ලෝක ජෛව විවිධත්ව දින සැමරුම අද හෝර්ටන්තැන්නේදී

48

ලෝක ජෛව විවිධත්ව දිනය අදට (මැයි 22 ට) යෙදී තිබේ. ‘Be Part Of the Plan’ යන්න මෙවර මෙහි ජාත්‍යන්තර තේමාවයි. එය ‘ජෛවවිවිධත්ව සංරක්ෂණ සැලැස්මේ කොටස්කරුවන් වෙමු’ ලෙස සිංහලට නඟා තිබේ.

ජෛව විවිධත්ව දින ජාතික උත්සවය මෙවර ලෝක උරුම හෝර්ටන්තැන්න ජාතික උද්‍යානයේදී පැවැත්වීමට ජෛව විවිධත්ව සම්මුතියේ කේන්ද්‍රීය ආයතනය වන පරිසර අමාත්‍යාංශය කටයුතු යොදා තිබේ. ඒ අනුව, හෝර්ටන්තැන්න ජාතික උද්‍යානයේ ස්වභාවික පරිසර පද්ධතියට තර්ජනයක්ව පැතිර පවතින ‘යුලෙක්ස් යුරෝපියස් – Ulex europaeus’ නමැති ආගන්තුක ආක්‍රමණශීලී ශාක විශේෂය ගලවා ඉවත්කිරීමේ වැඩසටහනක් පරිසර රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර සහ අමාත්‍යාංශ ලේකම් ප්‍රභාත් චන්ද්‍රකීර්ති යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සහ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තු ඇතුළු රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන, පෞද්ගලික අංශය, තරුණ කණ්ඩායම්, විශ්වවිද්‍යාල සහ පාසල් සිසුන්ගේ සහභාගිත්වයෙන් අද පෙරවරුවේ හෝර්ටන්තැන්නේදී සිදු කෙරේ.

1992 දී රියෝ ද ජැනයිරෝ නුවරදී මුල්වරට පැවැත්වූ ලෝක මිහිතල සමුළුවේදී ලෝක ජෛව විවිධත්වය සංරක්ෂණය කිරීමේ අවශ්‍යතාව පෙන්වා දී ජෛව විවිධත්ව සම්මුතිය හඳුන්වා දීමෙන් අනතුරුව 2000 වසරේ සිට ලෝක ජෛව විවිධත්ව දිනය සැමරීමට ලක් වේ. ජෛව විවිධත්වය සංරක්ෂණය, එය තිරසර භාවිතය සහ ජෛව විවිධත්වයෙන් ජනිත වන ප්‍රතිලාභ සමානව හා සාධාරණව බෙදාගැනීම යන කාරණාවලට මුල්තැන ලබාදීම මෙම දිනය සැමරීමේ අරමුණයි. ශ්‍රී ලංකාව 1992 දීම ලෝක ජෛව විවිධත්ව සම්මුතියට අත්සන් තැබූ රටකි.

ජගත් කණහැරආරච්චි හෝර්ටන්තැන්න සිට

advertistmentadvertistment
advertistmentadvertistment