඩියෝ දර්ශන ආදිය යොදාගනිමින් මෙම විද්‍යාත්මක විශ්ලේෂණයන් සිදුකළා. තරගයකට පෙර ක්‍රීඩකයන් සමග සාකච්ඡා කොට සියලු දෙනාගේ අදහස් විමසා සැලසුම් සකසා ගත්තා. මෙහිදී අර්ජුන, අරවින්ද ප්‍රමුඛ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන්ගෙන් ලැබුණු සහයෝගය නම් ඉතා ඉහළයි.

ලෝක කුසලාන සමයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ මානසිකත්වය ඉහළ නැංවීමටත් අප විශේෂයෙන් අවධානය යොමු කළා. ඊට පෙර තිබූ ඔස්ටේ්‍රලියානු සංචාරයේදී අපගේ ක්‍රීඩකයන්ට මානසික පීඩනයන් රැසක් එල්ලවුණා. නමුත් අප එම පීඩනයෙන් ගැළවීමට හා මානසිකත්වය ගොඩනංවා ගැනීමට අවශ්‍ය පියවරයන් රැසක් ගත්තා. එහිදී නායක අර්ජුන විශාල කාර්යභාරයක් ඉටුකළා. ක්‍රීඩකයන්ගේ වැටී තිබූ මානසිකත්වය නංවා, ඔවුන් තුළ සටන්කාමී මානසිකත්වයක් ගොඩනැංවීමට අපට හැකිවුණා.

එසේම එම ක්‍රීඩකයන්ගේ ශාරීරික යෝග්‍යතාවය වර්ධනය කිරීමටද අප විශේෂයෙන් අවධානය යොමු කළා. ඒ සඳහා ඇලෙක්ස් කොන්ටූරිගේ දායකත්වය බෙහෙවින් ඉවහල් වුණා.

ප්‍රශ්නය – අපගේ විශිෂ්ඨ ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් ට එරෙහිව, පන්දුව දමා ගැසීමේ චෝදනා එල්ලවන්නේ ද ඔබගේ කාලය තුළයි, මෙම අභියෝගයට ඔබ මුහුණ දුන්නේ කෙසේද?

ඔව්, ඔහුට එල්ලවුණු චෝදනා, පදනම් විරහිත බව අප දැනගෙන සිටියා. මම ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව, තරගයක් අතරතුරදී ද රූගත කරලා එය විශ්ලේෂණය කර බැලුවා. ඔහුගේ ඉරියව්වේ ගැටලුවක් නැති බව එහිදීද මට තහවුරු වුණා. එම නිසා අප ඍජුව, මුරලිට සහය ලබාදීමේ තීරණයේ සිටියා. කිසිවිටක අප ඔහුව අත්හැරියේ නැහැ. ඔහුට එල්ලවන මානසික පීඩනයන්ගෙන් ඔහුව මුදාගන්න හැකි සෑම දෙයක්ම කළා. එසේම නීත්‍යානුකූලවත් අපට ගත හැකි සෑම පියවරක්ම ගත්තා. අවසානයේ සත්‍ය ජයගත්තා. මම අදටත් සිතනවා ඔහුට එල්ල වූ එම චෝදනා සිතාමතාම, පූර්ව සැලසුමක් සහිතව එල්ල කළ චෝදනා කියලා.

ප්‍රශ්නය – කළුවිතාරණ, ජයසූරිය යුගලය ආරම්භක පිතිකරුවන් ලෙස යෙදවීමද මෙරට ක්‍රිකට් ඉතිහාසයම වෙනස් කළ විප්ලවකාරී තීරණයක්

ඇත්තෙන්ම මුලින්ම මෙම යෝජනාව ඉදිරිපත් කළේ එවකට කණ්ඩායමේ කළමනාකරු වූ දුලිප් මෙන්ඩිස් මහතායි. දිනක් ඔහු මා වෙත පැමිණ ඔහුගේ මෙම නව අදහස පැවසුවා. මා එසැනින්ම ඔහුගේ එම අදහස අනුමත කොට පිළිගත්තා. මමත් දැනගෙන හිටියා කළුවිතාරණ කියන්නේ ඉතාමත් හොඳින් වේග පන්දු යවන්නන්ට මුහුණ දෙන ක්‍රීඩකයෙක් බව. ඔහුගේ කල් යල් බැලීමත් ඉතා ඉහළයි. එම නිසා ජයසූරිය සමග ඔහු ආරම්භ පිතිකරු ලෙස යෙදවීම සාර්ථක වනු ඇති බව මටද වැටහුනා. ඔවුන් දෙදෙනාටම යාර තිහේ සීමාවෙන් ඉවතට ඉතා හොඳින් පහර එල්ලකිරීමේ හැකියාව තිබුණා. අනතුරුව අප සියලු දෙනා එක්ව එම තීරණය නොපැකිලව ක්‍රියාවට නැංවූවා. එය ලංකා ක්‍රිකට් පිලේ සාර්ථකත්වයටද බෙහෙවින් ඉවහල් වුණා.

ප්‍රශ්නය – නමුත් ලෝක කුසලාන ජයග්‍රහණයෙන් මාස කිහිපයක් ගතවීමටත් පෙර ඔබ පුහුණුකාර තනතුරෙන් ඉවත්වුණා.

ඇත්තෙන්ම එය මා බලාපොරොත්තු වූ දෙයක් නොවේ. ලෝක කුසලාන ජයග්‍රහණයෙන් පසුව ශ්‍රී ලංකා ක්‍රිකට්වලට විවිධ ඇඟිලි ගැසීම් හා බලපෑම් රැසක් එල්ලවුණා. එය මට මගේ රාජකාරියට පවා බාධාවක් වුණා. මාධ්‍යයට කරුණු දැක්වීමට පවා නොහැකි තත්ත්වයක් මට උදාවුණා. ඊට බලධාරීන් තහංචි පැනවූවා. මේ තත්ත්වයන් මත මගේ සේවය තවදුරටත් කණ්ඩායමට අවශ්‍ය නොවන බව මට දැණුනා. එම නිසා මම ඉවත්වුණා.

කොහොම වුණත් ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් නැවත මට 1999 වසරේදී, පුහුණුකාර ධුරය භාරගන්න ලෙස ආරාධනා කළා. යම් සාකච්ඡා වට කිහිපයකින් පසු මා එම ආරාධනය පිළිගත්තා. පසුව යළි වසර හතරක කාලයක් මා ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු ලෙස කටයුතු කළා. ඒ වනවිට අර්ජුන, අරවින්ද, මහානාම වැනි ජ්‍යෙෂ්ඨයන් බොහෝ දෙනකු කණ්ඩායමෙන් සමුගෙන තිබුණා. එසේම 99 වසරේ ලෝක කුසලානයෙන්ද ශ්‍රී ලංකා පිල බරපතළ පරාජයක් ලබා තිබුණා.

නමුත් සනත් ජයසූරියගේ නායකත්වයෙන් යුත් එම තරුණ කණ්ඩායම නැවත සාර්ථකත්වය කරා මෙහෙයවීමට මට හැකිවුණා. කණ්ඩායම තුළ ධනාත්මක වෙනස්කම් රැසක් කිරීමට පියවර ගත්තා. එසේම ජයග්‍රහණ රැසක් ද ලැබුවා. එය ශ්‍රී ලංකා ක්‍රිකට්වල සාර්ථක කාලයක්.

ප්‍රශ්නය – දැන් අපි වර්තමාන ක්‍රිකට් ගැන ටිකක් කතාකරමු. වර්තමානයේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ගැන ඔබේ අදහස කුමක්ද ?

වත්මන් ශ්‍රී ලංකා පිලේ කුසලතාවයන්ගෙන් හැකියාවන්ගෙන් සපිරි ක්‍රීඩකයන් රැසක් සිටිනවා. ඒ ගැන විවාදයක් නැහැ. නමුත් කණ්ඩායමක් තුළ විනය පවත්වා ගැනීම ඉතා වැදගත්. එය කණ්ඩායමේ සාර්ථකත්වයටද බෙහෙවින් ඉවහල් වෙනවා. ක්‍රීඩකයන්ගේ කැපවීම හා උනන්දුව ද වැදගත්.

පසුගිය කාලය පුරා මෙරට ක්‍රීඩකයන්ගේ ශාරීරික යෝග්‍යතාව පිළිබඳ ගැටලු මතුවුණා. ක්‍රීඩකයන් රැසක් ආබාධවලට ගොදුරු වුණා. මේ අඩුපාඩුද මගහරවා ගැනීම වැදගත්.

එසේම වත්මන් ක්‍රීඩකයන්ගේ මානසික මට්ටමේද යම් අඩුපාඩු දකිනවා. ඔවුන් තවදුරටත් මානසිකව ශක්තිමත් හා සමබර විය යුතුයි. ශ්‍රී ලංකා ක්‍රිකට්වලට බාහිර අතපෙවීම් හා බලපෑම් නිතර එල්ලවෙනවා, මේ තත්ත්වයද අවම කර ගැනීම වැදගත්. එය ක්‍රීඩකයන්ගේ මානසිකත්වයටද බලපානවා. එසේම කණ්ඩායමක සාර්ථකත්වයට, තේරීම් කමිටුවේ ක්‍රියාවලිය ද ඉතා වැදගත්. නිවැරදි තේරීම් රහිතව, ජයග්‍රහණ ගැන බලාපොරොත්තු වීම අපහසුයි.

ප්‍රශ්නය – ඉදිරියේදී පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේදී අපට ඇති අවස්ථා ගැන ඔබට යමක් අනුමාන කොට පැවසිය හැකිද ?

ශ්‍රී ලංකා කණ්ඩායමට මෙවර ලෝක කුසලානය ජයගැනීමට නම් ඇති ඉඩ ප්‍රස්ථාව නම් අවමයි. එය ඔවුන්ට මෙවර ඉතා අපහසු කටයුත්තක් වේවි.

නමුත් සෙසු අවශේෂ කරුණු ඉවත දමා, තම හැකියාවන් හා කුසලතාවයන් නිවැරදිව භාවිතා කරමින්, ජයග්‍රහණ ඉලක්ක කොට, කැපවීමෙන් තරග කළහොත් තරගාවලිය තුළ සාර්ථකව ඉහළට පැමිණීමට ශ්‍රී ලංකා පිලට හැකිවේවි.

ප්‍රශ්නය – ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ පුහුණුකරු ලෙස කටයුතු කිරීමට නැවතත් ඔබට ආරාධනාවක් ලැබුණොත්?

ක්‍රිකට් පුහුණුකාරීත්වය යනු මගේ වෘත්තියයි. වෘත්තීය කටයුතු වෙනත් කිසිවක් සමග පටලවා ගැනීමට මා කැමති නැහැ. මා හට එවැනි තනතුරක් දැරීමට සියලු සුදුසුකම් ඇති බැවින්, නැවත එවැනි ආරාධනාවක් ලැබුණොත් සලකා බැලීමට සූදානම්.

ප්‍රශ්නය – ඔබ ශ්‍රී ලංකාවේ උපන්න බව බොහෝ දෙනෙක් දන්නා කරුණක් වුවත්, ඔබ දැනටත් පදිංචිවී සිටින්නේ ශ්‍රී ලංකාවේ බව බොහෝ දෙනකු දන්නේ නැහැ නේද ?

ඇත්තෙන්ම ඔව්, මගේ රැකියාව නිසා නිතර විදෙස්ගතවී සිටීමට සිදුවුණත් මගේ ස්ථීර පදිංචිය ඇත්තේ ශ්‍රී ලංකාවේයි. මගේ නිවහන පිහිටා ඇත්තේ බත්තරමුල්ල ප්‍රදේශයේයි. දැනට වසර පහකට පමණ පෙර තමයි මා මගේ බිරිඳත් සමග මේ නිවහනට පැමිණියේ. මෙය තමයි මගේ ස්ථීර නිවහන. මේ වනවිට දරුවන් රැකියාවන් සඳහා විදෙස් රටවල සිටිනවා. නමුත් අපි දෙන්න ශ්‍රී ලංකාවේ මේ නිවහනේ ඉන්නවා.

ප්‍රශ්නය – ශ්‍රී ලංකාවේ බොහෝ දෙනකු මේ වනවිට ශ්‍රී ලංකාව අතහැර ඔස්ටේ්‍රලියාව වෙත යෑමට උත්සාහ දරනවා, නමුත් ඔබ හා ඔබේ බිරිඳ ඔස්ටේ්‍රලියාව අතහැර මෙරට පදිංචියට පැමිණ තිබෙනවා. ඇයි ඔබ මෙතරම්ම ශ්‍රී ලංකාවට ඇලුම් කරන්නේ ?

ඇත්තෙන්ම ශ්‍රී ලංකාව සුන්දර රටක්, මා මෙහි පරිසරයට, වටපිටාවට බොහොම කැමතියි. ශ්‍රී ලාංකිකයන්ගේ සුහද බව හා ආගන්තුක සත්කාරයන්ටද මා බෙහෙවින් කැමතියි. අප දෙදෙනාම ඔස්ටේ්‍රලියාවේ ජීවත්වනවාට වඩා කැමති ලංකාවේ ඉන්නයි. අදටත් පාරට බැස්සම ශ්‍රී ලාංකිකයන් බොහෝ දෙනකු මාව හඳුනා ගන්නවා. ඔවුන් බොහොම ආදරයෙන් ගෞරවයෙන් මට සලකනවා. එය සතුටක්.

සාකච්ඡා කළේ
පැතුම් වික්‍රමරත්න
විශේෂ ස්තුතිය
නෙළුම් බුද්ධදාස – ජෝබි ඩේවිස්

advertistmentadvertistment
advertistmentadvertistment