වංචා කිංචා දුරු වේවා දිනුම් කොළේ මටම වැටේවා…!

124

ජප කර ගහන බූරුවා….

● වැදගත් විදිහට බූරුවා ගහනකොට කියන්නේ “පෝකර් ගේම්” (Poker game)

● බේබි කැපිල්ල කියන්නෙත් බුරුවා ගැහිල්ලටමය.

● සුපිරි බූරු පිටිවලට ඇතුළුවීම අසීරුයි

සාමාන්‍යයෙන් බූරුවා කියන්නේ හිතා බලා වැඩ නොකරන මෝඩ පහේ මිනිසුන්ට බව අපි දනිමු.

මේසන් බාස්වරු උඩ වැඩ කරන්නට හදන එහෙ මෙහෙ කළ හැකි අපිළිවෙළට හැදූ ලොකු ලී අට්ටාලයට කියන්නෙත් බූරුවා කියලාය.

සෙල්ලම් පනස් දෙකක් ඇති බව කියන කොළ පනස් දෙකේ කඩදාසි කාඩ් කුට්ටමෙන් කරන එක්තරා සෙල්ලමක් හඳුන්වන්නේ ද බූරුවා ගැහිල්ල ලෙසයි.

ඒ වගේම පුත්තලං පැත්තේ වැඩිපුර, ඉන්න, අස්ප පවුලට අයත්, ලොකු කං ඇති, කකුල් හතරේ සීපාවෙකුට ද බූරුවා කියා කියති.

එකම නමින් කීපයක් තිබුණ ද අප කතා කරන්නේ තුන්වනුව කී බූරුවා ගැහිල්ල ගැනයි.

බූරුවා ගැහිල්ල වූ කලි නගරයට මෙන්ම ගමට ද පොදු වූ ප්‍රජාපාදක සෙල්ලමක් වුව ද එය නීති විරෝධී ක්‍රියාවලියකි. රජයෙන් හෝ සම්මත යැයි සලකන සමාජයෙන් අනුමත නොකරන සූදුවකි.

‘බූරුවා ගැහුවත් එකයි ගහන තැන හිටියත් එකයි’ යන්න අද කවුරුත් දන්න ආප්තෝපදේශයක් බවට පත්වී තිබේ. ඉන් අදහස් කරන්නේ ඒ දෙකම අවර වැඩක් මෙන්ම දඩ කන්නට වෙන වරදක් ද වන බවයි.

ගමේ කැලෑ රොදක, පාළු කමතක හෝ රෑ බෝ වූ කල සෙනඟ රැස් වන ඉලව් ගෙදරක, තොවිල් පොළක, එහෙමත් නැත්නම් නගරයේ අඳුරු ගුබ්බෑයමක, හොඳින් වට කළ පාළු නිවසක හොර රහසේ කීප දෙනකු වටවී කෙළින බූරු සෙල්ලම නගරයේ ඉහළ උසස් යයි සම්මත අයට ද නුහුරු දෙයක් නොවේ.

ගමේ, හන්දියේ, කඩපලේ, ගුබ්බෑයමේ බාසාවෙන් බූරු ගැහිල්ල, බේබි කැපිල්ල, ආස්කින් හිටිං ආදී නම් වලින් අමතද්දී මෙය නගරයේ සුපිරි කැසිනෝ හල් තුළ ආමන්ත්‍රණය වන්නේ පෝකර් ක්‍රීඩාව (Poker game) ලෙසිනි.

මෙහිදී එයට තහනමක් හෝ දඩ ගැසීමක් නැත. මහත්තුරු නෝනාවරු, සුද්දියෝ සුද්දෝ, දහස් ගණනින්, ලක්ෂ ගණනින් ඔට්ටු අල්ලමින් රාත්‍රී කැසිනෝ මේසවල බූරු කෙලති. හැන්දෙන්, ගෑරුප්පුවෙන් වසුරූ අනුභව කිරීම හෝ ආඳා මාළු ඉරට්ටෙන් කන අන්දම සිහියට ආවද ඒ උපහැරණ මෙතැනදී කොතැරම් දුරට ගැලපෙනවාද යන්න මට නොතේරේ.

කවුරු කොහොම කොතන කළත් බූරුවා සෙල්ලම යනු විනාශයට යන තුන් දොර ලෙස සැලකෙන සුරාව, සූදුව, සල්ලාලකම යන තුනෙන් ප්‍රධාන තැනක් ගන්නා ප්‍රස්තුතයකි.

වංචා කිංචා දුරු වේවා දිනුම් කොළේ මටම වැටේවා…!

අද ලංකාවේ වැඩි දෙනකුට බූරු සෙල්ලම කුමක්දැයි උගන්වන්නට අවශ්‍ය නැති බව අපි දනිමු. එය ඒ තරමටම රට පුරා පැතිරී ඇත. කෙසේ වෙනත් බූරු පිටියේ සැබෑ ස්වභාවය මදක් කතා කිරීම හොඳය.

බූරු පිටියක බූරු කෙලින්නන් අතර පාර්ශ්වයන් කීප දෙනකු අපට හමුවෙයි. එම චරිතවලින් තෝන් බාස් ප්‍රධාන තැනක් ගන්නා අතර කුට්ටම අනන්නා, ඉල්ලන්නා පිට ඔට්ටු තබන්නා ඔත්තු බලන්නා, කඩේ යවන්නා වැනි අය ද දකින්නට ලැබේ.

තෝන් ගන්නා යනු බූරු පොළක් නිර්මාණය කර, අවශ්‍ය සම්පත් (ආරක්ෂාව, ස්ථානය, පැදුරු, මධුපානය සහ කුට්ටම් පහසුකම් ආදිය ලබාදී ගේම ගස්සවන තැනැත්තාය. (පහසුකම් සපයන්නා එන් ජී ඕ බසින් එය facilitator විය යුතුය)

ඔහුට සෙල්ලම් කරන්නන්ගෙන් (දිනන්නන්ගෙන්) ලැබෙන කොමිස් මුදල තෝම යනුවෙන් හැඳින්වෙයි. සෑම බූරු අතකින්ම පසු සෑහෙන ප්‍රතිශතයක කොමිස් මුදලක් තෝම්කරුගේ ගිණුමට එවේලේම බැර කරනු ලබයි. බොහෝ විට ඔහු තෝම තැන්පත් කරන බැංකුව වන්නේ කට පුංචි සීල් අරක්කු බෝතලයක් හෝ හොඳින් පිසදා, වියලා ගත් දෙකහමාරේ ප්ලාස්ටික් කෑන් පොඩ්ඩකි.

සියලු වස්දොස් පහව යේවා! වංචා කිංචා දුරු වේවා! දිනුම් කොලේ මටම වැටේවා! යන ප්‍රාර්ථනය පෙරදැරි කරගෙන හොඳින් අනා ඇති, අනිකෙකු විසින් මැදින් කපන ලද කඩදාසි කුට්ටමේ මුල් කොළ දෙක අයින් කරන බෙදන්නා, සෙල්ලම පටන් ගනී.

විරුද්ධ පාර්ශ්වය විසින් ඉල්ලන ලද කොළය කාට හෝ වැටෙන තුරු බෙදන්නා කාඩ් කොළ තාලයකට රටාවකට දෙපැත්තට දාගෙන දාගෙන යයි.

ආස්කින් දිනන බවට හෝ හිටිං දිනන බවට හෝ වටේට බලා ඉන්නා වුන්ටද පිට ඔට්ටු ඇල්ලිය හැක.

(ආස්කින් යනු ඉල්ලන්නා වන අතර හිටිං යනු කුට්ටම බෙදන්නාය)

ක්‍රීඩාවේ නිරතවන්නන්ට කඩේ යන, එනම් බීඩි සිගරට්, බයිට්, කසිප්පු අදින පිරිසක් ද බූරු පොලේ දකින්නට සිටී. ඒ බොහෝ විට අතේ තිබුණු අන්තිම පිච්චිය දක්වා බූරු කෙළ සියල්ලම පිටියට පූජා කළ සූදු අන්තුවන්ය. ඔවුන් පක්කලි වැඩ කර කීයක් හෝ හොයාගන්නේ ගෙදර යන්නට හෝ රෑ කෑමට නොව තවත් වරක් ඒ මුදල ආයෝජනය කැර කීයක් හරි වැඩිපුර සොයා ගන්නටයි.

රන් මාලය, යතුරුපැදිය, මංගල මුද්ද, රිදී හවඩිය පමණක් නොව කමිසය, කලිසම හෝ සරම පවා අසල සිටින්නෙකුට උකස් කොට සූදු කෙළින්නෝ අප රටේ එමටය. ගමේ සූදු කෙළින මෙවැන්නෝ බොහෝ විට පරාද වී ගෙවල් බලා යන්නේ ණයට ඉල්ලා ගත් රෙදි කෑල්ලක් හෝ යටින් ඇඳගෙන ආ කොට කලිසම පමණක් ඇඳගෙනය.

ඔත්තුකරුවන් හැටක් දමා සිටියත් හිටි හැටියේම ග්‍රාමසේවක රාළහාමි හෝ පොලීසියේ මහත්තුරු පිටියට පැනීම මහා අන්තරාදායක දෙයකි. මෙවැනි අවස්ථාවල පිටියේ ඉන්නවුන් ගාල කඩා ගත්ත හරක් සේ සී සී කඩ දුවන අතර අසුවන අයව අත්පිටුපසට බැඳ පොලිසීය බලා දක්කාගෙන යෑමට තරම් සමහර නිලධාරීන් කාරුණික වෙයි. කලින් සඳහන් කළා සේ බූරු කෙළියත් බලා සිටියත් එකම දඬුවම සියල්ලට ම පොදුය.

බොහෝ අවස්ථාවල සූදුකරුවන් පිටිය අතැර දමා දිව යන්නේ තමා සතු මුදල ද එතැනම දමායි. එයට හේතු කීපයක්ම තිබේ. ප්‍රධානම දෙය නම් දුවද්දී මුදල් සමග පොලීසියට අසු වුණොත් වරද නිකම්ම ඔප්පු විය හැකි බැවිනි. අනෙක් කරුණ නම් සූදුකරුවන් සිතන්නේ මුදල් රැසක් පිටියේ තනිව තිබෙද්දී රාළහාමිලා ඒවා අරගෙන කරබාගෙන යළි ආ තැනටම යනු ඇති කියාය.

අද මෙන්ම මීට දශක ගානකට පෙරත් කොළඹ නගරයේ හා වෙනත් ගම් නගරාශ්‍රිතව මේ බූරු සෙල්ලම් සරුවට පැවති බව නෙයිනගෙ සූදුව වැනි නාට්‍යවලින් අපට සිතා ගත හැක. නෙයින බායි යනු කොළඹ නගරයේ එවකට සිටි ධනවත් ව්‍යාපාරිකයන්ට බූරු ගැසීමේ පහසුකම් සපයන්නකුව සිටි යෝනකයෙකි. ඔහු ළඟ සිටි දිග අං ඇති නපුරු එළු නාම්බා ගැන නොදන්නා අය අදත් විරලය. එමෙන්ම සුද්දන්ට විරුද්ධව නැගී සිටි උතුවන්කන්දේ සරදියෙල් හා ඔහුගේ මිතුරු කැල ද තමා ධනවතුන්ගෙන් කොල්ල කෑ මුදලින් නිතර බූරු කෙළිය බව ඉතිහාසය කියා දෙයි.

එදා මෙන්ම අදත් කොළඹ නගරයේ මහා පරිමාණයෙන් හා සුළු පරිමාණයෙන් මෙම සූදුව ක්‍රියාත්මක වෙයි. ධනවතුන් යන කැසිනෝ හල් තුළ හැරුණු විට නගරයේ සමහර මත්පැන් අලෙවි වන බාර්වල ඇතුළට වන්නට සෑදූ ආරක්ෂිත ශාලාවල මෙය සරුවට කෙරේ. ඒ තුළට මදකට රිංගා බැලුවහොත් අපට දැක ගන්නට ලැබෙන්නේ බොහෝ විට සාමාන්‍ය පන්තියේ මිනිසුන්ය. ඒ අතර ලිපිකරු මට්ටමේ රාජ්‍ය සේවකයන්, කම්කරුවන් විශ්‍රාමිකයන් වැනි අය දක්නට ඇත.

මෙවැනි තැන් සඳහා නීතිය කරවන අයගෙන් නීත්‍යානුකූල අවසරයක් කිසිසේත්ම නොලැබෙන නමුත් හැකි උපරිමයෙන් දොළ පිදේනි දීම මත වැටලීම් හා කඩා පැනීම් අවම කර ගත හැක. නගරයට අලුතින් එන ඕඅයිසී මහත්තයාගේ ප්‍රථම වැටලීම බොහෝ විට ආරම්භ වන්නේ මෙවැනි බූරු පොළකින් හෝ හොර අරක්කු තිප්පොළකිනි.

කලක් යන විට එය වැටලීම් ප්‍රමුඛතා ලැයිස්තුවේ අග කෙලවරට විසිවී යන අතර මනදොළ පිරෙන අන්දමේ ගතමනා ලැබේ නම් ඒ පැත්ත අමතකම කැර දැමීමට තරම් කාරුණික නිලධාරීන් ද නැත්තේ නොවේ.

එනමුදු නොවැළැක්විය හේතුන් මත හෝ ඉවත දැමිය නොහැකි ඕඩරයක් හෝ ලැබ බූරු පිටියට කඩා පනින මහත්තුරු එක මිටින් ගත් ඔට්ටුකරුවන් දහ පහළොස් දෙනකු කුදලාගෙන පොලිසීයටත් ඉන් පසුව උසාවියටත් දක්කා ගෙන එන අයුරු ද ඉඳහිට දක්නට ලැබේ.

කලින් කීප වරක්ම අප කියූ න්‍යාය මෙහිදී යළිත් බලගැන්වෙන අතර බූරු ගස්සන්නාටත්, හිමිකරුටත්, ක්‍රීඩකයාටත් බලා සිටිය එකාටත් යන හැමෝටම උසාවිය විසින් දඬුවමක් නියම කරයි. එය බොහෝ විට අද කාලයේ හැටියට ඉතා සුළු දඩ මුදලකි. සමහර විට රුපියල් සියයක් හමාරකි. නැත්නම් දෙසිය පනසකි.

ස්නයිපර්ලා නොහොත් ඔත්තුකරුවන් වටේටම දමා සුවිශාල නිවෙස්වල හෝ ලොකු පාළු ගෙවතුවල බූරු ගස්සවන ජාවාරම්කරුවන් ද අද අප රටේ සිටී. මේවාට පොලීසියෙන් පැනීම එතරම් ලෙහෙසි නැත. වැඩිපුරම රාත්‍රී කාලයේ ආරම්භ වී මැදියම හෝ අලුයම දක්වා දිවෙන මෙම සූදු පිටි ඇතුළට රිංගීම ඉතා අසීරු කටයුත්තකි. ව්‍යාපාරික සුහද හමු, මාසික රැස්වීම, රාත්‍රී භෝජන සංග්‍රහ, සීට්ටු විසිකිරීම් වැනි දෙයක් සිදුවන බව එළියට පෙන්වා යස රඟට මොවුන් තම වැඩේ කරගෙන යන්නට දක්ෂය.

බූරු කෙළින්නට කැමති කාන්තාවන් ද අප රටේ සිටී. ධනවත් ස්ත්‍රීන් ඒ සඳහා කැසිනෝ හල් හෝ රාත්‍රී සමාජ ශාලා වෙත ගොස් පෝකර් යන නමට මුවා වී බූරුවා ගසන අතර නිර්ධන පන්තියේ ගැහැනුන් කෙලින්ම හොර බූරු පිටි වෙත අවතීර්ණ වෙති.

මීගමුව, ජාඇල, තොටලඟ, මරදාන, කොම්පඤ්ඤ වීදිය, දෙහිවල, මොරටුව, කොරළවැල්ල, බලපිටිය, අම්බලන්ගොඩ, රජ්ජම, (රත්ගම) ගාල්ල, හම්බන්තොට වැනි මුහුදුබඩ ප්‍රදේශවල කුළු ගැන්වෙන බූරු පිටිවලට කාන්තාවන්ගේ ප්‍රවිශ්ටය වැඩිය.

අප මේ ගැන කළ සමීක්ෂණවලදී ඇසින් දුටු කරුණක් වන්නේ අත දරුවන් ඇකයේ හොවාගත් අම්මලා, තනි අතෙන් ඔට්ටු මුදල් බිමට දමමින් බොහෝ පරිණත අයුරින් සූදු කෙළින අයුරුය.

දෙහිවල වැල්ල අසබඩ කුඩා නිවාස සහිත වත්තක් තුළ අප දුටු තවත් ඇඟ කිලිපොළන දසුනක් වූයේ ලාබාල දරුවෙකු සිය පියයුරු වල එල්ලී තනියම කිරි උරා බොද්දීම ඒ ගැන කිසි ගානකට නොගත් තරුණ මවක් බංකුවක වාඩිවී කිසි ගානක් නැතිව කුට්ටම දෑතින්ම අනමින් කොළ එහෙ මෙහෙ රටාවකට බෙදන අන්දමයි.

බූරු කෙළිය අද සමාජයේ එතරම් ගණන් ගැනීමකට පාත්‍ර නොවුණත් කලාකරුවෝ තම නිර්මාණවල මේ ගැන නිතර කතා කරති. ගීත ගයති නාට්‍යවලට ඇතුළත් කරති. කලකට ඉහත ගම වටා ගෙතුනු කතා ඇතුළත් සිංහල චිත්‍රපටවල මේ බූරුවා පිටි ගැන සිදුවීම් ඉදිරිපත් කිරීමට ප්‍රවණතාවක් තිබූ බවක් දක්නට ලැබුණි.

බූරුවා සෙල්ලමටම ආවේණික වූ වදන් මාලාවක් තිබේ. අත බාල්දු කිරීම, ඇදල ගැහීම, යටින් ගැහීම, වහල ගැහීම, පෙන්නල ගැහීම, වංසෙන් ගැහීම ආදී යෙදුම් සමාජයේ සාමාන්‍ය වහරට පැමිණ ඇත්තේත් මේ සූදුව ඇසුරෙන් බව සිතා ගත හැක.

පළපුරුදු දක්ෂ සූදු කෙළින්නන් තම අත මිට සල්ලි පනම් වැඩිපුර තියෙනවා නම් බූරු පිටිය පැත්ත පළාතේ යන්නේ නැත බූරු සංස්කෘතියට අනුව ඔවුන් විශ්වාස කරන්නේ සල්ලි රැගෙන පිටියට යමෙක් යන්නේ දිනන්න නොව පරදින්න බවයි දිනන්නට නම් යා යුත්තේ පිට ඔට්ටු ඇල්ලීමට ප්‍රමාණවත් වන ඉතා සුළු මුදලක් පමණක් අතේ ඇතිව බව ඔවුහු අදහති.

වෙන ඕනෑම සෙල්ලමකම මෙන්ම බූරු සෙල්ලමේ ද වංචා හා දූෂණ ඇති බව පෙනේ. පුල්ලි කොලෙන් ගේම දිනීම ඉන් ප්‍රධානම ප්‍රෝඩාව බව බූරු විශාරදයෝ පවසති.

පුල්ලි තැබීම යනු යම්කිසි හඳුනා ගත හැකි සලකුණක් කාඩ්පත මත යෙදීමයි. (කොළය මත ඉතා කුඩා කළු ලපයක් යෙදීම, ඉඳිකටු තුඩක් වැනි සිහින් දෙයකින් කොළයේ අතට හසුවන තැනෙක හිලක් විදීම, නියපොත්තෙන් ඉරක් ඇඳීම)

පුල්ලි තැබීමේ කලාව අද කෙමෙන් වියැකී

ගියත් මීට කලකට ඉහතදී නම් එය ඉතා ජනප්‍රිය වංචාවක් ලෙස පැරැන්නෝ (පැරණි බූරු අන්තුවන්) හඳුන්වති. මේ සඳහා මනාව හුරු වුණු පුල්ලි ඔස්තාද් ලා එදා සිටියහ.

ගාල්ලේ රාජයියා නොහොත් ගොඩකන්දේ පුල්ලි රාජා එහෙව් ඔස්තාද්වරයෙකි. අද සුරාවෙන්, සූදුවෙන්, සල්ලාලකමෙන් සම්පූර්ණයෙන් මිදී ධර්මිෂ්ට සමාජ සේවකයකු මෙන් දිවි ගෙවුව ද ඔහු එදා නම් දකුණු පළාතේ පමණක් නොව මුළු මහත් සූදු ලෝකයේම නම් දැරූ බූරු කපිප්තෙකි.

කීප වරක්ම කළ ඇවිටිලි වැලකින් පසුව අපට ඔහුගෙන් බුරු පුරාණය නොහොත් පුල්ලි පුරාණය ගැන බිඳක් දැන ගැනීමට හැකි විය. අපි ඒ තතු ඔහුගේම වචනයෙන් අසමු.

“මල්ලි මේවා හොඳ වැඩ, චන්ඩි කං නෙමේ. අපිත් කොල්ල කාලේ හිතේ හයියට ඒවා කළා තමයි.”

හේ අතීත පෙට්ටගමේ ඉබි යතුරු අරී “පුල්ලි තියනවා කියන්නේ කාඩ් කොලේ කොණක පොඩියට තිතක් වගේ මාර්ක් එකක් තියලා, කුට්ටම අනලා බෙදද්දී, ඒ කොලේ හරියට තෝරලා ඇදලා ගහන එකයි. මේක ජීවිතයක් මරණයත් අතර සෙල්ලමක්. වැරදුණොත් පිහි පාර හරි පොලු පාර හරි තමයි.”

“ඉස්සර ඒ කියන්නෙ හැත්තෑ ගණන්වල මුල් හරියෙ මාත් එක්ක කොල්ලො කණ්ඩායමක්ම හිටිය, මගෙත් හොඳ තරුණ කාලේ, අපි කාටවත් බය නෑ. අපිට බූරු පිටියක් පේන්න බෑ, කොහොම හරි ඉව වැටිල වගේ එතැන්ට හොයාගෙන ගිහිල්ලා හොඳින් හරි නරකින් හරි දිනනවා, පැරදුණොත් බලෙන් උදුරගෙන එනවා. මයිනර් ටැක්සියක නැගලා අපි රට වටේ පිටි හොය හොයා කැරකෙනවා, විශේෂයෙන්ම ඉලවු ගෙවල්, (මල ගෙවල්) ඊට පස්සෙ පුල්ලි ගේමට බහිනවා.”

ඔහු කියන පරිදි එම පිරිස මුලින්ම ඈත ගමකට ගොස් බූරු ගසන මළගෙවල් ගැන විපරම් කරයි. ඉන්පසු ඒ අසල ඇති කඩවලට
ගොස් විකිණීමට ඇති කාඩ් කුට්ටම් සියල්ලම ඉල්ලා ගෙන ඒවායෙන් හොඳ එකක් තෝරා ගන්නා මුවාවෙන් ඉතා සූක්ෂමව කලින් පුල්ලි තබා සකසා ගෙන ආ කුට්ටම් අලුත් ඒවාට මාරු කරයි. කිසිවක් නොදන්නා මුදලාලි හොඳ කුට්ටම් රාජලාට දී පුල්ලි තැබූ කුට්ටම් යළි තම ෂෝ කේස් එකේ තබා ගනී. සාමාන්‍යයෙන් එකල ගමකටම තිබුණේ කුඩා කඩපිල් එකක් හෝ දෙකක් නිසා මෙය ලෙහෙසි කටයුත්තක්ව තිබිණි.

දෙවැනි පියවර ඇරඹෙන්නේ සූදු කෙලින්නට ඉලවු ගෙදරට ගොඩ වැදුනු විටයි.

හොඳ බරකාර මෝරෙකුගේ වේශයෙන් පිටියට ප්‍රවේශ වන රාජා ඇතුළු කල්ලිය පැදුරු මත වාඩිවෙයි. එතෙක් ක්‍රියාත්මක වෙමින් පැවති කුට්ටමෙන් අත් කීපයක් සෙල්ලම් කරන ඔවුන් පවසන්නේ මෙම කුට්ටම හොඳ මදි බවත් අලුත් එකක් හෝ දෙකක් අවශ්‍ය බවත්ය.

එතැනම සිටින ඉත්තෙකුට කාසි කීපයක් මිට මොලවා කඩෙන් අලුත්ම කුට්ටමක් ගෙනෙන ලෙස ඔහු ඉල්ලා සිටී. ඉල්ලීම බොහෝ සාධාරණ බව දකින තෝන් බාස් ළඟම ඇති කඩෙන් කුට්ටමක් දෙකක් ගෙන්වා පිටියට දැමීමට පැකිළෙන්නේ නැත.

නමුත් මෙසේ අලුත් පිට පිටියට බස්සවන්නේ පුල්ලි තැබූ කොළ පනස් දෙකක් බව දන්නේ රාජලා පමණි.

සැමගේ ඇස් වසා උඩින් යටින් හෝ මැදින් ඇද ගේම කලාස් කර පිටිය සුද්ධ කිරිම ඉන්පසු රාජාට සුළු වැඩකි.

මෙවැනි සුදු පිටිවල ගුටි බැට හුවමාරු, වට කර පහරදීම්, උදුරා ගැනීම්, පිහි ඇණුම්, කැපිලි කෙටිලි මෙන්ම මිනී මැරුම් ද සිදුවන අවස්ථා විරල නොවේ.

බූරු ගැසීමෙන් පිරිහී වැටුණු අය, දරුණු තුවාල කර ගත් අය මෙන්ම මිය පරලොව ගිය අය කීපදෙනකු ගැනම අද ඕනෑම ගමකින් සොයා අසා දැනගත හැක.

ගම්බද මෙන්ම නගරයේ මරණ ගෙවල්වල ද අද බූරු පිටි සුලබ දසුනකි. විශේෂයෙන්ම අඩු ආදායම්ලාභී ජනයා ජීවත් වන මුඩුක්කු, පැල්පත්, වතු, තට්ටු ගෙවල් ආශ්‍රිතව ඇති වන මළ ගෙවල් බහුතරයක මේ බූරු සෙල්ලම අනිවාර්ය අංගයක්ව පවතී.

මළ ගෙදරක් නිසා පොලීසියෙන් පැනීමක් ද නැත. තෝන්කරු හොඳ ගානක් සොයා ගෙන ඉන් හොඳ ප්‍රතිශතයක් මළ ගෙදර අයිතිකාරයන්ටත් ලබා දෙයි. මැදියම් රැය වනවිට හතර වටින් සූදු අන්තුවන් මේ පිටි සොයා ගෙන මළගේ වෙත ඇදෙති.

තම ප්‍රධාන ආදායම් මාර්ගය හෝ රස්සාව වශයෙන් බූරු ගැසීමේම නියැළෙන වෘත්තීමය බූරු කරුවන් රැසක්ම අද අප රටේ සිටින බව අපට ඇස් පනා පිටම දැක ගන්නට ලැබෙන්නේ මෙම නගරාශ්‍රිත මළ ගෙවල්වලදීය. ඔවුන් තම මුදලින් හෝ කාගේ හෝ මුදලක කොමිසමකට සෙල්ලම් කරනු පිණිස මැදියම් රැයේ මල ගෙවල් හා පිටි සොයමින් නගර පීරති.

පොලිසිය හා එවැනි ආයතන තුළ මොන යම් නීති මාලා තිබුණත් බුරුවා කෙළිය නැවැත්විය නොහැකි දෙයක් බව බහුතරයකගේ මතයයි. නගරයේ, ගම කොණේ, ගංතෙරේ, තොටුපළේ පමණක් නොව හිරගෙදර කුටි තුළ, පාතාලේ අඳුරු ගුබ්බෑයංවල, සුඛෝපභෝගී කැසිනෝ තුළ මේ බූරුවා සූදුව කොහොම ක්‍රියාත්මක වුවත් ඉන් දිනන්නේ තෝන් බාස්, පහසුකම් සපයන්නා හෝ කැසිනෝ හිමිකරු පමණි. ඔට්ටු තබන්නෝ සදා පරාද වන්නෝය.

කෙසේ වෙතත් බූරු ගැසීමෙන් හරි ගිය හෝ මුදලක් දිනා යහපත්ව දිවි ගෙවන අයෙකු නම් තවම අපට සොයා ගැනීමට නොලැබුණි.

මිත්‍ර ශ්‍රී කරුණානායක
Internationally Certified Addiction Professional
National Trainer in Addiction Science

advertistmentadvertistment
advertistmentadvertistment