ලෝක වෙළෙඳ පොළේ මිල බැහැලා: පෙට්‍රල් රු. 110 කින් අඩුකළ හැකියි

351

ලෝක වෙළෙඳ පොළේ පවතින ඉන්ධන මිලට සාපේක්‍ෂව මෙරට ඉන්ධන මිල අඩුවිය යුතු බව සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි.

එහි කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා ඊයේ (15 දා) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී මේ බව කියා සිටියේය.

මේ වනවිට ලෝක වෙළෙඳ පොළේ ඉන්ධන මිල ගණන් ශීඝ්‍රයෙන් පහත බසිමින් පවතින බැවින් රජය ඉදිරිපත් කර ඇති මිල සූත්‍රයට අනුව ඉන්ධන මිල සැලකිය යුතු මට්ටමකින් අඩු විය යුතු බවද හෙතෙම සඳහන් කෙළ්ය.

ලෝක වෙළෙඳ පොළේ මීට දින දාසයකට පර තෙල් බැරලයක මිල ඩොලර් එකසිය හතළිස් පහකට පැවැතියත් අද වනවිට එහි මිල ඩොලර් එකසිය හතර දක්වා අඩුවී ඇතැයි ද කී ඒ මහතා එහි වාසිය මෙරට ජනතාවට ලබාදිය යුතුව ඇතැයි ද කියා සිටියේය.

ඒ අනුව සියලු බදු අයකර ගැනීමෙන් අනතුරුව ඔක්ටේන් 92ක පෙට්‍රල් මිල පවතින මිලට වඩා රුපියල් 110කින් අඩු කළ හැකි බවත්, 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 120කින් හෝ ඊටත් අඩු ලෙස ලබාදිය හැකි බවත් හෙතෙම පැවසීය.

සුපර් ඩීසල් ද ලීටරයක් රුපියල් 120කින් අඩු කළ හැකි බවද පැවසූ හෙතෙම මේ සෑම ඉන්ධන වර්ගයකින්ම රජය ලබන බදු මුදල් අඩුකර ගැනීමෙන් පසුව තවදුරටත් මිල අඩු කිරීමට හැකියාව පවතින බවද කීවේය.

මෙම අඩුකිරීම් මගින් තෙල් සංස්ථාවට කිසිදු අලාභයක් සිදුනොවන බවද අනාන්ද පාලිත මහතා මාධ්‍ය හමුවේ වැඩිදුරටත් කියා සිටියේය.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment