වංචාවට නෝ චාන්ස් (1)… (NMRA මහා පරිගණක දත්ත කොල්ලය)

1181

අපේ රටේ සිටින බක මණ්ඩුක ප‍්‍රාඥයන් කවර අර්ථකථන ගෙනාවත් නූතන ප‍්‍රායෝගික ලෝකය භ‍්‍රමණය වන්නේ විදුලියෙනි. විදුලිය උපදවන්නේ තෙල් වලිනි. තෙල් ගන්නේ ඩොලර් වලිනි. ඩොලර් අච්චු ගහන්නේ ඇමෙරිකාවෙනි. මෙයට අවුරුදු පනහකට පෙර දියුණු රටවල පවා බිස්නස්කාරයන්ගේ බිස්නස් ගණන් හිලව් ලියන ලද්දේ තනි රූල් හෝ කොටු රූල් කොළවලය. ගණන් හිලව් පිළිබඳ දිගම දිග ඉතිහාසය කෙටිම කෙටියෙන් මෙසේ ලියමු; මෙයට අවුරුදු 40000 ට පෙර ගල් ගුහාවල විසූ ප‍්‍රාථමික ජනයා එදිනෙදා ගණන් හිලව් සටහන් කළේ බොරළු හෝ හුණු ගල් කැබැල්ලකින් ගල් ගුහා බිත්ති මත ඉරි කැබලි යොදාගෙනය. මීට අවුරුදු 10000 ට පෙර යුරෝපයේ ජනතාව මැටි පුවරු මත ගණන් හිලව් තැබූහ.

ඒ කාලයේම මැද පෙරදිග ජනයා පැපිරස් පත‍්‍ර වලත් ආසියාකරයේ ජනයා ගල් පුවරු මතත් ප‍්‍රාථමික සංඛේත යොදාගෙන ගණන් සටහන් කිරීමට පුරුදුව සිටියහ. මේ කියන කාලයේදී අද තිබෙන ඉලක්කම් නැත. ඒ තත්ත්වය තවත් අවුරුදු 5000 ක් පමණ එසේම පැවති අතර, මීට අවුරුදු 5000 ට පෙර ඊජිප්තුවේ විසූ රට ඉඳි මුදලාලිලා සහ පොලීකාරයන් පැපිරස් පත‍්‍ර මත තැබූ Accounts පුරාවිද්‍යාඥයන්ට හමුවී තිබේ. තල්පත්වල ගණන් හිලව් තබන තත්ත්වයට දියුණු වීමට පෙර ලංකාවේ ජනයා තනිකරම ගණන් තැබුවේ ගල් පුවරු වලය. ඒ අනුව එකළ Accounts Clerk කෙනෙක් වීම පරම අවාසනාවකි. මෙයට අවුරුදු 150 ට පෙර යුරෝපීය අධිරාජ්‍යවාදීහු මේ රට තුළට මස් ද, බ‍්‍රැන්ඩි ද, තුවක්කු ද, කඩදාසි ද ගෙනෙති. එතැන් පටන් අවුරුදු 125 ක් ගතවන තුරු සියලූ ගණන් හිලව් ද දත්ත ද තොරතුරු ද කඩදාසි කොළවල ලියා ෆයිල් කවර තුළ බහා මිටි බැඳ රාක්කවල තැන්පත් කරන ලදී.

කඩදාසිවල ලියන ලද ගණන් හිලව් අතුරුදන් කිරීම ටිකක් අමාරු වැඩකි. එක්කෝ ඒවා තැන්පත් කර ඇති ගබඩාවට ගිනි තැබිය යුතුය. එහෙමත් නැත්නම් ලිපි ගොනු හෙවත් ෆයිල් ඉස්සිය යුතුය. මේ ආකාරයෙන් පහුගිය කාලයේදී ඇතැම් උසාවිවල නඩු ලේඛන ගබඩා වලට ගිනි තබා සම්පූර්ණ නඩු තොරතුරු අතුරුදන් කිරීම සිදුවිය. කඩදාසිවල තොරතුරු ලියා ෆයිල්වල දමා තැන්පත් කරන විට සුවිශාල ඉඩකඩක් අවශ්‍ය නිසාත් ඒවාට කාවන්ගෙන් සහ වේයන්ගෙන් විය හැකි අනතුරු නිසාත් මීට අවුරුදු 25 ට පමණ පෙර සිට මේ රටේ සියලූම වැදගත් තැන්වල සියලූම දත්ත පරිගණකගත කිරීම ඇරඹිණ.

වෙනදා වර්ග අඩි 25000 ක් ලොකු තට්ටු පහක බිල්ඩිමක තැන්පත් කළ යුතු කඩදාසි ෆයිල් ලක්ෂ ගණනක ඇති දත්ත ගබඩා කළ හැකි ලැප්ටොප් පරිගණක දැනට බිහිවී තිබේ. පරිගණක තුළ දත්ත ගබඩා කිරීම ලෝකයේ වඩාත්ම සුරක්ෂිත ක‍්‍රමය ලෙස මේ වනවිට හඳුනාගෙන ඇත. එහෙත් ශ‍්‍රී ලංකාවේ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ (NMRA) පරිගණක දත්ත සුවිශාල ප‍්‍රමාණයක් පසුගිය දිනවල මැකී යෑම නිසා එකී සුරක්‍ෂිතතාව මතභේදයට තුඩුදී ඇත.

ජාතික ඖෂධ නියාමන අධිකාරිය යනු මාර පිළිවෙලකට වැඩ කරන මාර තැනකි. මහා ඉස්පිරිතාලය කිට්ටුව පිහිටා ඇති මේ අධිකාරියට සාමාන්‍ය ජනයා යන්නේ හදිසි බෙහෙතක් පිටරටින් ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය බලපත ලබාගනු පිණිසය. ඒ අතර ශ‍්‍රී ලංකාවට බෙහෙත් ගෙන්වන ඖෂධ සමාගම්වල නියෝජිතයෝ ද මෙහි යති, එති. ඒ රුපියල් බිලියන ගණන් වටිනා ඖෂධ තොග ගෙන්වා ගැනීමට බලපත් ගැනීමට ය. සාමාන්‍ය කෙනකුට මෙතැනින් බෙහෙත් බලපතක් ලබා ගැනීම කෙසේ වෙතත් ගොඩනැ`ගිල්ලට ඇතුළුවීමට පවා දුෂ්කරය.

ගේට්ටුවේ සිටින සිකියුරිටි රාළහාමිගේ සිට බෙහෙත් බලපත් නිකුත් කරන නෝනා මහත්මීන් දක්වා වූ සියලූ දෙනා මෙහි ඇතුල්වීමට එන සාමාන්‍ය ජනයාට ඖෂධ පනත, ඖෂධ නියාමන පනත සහ දණ්ඩ නීති සංග‍්‍රහයේ කොටස් යනාදිය පැහැදිලි කර දෙමින් ඇතුළට යෑම වළක්වති. ඒ එම නිලධාරීන් සතු කැතකමක් හෝ කුණුකමක් නිසා නොව ආයතනය ඒ තරමටම පිළිවෙල නිසාය. මේ ආයතනය සතු තොරතුරු ලක්ෂ ගණනක් තැන්පත්ව තිබෙන දත්ත ගබඩාව සාමාන්‍ය පරිගණක වහරට අනුව Cloud එක ලෙස හඳුන්වනු ලැබේ.

ඉකුත් ජූලි මාසයේදී මේ ක්ලවුඞ් එකේ තිබූ දත්ත සියල්ල මැකී ගොස් ක්ලවුඞ් එක පමණක් ඉතිරි විය. ඉතින් ක්ලවුඞ් එක කන්නද? පසුගිය අවුරුදු ගණනාව තිස්සේ පිටරටින් ලංකාවට ගෙනා බෙහෙත්, ප‍්‍රතික්ෂේප වූ බෙහෙත්, ඖෂධ ප‍්‍රසම්පාදන පත‍්‍ර සහ අත්‍යවශ්‍ය රහස් ලේඛන ලක්ෂ ගණනක් මෙසේ මැකී ගිය දත්ත අතර විය. මෙසේ දත්ත මැකී ගිය මුල් දිනවල පන අදින ලෙඩකුට අවශ්‍ය හදිසි බෙහෙතක් ගෙන්වා ගැනීමට ඖෂධ නියාමන අධිකාරියෙන් ඉල්ලූම් කළ විට බෙහෙත ලැබුනේ ලෙඩා මළ පසුය. ඒ සම්බන්ධයෙන් විරුද්ධ වීමට හෝ සටන් කිරීමට ලෙඩා ගේ අයිතිකරුවන්ට හැකිවූයේ නැත.

බෙහෙත් ගෙන ඒම ප‍්‍රමාද වන්නේ පරිගණක Blackout එකක් නිසා, ගෙන්වන්නට යන බෙහෙතේ ඉතිහාසය ගැන හොයා ගැනීමට බැරි වීමෙනැයි ඖෂධ නියාමන අධිකාරියේ කාර්ය මණ්ඩලය කීවේය. මේ වූකලී පෙර කී ක්ලවුඞ් එකේ තිබූ පරිගණක දත්ත අතුරුදන් වීමෙන් ලැබෙන්නට පටන්ගත් ඡන්ද ප‍්‍රතිඵලවල මූලික අවස්ථාවයි. මේ සම්බන්ධයෙන් ඖෂධ නියාමන අධිකාරියේ කාර්ය මණ්ඩලයට අපි දොස් නොකියමු. මන්ද යත් ඖෂධ නියාමන අධිකාරියේ තොරතුරු දත්ත ගබඩාව හෙවත් ක්ලවුඞ් එක සම්පූර්ණයෙන්ම පාලනය කළේ ප‍්‍රයිවට් කොම්පැනියක් නිසාය. මෙය කිසියම් වංචාවක ඇරඹුමකි. වංචාවට කිසිම චාන්ස් එකක් දිය යුතු නැත. මේ පිළිබඳ ඉතිරි හරිය හෙට කියවන්න.

ඉතිරි කොටස හෙට

advertistmentadvertistment