වංචාවට නෝ චාන්ස් (2)

1094

ජාතික ඖෂධ අධිකාරියේ දත්ත ගබඩාවට ‘වෙච්ච කෙළිය’ ගැන හද පිරි සෝකයෙන් යුතුව අපි ඊයේ සාකච්ඡුා කළෙමු. ‘වෙච්ච කෙළිය’ යනු සිංහල භාෂාවේ වචන දෙකකි. ඒවා අව්‍යක්ත සහ රස්තියාදුකාර වචන ලෙස භාෂා පේ‍්‍රමීහු නොසැලකිය යුත්තාහ. NMRA හෙවත් ජාතික ඖෂධ අධිකාරියේ දත්ත ගබඩාවෙන් අතුරුදන් වූ දත්ත ප‍්‍රමාණය පරිගණක භාෂාවෙන් ටෙරා බයිට් 2 කි. හෙවත් ගිගා බයිට් 2000 කි. සරල සිංහලෙන් නම් තොරතුරු හෙවත් දත්ත ලක්‍ෂ කිහිපයකි. මේවා තිබුණේ Lanka Government Cloud නමැති ක්ලවුඞ් එක තුළය. අන්තිමේදී දත්ත ටික අතුරුදන් වී ක්ලවුඞ් එක අතරමං විය. එය මේ වනවිට ක්ලවුඞ් යන වචනයේ සිංහල වචනය වන නිකන්ම නිකං වලාකුලක් හා සමානය. දත්ත තොගය අතුරුදන්වීම නිසා ජාතික ඖෂධ අධිකාරිය ජාත්‍යන්තර ගනුදෙනුකරුවන් සමග කළ සියලූම ගනුදෙනු පිළිබඳ සටහන් අතුරුදන් විය. ලංකාවට ගෙන්වන ඖෂධ, ලංකාවේ රෙජිස්ටර් කරන ඖෂධ, රෙජිස්ටර් කිරීමට ගොස් ප‍්‍රතික්ෂේප වූ ඖෂධ, ලෙඩුන් විසින් හදිසි අවශ්‍යතා උදෙසා කාලයෙන් කාලයට ගෙන්වන වාරික ඖෂධ යනාදිය පිළිබඳ විස්තර ද අතුරුදන් විය. සාමාන්‍යයෙන් කිසියම් සමාගමක් ලංකාවට ඖෂධ ගෙන්වීමේදී අවුරුදු දෙකකට හෝ අවුරුදු පහකට එම ඖෂධ ගෙන්වීම සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරිය මගින් බලපත‍්‍ර නිකුත් කරනු ලැබේ. මේ බලපත‍්‍ර කාලය අවලංගු වීමට හය මාසයකට පෙර නැවත අයැදුම්පත් ඉදිරිපත් කළ යුතුය. එවිට ක්ලවුඞ් එකේ ඇති අතීත තොරතුරු ආශ‍්‍රයෙන් එම අයැදුම් පත‍්‍රය පිළිබඳ කටයුතු කිරීම අරඹනු ලැබේ. දැන් පවතින තත්ත්වය උඩ මේ කිසිවක් කළ නොහැක්කේ ඖෂධ සහ ඖෂධ ගෙන්වන්නන් පිළිබඳ තොරතුරු කිසිවක් ක්ලවුඞ් එකේ නැති බැවිනි. මෙය සරළ උදාහරණයකින් මෙසේ විස්තර කළ හැකිය; ඔබ කොළඹ සිට ගාල්ලට ගියා යයි සිතමු. ඔබ ගියේ හයිවේ එකේය. ඔබ ආපසු එන්නට සූදානම් වනවිට හයිවේ එකත් ගාලූ පාරත් යන දෙකම අතුරුදන් වෙලා තිබුණොත් කොහොමට හිටීද? මෙය ඉතා සරල තේරෙන භාෂාවෙන් කිව හැකි උදාහරණයකි. ඖෂධ අධිකාරියේ ක්ලවුඞ් එක පිළිබඳ තත්ත්වය මීට වඩා දරුණුය.

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ක්ලවුඞ් එක කළමනාකරණය කිරීමට භාර දී තිබුණේ එපික් ලංකා නමැති පුද්ගලික කොම්පැනියකටය. පරිගණක කටයුතු සම්බන්ධයෙන් ආණ්ඩුව සතුව වැඞ්ඩෝ ද, මාර වැඞ්ඩෝ ද සිටිති. උදාහරණයක් වශයෙන් මේ රටේ මැතිවරණයක් පැවැත්වෙන සෑම අවස්ථාවකම පරිගණක ආශ‍්‍රයෙන් ක්ෂණිකව ප‍්‍රතිඵල නිකුත් කිරීමේ කටයුත්ත භාරව සිටින්නේ කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක අංශයයි. ඕනෑම ස්මාර්ට් දුරකථනයක දත්ත සියල්ලම අතුරුදන් වුවද සුළු වේලාවක් තුළ එම දත්ත නැවත Recover කිරීමට හෙවත් සොයා දීමට හැකියාවක් කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක අංශයට තිබේ. මීට අමතරව ඉතා සියුම් සහ ඉතා ක‍්‍රියාශීලී පරිගණක අංශ මේ රටේ රාජ්‍ය ආයතන වැඩි හරියක තිබේ. එසේ තිබියදී ඖෂධ නියාමන අධිකාරියේ දත්ත ගබඩාව හෙවත් ක්ලවුඞ් එක කළමනාකරණය කිරීම සඳහා එපික් ලංකා නමැති පුද්ගලික පරිගණක දත්ත සැකසුම් ආයතනයට දුන්නේ ඇයි? සමහරවිට සරල සිතුවිලි ඇති අපට නොතේරෙන හරබර රහස් ජාතික ඖෂධ අධිකාරිය සහ එපික් ලංකා ආයතනය අතර තිබෙන්නට පුළුවන. මෙතන ඇති ලොකුම ප‍්‍රශ්නය නම් දත්ත ක්ලවුඞ් එක වෙනුවෙන් බැකප් එකක් පවත්වාගෙන නොයෑමය. සංකීර්ණ පරිගණක දත්ත පවත්වාගෙන යන තැනක ඒ සඳහා බැකප් එකක් හෙවත් එම දත්තවලම පිටපත් වෙනත් ගබඩාවක ගබඩා කිරීමක් කළ යුතුමය. මෙය කිසියම් ලියවිල්ලක කාබන් කොපිය හා සමානය. එනම් මුල් ලියවිල්ල අස්ථානගත වූ කල්හි කාබන් කොපිය බලාගෙන වැඩ කිරීමට පුළුවන. ජාතික ඖෂධ අධිකාරියේ දත්ත අතුරුදන් කිරීම පිළිබඳව පරීක්ෂණ පවත්වන අය විශේෂයෙන්ම සොයා බැලිය යුත්තේ දත්ත ක්ලවුඞ් එකට සමාන්තරව බැකප් එකක් පවත්වාගෙන නොගියේ මන්ද යන කාරණය ගැනය. එසේ නොවීමට හේතුව වන්නේ දත්ත ක්ලවුඞ් එක ආරම්භ කළ දවසේ පටන්ම එයට අදාළ අංශ තුළ තිබූ හොර හිත විය නොහැකිද? එනම් මතුයම් දවසක වංචාවක් සිදුකොට සාක්ෂි නොමැතිවම පලා යෑමේ අදහසක් මුල සිටම ඔවුන් තුළ තිබුණා විය නොහැකිද?

පරිගණක දත්ත ඩිලීට් වීම ඉබේට සිදුවන්නේ නැත. පරිඝනකයේ හැප්පුනාට හෝ පරිගණකය අතේ වැදීමෙන් දත්ත ඩිලීට් නොවේ. ඒ සඳහා පාස්වර්ඞ් හෙවත් මුරපද යොදාගෙන සෑහෙන ගේමක් දිය යුතුය. දැනට පවතින ප‍්‍රමුඛ සැකය වන්නේ ඖෂධ ජාවාරම්කරුවන් මෙකී දත්ත මැකිල්ලට වියදම් කර ඇති බවය. මේ ගැන පරීක්ෂණ පවත්වා වැරදිකරුවන් උල තැබීමත්, නැතිවූ දත්ත ටික මුල සිටම සොයාගැනීමත් බලධාරීන්ගේ වගකීමය. හැබැයි ඉතිං නැත්තටම නැතිවූ දේවල් කොහෙන් හොයන්නද? වංචාවට කිසිම චාන්ස් එකක් නොදිය යුතුය.

advertistmentadvertistment