ලෝක යුද්ධයක් ද ඇමරිකාවේ අනා ගැනීමක් ද..?

1058

සෝවියට් දේශය බිඳ වැටීමත් සමග පෙඩරල්භාවයෙන් සම්පූර්ණයෙන්ම නිදහස් වූ යුකේ‍්‍රනය නව සීතල යුද්ධයක් නිර්මාණය කරන ලද්දේ, ලෝක බලවතුන්ගේ වුවමනාව සඳහා සමපාත වන සැකසුමක් ඒ වන විට ද යුකේ‍්‍රනය උරුම කරගෙන සිටි නිසාය. එක් අතකින් යුකේ‍්‍රනය තුළම ස්වාධීනභාවයක් සහිත ක‍්‍රිමියාවය. එසේම ක‍්‍රිමියාව අයත් වන යුකේ‍්‍රනයේ දකුණු දිග ජනයා රුසියානු පක්ෂපාතිත්වයක් සහිත පිරිසකි. යුකේ‍්‍රනයේ උතුරු සහ බටහිර ප‍්‍රදේශවල ජනයාගේ කැමැත්ත ඇත්තේ බටහිර යුරෝපය දෙසටය. ඔවුන්ගේ සිහිනය වී ඇත්තේ යුරෝපා හවුලට එකතු වීමය. මේ විසිරනයේ ප‍්‍රතිඵලය වන්නේ, රුසියානු සහ එක්සත් ජනපද බල අරගලයේ තෝතැන්නක් බවට යුකේ‍්‍රනය නිතැතින්ම පත්වීමය. රුසියානු ප‍්‍රවාහය වෙත පුටින් ලබා දෙන නායකත්වය හේතුවෙන් පැරණි සෝවියට් දේශය මෙන්ම තෙදවත් රුසියානු රාජ්‍යයක් යළි නිර්මාණය වීම යුරෝපය මෙන්ම ඇමරිකා එක්සත් ජනපදය ද උහුලා සිටින්නේ නැත. යෙල්ස්ටින් විසින් බටහිරට ලබාදෙන ලද ජයකොඩිය, රුසියාවේ පුටින් පහතට ඇද දැමීම සඳහා දක්වන විරෝධයක් සේම පුටින්ගේ පාලනයට එරෙහිව නේටෝ හමුදා ස්ථාපිත කිරීම සඳහා අවශ්‍ය තෝතැන්නක් බවට යුකේ‍්‍රනය පත් කිරීමද එක්සත් ජනපදයේ මූල උපාය තුළ තිබුණි.

එක්සත් ජනපදය වත්මන් බයිඩන් පාලනය යටතට පත්වීමත් සමග යුකේ‍්‍රනයේ තත්ත්වය යුද්ධයක් දක්වා දුරදිග යනු ඇති බවට විචාරකයෝ අනාවැකි පළ කරන ලද්දේ, යුකේ‍්‍රන අර්බුදය අවුළුවා ලීම සඳහා තිරය පසුපස සිට මෙහෙයුම් දියත් කරන ලද සියලූ දෙනා බයිඩන් පාලනයේ හොඳ හොඳ තනතුරු සඳහා පත්වීම හේතුකොට ගෙනය. විශේෂයෙන්ම බයිඩන් ජනාධිපතිවරයා වැනි එක්සත් ජනපද ව්‍යාප්තවාදය සඳහා සියලූ ආකාරයෙන් සූදානම් චරිතයක් බලයට එනවිට, එය යුකේ‍්‍රනයේ හෝ මැද පෙරදිග හෝ අන් තැනක යුද භූමි සඳහා හොඳ වාතාවරණයක් සපයන බව සියලූ විචාරකයෝ අනාවැකි පළ කළහ.

යුකේ‍්‍රනයට සිය පළමු අත පෙවීම එක්සත් ජනපදය සිදු කරන්නේ, ජර්මනිය සමගය. විශේෂයෙන්ම රුසියානු හිතවාදී මෙන්ම යුරෝපා හවුල සමග ද උපාය මාර්ගික ආකාරයෙන් කටයුතු කරන ලද ලෙනින් කුච්මා (1994 – 2005) පාලනය පෙරළා දැමීම සඳහා රුසියන් විරෝධී කඳවුර කටයුතු කරන ලද්දේ, ඔහුගේ දෙවන ධුර කාලය අවසානයේ පැවැත්වුණු ජනාධිපතිවරණයේදී දූෂණ සිදුවූ බවට චෝදනා එල්ල කරමින්, ජනතාව එයට එරෙහිව වීදි බැස සටන් කළේය. මෙය මැතිවරණ වංචාවක් පමණක් බලා සිදු කරන ලද වීදි බැසීමක් නොවීය. එය එක්තරා ආකාරයක යුරෝපාකරයේ ‘සුඛෝපභෝගී ජන ජීවිතය’ සඳහා යුකේ‍්‍රනය රැගෙන යන ලෙස සිදු කරන උද්ඝෝෂණයක් ද විය. විශේෂයෙන්ම මතුපිට වංචාවක් පෙන්වා බටහිර ඇණිය සහ එක්සත් ජනපදය මෙම තැඹිලි විප්ලවය මෙහෙයවන ලද්දේ, සිය ලෝක ආධිපත්‍ය සඳහා වන තෝතැන්නක් බවට යුකේ‍්‍රනය පත් කරගැනීමේ අරමුණිනි. මෙම ව්‍යාපෘති සඳහා එක්සත් ජනපදය සහ බටහිර ඇණිය කෝටි ගණනින් ඩොලර් වියදම් කළ අතර, යුරෝපා සිහිනයක තනිවූ යුකේ‍්‍රනය තුළ නැවත ජනාධිපතිවරණයක් පවත්වා, බටහිරට අවශ්‍ය පන්නයේ වූ ජනාධිපතිවරයෙකු වික්ටර් යුශේන්කෝ සහ අගමැතිනිය ලෙස යුල්යා තෙමශේන්කෝ, 2005 ජනවාරි මාසයේ තේරී පත්විය. තැඹිලි විප්ලවය පළ දරන ලද්දේ එසේය. අර්බුදයේ මූල ආරම්භය බවට පත්වන්නේ මෙම පෙරළියය. ලෙනින් කුච්මා පාලනයට යම් තරමකට පැරණි සෝවියට් ගතිකය ද පවත්වාගෙන යමින්, තම න්‍යාය පත‍්‍රය අනුව යුරෝපය ද තුලනය කරගනිමින් ගිය පාලනය වෙනුවට සපුරා බටහිරට හැරුණු පාලන තන්ත‍්‍රයක් බවට වික්ටර් යුශේන්කෝ ජනාධිපතිවරයාගේ පාලනය පත්විය.

බටහිර දෙසින් එන ආක‍්‍රමණයන් යන්න රුසියානු ඉතිහාසය පුරා කියැවෙන දෙයකි. මේ හේතුවෙන් බටහිර ප‍්‍රදේශය පිළිබඳව විමසිලිමත්භාවය රුසියානු ආරක්ෂක න්‍යාය පත‍්‍රයේ කොටසක් සේම, එය ඔවුන්ගේ ඉතිහාසගත පුරුද්දක් ද වී හමාරය. සෝවියට් දේශය බිඳවැටීමෙන් අනතුරුව නේටෝ සංවිධානය පැරණි කොමියුනිස්ට් කඳවුරේ රටවල් සිය ගොනුවට ඇතුල් කර ගැනීම රුසියානුවන් රිසි සම්බන්ධයක් නොවීය. සීතල යුද්ධය නිමවීමෙන් පසු බල කඳවුරු ලෙස නේටෝ සහ ඕසෝ යන බෙදීම අවශ්‍ය නොවන බවට රුසියානුවන් කියා සිටියද, තමන්ගේ ආධිපත්‍ය සඳහා අවශ්‍ය වන නේටෝ සංවිධානය සඳහා බටහිර සහ එක්සත් ජනපදය තව දුරටත් මුදල් පොම්ප කිරීම මෙන්ම එය ශක්තිමත් කිරීම ද නතර නොකළේය.

බටහිර හිතවාදී වික්ටර් යුශේන්කෝගේ පාලනය පෙරළීම සඳහා තමන්ට කළ හැකි සියල්ල රුසියාව සිදු කළේය. විශේෂයෙන්ම යුකේ‍්‍රනය යුරෝපා සංගමයට ඇතුළත් කර ගැනීම මගින් රුසියාව, යුරෝපයේ අද්දරට තල්ලූකර ගැනීමේ යුරෝපා අභිප‍්‍රාය වහා පරාජය කිරීමට රුසියාවට අවශ්‍ය විය. 18 වැනි සිවසේ අවසානයේ සිට යුකේ‍්‍රනය රුසියාවේ හා සෝවියට් රාජ්‍යයේ වැදගත් කොටසක් විය. තව ද, කළුමුහුදේ රුසියානු නාවුක බලඇනිය, යුකේ‍්‍රනය විසින් රුසියාවට බද්දට දෙන ලද ක‍්‍රිමියාවේ වරායක ස්ථානගත කර ඇත.

මේ අනුව රුසියාව සිය සහචර යුකේ‍්‍රන් විපක්ෂ නායකවරයා මාර්ගයෙන් බටහිර ගැති යුශේන්කෝ පාලනය පෙරළා දැමීම සඳහා කටයුතු සංවිධානය කළේය. ඒ සඳහා ප‍්‍රමුඛ වූයේ යුශේන්කෝ පාලනයේ දූෂිත පසුබිමය. වසර තුන හමාරක් ගත වීමත් සමගම යුකේ‍්‍රනියානු අගමැතිනිය ලෙස කටයුතු කළ යූල්යා තෙමශේන්කෝ ඉදිරි ජනාධිපතිවරණයට තරග කරන බවට ප‍්‍රකාශ කිරීම රුසියානු හිතවාදී විපක්ෂ නායක වික්ටර් යනුකොවිච් වෙත ජයග‍්‍රහණය කල් තබා ලියාදෙන තත්ත්වයක් නිර්මාණය කර තිබුණි. විශේෂයෙන්ම ඇමැති මණ්ඩලයේ අභ්‍යන්තර අර්බුද සමග රුසියානුවන්ද ලද අවස්ථාව අතහැරීමට අමතක නොකළෝය. තෙමශේන්කෝ වටා ගෙතුණු ගෑස් මංකොල්ලය යළි ඉස්මතු කිරීමට විරුද්ධවාදීන් කටයුතු කරන ලද්දේ ඊළඟ ජනාධිපතිවරණයේදී යුශේන්කෝ පාලනය පෙරළා දැමීම සඳහාය.

ලෝක යුද්ධයක් ද ඇමරිකාවේ අනා ගැනීමක් ද..?

යුකේ‍්‍රන් ජනාධිපතිට යුශේන්කෝ පරයා, අගමැතිනියගේ බලය හෙබවීමට පටන් ගැනීමත් සමග බටහිර ගැති යුකේ‍්‍රන් පාලනය දෙදරන්නට පටන් ගත්තේය. තනිවූ ජනාධිපති යුශේන්කෝ ද විපක්ෂ නායක යනුකොවිච් ට සහාය දක්වන පිළිවෙතක් කරා ගමන් කළේය. පැරණි කොමියුනිස්ට්පාක් මෙන්ම බහුතර ජන කැමැත්ත සහිත විපක්ෂ නායක වික්ටර් යනුකොවිච් රුසියානු ආශිර්වාදය යුකේ‍්‍රන් පාලනය භාර ගත්තේය. එම පාලනය ද යුරෝපය සහ රුසියාව අතර දෝලනය වෙමින් පැවති අතර, යනුකොවිච්ගේ බලය දියවෙන්නට වූයේ, නොනැවතී නැගෙන්නට වූ ජනතා විරෝධතා හේතුවෙනි. කිව් අගනුවර කඳවුරු බැඳගනිමින් විරෝධතා සංවිධානය වන්නට වූයේ 2013 නොවැම්බරයේ සිටය. මර්දනයෙන් එම විරෝධතා යටපත් කරලීමට වික්ටර් යනුකොවිච් උත්සාහ ගත්තේය. සිය ගණනක් මරණයට පත්විය. මේ විරෝධතා සඳහා ජර්මනිය, යුරෝපා සංගමය, එක්සත් ජනපදය ප‍්‍රමුඛ බටහිර ඇණිය එළිපිට උදව් දෙන්නට පටන් ගත්තේය. යුරෝපා කටයුතු භාර සහකාර රාජ්‍ය ලේකම් වික්ටෝරියා නුලන්ඞ්, යුකේ‍්‍රනියානුවන්ට ‘යහපත් ආණ්ඩුවක්’ ලබාගනු සඳහා උදව් කිරීම වෙනුවෙන් ඩොලර් බිලියන 05ක් ආයෝජනය කිරීමට එක්සත් ජනපදය සූදානම් බව දෙසැම්බරයේ ප‍්‍රකාශයට පත්කළාය. ඒ ‘යහපත් ආණ්ඩුව’ බටහිරට ගැති එකක් බව අමුතුවෙන් කිව යුතු නොවේ. ‘අරගලයට කැඳවන’ යූ ටියුබ් වීඩියෝ පටවල සිට කඳවුරු බැඳි ජනතාවට ආහාරපාන ලබාදීම දක්වා සහන ගලා ආවේය. දේශපාලන අර්බුදය මැද මහමගට පිවිසි දහස් සංඛ්‍යාත යුකේ‍්‍රනියානුවන් අර්බුදය පිටුපස ක‍්‍රියාත්මක සංකීර්ණ දේශපාලනය තේරුම් නොගත්තේ වත්මන් තත්ත්වය සඳහා එයම පසුබිමක් වූ බව කිව හැකිය.

රුසියා සහ චීන ‘මූලෝපායික සම්බන්ධතා’ අනුව චීනය ද යුකේ‍්‍රනය සමග තම සම්බන්ධතා පුළුල් කරමින් සිටී. යුකේ‍්‍රනය වර්තමානයේ සිය විදේශ වෙළෙඳාමෙන් සියයට 5ක් පමණ පවත්වාගෙන යන්නේ චීනය සමග ය. ඔක්තෝබරයේ දී, සවුත් චයිනා මෝනින්ග් පෝස්ට් වාර්තා කළේ, XPCC නම් චීන රාජ්‍ය ව්‍යාපාරය චීනය වෙනුවෙන් ආහාර නිෂ්පාදනය සඳහා වගාකළ හැකි බිම් හෙක්ටයාර් 100,000කට ප‍්‍රවේශය අත්පත් කර ගැනීමට KSG Agro නම් යුකේ‍්‍රන කෘෂිකර්ම සමාගම සමග ගිවිසුමක් ඇති කර ගත් බව යි. මෙම ප‍්‍රදේශය හෙක්ටෙයාර් මිලියන 3ක් දක්වා දීර්ග කිරීමට නියමිතය. එය බෙල්ජියම හෝ මැසචුසෙට්ස් ප‍්‍රාන්තය තරම් විශාල ය. චීනය යනුකොවිච් පාලනය යටතේ යුකේ‍්‍රනය සඳහා ඩොලර් බිලියන 10ක ණය මුදල් ආදිය ලබා දෙමින් සිය න්‍යාය පත‍්‍රය දෙසට යුකේ‍්‍රනය බා ගැනීම එක්සත් ජනපදයේ සහ යුරෝපයේ සිත් නොගත්තේය.

මේ හේතුවෙන් එක්සත් ජනපදය සහ යුරෝපා සංගමය එක්ව යුකේ‍්‍රනය සිය න්‍යාය පත‍්‍රය සඳහා ගොනු කර ගැනීමට කුමන්ත‍්‍රණය ආරම්භ කළේය. යනුකොවිච්ට එරෙහි උද්ඝෝෂණ ප‍්‍රබල වූ අතර, ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම්වරියක වූ වික්ටෝරියා නූලන්ඞ්, කියෙව් හි උද්ඝෝෂකයන් වෙත එළිපිටම සහාය පළ කිරීමට පටන් ගත්තේය. එක් අවස්ථාවක නූලන්ඞ් සහ එවකට යුකේ‍්‍රනයේ ඇමරිකන් තානාපතිවරයා අනාගත යුකේ‍්‍රන රජයේ සංයුතිය පිළිබඳ සාකච්ඡා කරන බව දැක්වෙන හඬපටයක් මාධ්‍ය ඔස්සේ ප‍්‍රචාරය විය. යුකේ‍්‍රන ජාතිකවාදීන් විසින්, ලෙනින් ප‍්‍රතිමා බිඳ දැමීම වැනි රුසියාවට සම්බන්ධ දෑ විනාශ කිරීම ද මෙම නව නට්සිවාදී යැයි හැඳින්විය හැකි පිරිස් ද මෙම උද්ඝෝෂණ හි දක්නට ලැබුණි.

2014 පෙබරවාරි මාසයේ ගැටුම් උත්සන්න වූ අතර මර්දනයන් සහ ගැටුම් හේතුවෙන් දෙපාර්ශ්වයේම පිරිස් මරණයට පත් වූහ. උද්ඝෝෂණ තීව‍්‍ර වෙත්ම, පෙබරවාරි 21 වැනිදා විපක්ෂය සමග එකඟතාවකට පැමිණි බව ජනාධිපති යනුකොවිච් සඳහන් කළද, එදිනම ඔහු ක‍්‍රාකොව් වෙත පිටත්ව ගියේ එහි රැස්වීමක් තිබෙන බව පවසමින්. ඊළඟ දිනයේ ඔහුව ජනාධිපති ධුරයෙන් ඉවත් කිරීමට පාර්ලිමේන්තුවේ යෝජනාවක් සම්මත වූ අතර, යනුකොවිච් මුලින් ක‍්‍රිමියාවටත් පසුව රුසියාවටත් පලා යෑම සිදුවිය.

ඒ සමගම බටහිර හිතවාදී නව බලයලත් පිරිස, නව අගමැතිවරයෙකු සහ කථානායකවරයාව, වැඩ බලන ජනාධිපති ලෙස පත්කර ගත්තේය. බලයට පැමිණි පිරිස රුසියන් බස කතා කරන ජනතාව සඳහා විරෝධී පිරිසක් හෙයින් බහුතර රුසියානුවන් සිටින ක‍්‍රිමියාව සිය සහාය රුසියාවට පළ කරන්නේය.

මේ අතර ක‍්‍රිමියාවේ ප‍්‍රාදේශීය පාර්ලිමේන්තුවත් හදිසියේ රැස්විය. පලාගිය ජනාධිපතිවරයා කෙරෙහි තමන්ගේ වන විශ්වාසය පළකර සිටියේය. ඔහුට එරෙහි වූ අගනුවර උද්ඝෝෂණකරුවන්, හුදෙක් ‘ෆැසිස්ට්වාදීන්’ සහ ‘ත‍්‍රස්තවාදීන්’ වශයෙන් හඳුන්වා, පාර්ලිමේන්තුවේ සම්මත කර ගත් යෝජනාවක් අනුව පැරණි අගමැතිවරයා පිළිගන්නා බව ප‍්‍රකාශ කළ අතර, යුකේ‍්‍රනයෙන් ස්වාධීන වූයේ ජනමත විචාරණයක් තබමිනි. එසේම තමන්ගේ හෙවත් ක‍්‍රිමියාවේ උපකාරයට එන්නැ යි රුසියානු ජනාධිපති පුටින්ගෙන් ඉල්ලා සිටීමට ද ක‍්‍රිමියාව ක‍්‍රියා කළේය.

මෙසේ දිගින් දිගටම පෑරුණු යුකේ‍්‍රන් තුවාලය සඳහා දැඩි ලෙස උපකාර කරන ලද්දේ වත්මන් එක්සත් ජනපද ජනාධිපති බයිඩන්ගේ නිලධාරීන් ලෙස අද සේවය කරන පිරිස්ය. යුකේ‍්‍රනයේ රුසියන් හිතවාදය ඔවුන් එදා අවසන් කිරීම සඳහා තිරය පිටුපස මෙන්ම ඉදිරියේ සිට ද සේවය කළේය. 2017 සහ 2020 අතර, ට‍්‍රම්ප්ට එරෙහිව අද බලයේ සිටින ඩිමොක‍්‍රටික් පක්ෂයේ ප‍්‍රධාන පැමිණිල්ල වූයේ, ප‍්‍රමාණවත් බලයකින් රුසියාවට විරුද්ධ වීමට ඔහු අසමත් වීමයි. 2019 දෙසැම්බර් සහ 2020 පෙබරවාරි අතර ගෙන ආ ට‍්‍රම්ප්ට විරුද්ධ පළමු දෝෂාභියෝග ක‍්‍රියාදාමයන් තුළ අධිකාරය දැරුවේ, ඔහු යුකේ‍්‍රනයට මිලිටරි ආධාර ලබා දීම අත්හිටුවූ බවට වූ වන චෝදනාව ය. ට‍්‍රම්ප් පිළිබඳ ඩිමොක‍්‍රටික් පක්ෂයේ සම්මත හෙළාදැකීම වූයේ, ඔහු ෆැසිස්ට්වාදී ආඥාදායකයෙකු වීම නොව ඔහු ‘පුටින්ගේ රූකඩයක්’ වීමයි.

මේ පිළිබඳව ලෝක සමාජවාදී මාධ්‍ය දක්වා තිබුණු ප‍්‍රකාශයක එක්සත් ජනපදයේ උපාය මාර්ගය සටහන්ව තිබුණේ මෙසේය. ”ඇමරිකානු යුකේ‍්‍රනයේ සිදුවන ඕනෑම දෙයක්, නේටෝ හමුදාවන් සක‍්‍රීය කිරීමටත්, කෙක්කෙන් හෝ කොක්කෙන් යුද තත්ත්වයක් නිර්මාණය කිරීමටත් භාවිත කරනු ඇත. රුසියාව ජර්මනියට ස්වභාවික ගෑස් සැපයීමට ඉදි කළ Nord Stream II නළ මාර්ග ව්‍යාපෘතිය අවසන් වනු ඇත. නේටෝව විසින් වට කරන ලද රුසියාව, කොන්දේසි විරහිතව ක‍්‍රිමියාව නැවත යුකේ‍්‍රනයට බාර දිය යතුය යන නියෝගයේ සිට කිසිදා නිම නොවන සහ නිරන්තරයෙන් පුළුල් වන ඉල්ලීම් ලැයිස්තුවකට මුහුණ දෙනු ඇත. බෙලාරුස් කෙරෙහි රුසියානු බලපෑම අවසන් කෙරෙනු ඇත. චෙච්නියාවේ සිට සයිබීරියාව දක්වා වන රුසියාවේ බෙදුම්වාදී ව්‍යාපාරවලට ප‍්‍රසිද්ධියේ අධිරාජ්‍යවාදී සහයෝගය ලැබෙනු ඇත. අවසාන ඉලක්කය මොස්කව්හි පාලන තන්ත‍්‍රය වෙනස් කිරීම සහ රුසියාව කැබැලි කිරීමයි.

නේටෝවේ සාමාජිකයෙකු වීමට යුකේ‍්‍රනය සතු ”අයිතිය’’ පිළිබඳ බයිඩන් පරිපාලනය කරන අවධාරණය, රුසියාව මුළුමනින්ම බෙලහීන රාජ්‍යයක තත්ත්වයට ඇද දැමීම සඳහා යොමුව ඇති මූලෝපායක අත්‍යවශ්‍ය අංගයකි. නැසීගිය අධිරාජ්‍යවාදී මූලෝපාඥ සහ යුදවාදී ස්බිග්නියෙව් බ්‍රෙසන්ස්කි (Zbigniew Brzezinski), ඔහුගේ ද ග‍්‍රෑන්ඞ් චෙස් බෝඞ් (The Grand Chessboard – මහා චෙස් පෙත) (1997) කෘතියේ ලියූ පරිදි, යුකේ‍්‍රනය යනු රුසියාවේ දකුණු දේශසීමාවේ ආරක්ෂාව ද, උණුසුම් මුහුදුවලට ප‍්‍රවේශය ද නිර්නය කරන රුසියාවේ ‘භූ දේශපාලන නියාමකයයි’’. යුකේ‍්‍රන භූමිභාගය, කළුමුහුද හා කැස්පියන් මුහුදු කලාපය, ගෝලීය ආධිපත්‍ය සඳහා වන වොෂින්ටනයේ සැලසුම්වල අප‍්‍රමාණ වැදගත්කමකින් යුත් මධ්‍ය අක්ෂය වේ. මෙම කලාපය, රුසියාව මධ්‍යධරණී මුහුදට ඇති ප‍්‍රවේශය වන අතර, යුරෝපය කරා දිවෙන සිය තනි තීරයක් තනි මාවතක් (Belt and Road Initiative) ව්‍යාපෘතියේ ගොඩබිම් මාර්ගය ව්‍යාප්ත කරන චීනයට ද මෙය ඉතා වැදගත්ය. කළුමුහුද හා කැස්පියන් කලාපවලට ද අවසන් විග‍්‍රහයේදී යුරේසියාවට ද සිය ආධිපත්‍ය සඳහා බාධකයක්ව ඇති රුසියාව වැනසීම ද, එමඟින් සම්පත් වලින් පොහොසත් රට අර්ධ යටත් විජිතයක් බවට පිරිහෙලීම ද වොෂින්ටනයේ යුද අරමුණ වෙයි. මෙය ඔවුන් විසින් දකිනු ලබන්නේ චීනයට එරෙහි යුද සූදානමෙහි අත්‍යවශ්‍ය පියවරක් ලෙස ය.’’

මේ සියලූ සැලසුම් අසාර්ථක කරවීම සඳහා පුටින් සතු එකම සහ කදිම උපාය ඔහු පසුගිය බ‍්‍රහස්පතින්දා දියත් කළේය. යුකේ‍්‍රනයේ නැගෙනහිර ඩොන්බාස් ප‍්‍රදේශයට සිය හමුදා පිටත් කරමින් පුටින්, රුසියානු පිටුබලය ලද කැරලිකරුවන්ට එරෙහි නොවී, ආයුධ බිම තබා නිවෙස් බලා යන්නැ යි යුකේ‍්‍රනියානු සොල්දාදුවන්ගෙන් ඉල්ලා සිටියේ ය. යුකේ‍්‍රනය ආක‍්‍රමණය සඳහා තමන්ගේ සූදානමක් නැති බවට පුටින් ප‍්‍රකාශ කළ ද ඒ සමග ඔහු පවසන ලද්දේ, කිසිවෙකු හෝ රුසියාවට එරෙහිව නැගී සිටීමට උත්සාහ කළහොත් රුසියානු රජයේ ප‍්‍රතිචාරය දරුණු වනු ඇති බවය.

පුටින්ගේ යුද ප‍්‍රකාශ කිරීම පූර්ණ වූ යුකේ‍්‍රන ආක‍්‍රමණයක් බව පවසන එරට රජය වහාම එහි යුද නීතිය ස්ථාපිත කර තිබේ. යුකේ‍්‍රනියානු විදේශ අමාත්‍ය දිමිත්‍රෝ කුලෙබා මෙසේ ට්විටර් පණිවුඩයක් සටහන් කර තිබුණි: ‘‘ යුකේ‍්‍රනියානු නගරවලට ප‍්‍රහාර එල්ලවෙනවා. මේක ආක‍්‍රමණශීලී යුද්ධයක්. යුකේ‍්‍රනය තමන්ව ආරක්ෂා කර ගන්නවා වගේම, ජයග‍්‍රහණය කරනවා. පුටින්ව නවත්තන්න ලෝකයට පුළුවන්. ලෝකය එය සිදුකළ යුතු යි. මේ ක‍්‍රියාත්මක විය යුතු කාලය යි.’’

රුසියාව යුකේ‍්‍රනය ආක‍්‍රමණය සඳහා සැරසෙන බවට වන චන්ද්‍රිකා ඡායාරූප සමග බීබීසී සේවය මීට සතියකට පමණ පෙර මෙම ආක‍්‍රමණය පිළිබඳව පූර්ව දැනුම් දීමක් සිදු කළ අතර බයිඩන් ජනාධිපතිවරයා ද ඒ බව කල් තබාම දින වකවානු සහිතව ප‍්‍රකාශ කර තිබුණි. පුටින්ගේ නිවේදනයට ස්වල්ප වේලාවකට ප‍්‍රථම, යුකේ‍්‍රන ජනපති වොලොදිමීර් සෙලෙන්ස්කි ප‍්‍රකාශ කරන ලද්දේ, රුසියාව ‘යුරෝපය තුළ මහා යුද්ධයක්. අරඹන බව ප‍්‍රකාශ කළේය. එසේම ඊට විරුද්ධ වන ලෙස රුසියානු ජනතාවගෙන් ඔහු ඉල්ලා සිටියේ ය. රුසියාව විසින් භටයින් 200,000ක් පමණ හා දහස් ගණනක් යුද රථයන් ද යුකේ‍්‍රන දේශ සීමාවේ ස්ථානගත කර ඇතැයි සෙලෙන්ස්කි එහිදී කියා සිටියේය.

මෙම සියවසේ දරුණුතම යුද්ධය යුරෝපයේ පටන් ගන්න දෙන්න එපා. මෙය බලපාන්නේ යුකේ‍්‍රනයට පමණක් නොවෙයි මෙය මුළු යුරෝපයටම බලපාන කාරණයක් ඒ නිසා මනුෂ්‍යත්වයේ නාමයෙන් රුසියානු හමුදා ආපසු කැඳවන්න. එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටේරස් ලෝකයාගෙන් ඉල්ලා සිටිය ද එය මේ වන විට ආරම්භ වී තිබේ. එම ගැටුම යන දුර පිළිබඳව තවම අනාවැකි කිව නොහැක්කේ මුත්, රුසියානු හමුදාව එල්ල කරන ලද ප‍්‍රහාර හේතුවෙන්, පුද්ගයන් 137 දෙනකු පමණ මියගොස් ඇති බවට යුකේ‍්‍රන රජය තහවුරු කර තිබේ. රුසියානු හමුදා ප‍්‍රහාර වලින් යුකේ‍්‍රන හමුදා භටයන් 316ක් තුවාල ලබා ඇති බව යුකේ‍්‍රන් ජනපතිවරයා ප‍්‍රකාශ කර ඇති අතර, රුසියානු හමුදාවේ ඉලක්කය තමන් හා තම පවුලේ සාමාජිකයන් බව යුකේ‍්‍රන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි වැඩිදුරටත් සඳහන් කර තිබේ. තමන් මේ වන විටත් රැඳී සිටින්නේ කියෙව් අගනුවර නිල නිවාසයේ බවත් තම පවුලේ සාමාජිකයින් ද යුකේ‍්‍රනයේ සිටින බවත් ජනාධිපතිවරයා එහිදී සඳහන් කර තිබේ.

යුකේ‍්‍රනයේ නැගෙනහිර වාරය නගරයක් වන මරියපෝල්, කළු මුහුදේ වරාය නගරයක් වන ඔඩෙසා, කියෙව්, කර්කොව්, ක‍්‍රමටොස්ක් සහ බර්ඕයාන්ස්ක් නගරවල පිපිරීම් සිදු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරන අතර, රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය රුසියානු හමුදා විසින් පහර දෙන ඉලක්ක ප‍්‍රකාශයට පත් කර තිබේ. යුකේ‍්‍රන හමුදා කඳවුරු, මිසයිල ආරක්ෂණ පද්ධති, ගුවන් හමුදා කඳවුරවලට රුසියානු හමුදාවේ ඉලක්කය නොවරදින ආයුද මගින් පහර දී ඇති බව මේ වන විට වාර්තා වේ.

නවතම මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ හානිදායක න්‍යෂ්ටික අවශේෂ තැන්පත් කර ඇති චර්නොබිල් ප‍්‍රදේශය ද රුසියානු හමුදා සිය යටතට ගෙන ඇති බවය. මෙම ප‍්‍රදේශය රැකගැනීම සඳහා යුකේ‍්‍රන හමුදා ප‍්‍රබල උත්සාහයක් ගනු ලැබුවද එය පරාජය කර චර්නොබිල් ප‍්‍රදේශය රුසියානු අණසක කරා දැන් යටත් වී තිබේ. ශ‍්‍රී ලංකා වේලාවෙන් සිකුරාදා දහවල් වන විට යුකේ‍්‍රනයේ අගනුවර කරා රුසියානු හමුදා පැමිණීමත් සමග විදෙස් විත්ති විචාරකයන් සඳහන් කරනු ලබන්නේ, යුකේ‍්‍රනය සම්පූර්ණයෙන්ම රුසියානු ග‍්‍රහණයට යටත්වනු ඇති බවය.

ලෝක යුද්ධයක් ද ඇමරිකාවේ අනා ගැනීමක් ද..?

මනෝජ් අබයදීර

advertistmentadvertistment
advertistmentadvertistment